වර්ෂ 2018 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




වෛෂ්ණාවි එක්ක ‘මලී’ තිරයට ඇවිත්...

වෛෂ්ණාවි එක්ක ‘මලී’ තිරයට ඇවිත්...

සමාධි අරුණචායා. ඔබ ඈව ඒ නමින් හඳුන්වනවාට වඩා දන්නේ මලී කියන නමින්. මීට වසර කිහිපයකට කලින් පුංචි තිරයේ මලී නමින් ඔබ හමුවට පැමිණි ඈ රිදී තිරයටත් පිවිසිලා. ඒ මේ දවස්වල තිරගත වන සුමිත්‍රා පීරිස්ගේ ‘වෛෂ්ණාවි’ සිනමාපටයෙන්. ඇගේ අලුත්ම රංගන ආගමනයත්, ළඟදීම ඇගේ ජීවිතයේ සිදුවීමට යන වෙනස පිළිබඳත් අප සමාධිත් සමඟ කතාබහ කළා.

කාලයකට පසුවයි ඔබ ගැන කලා ක්ෂේත්‍රය ඇතුළේ කතාබහට ලක්වන්නේ. ඒ කතාබහ කොහොමද?

‘වෛෂ්ණාවි’ චිත්‍රපටය තිරගත කිරීම අරඹලා ටික දවසක් වෙනවා. එය තිරගත කිරීම ආරම්භ කළ දවසේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ලැබුණු ප්‍රතිචාර ඉතාමත් හොඳයි. ඒ වගේ ම එදින බොහෝදෙනෙක් පැමිණ සිටියා. මගේ රංගනය ගැන ඒ සියලු දෙනාගෙන් ම ලැබුණු අදහස් මා අගේ කරනවා. ‘වෛෂ්ණාවි’ චිත්‍රපටය මේ වනවිට නැරැඹූ බොහෝ රසිකයන්ගෙනුත් ලැබෙන ප්‍රතිචාර හොඳයි.

පුංචි තිරයේ වරින්වර දකින්නට ලැබුණත් ඔබ රිදී තිරයට පැමිණි පළමු සිනමා නිර්මාණය වෛෂ්ණාවිද?

මේ චිත්‍රපටය රූගත කරන්නේ 2012 වසරේදී. අද වනවිට වසර හයක් තරම් කාලයකට පෙර කළ ඒ චිත්‍රපටයේදී මගේ රඟපෑමට ලැබුණු ඇගයීම මුලින් ම හිමිවන්නේ ඒ කාලයේදීයි. රංගනය වගේ ම ඇඳුම් - පැලඳුම් පවා බොහොම සුන්දර බවයි ඔවුන් පැවසුවේ. එවැනි ඇගයීම් ලැබුණු ‘වෛෂ්ණාවි’ මගේ පළමු සිනමා රංගනයයි.

පුංචි තිරය හා කටයුතු කළ ඔබට රිදී තිරයේ මුණ ගැසීමේ අත්දැකීම ගැන තිබෙන්නේ මොන වගේ මතකයක්ද?

මුලින් ම නම් කැමරාවල ලොකු වෙනසක් දැනුණේ නැහැ. ටෙලි නාට්‍යවලදි නම් ඒ දිනයට නියමිත ටාගට් එකක් තිබෙනවා. ඒත් චිත්‍රපටයකදි එය ඒ ආකාරයෙන් නොවෙයි සිදුවන්නේ. යම් රූප රාමුවක්, රංගනයක් හරියට ම නොපැමිණියේ නම් එය හරියනතුරු ම රූගත කිරීමයි සිදුවන්නේ. සුමිත්‍රා මැඩම් ඒ සියලු දේ කළේ බොහොම විවේකයෙන්. ඔවුන්ට නිර්මාණයයි මූලික වුණේ.

රංගනයට නවක ඔබට ඒ පළමු නිර්මාණය ම සිනමාවේ කිවිඳීය සමඟ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාවේදියානන් සමඟ කටයුතු කිරීමට ලැබීම අලුත් ම අත්දැකීමක්ද?

