වර්ෂ 2018 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




මා හැදුණු වැඩුණු රූපවාහිනිය කිසිදා හැරදා ගියේ නැහැ

ආරාධනා කොතෙක් ලැබුණත් මා හැදුණු වැඩුණු රූපවාහිනිය කිසිදා හැරදා ගියේ නැහැ

ජය ශ්‍රී විජේරත්න

අද සැලලිහිණිය, තිස් හය වන වියට පා තබා ඇත. එදා ඔහු සැලලිහිණියා හා අත්වැල් බැඳ ගත්තේ 1983 ඔක්තෝබර් 03 වැනිදාය. ඒ පුහුණු වන නිෂ්පාදන සහකාරවරයෙක් ලෙසිනි. එලෙස සැලලිහිණියා හා අත්වැල් බැඳගත් ඔහු විවිධ වූ නිර්මාණ කාර්යෙහි නියැළෙමින් පුරා වසර තිස් පහක් සේවය කොට තම යුග මෙහෙවර අවසන් කරනු ලැබුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වැඩ සටහන් ලෙසිනි. ඔහු නමින් ජය ශ්‍රී විජේරත්නය.

පුහුණුවන නිෂ්පාදන සහකරුවෙක් ලෙස ජාතික රූපවාහිනියට එක්වන ඔබ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වැඩ සටහන් දක්වා දුර ගමනක් පැමිණියා නොවේද?

ජාතික රූපවාහිනිය හා මා එක්වන කොට මේ වගේ දුර ගමනක් එන්න, තනතුරු තානාන්තර ලබන්න මගේ බලාපොරොත්තුවක් තිබුණේ නෑ. ඒත් ඒ හැම දෙයක්ම මාව සොයාගෙන ආවා. ලංකාවේ පළවෙනි වතාවට ටෙලිවිෂන් මාධ්‍යයකට ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් පල කර පුහුණු වන නිෂ්පාදන සහකරුවන් බඳවා ගැනීමේ පළමු කණ්ඩායම නියෝජනය කරමින් තමයි මම රූපවාහිනියට එක් වන්නේ. මේ ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීම හරහා පළමුවරට තෝරා ගන්නා කණ්ඩායමට විසි හතර දෙනෙක් ඇතුළත් වුණා. එහි එක් සාමාජිකයෙක් වීමේ භාග්‍ය මටත් ලැබුණා.

දශක තුනකටත් වැඩි ඔබේ සේවා කාලය තුළ ඔබ පියවර තබන්නේ?

පුහුණුවන නිෂ්පාදන සහකාරවරයෙක් ලෙස රූපවාහිනියේ රාජකාරියට එක්වන මම වසර තුනක පුහුණුවකින් පසු නිෂ්පාදන සහකාර, සහකාර නිෂ්පාදක, නිෂ්පාදකවරයෙක්, ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකවරයෙක්, ඒකක ප්‍රධානි, අලෙවි නිෂ්පාදක, සහකාර අලෙවි නිෂ්පාදක, අංශ ප්‍රධානි වැඩ සටහන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වැඩ සටහන් දක්වා පියවර ගණනාවක් සෙමින් ගමනක් තුළ මම පැමිණෙනවා.

ඔබට ඉතා කෙටි කාලයක් තමයි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වැඩ සටහන් ලෙසින් කටයුතු කරන්න ලැබෙන්නේ?

2017 තමයි මට මේ තනතුර ලැබෙන්නේ. මාස දහයක් වගේ කාලයක් තමයි මම මේ තනතුරේ වැඩ කරන්නේ.

මෙරට ප්‍රමුඛ පෙළේ ජාතික නාළිකාව තුළ කටයුතු කිරීම නිසාවෙන් ඔබ තුළ මොන වගේ හැඟීමක් ද පවතින්නේ?

ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් හරහා සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව රූපවාහිනියට තෝරා ගන්නා පළමු කණ්ඩායමේ සාමාජිකයෙක් වීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. ජාතික රූපවාහිනියේ නම් දැරූ වැඩ කොටසක් සිද්ධ කළ ප්‍රමුඛයෝ බොහොමයක් එදා මාත් සමඟ රූපවාහිනියට එක් වෙච්ච කණ්ඩායමේ සාමාජිකයෝ වුණා. අතුල රන්සිරිලාල්, විමලරත්න අධිකාරි, ඥාණසිංහ අධිකාරි, සුදත් සේනාරත්න, සුදත් දේවප්‍රිය, අජිත් ජයවීර, සුරම්‍යා මාපිටිය, චරිත් ජයසේකර, පාලිත සෙනරත් යාපා, අනිල් ද සිල්වා මේ වගේ පිරිසක් මාත් සමඟ රූපවාහිනියට එක් වුණා. ජාතික රූපවාහිනිය තුළ යම් අනන්‍ය වූ වැඩ කොටසක් හරහා දැවැන්ත ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගන්න මේ හැමෝම සුවිශාල කැප කිරීමක් සිද්ධ කළා. ඒ කැප කිරීමේ කොටස්කරුවෙකු ලෙසින් ජාතික නාළිකාවේ කොටස්කරුවෙකු වෙන්න මට භාග්‍යය ලැබීම ගැන මම අදත් නිහතමානීව සතුටු වෙනවා

මුලින්ම ඔබ රූපවාහිනිය හා අත්වැල් බැඳ ගන්නේ?

නන්දන වින්දන සමඟ. මම නන්දන වින්දන හා සම්බන්ධ වුණේ එහි 12 වැනි වැඩ සටහන සමඟ. අබේවර්ධන බාලසූරිය මහත්තයා තමයි නන්දන වින්දන නිෂ්පාදක හා අධ්‍යක්ෂක ලෙස වැඩ කළේ. සහකාර නිෂ්පාදකවරයකු ලෙස මම නන්දන වින්දන හා එක් වී වසර දෙකකට පසු එහි නිෂ්පාදකවරයා ලෙස කටයුතු කරන්න පටන් ගත්තා. අබේවර්ධන බාලසූරිය මහතා එහි අධ්‍යක්ෂ ලෙස කටයුතු කළා. පසු කලෙක අබේවර්ධන බාලසූරිය මහතා රට හැර යාමත් සමඟ නන්දන වින්දන වැඩ සටහනේ අධ්‍යක්ෂවරයාත්, නිෂ්පාදකවරයාත් වීමේ භාග්‍යය මට උදා වුණා. වැඩ සටහන් 105 ක් දක්වා නන්දන වින්දන හා මම සම්බන්ධ වී වැඩ කළා.

ඔබේ දායකත්වය හරහා ජාතික රූපවාහිනිය තුළ විවිධ වූ වැඩ සටහන් රාශියක් නිර්මාණය වෙනවා?

අඳුන, රංගධාරා, සමාචාර, හිරු දුටු සියපත්, ගමක සුවඳ, නව අවුරුදු දා, රංගධාරා, මින්දද හීසර, පහන් වැට වාගේ නිර්මාණ වෙනුවෙන් මගේ මූලිකත්වය ප්‍රධාන වෙනවා.

රූපවාහිනි ළමා අංශයේද ඔබ නවාංග රැසක් එක් කරමින් නව මුහුණුවරකට යොමු කරනවා?

සංගීත අංශයේ සිට මාරුවක් ලැබ ළමා අංශයට යොමු කිරීමත් සමඟ මම වැඩ සටහන් කීපයක්ම හඳුන්වා දෙනවා. ගුරු ගෙදර, ළමා පුවත්, දහම් සෙවණේ සිඟිත්තෝ, පහන් වැට හරහා නවතම ළමා ගීත නිර්මාණයන්ට මම ඉඩකඩ සලසා දීම තුළ අලුත් නිර්මාණකරුවන් රැසක් ක්ෂේත්‍රයට නව ගීත පබැඳුමෙන්, ගායනයෙන් වගේම වාදනයෙනුත් ඉදිරියට එනවා. මේ වගේ අතීත ආවර්ජනයක් ගැන සිහිපත් වෙනකොටත් ඇත්තෙන්ම හරිම සතුටුයි.

