වර්ෂ 2018 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




සල්ලි දීලා මකුණෝ කන්න කවුද කැමති

සල්ලි දීලා මකුණෝ කන්න කවුද කැමති

යම රජ සිරි වෙනුවෙන් ප්‍රියන්ත ජයසිංහ අසයි

යම රජ සිරි අරන් ගමට යනවා

ලාංකික සිනමා කර්මාන්තය ගැන බොහෝ දෙනෙකු දරන්නේ සෘනාත්මක මතයකි. එසේම සිනමාව අතැරයන්නන්ගේ ද අඩුවක් නැත. ඔවුන් පවසන්නේ මෙය පාඩු විඳින කර්මාන්තයක් බවය. කොහොම කෙසේ වුවත් මෙවන් වූ යුගයක එක්තරා ආයතනයක් චිත්‍රපට නිෂ්පාදනයට පැමිණ සිටියි. ඒ රයිනෝය. සජීව සංකල්පගේ යම රජ සිරි සිනමාපටය හරහා එලෙස ඔවුන් මෙවර සිනමාවට එක් වෙති. ඒ ගැන කතා කිරීමට එම ආයතනයේ සමූහ වෙළෙඳ කළමනාකරු ප්‍රියන්ත ජයසිංහ එක් විය. ඔහුගේ අදහස් එකතුවකින් මෙම ලිපිය සැකසෙයි.

* ඔබ ආයතනයට සිනමාව කියන්නේ සම්පූර්ණයෙන්ම ආගන්තුක මාධ්‍යයක්. ඇයි ඔබලා එලෙස කිසිදාක පය නොතැබූ ක්ෂේත්‍රයකට ආවේ?

අපේ ආයතනය එනම් රයිනෝ අවුරුදු පනස් පහක් තිස්සේ ව්‍යාපාර කරනවා. ඒත් සිනමාව හැර අනෙක් සමාජ සේවා කටයුතුවලට දායක වූ සමාගමක්. අප නම් දරා සිටියේ ගොඩනැගිලි ක්ෂේත්‍රයේ. යම් යම් විශේෂ අවස්ථාවලදී ඒ කියන්නේ රටේ අපදා සිදු වූ මොහොතවල්වලදී, සුනාමි ගංවතුර ආදිය ගැනයි මං මේ කියන්නේ.

අප ඒ වෙලාවන්හි අප ලැබූ ලාභයෙන් කොටසක් වෙන් කළා ඊට ගොදුරු වෙච්ච ජනතාවට. ඒත් සිනමාවට එන්න අප හිතලාවත් තිබුණේ නැහැ. ඒ වුණාට සිනමාව ගැන ඇල්මක් තිබුණා. ඒ මොහොතේදීයි යම රජ සිරි අධ්‍යක්ෂ සජීව සංකල්ප අපව ඇවිත් හමු වී සිනමාවට එන්න ඇරැයුම් කරන්නේ.

* සිනමාවට එන්න යම රජ සිරි විශේෂ වුණේ කොහොමද?

මෙහෙමයි, යම රජ සිරි හාස්‍යජනක චිත්‍රපටයක්. ඒ වගේම ඉතා දිගු කලකට පසු බන්දු, ටෙනී මෙහි එකට රඟපානවා. පෞද්ගලිකවත් මා ඒ සිනමාපටයට ප්‍රියයි. සාමාන්‍යයෙන් මිනිස්සු චිත්‍රපටයක් බලන්න එන්නේ වෙනම මානසිකත්වයකින්. එහෙම ඇවිත් විනෝද වෙලා තමන්ගේ ප්‍රශ්න මඳකට අමතක කරලා දාන්න ඔවුන් ආස කරනවා. යම රජ සිරි නරඹලා විඩා බර මනසට සහනයක් වේවි කියලා අප උපකල්පනය කළා. ඒ මතයෙනුයි අප මේකට අත ගැහැව්වේ.

* යම රජ සිරි ප්‍රචාරණයට ඔබ සැලසුම් කළේ කොහොමද?

ඇත්තනේම කිව්වොත් මේ කළේ එක්තරා අතකින් අප කළ අත්හදා බැලීමක්. මූල්‍යමය වශයෙන් දායකත්වය සපයමින් අප ආයතනයටත් දෙයක් වෙමින් සිනමාවටත් දෙයක් කරන්නයි මේ උත්සාහ කළේ.

එතෙන්දි අප සාම්ප්‍රදායික ක්‍රම අනුගමනය කළේ නැහැ. පුළුල් ප්‍රචාරණයක් ගෙනිච්චා. ඒ අතරින් තෝරා ගත් දස දෙනෙකුට සිංගප්පූරු චාරිකාවක් අප සංවිධාන කළා. චිත්‍රපටයේ නළු නිළියන්ව දාලා වෙළෙඳ දැන්වීමක් පවා කළා.

