වර්ෂ 2018 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමාවේ රතු තරුව ශේන් පුතු දපුලගේ මතක සටහන්

සිනමාවේ රතු තරුව ශේන් පුතු දපුලගේ මතක සටහන්

මා කුඩා කාලයේ පටන් දේශපාලන රැස්වීම් සහ විවෘත වේදිකාවල පැවැත්වෙන සංගීත සංදර්ශන නැරැඹීම ඉතාමත් කැමැත්තක් දැක්වූවෙමි. ගාල්ල නගරය ආසන්නයේම මා ජීවත් වීම නිසා එයට එතරම් බාධාවක් ද නොවුණි. 1970 වර්ෂයේදී සමගි පෙරමුණේ ප්‍රචාරක රැලියක් ගාලු නගරයේදී පැවැත්විණි. එහිදී අමතක නොවන චරිතයක් දකින්න ලැබුණි. රන්මුතු දූව, සූර චෞරයා නරඹා තිබූ නිසා එහි රඟපෑ ඒ ප්‍රතිභාපූර්ණ නළුවා වන ශේන් ගුණරත්න එදා මා ඉදිරියේ දක්නට ලැබීම මහත් සතුටක් විය. එසේම මා ප්‍රිය කරන නළු නිළියන් කිහිප දෙනෙකුම එදින දක්නට ලැබුණි. ඒ අතරින් ශේන් ගුණරත්න විශේෂත්වයක් වූයේ අමුඩයකින් සැරසී සිටීමයි.

ගාල්ල පළාතේ මන්ත්‍රී කෙනෙකු, ඇමතිවරයකු මෙන්ම අගමැතිවරයෙකු ද වූ විජයානන්ද දහනායක මහතා ද මෙසේ අමුඩයකින් සැරසී සිටි බවට මට යාන්තම් මතකයක් ඇත. කෙසේ නමුත් ශේන් ගුණරත්න නමැති ජනහිතකාමී නළුවා ගැන මතකය නැවත අවදි වූයේ මොස්කව් Dectivefest  අන්තර් ජාතික සිනමා සම්මාන උලෙළ සඳහා මා ඇතුළු ජාතික රූපවාහිනියේ රංග බණ්ඩාරනායක සහ ශිරාන් රත්නායක එරටට ගිය අවස්ථාවේදී ඔහුගේ එකම පුත්‍රයා වන දපුල ගුණරත්න රුසියාවේදී මුණගැසීම නිසාය. ඔහු මුණගැසීම අපට සිදු කරන ලද්දේ දැනට එරට සිටින රංජන සේනාසිංහ නැමති සාහිත්‍යධරයා හරහාය. සැබවින්ම එය සුන්දර අවස්ථාවක් විය. මීට දශක ගණනාවකට පෙර ශේන් ගුණරත්න නැමති විශිෂ්ට රංගධරයාගේ දසුනම මා හට ඔහු ඉදිරියේ දී මැවී පෙනුණි. තම පියා 1971 ජූනි මස 17 වන දින තම ජීවිතයෙන් සමුගන්නා විට දපුලගේ වයස අවුරුදු 03 කි. තම පියා පිළිබඳ මතකයක් නැති ඔහු තම පියා ගැන තොරතුරු මවගෙන් සහ හිතවතුන්ගෙන් දැනගත් බවයි.

ශේන් ගුණරත්න 1932 මැයි මස 24 වන දින කිරුළපනයේදී ඉපදින. අධ්‍යාපනය ලබන ලද්දේ ලුම්බිනි මහා විද්‍යාලයේය. ක්‍රීඩාවට මෙන්ම කලාවට ද දස්කම් පෑ ඔහු දක්ෂ චිත්‍ර ශිල්පියෙකි. රඟපෑම පිළිබඳ තිබූ කුසලතාවය නිසා කුඩා කාලයේදීම 'දාන පාරමිතාව' නම් නාට්‍යයක් මෙන්ම 'වැඩ වරදී' 'මායම් හැට හතර' ආදී නාට්‍යවල රඟපෑ ශේන් ගුණරත්න මුලින්ම සිනමාවට පිවිසෙන්නේ ශාන්ති කුමාර් සෙනෙවිරත්නගේ ජීවිත සටන චිත්‍රපටයේ රඟපෑම තුළින්. ඉන් පසු ඔහු 'රන්මුතු දූව', 'සංදේශය', 'සීගිරි කාශ්‍යප', සූර චෞරයා', 'දාමරිකයෝ', 'දැවෙන පිපාසය', 'රන් ඔන්චිල්ලා', 'තිසාහාමි', 'වෙසතුරු සිරිත' වැනි චිත්‍රපටවලට තම රංග දායකත්වය ලබා දෙන ලදී. තිසාහාමි නාට්‍යයේ රඟපාද්දී එහි වල්ලී ලෙස රඟපෑ නන්දා ගීතානි පෙරේරා පසු කාලයේදී ශේන් ගුණරත්නගේ බිරිඳ මෙන්ම දපුලගේ දයාබර මෑණියන් ද විය. දපුලට තවත් වැඩිමහල් සහෝදරියන් දෙදෙනකු සිටියි.

