වර්ෂ 2018 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




FEEDBACK

අන්තිම තත්පරය තෙක් සිනමාවට පණ දුන්...

සිනමාව කෙරේ අන්තිම තත්පරය දක්වා පුරෝගාමීව කටයුතු කළ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමා සිනමාවේ රන් අකුරින් ලියවෙනු ඇත. මුල්ම අධ්‍යක්ෂණය කළ 'රේඛාව' තුළින් පන්නරය ලැබ චිත්‍රපට රාශියකට අත ගසා විශිෂ්ට ගණයේ නළු නිළි රැසක් සිනමාවට හඳුන්වා දී ඇත. මේ මහා සිනමාවේදියා ඇදහිය යුතුය. උදේ හවා සිහිපත් කළ යුතුය. විහාරස්ථාන, දේවාල පල්ලිවලට ගොස් පින් අනුමෝදන් කළ යුතුය. ඔබ නිවනින් සැනසෙන්නට ඔය පිනම ඇති තරම්ය.

දයානන්ද ද සිල්වා
හික්කඩුව

සිනමාවේ මහ ඇදුරු

නිධානය රේඛාව

සිනමාවේ ගම්පෙරළියට

පෙර දැක්ම කියා දුන්

නියමුවෙක් ලෙස අපට . . .

රන්සළු පළදමින්

යුගාන්තය හැඩ කරන්

අහසින් පොළවකට

සිනමා දසුන් පෙලට . . .

විශ්වයේ දැනුම් පොතට

මතකයේ සැමරුම් ලියා

දැන උගත්කම බවින්

බුද්ධියෙන් පන්හිඳ දරා . . .

නවක නළු නිළි කැලට

කියා දුන් ගත යුතු දැනුම

සිනමාවේ ලෙස්ටර් ගරුනාමේ

සිහි කරමු එක්ව මතුවටත් ඒ නාමේ . . .

පී. ධම්මික දුමේන්ද්‍ර
පාමංකඩ

සිංහල සිනමාවේ

හැරවුම් ලක්ෂය

දේශීය සිනමා කර්මාන්තයක් උදෙසා සිංහල සිනමාවේ හැරවුම් ලක්ෂයක වන රේඛාව සිනමාපටය නිෂ්පාදනය කරමින් සිංහල සිනමාවට විශාල සේවාවක් කළ අග්‍රගණ්‍ය සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා පසුගියදා ජීවිත රඟමඬලෙන් සමු ගත්තේය. චිත්‍රාගාර තුළ රූගත කළ සිනමාපටවලට අභියෝගයක් කරමින් එළිමහනේ රූගත කළ පළමු සිනමාපටය වූයේ රේඛාව සිනමාපටයයි. රේඛාව සිනමාපටයට යොදගෙන ඇත්තේ දේශීය සංගීතය සහ පද මාලායි. සිංහල සිනමාපට සඳහා අඩිතාලම දැමු එතුමා සදානුස්මරණීයයි.

දිනේෂ් ගුණසේකර
නූපේ, මාතර

මෝක්ෂ සුව

අත්වේවා

හෙළයේ මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමා දැයෙන් සමු ගැනීම මුලු සිනමා ක්ෂේත්‍රයට දැරිය නොහැකි අති විශාල පාඩුවකි. එතුමාට නිත්‍ය මෝක්ෂ සුව අත්වේවායි රසික අප ප්‍රාර්ථනා කරමු