* ලාංකේය සිනමාව යම් අර්බුදයක තිබෙන බව රහසක් නොවෙයි. ඔබ ආයතනය ඒ ගැන දැනුවත්ව ඇති?

ඔව්. ඒ ගැන දන්නවා. සිනමාව දැඩි ප්‍රශ්නයක මේ වෙලාවේ ඉන්නේ. මේ ගැන මං මගේ පුද්ගලික මතය කියන්නම්. අපේ බොහෝ නිර්මාණකරුවන් තමන් නිර්මාණය කරන මාධ්‍ය හරි හැටි තේරුම් අරගෙන නැහැ.

රූපවාහිනිය සහ සිනමාව කියන්නේ මාධ්‍යයන් දෙකක්. සිනමා ශාලාවක් තුළ අඳුරු පරිසරයක සිට අප චිත්‍රපට බලනවා. ගෙදරදි එහෙම නෙවෙයි. යන එන ගමන් වුණත් ටී. වී. එක බලත හැකියි. මේ මාධ්‍යයන්ගේ වෙනස හඳුනාගෙන බහුතරයක් ප්‍රේ්ක්ෂකයින්ට අවශ්‍ය සිනමාපට නිර්මාණය කළා නම් මේ අර්බුදය නිමා වේවි.

* රයිනෝ ආයතනය සිනමාවට ඇවිත් බලාපොරොත්තු වුණ ඉලක්කය සපුරා ගත්තද?

මේ තමයි අපේ ටෙස්ට් කිරිල්ල. තවම ඒක ඉවර නැහැ. මේ ප්‍රොජෙක්ට් එක හරියටම ඉවර වුණාම කියන්න පුළුවන් වේවි ඒ ගැන.

තවම අප මේ ක්ෂේත්‍රයට ආගන්තුකයි. එක අතකින් කිසිසේත්ම නොසිතූ අන්දමින් ප්‍රචාරණයක් අප ආයතනයට ලැබුණා. ඒ ගැන සතුටුයි.

* සිනමා ශාලා අලුත්වැඩියා කිරීමේ වැඩ පිළිවෙළක් සකස් කරන්න අදහසක් නැතිද?

අප තවම ඒ ගැන හිතලා නැහැ. හැබැයි මෙහෙම දෙයක් කියන්නට පුළුවන්. ලංකාවේ හුඟක් සිනමා ශාලා අලුත්වැඩියා විය යුතුයි. ඇතැම් ඒවායේ චිත්‍රපටයක් තිරගතවීමට පවා සුදුසු නැහැ. මිනිස්සු මේවට එන්නේ සල්ලි ගෙවලා.

තමන් වැය කරන මුදලට සරිලන සේවාවක් ලැබෙන්නේ නැතිනම් මිනිසුන් කලකිරෙනවා. සල්ලි දීලා ටිකට් එකක් අරගෙන ඇවිත් වාඩිවෙලා මකුණේ ප්‍රහාර විඳිමින් චිත්‍රපටයක් බලන්න කවුද කැමැති. මේ තත්ත්වයත් වහාම වෙනස් විය යුතුයි.

* මොනවද සිනමාව පැත්තෙන් ඇති ඉදිරි සැලසුම්?

කිහිපයක්ම තියෙනවා. පළමුව යම රජ සිරි තවත් මිනිසුන්ට සමිප කරවන්න ඕනෑ. ඒකට විශේෂ වැඩ පිළිවෙලක් අපි සකසනවා. එමඟින් වන්නේ ඉතා අඩු මුදලට ටිකට් එකක් නිකුත් කිරීම. අර ඉස්සර ගැලරිය තිබුණා වගේ. එහෙම ටිකක් එකකුත් රැගෙන යම රජ සිරි අරගෙන අපි ගමට යන්න හිතාගෙන ඉන්නවා. ගමක කොතැන හෝ ශාලාවකට මිනිසුන් එකතු කරගෙන චිත්‍රපටය පෙන්වනවා. ඒක තමයි ඊළඟ සැලසුම.

බොහෝ සිනමා ශාලා පිහිටලා තියෙන්නේ නගරේ. ගමේ උදවියට ලොකු මුදලක් යනවා නගරයට ඇවිත් චිත්‍රපටයක් බලන්න. මෙමඟින් අප ඔවුන් සිටින තැනට යන නිසා බොහොම අඩු මුදලින් චිත්‍රපටයක් නැරැඹීමේ පහසුව ලැබෙනවා.