ශේන් කොමියුනිස්ට් පක්ෂයේ තරුණ සමිතියේ ක්‍රියාකාරී සාමාජිකයෙකු විය. 1969 වර්ෂයේදී කම්කරු සම්මේලනයකට සහභාගි වීම සඳහා ඔහු එවක සෝවියට් දේශයට ද පැමිණි අතර දපුල පූර්ණකාලීනව පදිංචිව ඇත්තේ එදා තම පියා පැමිණ ගිය රුසියාවේය.

ශේන් ගුණරත්න කියන්නේ ඔබගේ පියා. ඔහු අපගෙන් වෙන් වෙලා දැනට වසර 40 ටත් අධිකයි. දපුල ගුණරත්න තමයි ශේන්ගේ එකම පිරිමි දරුවා. ඔබට කොහොමද තාත්තා ගැන තියෙන මතකය?

ඇත්තටම තාත්තා ගැන නම් දැකපු මතකයක් නැහැ. මොකද තාත්තා මියයන කොට මගේ වයස අවුරුදු 2 1/2 යි. ඒ හැම දෙයකම මට තියෙන්නේ ඡායාවක් විතරයි. මතක තියෙන්නේ අම්මා කියපු දේවල් නෑදෑයින් කියපු දේවල්. ඊළඟට පත්තරවල සඟරාවල ලියලා තිබුණු දේවල්. අනිත් ඒවා තාත්තා රඟපාපු චිත්‍රපට. ඊළඟට තාත්තාගේ චරිතය ගැන අහපුම දේවල් තමයි.

තාත්තා කොයි වගේ පුද්ගලයෙක් කියලද අම්මා කියලා තියෙන්නේ?

අම්මා නම් කියලා තියෙන්නේ හොඳ පුද්ගලයෙක් කියලා.

(දපුලගේ දෑස්වල කඳුළු පිරෙයි) දන්න කියන කට්ටිය හරි ආදරෙයි. අම්මා කියන්නෙත් කිසිම දෙයකට ආශාවක් නැති පුද්ගලයෙක් කියලා.

කලා කටයුතු නිසා තාත්තා බැඳීම ගෙදරත් එක්ක තිබුණේ කොයි ආකාරයටද?

මෙහෙමයි. අම්මා තමයි හැම දෙයක්ම ගෙදර කටයුතු කරලා තියෙන්නේ. තාත්තාගේ කලා කටයුතු ඉදිරියට කරගෙන යන්න හැම උදව්වක්ම අම්මා තමයි කළේ. ඊට අමතරව තාත්තා කරලා තියෙන්නේ චිත්‍ර අඳින එක. චිත්‍ර අඳින්න ආසයි. පසුගිය කාලයක් වෙනකම්ම තිබුණා තාත්තා ඇඳපු බෝඩ් එකක් කඩේක. ඒකේ පාටත් ගිහිල්ලා තිබුණා. ඒ වුණාට මිනිස්සු ඒක එල්ලලා තිබුණා.

එතකොට තාත්තාගේ උපන් ගම?

තාත්තා ඉපදුණේ කිරුළපනේ.

තාත්තා වෙනත් රැකියාවක් කළාද?

නැහැ. වෙනත් රැකියාවක් කළේ නැහැ. වෘත්තීය වශයෙන් සිනමාව තමයි තේරා ගත්තත් ඊට අමතරව චිත්‍ර ඇඳීම තමයි කෙරුවේ.

දපුල තරුණ කාලයට එළඹෙන කොට ශේන් ගුණරත්නගේ පුතා නිසා සමාජය තුළ ගෞරවයක් ලැබුණාද?

මුලදි ඒ ගැන එච්චර හැඟීමක් මට තිබුණේ නැහැ. නමුත් පසු කාලයේදී ශේන් ගුණරත්න නැමති නළුවාගේ පුත්‍රයා යැයි මා හඳුනා ගත්තට පස්සේ සමාජය තුළ ගෞරවයක් වගේම යම්කිසි පිළිගැනීමකුත් ලැබුණා. නොයෙකුත් උදව් ලැබුණා. අද මා සමඟ පත්තරේ සාකච්ඡවක් පවත් වන්නෙත් එම ශේන් ගුණරත්නගේ පුතා නිසානේ. නැත්නම් දපුල ගුණරත්න කිව්වම කවුරුවත් හඳුනන්නේ නැහැනේ.

තාත්තා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබල සාමාජිකයෙක්. දකුණු කොළඹ සමිතියේ සභාපති. එතකොට තාත්තා දේශපාලන කටයුතුවල නිරතවීම ගැන අම්මා විරුද්ධ වුණේ නැද්ද?

