|
අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්
නළුකම මෙන්ම දෙබස් ලියා සහාය අධ්‍යක්ෂණය කළ සේනාධීර රූපසිංහ
මා විසින් ‘සරසවිය’ පුවත්පතට ලියනු ලබන ‘යටගිය දවස’ විශේෂාංගය කියවන පාඨකයෝ යහපත් ප්‍රතිචාර ලබා දෙති. ඇතැමුන් පැවසුවේ අද ජීවතුන් අතර නැති පැරැණි නළු නිළියන් ගැන කියවන විට තමාගේ යටගිය දවස් අසිරිමත්ව සිහිපත් වූ බවය. සති දෙකකට පමණ පෙර සරසවිය රසිකයෙක් මට දුරකතනයෙන් කතා කළේය. ‘මම ගිය සතියේ සේනාධීර රූපසිංහ රඟපෑ චිත්‍රපටයක් රූපවාහිනියෙන් දැක්කා. ඒ වගේ දක්ෂ නළුවෙක් ගැන තොරතුරු දැනගන්න ආසයි. පුළුවන්නං ඔහු ගැන ලියන්න’. ‘මම උත්සාහ කරන්නම්. ඔබේ යෝජනාවට ස්තුතියි’ මේ ඉටු කරන්නේ ඒ ඉල්ලීමයි. සේනාධීර රූපසිංහ නම් ඒ නිහතමානි චිත්‍රපට නළුවා මට හමු වූයේ 1968 දී කොළඹ අලුත් හෙට්ටි වීදිියේ සීමාසහිත සිනමාස් සමාගමේ ප්‍රචාරක අංශයේදීය. ආරියරත්න කහවිට විසින් සංස්කරණය කළ ‘කලා’ සිනමා සඟරාවට විශේෂාංග ලිවීමට ඔහු අවස්ථාව ලබා දුන් මා පාසල් වියේ සිටි කාලයේදීය. ‘මේ තමයි සේනාධීර රූපසිංහ. ‘සූර චෞරයා’ චිත්‍රපටයේ රඟපාන්නේ’ යයි ‘කලා’ සඟරාවේ නියෝජ්‍ය කර්තෘ ගුණරත්න පනාගොඩ විසින් හැඩි දැඩි එහෙත් කරුණාවන්ත මුහුණකට හිමිකම් කී මනා පෞරුෂත්වයකින් යුත් පුද්ගලයකු මට හඳුන්වා දුන්නේය. ‘ඔව්, මම සේනාධීර අයියා ඇට් කරපු චිත්‍රපට බලලා තියෙනවා. ඔයා හිටපු කොළඹ හාදයෝ, කිංකිණි පාද, මහ රෑ හමු වූ ස්ත්‍රිය, අමතක වුණාද, සීගිරි කාශ්‍යප, සරණ, සූර චෞරයා, අටවෙනි පුදුමය බලලා තියෙනවා’. ‘මල්ලි මටත් වඩා හොඳට මම ඇට් කරපු චිත්‍රපට ගැන දන්නවනේ.’ ඒ හමුව, ඒ සංවාදය වසර 17 ක් පමණ එනම් ඔහු අකාලයේ වයස අවුරුදු 42 දී මිය යන තෙක්ම පැවතුණි. ඔහුගේ හැඩි දැඩි සිරුර තුළ සැඟ වී සිටියේ කාරුණික, නිහතමානී කලාකරුවෙකි. මා 1969 දී ‘සරසවිය’ පුවත්පතට සම්බන්ධ වන විට විශේෂයෙන් චිත්‍රපට නිෂ්පාදක අධ්‍යක්ෂ නීල් රූපසිංහගේ හැඳල ‘සමුද්‍රා’ නිවසේ ද හැඳල විජය චිත්‍රාගාරයේ ද ඔහු මට හමු විය. දිනක් ඔහු මට තම නිවසට එන ලෙස ඇරැයුම් කළේය. වත්තල ඇවරියවත්ත පාරේ පහිටි ඒ නිවෙසේ ද මට ඔහු බොහෝ විට හමුවීමට අවස්ථාව ලැබිණ. ඔහුගේ දයාබර බිරිඳ විමලාගෙන් ආදර සැලකිලි ලබමින් සිටි ඒ කාලය මට අදත් මතක් කර ගත හැකිය. ඔවුන්ගේ කුඩා දරුවන් පස් දෙනා මා වට කරගෙන කතන්දර ඇසූ අයුරු ද මට සිහිවේ. ‘අපි ඔයාට සලකන්නේ අපේම මල්ලි කෙනෙකුට වගේ. කිසිසේත් ඒ නිසා මට ‘සරසවිය’ පත්‍රයෙන් වැඩි සැලකිලි එපා. ඒක අපි දෙන්නගේ යාළුකමට බලාපාවි.’ මා ඔහු ඇමතූවේ ‘සේන අයියා’ කියාය. සේනාධීර හමුවන ඇතැම් හවසක ඔහු තම පාසල් ජීවිතයේ රසමුසු තැන් මට කීවේය. මා ඒ කරුණු ඇසුරෙන් ‘සරසවිය’ පත්‍රයට විශේෂාංග ලිවීමි. ‘ඒ කාලේ මම ඉගෙන ගත්තේ නිට්ටඹුවේ සංඝබෝධි විද්‍යාලයේ. මම විද්‍යාලයීය වොලිබෝල් කණ්ඩායමේ නායකයා. සෙනසුරාදා ඉරිදා දවස්වල අපි ගමේත්, අහල පහළ ගම්වල අපට වඩා වැඩිමල් තරුණයන් සමඟ වොලිබෝල් ක්‍රීඩා කරනවා. රදාවානේ මහගම සේකර (චිත්‍ර ශිල්පි, තුංමං හන්දිය චිත්‍රපටයේ අධ්‍යක්ෂ) මිනුවන්ගොඩ පීල්ලවත්තේ ඩේවිඩ් සිල්වා (ඉඩම් හිමියකු වූ ඔහු නිම්වළල්ල චිත්‍රපටයේ අධ්‍යක්ෂ රන්ජිත් ලාල්ගේ පියා) මාත් එක්ක සෙල්ලං කළ දක්ෂ ක්‍රීඩකයෝ. මහගම සේකරගේ ඩෑෂ් පාර ලෙහෙසි පහසු පුතෙකුට වළක්ව ගන්න බැරිව ගියා.’ සේනාධීර පතිරන්නැහැලාගේ රූපසිංහ 1937 සැප්තැම්බර් 15 වෙනිදා කිරිඳිවැල තිඹිරිගම මිල්ලතේ උපත ලැබීය. ඔහුගේ පියා සේවය කළේ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ කොන්ත්‍රාත්කරුවකු වශයෙනි. සහෝදරියන් පස් දෙනෙකුගෙන් ද එක් සහෝදරයකුගෙන් සමන්විත පවුලක තුන්වැන්නා ඔහුය. ඔහු මුලින්ම අධ්‍යාපනය ලැබූවේ ඌරපොල බෞද්ධ පිරිමි පාඨශාලාවෙනි. ගම්පහ විද්‍යාශේඛර හා නිට්ටඹුවේ සංඝබෝධි විද්‍යාලවල අධ්‍යාපනය ලැබූ සේනාධීර මේ අතර කඹුරාගල්ලේ පණ්ඩිත පඤ්ඤාජෝති හිමියන්ගෙන් සිංහල, පාලි විෂයයන් වැඩිදුර ඉගෙන ගෙන ඇත. ඔහුගේ සාහිත්‍යය ගැන උනන්දුවක් ඇති වුණේ මේ ඇසුර නිසාය. පාසල් ජීවිතයට ආයුබෝවන් කී ඔහු ෂෙල් සමාගමේ කාර්මික අංශයේ රැකියාවක් කළේය. ඒ රැකියාව නොරිස්සු ඔහුට වරායට ගිය බොහෝ අවස්ථාවල නිතර නිතර ඉන්දියාවට ගිය මිතුරන් කිහිප දෙනෙකුගෙන් සිනමාව ගැන අසන්නට ලැබිණ. ‘මගේ සිත කලා ජීවිතයට යොමුවුණේ මදුරාසියේ චිත්‍රාගාර, නළු නිළියන් ගැන ඔවුන් කළ විස්තර නිසා. මගේ හොඳම මිත්‍රයා ඒ ගැන කරන විස්මිත විස්තර නිසා එතෙක් වසර එක හමාරක් කරමින් සිටි රැකියාවෙන් ඉවත් වී 1951 වසරේ මම මදුරාසියට ගියා. මට එහිදී ඉන්දියාවේ සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂ සංජීව් රාඕ යටතේ වැඩ කරන්න ලැබුණා. පුංචිම තැනින් පටන් අරන් අධ්‍යක්ෂවරයාගේ සහයෙකු ලෙස කටයුතු කිරීමට ලැබුණා. චිත්‍රපටයක තිර නාටකයන් ලියන හැටි ඒ කාරුණික අධ්‍යක්ෂවරයා කියලා දුන්නා. ඒ චිත්‍රපටයේ කැමරාව මෙහෙය වූ බී. දාස් ගුප්තා මගේ හොඳ මිත්‍රයෙක් වුණා. මේ අතර දවසක් (1956 දී පමණ) මට සිංහල චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ ශාන්ති කුමර් සෙනෙවිරත්නව ගුප්තා විසින් හඳුන්වා දුන්නා. ඒ කාලේ ශාන්ති ‘ජීවිත සටන’ කියන චිත්‍රපටය නිපදවමින් හිටියේ. ‘සේනාධීර කැමතිද රඟපාන්න?’ ඔහු මුලින් ඇසූ ප්‍රශ්නයයි. මට ඒ කාලේ මුදල් ප්‍රශ්නත් තිබුණා. මම කැමැත්ත පළ කළා. ‘ජීවිත සටනේ’ ප්‍රධාන චරිතය රඟපෑ අයේෂා වීරකෝන්ගේ සැමියා ලෙස රඟපෑමට අවස්ථාව ලැබුණා. මට රුපියල් 750 ක් ගෙව්වා. ඒක මට ලොකු මුදලක්’ සේනාධීර කීවේය. වසර දෙකක් පුහුණුව ලබා ලංකාවට ඇවිත් අයාලේ ගිය සේනාධීරට ‘සීගිරි කාශ්‍යප’ චිත්‍රපටයේ රංග සෙනෙවියාගේ චරිතය රඟපෑමට එහි නිෂ්පාදක වෝල්ටර් මේදිස් අවස්ථාව ලබා දුන්නේය. එහෙත් සේනාධීරගේ සිත චිත්‍රපටයක සහාය අධ්‍යක්ෂවරයකු හා කතා හා දෙබස් රචකයකු වීමටය. ‘කළ කළ දේ පළ පළ දේ’ චිත්‍රපටයේ නන්දසේන නම් අහිංසක තරුණයකු ලෙසද, මහ රෑ හමු වූ ස්ත්‍රිිය චිත්‍රපටයේ ජස්ටින් සුරවීර ලෙස ද, කිංකිණිපාද චිත්‍රපටයේ මුල් වරට දුෂ්ට චරිතයක් ද, සූර චෞරයා චිත්‍රපටයේ භයානක මංකොල්ලකරුවකු ලෙස ද, ‘හරි මඟ’ චිත්‍රපටයේ නැටුම් ගුරුවරයකු ලෙස ද රඟපෑ ඔහු මහ රෑ හමු වූ ස්ත්‍රිය, සූරයන්ගෙත් සූරයා, අමතක වුණා ද චිත්‍රපටවල සහාය අධ්‍යක්ෂවරයා විය. ඔහු රඟපෑ චිත්‍රපට අතර කොළඹ හාදයෝ, සරණ, අටවෙනි පුදුමය, සූරයන්ගෙත් සූරයා චිත්‍රපට සහාය අධ්‍යක්ෂවරයා වූ ඔහු දැන් මතකද චිත්‍රපටයේ දෙබස් රචනය කළ අතර හරිම බඩු තුනක් චිත්‍රපටයේ දෙබස් හා තිර නාටක රචකයා මෙන්ම සම නිෂ්පාදකවරයා ද විය. සේනාධීර දක්ෂ සටන් නළුවෙකි. ඔහුගේ මේ කුසලතා හාර ලක්සය, හතර දෙනාම සූරයෝ, එදත් සූරයා අදත් සූරයා, වීදුරු ගෙවල්, හරිම බඩු තුනක්, යළි ඉපිදේ චිත්‍රපටවලින් පැහැදිලි වේ. රන් ඔන්චිල්ලා, කතුරු මුවත්, හිතක පිපුණු මල්, අපරාධය හා දඬුවම, සිහසුන, නාන්ගු ලෙච්චම්, මෙහෙම