වර්ෂ 2018 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




පේ‍්‍රම වියෝගය ගැන වෙනස් මාදිලියේ ගීතයක්

පේ‍්‍රම වියෝගය ගැන වෙනස් මාදිලියේ ගීතයක්

වෙනත් තුරුලක් සොයා රහසේම පිට වී ගියත් ගෙවුණු අතීත මතක ඇයට අමතක කළ නොහැකියි. එතෙක් විඳි සෙනෙහසින් පිටමංව වෙනත් ආදරයක් සොයා ගිය කළ පෙර විඳි සෙනෙහස තරම් සෙනෙහසක් ඇයට කෙදිනක කිසිවෙකුගෙන් නොලැබුණ බව ඇයටම ප්‍රත්‍යක්ෂ වෙයි.

මානව සබඳතා අතිශය ගැඹුරුයි. කෙනෙක් මතුපිටින් බලන තරමට එහි ඇතුළාන්තය කෙබඳුදැයි හඳුනාගත නොහැකියි. එවන් මානව බැඳීම් අතර දෙසිතක ඇතිවන ප්‍රේමණීය සංකල්පනාවන්ගේ එකමුතුව තුළ ඇතිවන බැඳීම් ජීවිතේ පවතින තුරු යටපත් කරගත නොහැකි අවස්ථාත් තිබෙනවා. එවන් බැඳුමක හද රිදවාලන මතක සැමරුමක් පිළිබඳ ලියවුණු ගීතයක් ගැනයි අද අපේ කතාබහ.

මේ ගීතය ගායනා කරන්නේ ප්‍රවීණ ගායන ශිල්පිනී සමිතා මුදුන්කොටුව සමඟ අතුල අධිකාරී විසින්. මේ ගීතය පිළිබඳව බොහෝ දෙනෙක් සිය අවධානය යොමු කළේ අතුල - සමිතා සැබෑ ජීවිතේ අඹු සැමියන් ලෙසින් සිට වෙන් වූවාට පසුව ගැයු ගීතයක් නිසාවෙන්. බොහෝ දෙනෙක් අදහස් කළේ මේ අත්දැකීම සැබවින්ම ඔවුන් දෙදෙනාගේ ජීවන අත්දැකීමක් විය යුතු බවයි. නිර්මාණයක් බිහි වන්නට බොහෝ අවස්ථාවන්වල එවන් ජීවන අත්දැකීම් පසුබිම් වන අවස්ථා අප ඕනෑ තරම් අසා තිබේ. එහෙත් මෙය ඔවුන්ගේ ජීවන අත්දැකීමක් වූවා හෝ නොවූවා මේ දෙදෙනාගේ සුසංයෝගයෙන් අතිශය රමණීය ගීයක ආශ්වාදය අපේ ශ්‍රාවක ජනතාවට ලබා දෙන්නට ඔවුන්ට හැකියාව ලැබුණා.

සමිතා - ඉවසයිද මන්දා මා දුන් රිදුම්
වෙන්වීලා ආ දා වෙනතක් බලන්
උන්නාට මා රහසේ තුරුලක හෙමින්
මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්

අතුල - තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්
තව කඳුළු නෑ මේ දෙනෙතේ ඉතින්
ගියදාම ඔබ ඔහු හා ඉඟිල්ලී හොරෙන්
මට මාද නැති වුණා සත්තයි හෙමින්

සමිතා - ගොළු වෙච්ච තරු දෑසේ කඳුළැලි උනන්නේ
දරාගන්න බෑනේ මතකේ විලාපේ
ආදරේ ඔබෙන් තරම් ලැබුණෙ නෑ කාගෙන්වත්
රැක ගන්න බැරි වුණේ සංසාර ආදරේ

අතුල - ගියදාම ඔබ ඔහු හා ඉඟිල්ලී හොරෙන්
මට මාද නැති වුණා සත්තයි හෙමින්
මේ පාළු දුක් රෑ සිහිනේ අතරමං වෙලා බොහෝ සේ
අයෙ ගන්න බෑ ඒ සෙනෙහස ඔබේ

සමිතා - ජීවිතය වැටුණු තරම් නැඟිට ගන්න බෑ ආයේ
මැරි මැරී උපදී මේ සංසාර ආදරේ
උන්නාට මා රහසේ තුරුලක හෙමින්
මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්

තමන්ගේ හෘද සාක්ෂිය තරම් ප්‍රබලව සිත කම්පා කළ හැකි දෙයක් තවත් මේ ලෝකේ තිබිය නොහැකියි. මේ ගීතයේ සඳහන් පෙම්වතිය හෝ බිරිය ද සිය දහස්වර හද කම්පාවට පත්කර ගන්නේ තමන්ගේම හෘද සාක්ෂියෙන්. වෙනත් තුරුලකට රහසේ තුරුලු වුණත් අතීත මතකෙට හොරෙන් ජීවත් විය නොහැකි බව ඇය පවසන්නේ ඒ නිසාය.