රූප රචනයේ ද වෙනසක් කිරීමට මුල් වෙච්ච පුද්ගලයෙක් ඔබ?

ජිප්සීස් සුනිල් පෙරේරාගේ ඔයේ ඔජායේ ගීතය වෙනුවෙන් රූප රචනයේ පහසුකම් අඩු කාලයේ මම නන්දන වින්දන වැඩ සටහන වෙනුවෙන් දින දෙකක ෂූට් එකකින් ගීතය පටිගත කළා. ගීතයට අලුත් ගැම්මක් වගේම ප්‍රේක්ෂකයන්ටත් අලුත් අත්දැකීමක් එකතු කළා.

ඔබ රූපවාහිනියට සම්බන්ධවීමට පෙරාතුව රංග ශිල්පියෙක්?

කලා ජීවිතයේ පසුබිම තැනෙන්නේ මා පාසල් අවධියේ පටන්මයි. මඩොල් දුව චිත්‍රපටයේ මම පුංචි චරිතයක් පවා රඟපෑවා. පන්තියේ ඉන්න පුංචි දරුවෙක්ගෙ චරිතයක් තමයි මම කරන්නේ. මගේ පියා ඒ. පී. විජේරත්න. චිත්‍රපට කාර්මික ශිල්පියෙක්. මම හිතන්නේ අද ජීවතුන් අතර ඉන්න ජ්‍යෙෂ්ඨතම කාර්මික ශිල්පියා තාත්තා කියලයි. දැන් තාත්තාට වයස අවුරුදු 93 ක්. මම සාමාන්‍ය පෙළ කරන කාලයේ ආචාර්ය සාලමන් ෆොන්සේකා මහතාගෙන් නාට්‍යකරණය ඉගෙන ගන්න ගියා. කළු වත හැදි කත, පිරිමි විසි හයක් සමඟ තරුණියක් ආදී නාට්‍යවල රඟපෑවා වගේම එහි සම නිෂ්පාදක ලෙසත් කටයුතු කළා. රොහාන් වැලිවිට මගේ හොඳ යාළුවෙක් තමයි. අපි දෙන්නා එකට ඉගෙන ගත්තේ. රොහාන් තමයි මට රූපවාහිනියට ඉල්ලුම් කරන්න කියලා මුලින්ම යෝජනා කළෙත්. ඔහු රූපවාහිනියෙන් ඉවත් වෙලා යනකොට මම රූපවාහිනියට සම්බන්ධ වෙනවා.

රූපවාහිනිය තුළ රැකියාව කිරීම පිළිබඳ ඔබ ආපසු හැරිලා බලන කොට මොනවද හිතෙන්නේ?

මගේ තිස් පස් වසරක රාජකාරි ජීවිතය තුළ මම උත්සාහ ගත්තේ රූපවාහිනියේ ගුවන් කාලය පුරවන්න පමණයි. මගේ වාණිජ අරමුණු වෙනුවෙන් මම කවදාවත් රූපවාහිනිය පාවිච්චි කළේ නෑ. වාර්තා වැඩ සටහන්වලට පසුබිම් කථනය, වෙළෙඳ දැන්වීම්වලට හඬ කැවීම ඇතුළු සියලු දේ මම කළේ තෘප්තිය සඳහා මිස මුදල් අය කිරීමේ චේතනාවෙන් නම් නෙවෙයි.

වෙනත් තරගකාරී මාධ්‍ය ආයතනවලින් ඔබට ඇරැයුම් එහෙමත් ලැබෙන්න ඇති?

