වර්ෂ 2018 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




සම්පතකි කලාකරුවා

සම්පතකි කලාකරුවා

රටේ සම්පතක් ලෙස කලාකරුවන් සැලකිය යුතු බවයි පසුගිය දින විෂය භාර අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය. ඒ ඔවුන් වෙනුවෙන් මාසික විශ්‍රාම වැටුපක් ප්‍රදානය කිරීමේ උත්සවයට පැමිණි අවස්ථාවේදීය.

ඒ අවස්ථාවට පැමිණි ප්‍රවීණ රංගධර රවින්ද්‍ර රන්දෙණිය කලාව වෙනුවෙන් කැප වූ අධ්‍යක්ෂවරුන්, නළු නිළියන් සහ කාර්මික ශිල්පීන් ඇතුළු සියලු දෙනාම සමඟ පසුගිය මතකයන් ද අලුත් කරමින් විශ්‍රාම වැටුප් ප්‍රදානයට එක් විය.

මේ ශ්‍රියානි මහවත්ත ශිල්පිනියට රවීන්ද්‍ර රන්දෙණිය, චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න, දීපා පෙරේරා එක්ව විශ්‍රාම වැටුප් ප්‍රදානය කළ සතුටුජනක අවස්ථාවයි මේ.

තරුණයකු සමඟ චණ්ඩියෙක්

මෙරට සිනමාවේ ස්වර්ණමය යුගයක් ලෙස 70 දශකය හඳුන්වා දිය හැකිය. එකල සිනමා ශාලාවල් සිනමාලෝලින්ගෙන් පිරී ඉතිරී ගියේය. සමහරු උදේ 10.30 සිට පැමිණ ගෙදර යන්නේ රාත්‍රී 9.30 දර්ශනයත් නැරැඹීමෙන් පසුවය. සිනමාවේ සදාකාලික යෞවනය රංගන ශිල්පී අමරසිරි කලංසූරිය හා රසිකයන් ත්‍රාසයෙන් ඇලලී ගිය සටන් සටන් නළු ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුත් පසුගිය දිනෙක මේ කතා කරන්නේ අතීතය ගැන ද අනාගතය ගැනද?

ඊරියගමට අං තට්ටුවක්

රොනල්ඩ් දසනායකගේ නවතම වේදිකා නාට්‍ය නිර්මාණය වන පාලම් තුන හන්දිය පසුගිය දින වේදිකා ගත කරන ලදී. එහිදී පාලම් තුන හන්දිය වේදිකා නාට්‍යයේ රංගනයේ යෙදෙන හේමන්ත ඊරියගමට අඩුවක්ව තිබුණු අං තට්ටුවක් මේ නාට්‍ය පැළඳවීමට රොනල්ඩ් දසනායක අමතක නොකළේය. ඒත් හේමන්තගේ මේ අං තට්ටු ගැලවීමට රුක්ෂානා දිසානායක වේදිකාවේදී කිහිප වතාවක්ම උත්සාහ ගත්තාය.

මහ රැජනට තහනම් නිළි රැජනට පුළුවන්

බ්‍රිතාන්‍ය මහ රැජණ හෝ රජ පවුලේ කිසිවකු සමඟ හෝ සෙල්ෆි ඡායාරූප ගැනීම සපුරා තහනම්ය. එහෙත් අපේ නිළි රැජණ සැමදාම රසිකයන් සමඟය. රසිකයන් ද ඇය වට කොට ගනිති. මේ ඈ වටා රොක් වූ රසිකාවියන් රැසක් මාලිනී සමඟ සෙල්ෆි ඡායාරූපයක් ලබා ගත් මොහොතයි. එදත් අදත් ඇයට තරු ගුණය බලවත් බවට මෙයම සාක්ෂියකි.

නිදහසේ පියා කවදාද?

සදළු තලයෙන් ගොවි බිමට පා තබා දේශය නිදහස් කර ගැනිමේ සටනට උරදුන් මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ චරිතාපදානය සිනමා සිත්තම වන නිදහසේ පියා චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරකපටය පසුගියදා එළි දැක්විණි. එහිදී චිත්‍රපට අධ්‍යක්ෂ සුනෙත් මාලිංග සහ නියෝජ්‍ය අමාත්‍ය ජේ. සී. අලවතුවල, සමන් වීරමන් සමඟ සුහද පිළිසඳරක යෙදෙනුයේ එළඹෙන ජූලි මස මහජන ප්‍රදර්ශනයට ලහි ලහියේ සූදානම් වන අයුරු කෙසේද කියා තතු විමසීමටද?.