ඒ අවස්ථාව ලැබීම විශාල භාග්‍යයක් වගේ ම පෙර පිනක් විදියටයි මා සලකන්නේ. ඔවුන් දෙදෙනාගේ අවසන් නිර්මාණයට ම මට රංගනයෙන් සහභාගි වීමට ලැබීම අපේ පරපුරේ කිසිවකුටත් නොලැබෙන අවස්ථාවක්. ඔවුන්ගේ නිර්මාණයකදී ප්‍රවීණ රංගන ශිල්පිනී වසන්ති චතුරාණි මහත්මියගේ ඒ පරපුරේ හා අපේ කාලයේ රංගන ශිල්පිනියන්ගේ අවසන් කෙනා වීමට ලැබීම විශාල භාග්‍යයක්.

වසර හයකට පමණ ඉහත රුචිරාගේ චරිතය හිමිවීම ගැන මතකය සිහිපත් කරමු

‘වෛෂ්ණාවි’ චිත්‍රපටයට මාව තෝරා ගැනීමට පෙර ඒ චරිතය සඳහා සිය ගණනක් සම්මුඛ සාකාච්ඡාවට භාජනය කර තිබුණා. ඒත් ඒ කිසිවෙක් අතරින් සුමිත්‍රා පීරිස් මැඩම්ට හිතට හරියන කෙනෙක් ව මුණ ගැසිලා තිබුණේ නැහැ. ඒ අතරදියි ඩොනල්ඩ් කරුණාරත්න අංකල් “මලී එකේ මෙහෙම ළමයෙක් ඉන්නවා අපි බලමු” කියලා මා පිළිබඳ මැඩම්ට පවසලා තිබුණේ. ඒ හරහායි ‘වෛෂ්ණාවි’ චිත්‍රපටයට මාව තෝරා ගැනෙන්නේ. ඒ අවස්ථාව මට ලැබීම මගේ ජීවිතයේ සංදිස්ථානයක්.

රුචිරා සිය හදවතේ ඇතිවන ආදරණීය හැඟීම සඟවාගෙනයි ජීවත්වන්නේ. ඒ චරිත නිරූපණය පහසු වුණාද?

ඇත්තටම ඒ චරිතය හරහා ඇගේ හැඟීම් වැඩිය එළියට පෙන්වන්නේ නැහැ. එහෙම පෙන්වනවාට සුමිත්‍රා මැඩම් වුණත් කැමැති වුණේ නැහැ. ඒ හැඟීම් ඇතුළු හදවතේ තබාගෙන පිටට පේන නොපෙනෙන විදියට රඟපෑමත් පහසු වුණේ නැහැ. මා සිතනවා එය සාර්ථක වුණා කියලා. ඒ සඳහා අධ්‍යක්ෂවරියගෙන් ලැබුණු උපදේශයත්, ඒ සඳහා අනෙක් ශිල්පීන්ගෙන් ලැබුණු උපදේශත් පිළිගනිමින් මා රුචිරා ප්‍රතිනිර්මාණය කළා.

‘වෛෂ්ණාවි’ චිත්‍රපටයේ පරම්පරා කිහිපයක ම ප්‍රවීණ රංගන ශිල්පීන් හා ශිල්පිනියන් ඇතුළත් වෙනවා

ඒ ප්‍රවීණ ශිල්පීන් හා ශිල්පිනියන් බොහොම නිහතමානියි. ටෝනි රණසිංහයන්, අයිරාගනී සේරසිංහ යන ජ්‍යෙෂ්ඨම පරපුරත්, වසන්ති චතුරාණි, ජයලත් මනෝරත්න, මහේන්ද්‍ර පෙරේරා, යශෝධා විමලධර්ම යන මැද පරම්පරාවත්, තුමිඳු අයියා හා මා ඇතුළු අලුත් ම පරම්පරාවත් චිත්‍රපටයේ නියෝජනය වුණා. ඔවුන් සියලු දෙනාම බොහෝ නිහතමානියි. ගොඩක් ම ආදරණීයයි. අධ්‍යක්ෂවරියගෙන් පටන් ගත්තට පස්සේ මුළු කණ්ඩායම ම එකම පවුලක් වගෙයි වැඩ කළේ.

ඒ ආස්වාදනීය කාලය ඇතුළේ ලැබුණු අත්දැකීම් බොහොමයිද?