එච්. ඉන්ද්‍රපාල
මුංහේන

යෝධ වෘක්ෂය

කඩා වැටුණා

'ලෙස්ටර්' නැමැති යෝධ වෘක්ෂය කඩා වැටී බිම පතිත වූවා වැනිය. හෙතෙම චිත්‍රපට නිර්මාණකරණයෙහි යෙදිය යුතු වූයේ හොලිවුඩ් පුරවරයේය. එතුමන්ගේ සම්භවය එක් කරුණකි. අනෙක් කරුණ වූයේ ඔහු කෙරෙන් විද්‍යාමාන වූ, ශරීරගතව තිබූ දැනුම් සම්භාරය මෙරටට පමණක් කොටු වී සීමා වී තිබූ රාමුව තුළ ඔහුට දස්කම්පෑමට අවම වූ හෙයිනි. සිනමාව හා බැඳි සෙසු මිත්‍ර රටවල් හා සසඳන කළ වයස අවුරුදු අසූ හතෙහිදිත් යොවුන් විලාශයෙන් යුතුව චිත්‍රපට නිර්මාණය කළයුරු සත්‍ය වශයෙන්ම විෂ්මිතය. ආදර්ශමත්ය. එහි රහස කැපවීම, අවශ්‍යතාවය හා ඊට ඇති වූ උනන්දුවයි.

අඩු පිරිවැයක් යොදවා ඇස් බැන්දුම් වැනි දෑ තුළින් කිසිදු හරයක් නොමැති බොළඳ ඝණයේ චිත්‍රපට නිමාවක් ඔහු සතුව නොතිබූයේ අර්ථවත්, සුන්දර සිද්ධාන්ත සමුච්චයක් රසික ජනතාව වෙත තිළිණ කොට මිය ගිය ද කම් නැත යන තේමා පාඨය සිත්හි ධාරණයව තිබූ නිසාවෙන් විය යුතුය.

තම සිනමා කෘතීන් හට ජනප්‍රිය නාමයන්, උචිත නළු නිළියන්, සිත්ගත් ගීත, ප්‍රතිභාපූර්ණ කාර්මික ශිල්පීන්, ප්‍රවීණ සංගීත සයෝජනය සලකුණු කරගත් හෙයින් ස්වකීය ඉලක්කය වෙත ගොස් ව්‍යායාමය සපුරා ගත හැකි වූයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාවේදියාණන්ගේ විශිෂ්ට වූ සිනමා රීතියක සාර්ථක ප්‍රවේශයක් වූ හෙයිනි. ඔහු දැයෙන් සමුගත්ත ද මුදා හළ නිර්මාණයන් සදාදරණීයයි.

සරත් ලියනගේ
රන්මුතුගල

හෙළ සිනමාවේ

අසහාය මිනිසා

මළ හිරු බසිනා සැන්දෑ යාමේ

ඔබගෙන් සමු ගන්නම්

අඳුරට ඉඩ දී අඳුරේ සැතපී

ඔබගෙන් සමුගෙන

මා යන්නම්

හෙළ සිනමාවේ අසහාය මිනිසා, දේශිය සිනමාවේ 'රේඛාව' ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන්ට අපගේ සාතිශය සංවේගය.

බී. ජී. සුමනරත්න
තෙල්දෙණිය

සිනමාවට පාඩම කියා දුන්

රිදි රේඛාව

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මාඔය, අලව්ව,වෑවල ගම් පියස් තුළට කැමරාව ගෙන ගොස් රේඛාව සිනමාපටය තුළින් මහා විප්ලවකාරී සිනමාවේදියෙක් බවට පත් වී අනිකුත් සිනමා කලාකරුවන්ට පාඩමක් කියා දුන්නා සේම රිදී රේඛාවක් බවට පත් වී, රන්සළු වන් සිනමාපට තුළින් ගරු කිරීම, කතාව, හැඟීම්, තෘප්තිමත් බව, විනීත, සංවර බව, සරල බව සේම අනිත්‍යය කියා දුන් ඔබතුමා සදා අනුස්මරණීයයි. මොක් සුව ප්‍රාර්ථනා කරමි.

ඉඹුල්ගොඩ එච්. ඒ. අබේසිංහ
ශ්‍රියානි ජයසිංහ
අලව්ව

සී. ටී.

හඬ නෑසේ

සී. ටී. ප්‍රනාන්දුගේ රසික රසිකාවන් ප්‍රියන්ත නිසා ගී ලොව අඩුවක් නොතිබුණි. එහෙත් ප්‍රියන්තගේ සමු ගැන්මෙන් සී.ටී. හඬ නෑසේවි.

ගායකයාණෙනි, මතුවට මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවායි ප්‍රාර්ථනා කරමි.

