වර්ෂ 2018 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




ඓශ්වර්යා ඇද වැටේ

ඓශ්වර්යා ඇද වැටේ

ප්‍රහාරයට විරෝධතා කාන් සිනමා උලෙළේ තොරතුරු

මැයි 08 වැනිදා ප්‍රංශයේ කාන්හිදි ආරම්භ වූ 71 වැනි කාන් සිනමා උලෙළ පසුගිය 19 වැනිදා අති උත්කර්ශවත් අයුරින් නිමාවට පත් වූයේ පැල්මා ඩී’ඕර් සම්මානය හිරොකසු කොරේ-ඊදා අධ්‍යක්ෂණය කළ Shoplifters චිත්‍රපටයට හිමිකර දෙමින්.

මෙවර සම්මාන උලෙළේද කාගේත් අවධානය යොමුවන රතු පලස මත කතාබහට ලක් වූ සිදුවීම් කිහිපයක්ම සිදු වුණා. එහිදී කළු සහ මිශ්‍ර සමින් යුතු රංගන ශිල්පිනියන් පිරිසක් ප්‍රංශ සිනමා කර්මාන්තය තුළ තිබෙන ජාතිවාදී බෙදීම් සම්බන්ධයෙන් සිය විරෝධය ප්‍රකාශ කර සිටියා. ජනප්‍රිය ප්‍රංශ ජාතික රංගන ශිල්පිනියක වන අසිසා මෙයිගා මෙම කණ්ඩායමට නායකත්වය දුන් අතර ඒ වෙනුවන් ඔවුන් රචනා කළ Being black is not my job කෘතියද එළිදැක්වුණා. තවත් තරු පිරිසක් සහ අධ්‍යක්ෂවරුන් ගාසා තීරයේ කළ පහරදීම් වලට එරෙහිව සිය විරෝධය පළකර සිටියා. ලෙබනන ජාතික නිළි මනල් ඉසා ගාසා තීරයේදී පලස්තීනුවන් 60 දෙනෙකු ඝාතනය කිරීමට එරෙහිව සිය විරෝධය පළ කළේ "ගාසා තීරයේ ප්‍රහාර නවතනු" ලෙස සඳහන් කළ පුවරුවක්ද අතැතිවයි.

සම්මාන උලෙළෙක රතු පලස යනු ගෞරවනීය ස්ථානයක් බව පොදු පිළිගැනීමයි. කාන් සිනමා උලෙළේද රතු පලසේ පිලිවෙත් අතර නළු නිළියන් තම ආදරණිය රසික රසිකාවන් වෙනුවෙන් ගෞරව දක්වන ස්ථානයක් ලෙස පිළිගැනුණද එම පලසමත හොලිවුඩ් නිළි ක්‍රිස්ටීන් ස්ටුවර්ට් සිය පාවහන් යුවල ගලවා අතේ රැගෙන යාම බොහෝ දෙනෙකුගේ උදහසට ලක් වූ සිදුවීමක් බවට පත් වුණා. විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ විචාරකයන් ඇතුළුව සිනමාවට සම්බන්ධ බොහෝ දෙනෙකු ක්‍රිස්ටීන්ගේ මෙම ක්‍රියාව පිළිකුලට ලක් කළ බවයි. මීට පෙර වසරක පැවති කාන් සිනමා උලෙළෙකදී ද මෙලෙසම අඩි උස පාවහන් නිසා දැනුණු වේදනාව දරා ගත නොහැකිව ඇය මෙසේ පාවහන් ගලවා අතේ රැගෙන ගිය අතර එය රතු පලස මත සිදු නොවූ නිසා කිසිවෙකුගේ චෝදනාවට ලක් වූයේ නැහැ.

මෙවර කාන් සිනමා උලෙළේ බොලිවුඩ් සුරූපිනිය ඓශ්වර්යා රායි බච්චන් කෙරෙහි ද කාගේත් නෙත් යොමු වී තිබුණා. මෙවර ඇයගේ ඇඳුම් මෝස්තර අතරේ සමනලයෙකුගේ මෝස්තරයකින් යුතු වූ ඇඳුම කැපී පෙනුණා. ඇයගේ දියණිය ආරාධ්‍යාද මෙම උලෙළෙට එක්වී සිටියා. බොලිවුඩයේ අලුත් මනාලිය සෝනම් කපූර්ද මෙවර කාන් උලෙළට සහභාගි වූයේ සාම්ප්‍රදායික ලෙහෙන්ගා ඇඳුමකින් සැරසීගෙනයි. දීපිකා පදුකෝන්, කන්ගනා රනවුත් සේම කුලුඳුලේ කාන් උලෙළට සහභාගී වූ පකිස්තාන නිළි මහිරා ඛාන්ද මෙවර කාන් උලෙළේ කැපී පෙනුණා. මෙවර කාන් සිනමා උලෙළේ ජූරියේ සභාපති කේට් බ්ලාන්ෂේ ද රතු පලසේ මෝස්තර අතර කැපී පෙනුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.