නොවුණා නම් තමයි පුදුමේ. මට තිබුණු පහසුකම්, පඩිනඩි වලටත් වඩා වැඩි මුදලකට මට වෙන ආයතනවලින් ආරාධනා ලැබුණා. ඒත් මම ආරාධනා ලැබුණට මම හැදුණ වැඩුණ රූපවාහිනිය අමතක කළේ නෑ.

මේ වෙන කොට ඔබ රූපවාහිනිය සමඟ තිබූ බැඳීම අවසන් වෙලානේ?

ඇත්ත. අද මම නිදහස් මිනිහෙක්. වගකීම් නෑ. මට හිතෙන ආයතනයකට එකතු වෙන්න පුළුවන්. වැඩි පඩියට වෙන ආයතන අදත් මට කතා කරනවා. ඒත් මම මුදල් දෙනවා කියලා ගරිල්ලා මාකටින් කෙනෙක් වෙන්න කැමති නෑ. අදටත් මම ඒ ආරාධනා ගැන නිහඬව මුනිවත රකින්නේ තරඟකාරී මාධ්‍ය වටපිටාවක් තුළ මගේ දායකත්වය වෙනත් ආයතනයකට ලැබුණොත් මම හැදුණ වැඩුණ ජාතික නාළිකාවට එයින් අවැඩක් සිදු වෙයි ද කියලයි.

හිතුණෙ නැද්ද අවුරුදු තිස් පහක සේවයෙන් සමු නොගෙන තවත් කාලයක් රූපවාහිනිය හා රැඳෙන්න?

මම හිතන්නේ මේක තමයි යන්න හොඳම කාලේ. ඒ කාලයේ යන එක තමයි හොඳම. පරිණත අවදියේ ඉල්ලුමක් තියෙන කාලයේ යන්න වීම ගැන මට දුකක් නෑ. කවුරු හරි ඉන්න ඕනෙ කාලේ තමයි යන්න වුණේ කියලා කියනවා නම් ඒකත් කළ සේවයට ලැබෙන ගෞරවාන්විත බවක් විදියටයි මට හැඟෙන්නේ.

රූපවාහිනී ජීවිතයේ ඔබේ මතකයන් අතර රැඳුණු පුද්ගලයෝ එහෙමත් ඇති?

අබේවර්ධන බාලසූරිය, ආචාර්ය සාලමන් ෆොන්සේකා, රොහාන් වැලිවිට, අසංග ජයසූරිය, පියදාස රත්නසිංහ විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ.

රූපවාහිනියේ අලෙවි නිෂ්පාදන අංශයේ ඒකක ප්‍රධානියා ලෙසින් කටයුතු කරන කාලයෙත් ඔබේ දායකත්වය තුළ විශාල පරිවර්තනයක් වුණා?

ලොතරැයි දිනුම් ඇදීමේ වැඩ සටහන් හරහා ස්ථිර ආදායම් මාර්ගයක් රූපවාහිනියට ඇති කරන්න මට හැකියාව ලැබුණා. වෙනස් මඟක වෙළෙඳ ආකර්ෂණය ඇති කරන වැඩ සටහන් තුළින් විශේෂයෙන් සිරි ලක පිරි අවුරුදු සිරි වගේ වැඩ සටහන් දක්වා ව්‍යාප්තවීමේ අවකාශය උදාකර ගත්තා. හැබැයි මේ දේවල් හැම දෙයක්ම මම තනියෙන් කළ දේවල් නොවෙයි. සියලු දෙනාගේම සාමුහික ප්‍රයත්නයක් විදියට සාමුහිකව ලැබූ ජයග්‍රහණ තමයි අපිට ලැබුණේ. මේ වගේ සාර්ථක ගමනක් යන්න මා වටා සිටි හැමෝම එකා වගේ මට උදවු කළා.