ඉඹුල්ගොඩ
එච්. ඒ. අබේසිංහ

ප්‍රියන්ත ප්‍රනාන්දුට

මොක් සුව පතමු

ගායන ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු ලෙස හඳුනාගත් සී. ටී. ප්‍රනාන්දුගේ පුත් වූ සිය පියාණන්ගේ අඩි පාරේ ගොස් ගැඹුරු හඬ ශෛලියකින් ගීත ගායනා කරමින් සිත් දිනාගත් ජනප්‍රිය ගායක ප්‍රියන්ත ප්‍රනාන්දු නම් වූ ශිල්පියාණන් හට අප සැම දෙනා එක් සිතින් මොක් සුව පතමු

හැඳල
පාලක සමන් පෙරේරා

ශෝකයට

පත්වීමී?

70 දශකයේ අග භාගයේ තම පියා වූ සී. ටි. ප්‍රනාන්දු ජනප්‍රිය ගායකයා මිය ගිය පසු එම ගීතවලට හානියක් නොකර අනන්‍යතාව ආරක්ෂා කරමින් ඉදිරි පරපුර සඳහා එම වටිනා ගීත සුරක්ෂිතව ගායනා කළ පුතු වූ ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මීට දින කිහිපයකට කලින් මිය ගිය බව අසා ශෝකයට පත් වීමි. තමාගේ ගීත සහ පියාගේ සුභාවිත මියුරු ගීත මෙරට පමණක් නොව පිටරට සංගීත ප්‍රසංග හරහා ගායනා කරමින් නුතන පරපුරට ශ්‍රවණය කිරිමට සැලැස්විම ඉතා වටිනා කටයුත්තකි.

දිනේෂ් ගුණසේකර
නූපේ, මාතර

ගීත ලොවේ මිහිර

මැවූ ඔබට

අසුව දශකය එළැඹීමට දෙවසක් තිබියදී ප්‍රියන්ත ප්‍රනාන්දු නමැති තරුණ ගායන ශිල්පියෙකු ස්වකීය ආවේණික වූ කටහඬ ස්වතන්ත්‍ර නිර්මාණය සමඟින් ගී ලොවට ප්‍රවිෂ්ඨව ඉන්ද්‍රාණි පෙරේරා ප්‍රවීණ ගායන ශිල්පිණිය සහාය කොට ගෙන ගයන ලද 'නිරංජලා' නම් නැවුම් ගීතය එකල ගුවන් විදුලි සේවා තුළින් ප්‍රචාරය විය.

තම සදාදර පියාණන්ගේ ගී රස නිර්මාණ විලාශයට නව ජීවයක් සපයමින් එම ගීත යළිත් එලෙස රිද්මයට රසික දෙසවන් පිනවමින් ප්‍රසංග වේදිකාවේදී ගී ගැයූ අයුරු පිය පුතු සංගීත සංයෝගය අස්වැසිල්ලක්ම විය. එහෙත් දිවි රඟමඬලෙන් සදාතනිකව සමුගත්ත ද ප්‍රියන්ත, නොනැසී යුගයක් යා කරමින් ගී රස බෙදා හදා දුන් ඔබ රසික හදවත්හි නොමැකී පවතිනු ඇති.

රන්මුතුගල
සරත් ලියනගේ

වියෝව කෙසේ

දරා ගනිමුද?

