වර්ෂ 2018 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




නිහාල්සිංහ ඡායාරූපය නිරාවරණය කරයි

නිහාල්සිංහ ඡායාරූපය නිරාවරණය කරයි

රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ ආරම්භක සාමාන්‍යාධිකාරී ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ මහතාගේ ඡායාරූපයක් සංස්ථා පරිශ්‍රයේ තරංගනී සිනමා ශාලාවේදී කලාකරුවන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ප්‍රදානයට සමගාමීව පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිරාවරණය කරන ලදී. මේ සඳහා වෛද්‍ය කල්‍යාණි නිහාල්සිංහ මැතිනිය, උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය ලේකම් ජේ. ජේ. රත්නසිරි, චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න, ක්‍රියාකාරී අධ්‍යක්ෂ ආනන්ද බණ්ඩාර දිසානායක, සාමාන්‍යාධිකාරී නිමල් අබේවර්ධන ඇතුලු කලාකරුවන් රැසක් සහභාගි විය.

සුනිල් ගිහින් අවුරුද්දයි

සරසවිය පුවත්පත ඔපකළ විශිෂ්ට මාධ්‍යවේදියකු මෙන්ම එහි හිටපු කතුවරයකු වූ සුනිල් මිහිඳුකුල අප අතරින් සමුගෙන මෙම මස 30 වැනිදාට වසරක් පිරෙයි.

සිනමා ලේඛන කලාවේ නවමු වෙනසක් ඇති කළ මිහිඳුකුලයන් දශක ගණනාවක ස්වකීය පෑන මෙහෙයවමින් අනගි මෙහෙයක් ක්ෂේත්‍රය වෙනුවෙන් නීර්භීතව ඉටු කරන ලදී. සිනමා සාහිත්‍ය පිළිබඳ උනන්දු වන්නන් මෙන්ම සිනමා ලෝකයේ තොරතුරු සොයමින් ඒ පිපාසාවෙන් පෙළෙන්නන් මිහිඳුකුලයන්ගේ ලිපි අත් නොහැර කියෙව්වේ ඒවා තුළ ඇති සරල සුගම බව නිසාමය. එමෙන්ම ඔහු තුළ තිබුණු දැනුම් සම්භාරය ඉතාම පුළුල්ය. විටෙක හෙතෙම සිනමා තොරතුරුවලින් සමන්විත ජංගම පුස්තකාලයක් බඳු විය. ක්ෂේත්‍රයේ වැඩි දෙනෙක් නිරවද්‍ය තොරතුරු දැන ගැනීමේ අටියෙන් නිරන්තරයෙන් කතා කළේ සුනිල්ටය. බාල, මහලු තරාතිරම නොබලා වෙලාවක් කලාවක් ගැන නොසිතා ඊට ඔහු ප්‍රතිචාර දැක්වීය. පික්චර් පිස්සා, සුමීගෙන් අහන්න වැනි විශේෂාංග ඔස්සේ මිහිඳුකුලයන් සිනමා පාඨකයන්ට තවත් සමීප විය. දිනපතා අති විශාල පෝස්ට් කාඩ් ප්‍රමාණයක් සුමීගෙන් අහන්න වෙනුවෙන් ලැබිණ. සමහරු මිහිඳුකුලයන්ගේ අපූරු පිළිතුරු ලබා ගැනීමේ අරමුණින් විවිධාකාරයේ ප්‍රශ්න ඇසීය. ඒවාට ඔහු සරිලන ලෙස පිළිතුරු බැන්දේය. සමහර ඒවා කැත්තට පොල්ල බඳු උත්තරය. ඉන් සමහරුන්ගේ හිත් ද රිදිණ. එහෙත් මිහිඳුකුලයන් කියන දේ කෙළින්ම පැවසුවේ ඇත්ත තිත්තය යන කියමන සනාථ කරමිනි. ජීවන ගමන් මඟේ 57 වැනි සැතපුම් කණුව පසු කරමින් අකල්හි දිවි මඟෙන් සමුගත්ත ද තවත් බොහෝ කලක් මිහිඳුකුලයන් වැන්නවුන් නැති අඩුව අපට දැනෙනු ඇත. බොහෝ ළෙංගතු මිතුරෙකු, ලොකු අයියා කෙනෙකුව සිටි සරසවියේ මිහිඳුකුලයන් නැතුව වසරක් ගෙවුණා ද යන්න තවත් පුදුමයක් බඳුයි. ඒ ඔහු පිළිබඳ මතකයන් නිරන්තරයෙන් අලුත් වේවී අප අතරේම නිබඳව රැඳෙන බැවිනි.