මට වැඩිපුර ම රඟපාන්නට තිබුණේ තනිවමයි. ඊට අමතරව තුමිඳු අයියා, යශෝධා අක්කික් සමඟත් රූගත කිරීම් කිහිපයක් තිබුණා. ඒ වගේ ම අත්තම්මා, තාත්තා ඇතුළු කිහිපදෙනෙකුත් සමඟත් කිහිපවිටකදි ම මගේ චරිතය මුසුවුණා. ඔවුන් සමඟ රඟපෑමේදි රුචිරාගේ චරිතය හොඳීන් කරන්න ඕනෑ කියන අදහස මගේ සිතේ ඇතිවුණා. ආධුනිකයකු විදියට මට මේ චිත්‍රපටයත් එක්ක ලොකු වගකීමක් දැනුණා. ඔවුන් මා පිළිබඳ ව තැබූ විශ්වාසයට මගේ සිතේ පුදුම ශක්තියකුයි ඇතිවුණේ.

මේ වනවිට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාවේදියාණන් අපගෙන් සමුගෙන ගිහින්. එතුමා පිළිබඳ මතකය දිග හැරෙන්නේ කුමන අයුරින්ද?

චිත්‍රපටය රූගත කිරීම් අතරදි වුණත් එතුමා රූගත කරන ස්ථානයට පැමිණියා. ඒ වෙලාවකදි සමහර රූපගත කිරීම් දෙස බලාගෙන ඉඳලා මගේ රඟපෑම් ගැන එතුමාගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. වතාවකදි මට මතකයි එක රූපගත කිරීමක් දාසය වතාවක් රූගත කිරීමට සිදුවුණා. ඒ මගේ වරදින් නොවෙයි. මම ටේක් දාසයම එක විදියට කළත් තිබුණු අනෙක් ප්‍රශ්න හමුවේයි ඒ රූපගත කිරීම නැවත නැවත කිරීමට සිදුවුණේ. ඒ වෙලාවෙදි තමයි ලෙස්ටර් සර් හා සුමිත්‍රා මැඩම් පවසලා තිබුණේ ඒ රූපගත කිරීම් දාසයේදී ම මා එකම විදියට ම රංගනයේ නියැළුණා කියලා. ඒ අගය කිරීම මට හරියට වටිනවා. එහෙත් එතුමාගේ සමුගැනීම රංගන ශිල්පීන් හැටියට වගේ ම අපේ කලා ලෝකයට ම ලොකු පාඩුවක්. ඒ වෙන්වීම සිතට ගෙනෙන්නේ ශෝකයක්.

ඔබගේ ජීවිතයේදි තවත් වෙනසකටයි මේ දිනවල සූදානම් වන්නේ

මගේ දෙවැනි බබා බලාපොරොත්තුවෙනුයි ඉන්නේ. තවත් මාස දෙකකින් පමණ ඒ චූටි පුතා අපේ කැදැල්ල පැමිණේවි.

මේ වනවිට ඔබේ කැදැල්ලට එක්වන අමුත්තා පුතකු බව හඳුනාගෙනද තිබෙන්නේ?

ඔව්. වෛද්‍යවරයා ඒ ගැන අපට පැවසුවා.

ඊට පෙර සිටම ඔබත් සංජයත් පුතකුටද කැමැත්තෙන් සිටියේ?

දුවෙක් සිටින නිසා පුතෙකුත් පවුලට එකතු වීම හොඳයි කියලයි අප දෙදෙනාම සිතන්නේ

චූටි දූ දඟකාරියක් වගෙයි

සලන්‍යා සයුන්දි මොරගොල්ලට වයස අවුරුදු දෙකයි මාස තුනක්. ඇහෙනවා නේ යුද්ධයක් වගේ. දුව ටිකක් දඟයි. එයා වෙනුවෙනුයි මගේ ජීවිතයේ වැඩි කාලයක් වෙන්වෙලා තිබෙන්නේ. ඒත් එයත් එක්ක ගෙවන කාලය සුන්දරයි. වෙලාව යනවා දැනෙන්නේ නැහැ. මේ හැම කටයුත්තකට ම මගේ ළඟින් ම ඉන්නේ මහත්තයගේ පවුලේ අය. අපේ ගෙදර අයත් ඇවිල්ලා බලලා යනවා.

මේ අය හා සමානව ම ඔබට තිබෙන අනෙක් ශක්තිය සංජයද?

ඔහු මගේ සියලු ම වැඩවලට සහයෝගය දක්වනවා. හරියටම මගේ ජීවිතය අත්නොහැරම යන සෙවණැල්ල බවට පත්වී සිටින්නේ ඔහුයි. ඔහු මට ශක්තියක්. ඔහුවත් ඉතාමත් ආදරයෙන් මතක් කරනවා.