මේ ප්‍රේම වියෝගය තනිව දරා ගන්නේ පිරිමි පාර්ශවයයි. කඳුළින් සුසුමින් වේදනාව පිට කළා සේම ඇගේ නික්ම යාමෙන් ඔහුට අහිමි වී ඇත්තේ ඇය පමණක් නොවේ. ඔහුට ඔහු ද අහිමි වී ඇති බව පවසයි.

වෙනත් තුරුලක් සොයා රහසේම පිට වී ගියත් ගෙවුණු අතීත මතක ඇයට අමතක කළ නොහැකියි. එතෙක් විඳි සෙනෙහසින් පිටමංව වෙනත් ආදරයක් සොයා ගිය කළ පෙර විඳි සෙනෙහස තරම් සෙනෙහසක් ඇයට කෙදිනක කිසිවෙකුගෙන් නොලැබුණ බව ඇයටම ප්‍රත්‍යක්ෂ වෙයි. ඇය සංසාරේ පුරා ප්‍රාර්ථනා කළ ඒ ආදරේ රැක ගන්න නොහැකි වීම පිළිබඳ වන දැඩි පශ්චාත්තාපය මේ ගීතය පුරාම රැඳෙනවා. මතකෙට හොරෙන් ජීවත් වෙන්න උත්සාහ කළාට ගෙවුණු මතකය අතර මැරි මැරී උපදින්නයි ඇයට සිද්ධ වෙන්නේ.

ගීත ශ්‍රාවකයන් අතර අතිශයින්ම ජනප්‍රිය වූ මේ ගීතය රචනා කර ඇත්තේ පසුගිය කාලයේ ගීත රචනා කලාවට ජනප්‍රිය ගීත රැසක් තිළිණ කළ ගීත රචක ඩිලාන් ගමගේ විසින්. ඩිලාන් මේ ගීතයට වස්තු විෂය කරගත් ප්‍රේම වියෝගය ශ්‍රාවක සිත් සතන් රිදවන ආකාරයේ හැඟීම් ජනිත කරවීමට භාවිතා කර ඇත්තේ ඉතාමත් සරල වදන්. ආදරය, ප්‍රේමය, විරහව සමඟ කඳුළු, රාත්‍රීන්, සිහින ඉතාමත්ම සුලබව අලෙවි වන වදන්. එහෙත් මේ වදන් ඔහු භාවිත කර ඇති ආකාරයන්, ඉන් ජනිත වන සංවේදී හැඟීම් ශ්‍රාවක හදවත් රිදුම් දෙන අයුරින් ගැයූ සමිතාගේ හා අතුලගේ ගායන ශෛලියත් මේ ගීතයේ ජනප්‍රියත්වයට සුවිශේෂ රැකුලක් වී ඇත. විශේෂයෙන්ම උදාර සමරවීරගේ සංවේදී සත්සර මුසුව මේ විප්‍රයෝගය දැඩිව දනවන්නට සමත් වූවක්.

ඩිලාන් මෙරට ගීත ක්ෂේත්‍රයට එක් කළ ජනප්‍රිය තලයේ ඉළින්ම රැඳෙන ගීත රැසක් පවතී. ඒ බොහෝ ගීිතයන්ට ඔහු පසුබිම් කරගෙන ඇත්තේ ප්‍රේමය විරහව වැනි කාරණාවන්. නිරෝෂා විරාජිනි ගයන 'දුක් වේදනා', තීක්ෂණ අනුරාධ ගයන 'ඔබ තරම්', ෂිහාන් මිහිරංග ගයන 'මේ ඇස් දෙක දිහා බලන්', නොයෙල් රාජ් ගයන 'ළං වෙලා' , චාමික සිරිමාන්න ගයන 'වෙන් වි දැන්' මෙන්ම ශෂිකා නිසංසලා ගයන 'දුර යන්න හිතුවාට', සුරේන්ද්‍ර පෙරේරාගේ 'හීනයක් වගේ' වැනි ජනප්‍රිය ගීත ඩිලාන්ගේ පද රචනාය. ඔහු වෘත්තියෙන් ගීත රචකයෙක් සේම ඔහුගේම රින්ගින් ටෝන් කම්පැනියක හිමිකරුවෙකි.