වෛෂ්නාවි - යම රජ සිරි පනහ පනී

සිනමා සිතුවම් යුවළක් තිරගතවීම ආරම්භ වී දින පනහ සපිරෙයි. මින් එකක් හෙළ සිනමාවේ කිවිඳි සුමිත්‍රා පීරිස්ගේ වෛෂ්නාවිය. අනෙක් සිනමාපටය වනුයේ සජීව සංකල්පගේ යම රජ සිරි ය. එකිනෙකට වෙනස් සිනමාපටයන් ද්විත්වයක් වන වෛෂ්නාවි සහ යම රජ සිරි පිළිවෙලින් සී. ඊ. එල්. සහ එල්. එෆ්. ඩී. මණ්ඩලයන්හි තිරගත වේ. යශෝධා විමලධර්ම, තුමිදු දොඩම්තැන්න, අයිරාංගනී සේරසිංහ, මහේන්ද්‍ර පෙරේරා, සමාධි අරුණි ඡායා මෙහි ප්‍රධාන චරිත මවන ලදී. වෛෂ්නාවි මමෝ නානායක්කාරගේ නිෂ්පාදනයකි. එහි තිර රචනය ටෝනි රණසිංහගේ වන අතර කතා සංකල්පය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්්ගෙනි. වසර ගණනාවකට පසු ටෙනී, බන්දු එකට රංගනයේ යෙදෙන යම රජ සිරි අයිබා ෆිල්ම්ස් වෙනුවෙන් නීල් සංජීව, සංගීත් අල්ගම, සජීව සංකල්ප සහ ලංකා ධර්ම වික්‍රමගේ නිෂ්පාදනයකි.

කුමාර තිරිමාදුර, නදීශා හේමමාලි, රොනී ලීච්, සුරාජ් මාපා, ගයාත්‍රි ඩයස්, ශිරෝමිකා ප්‍රනාන්දු, විනු සිරිවර්ධන, බර්ටි නිහාල් සුසිරිපාල, ඩී. බී. ගංගොඩතැන්න, නිල්මිණි කෝට්ටේගොඩ, තිලක් ජයවීර මෙහි චරිත මවති. අධ්‍යක්ෂණය මෙන්ම කැමරා අධ්‍යක්ෂණය, සංස්කරණය, ආලෝකකරණය, සංගීත අධ්‍යක්ෂණය, විශේෂ දෘශ්‍ය ප්‍රයෝග, වර්ණ සංයෝජනය සජීව සංකල්ප විසින් නිමකොට තිබේ.

අතුල, නාමල්, ශෂිකා කැන්ගරු දේශයට

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන සංගීත ප්‍රසංග මාලාවක් සඳහා අතුල අධිකාරි, නාමල් උඩුගම සහ ශෂිකා නිසංසලා සහභාගිවීමට නියමිතය. ශෂිකා එරට ප්‍රසංගයකට සහභාගි වනුයේ වසර 13 කට පසුවය. මෙම ප්‍රසංග වැඩ සටහන ජුනි 02 වැනිදා සිඩ්නි, ජූනි 09 බ්‍රිස්බේන්, ජූනි 10 මෙල්බර්න් යන නගරවලදී පැවැත්වීමට නියමිතය. ගීත 37 කින් සමන්විත මෙම ප්‍රසංගය ඉන්ද්‍රජිත් මිරිහාන විසින් සංගීතය මෙහෙයවනු ඇත. මාලක යාපා විසින් මෙහි සම්බන්ධිකරණ කටයුතු කරනු ලබයි.

 

වස්සානයේ සඳ හෙට පායයි

උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමාපටය වස්සානයේ සඳ මෙම මස 25 එනම් හෙට සිට තිරයට පායා එනු ඇත. පියුමි හංසමාලි, අනුජ් රණසිංහ, ඕෂධී හිමාෂා, ඇන්ජලෝ සංජු බාන්ස් යන නව පරපුරේ නළු නිළියන් සමඟ රවීන්ද්‍ර රන්දෙණිය, සුවිනීතා වීරසිංහ, ශ්‍රීනාත් මද්දුමගේ, අනුලා කරුණාතිලක, කිරුළ හේරත්, කුමාරි සේනාරත්න, ගිවන්ත අර්ථසාද් මෙහි රංගනයෙන් දායක වේ.