හරිද, යකඩයා, හරියට හරි, සකුන්තලා, ටක් ටික් ටුක්, හොඳින් ඉන්න චිත්‍රපටවල ද ඔහු රඟපෑවේය. දමිළ බස හොඳින් දැන සිටි ඔහු ‘නාන්ගු ලෙච්චම්’ හා ‘හාර ලක්සය’ චිත්‍රපටයේ දෙමළ පිටපතේ ද දෙමළ බසින් හඬ කැවීය. 1963 දෙසැම්බර් 5 වැනිදා විමලා මංගලිකා මෙනවිය සමඟ විවාහ වූ ඔහුට දූ දරුවන් පස් දෙනෙකි. ප්‍රියන්ත වන්නිආරච්චිගේ (ජපානයේ වාසය කරන විදුලි කාර්මිකයෙකි), නිලූකා වන්නිආරච්චිගේ (ඇමරිකාවේ පදිංචි ගුරුවරියකි), චමින්ද වන්නිආරච්චිගේ (ඇමරිකාවේ පදිංචි ව්‍යාපාරිකයෙකි), මොහාන් සේනාධීර (ලංකාවේ සුප්‍රකට චිත්‍ර ශිල්පියෙකි), තමරා සේනාධීර (ලංකාවේ ගෘහණියකි). විවේක ඇති අවස්ථාවල දී ජේම්ස් හැඩ්ලි චේස්ගේ නවකථා කියවීමට ප්‍රිය කළ ඔහු කතා රචනයෙන් උපරිම සතුටක් ලැබීය. චිත්‍රපට සහය අධ්‍යක්ෂවරයකු වූ ඔහු අධ්‍යක්ෂණය සඳහා කල් මැරුවේය. ඔහු සම නිෂ්පාදකවරයකු වූ ‘හරිම බඩු තුනක්’ චිත්‍රපටයේ ද අධ්‍යක්ෂණය පැවරුවේ තම හිත මිතුරකු වූ ද ගුරුවරයකු ලෙස සේවය කළ ආනන්ද හේවගේටය. ඔහු සමිපව ඇසුරු කළේ අතළොස්සක් වූ මිතුරන් පිරිසකි. ලෙනින් මාරායස්, එම්. කේ. රොක්සාමි, දයා විමලවීර, සුමිත් දිද්දෙනිය, ඇම්. පි. ගැමුණු මේ අතර වෙයි. ඔහු මිය යන තුරුම ඉතා ළඟින් සිටි කල්‍යාණ මිතුරකු වූයේ එවකට මරදානේ බුහාරි හෝටලයේ සේවය කළ දැනට බත්තරමුල්ලේ පදිංචි ඒ. එම්. නවාස් නම් තරුණයාය. බුහාරි හෝටලයෙන් සාදා නවාස් විසින් ගෙනෙන කට ගැස්මට (චිකන් ගිසඩ්) කෑමට සේනාධීර ප්‍රිය කළේය. රඟපෑමට කැමති නවාස් ‘නවාස් කුමාර්’ නමින් ඔහු සිනමාවට හඳුන්වා දෙයි. ඔහු පෙම්වතාගේ ප්‍රධාන චරිත රඟපෑ ‘වීදුරු ගෙවල්’ හා ‘හරිම බඩු තුනක්’ චිත්‍රපටයේ ගැයූ පෙම් ගීත එදා අතිශයින්ම ජනප්‍රිය විය. එපමණක් නොව ඔහු ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු සමඟ මේ චිත්‍රපට දෙකේම කරන සටන් දර්ශන අති ත්‍රාසජනකය. කිසිම අභියෝගයකට බිය නැති සටන් දර්ශනවලදී එය තාත්වික ලෙස ඉදිරිපත් වන අසාමාන්‍ය නළුවන් අතර ඔහුට හිමි වන්නේ සුවිශේෂී තැනකි. ජීවිතය ගැන උපේක්ෂාවෙන් බැලූ, කිසිවෙකුට අබ මල් රේණුවක තරමින් වරදක් නොකළ, කළ ගුණ දන්නා මේ මානව හිතවාදී රංගවේදියා 1979 ජූලි 11 වෙනිදා ජීවිතයෙන් සමු ගත්තේ තම ජීවන ගමන් මඟේ 42 වැනි වියේදීය. |