'හෙළ ජාතික අභිමානේ', 'සඳවට රන්තරු', 'රෑ පැල් රැකලා', ' සීගිරි සුකුමාලියේ', 'මීවදයකි ජීවිතේ', 'ආනේ ඩිංගක් ඉන්නකෝ', 'මගෙ සුදු මාමේ' වැනි ගීත ඇසෙන විට නිරතුරුවම අපට සිහි වන්නේ මීට දශක කීපයකට පෙර එම ගීත ගයා අපෙන් සමුගත් ජනකාන්ත ගායක සී. ටී. ප්‍රනාන්දුය. ඔහු සමුගත්ත ද ඒ අඩුව අපට නොදැනුණේ ඔහුගේ පුත් ප්‍රියන්ත ප්‍රනාන්දු නිසාය. මන්ද ප්‍රියන්තට තම පියාගේ ගීත එම හඬින්ම ගායනා කිරීමට සහජ දක්ෂතාවක් තිබූ නිසාය. එහෙයින් එම වටිනා ගීත සමහර නපුංසක ගායකයන් කියාගන්නා සොරුන්ට සොරා ගත නොහැකි විය. එය අප ලැබූ භාග්‍යයකි. එහෙත් කරුමයක මහත සී. ටි. මෙන්ම ඔහුගේ පුතු ප්‍රියන්ත ප්‍රනාන්දු ද පසුගිය දිනක අත හැර ගියහ. ඔහුගේම ගීත වන ' වෙරළේ මුහුදු වැල්ලේ' 'නිරංජලා කාටදෝ ආදරේලු දැන්' යන ගීත ද ඉතා ජනප්‍රියය.දෙස් විදෙස් ප්‍රසංග වේදිකාවට ද නැතිවම බැරි ගායකයකු වූ ප්‍රියන්ත ප්‍රනාන්දුගේ වියෝව දරා ගත නොහැක.

ජගත් චන්ද්‍රසිරි
පූජා ජගත්සිරි
පස්යාල

ප්‍රියන්ත

නැති අඩුව

සී. ටී. ප්‍රනාන්දුගේ හඬ අපට යම් ලෙසකට හෝ නොදැනුණේ ප්‍රියන්ත ප්‍රනාන්දු ඒ අඩුව පිර වූ නිසයි. සංගීත ලොවේ යළිත් හිස් බවක් දැනුණ ද ඒ අඩුව නැවත පිරවිය නොහැකි වන සේය.

සවිදු දේවින්ද
ආඬිඅම්බලම

ගීත රස විඳි අපට

ජනප්‍රිය ගායක පි‍්‍රයන්ත ප්‍රනාන්දුගේ හදිසි අභාවය ඔබගේ ගීත මෙතෙක් කල් රස වින්ද අපට ලොකු පාඩුවකි.

යූ. ජී. පාලිත කුමාරසිංහ
ගඩලාදෙණිය

ප්‍රියන්ත නාමය

සදා රැව් දේවි

සී. ටී. කියූ පමණින් ඔහුගෙන් හෙළ සංගීතයට ඉටු වූ අමිල සේවය, අගය අමතක කළ නොහැකිය. ඔහු අපගෙන් සමුගෙන දශක ගණනාවක් ගිය ද ඒ හඬ ඒ මිහිරි ගී රාවය තවත් දශක කීපයක් මෙරට රසික ජනයාට හද පත්ලෙන්ම පුද කළේ ප්‍රියන්ත ප්‍රනාන්දු නම් ඔබය. ඔබේ නාමය ඔබේ හඬ රසික ලොව කෙතරම් ජනප්‍රිය ද එයට කෙතරම් ඉල්ලුමක් තිබේද යත් ඔප්පු වන්නේ ඔබ වසරෙන් වැඩි කාලයක් ගෙව්වේ පිටරට සංගීත ප්‍රසංගවල නිසාමය. අපේ අවාසනාවට ඒ වාසනාව අද අපට අහිමි විය. ජීවයෙන් සමුගත්ත ද ප්‍ර‍්‍රියන්ත ප්‍රනාන්දු නම් ඔබ නාමය සදා අප අතර රැල්ලේ මුහුදු වැල්ල මෙන්මය.

ලක්ෂ්මන් රණසිංහ
හේකිත්ත, වත්තල

ගී ලොවින්

සමුගත් ප්‍රියන්ත

පියා නැති අඩුව පිරවූයේ ඔබයි මෙදා

එම කටහඬම බව අප හට සිහිවෙනුයෙ එදා

ගී ලොව රජුන් ලෙස ගැයු ගී සැමදා

අමතක නොවන ලෙස මතකයෙ රැඳෙයි සදා

ගමේ වෙලේ පැල සිට වූ ඒ සුන්දර දිනය

සීගිරි සුකොමාලියට ගැයූ ගී හරි හැඩය

ගායක ලොවින් සමුගත්තේ නොසිතු ලෙසය

සැමදෙන පතන්නේ ඔබ හට නිවනේ මඟය

සෝමා එච්. පතිරණ