නැහැ. එහෙම විරුද්ධ වෙලා නැහැ. හැබැයි දෙන්නා ඉඳලා තියෙන්නේ දේශපාලනික වශයෙන් මතවාද දෙකක. ඒ වුණාට ඒක දෙන්නා තේරුම් අරගෙන තමයි කටයුතු කරලා තියෙන්නේ. අනිත් එක අම්මාත් කලාව සම්බන්ධ කෙනෙක්. දෙන්නා හම්බ වෙලා තියෙන්නෙත් තිසාහාමි නාට්‍යයේදී. අම්මා තමයි ඒ නාට්‍යයේ වල්ලීට රඟපාලා තියෙන්නේ. අම්මා ඉතින් කලා කටයුතුත් රැකියාවේ කටයුතුත් ගෙදර කටයුතුත් සේරම බර කරට අරගෙන කරලා තියෙන්නේ. අම්මා වෘත්තීයෙන් ගුරුවරියක්. අම්මා තමයි නන්දා ගීතානි පෙරේරා. රේඩියෝ සිලෝන් එකේ මුවන්පැලැස්ස, මොණරතැන්න ටෙලි නාට්‍ය ගෙඩාක් ඒවායේ අම්මා හිටියා.

තාත්තා අකාලයේ මිය ගියාට පස්සේ දපුලගේ ජීවිතය කොහොමද ගොඩ නැඟුණේ?

අම්මා තමයි අපේ ජීවිතය ගොඩ නැඟුවේ. මට අක්කල දෙන්නෙක් ඉන්නවා. එක අක්කා කෙනෙක් කිරුළපන තවමත් ඉන්නවා. ඇය මධුරි. අනිත් අක්කා කැනඩාවේ පදිංචි වෙලා ඉන්නේ. ඇය චින්තා.

තාත්තා මිය ගියාට පස්සේ සිනමාව සමඟ කිසිම සම්බන්ධයක් තිබුණේ නැද්ද?

නැහැ, නැහැ. අම්මා හිටියනේ. ඉතින් අපේ ගෙදර හරියට කලා කටයුතු තිබුණා. මට මතක නැහැ හරියට ඔය විකට කවයේ එහෙම රියසල් තිබුණා. තාත්තා නැතිවෙලා ගොඩක් කල් යනකම් මැයි පෙළපාලියේ බඩු ගෙනත් තියන්නේ අපේ ගෙදර. බෑන්ඩ් එකට යන කට්ටිය ඔක්කොම රියසල් කරන්නේ අපේ ගෙදර. ඉතින් ගොඩක් ගෙනත් දෙනවා අලියා බීම, සිංහයා බීම මට හරියට මතකයි. එතකොට රිහසල් කරන කට්ටිය කුරේ පිට්ටනියට යන්නයි. මට පොඩි කාලේ ටික ටික මතකයි. මැයි 01 වෙනිදා පෙළපාලියේ කොමියුනිස්ට් පක්ෂයේ කොඩිය හැමදාම අරගෙන යන්නේ අපේ තාත්තාලු. ඒක හරි බරයිලු. තාත්තා සෝවියට් දේශයටත් ඇවිල්ලා තියෙනවා. ඒ කොමියුනිස්ට් පක්ෂ තරුණ සම්මේලනයකට.

තාත්තාගේ චිත්‍රපට කොයි කාලේද නරඹන්න පටන් ගන්නේ?

ඒ කාලේ ඉතින් චිත්‍රපට බලන්න එච්චර හම්බ වුණේ නැහැ. අපි තරුණ වියට එනකොට තාත්තාගේ චිත්‍රපට හෝල්වල පෙන්නුවේ නැහැ. 1983 ජූලි කලබලවලින් පස්සේ ගොඩක් චිත්‍රපට විනාශ වුණා. අපිත් ඉතින් ඔය ඉන්ටර්නෙට් එකෙන් තමයි දැන් බලන්නේ. හැබැයි වෙසතුරු සිරිත හැම වෙසක් පෝයකම ටීවී එකේ පෙන්වනවා.

තාත්තාගේ චිත්‍රපට ඔක්කොම බලල නැද්ද?

නැහැ. අද වෙනතුරුත් ඔක්කොම චිත්‍රපට බලලා නැහැ. ඒ ගැන මට විතරක් නෙවෙයි. අපේ ගෙදර ඔක්කොටම තියෙන්නේ හරිම දුකක්. තාත්තා රඟපාපු චිත්‍රපටයක් තමයි තිසාහාමි. ඒක භාගයක් කරන කොට එකේ නිෂ්පාදක රොදිගූ මහත්තයා මැරුණා. ඊට අවුරුද්දකට පස්සේ තාත්තා නැති වුණා. චිත්‍රපටයේ නමේ ගණවල වැරැද්දක් තියෙනවා කියලා අම්මා කිව්වා. මට අවුරුදු 20 ක් විතර වයස වෙනකොට ආයිමත් තිසාහාමි නිර්මාණය කරන්න ධර්ම ශ්‍රී මුණසිංහ අංකල් උත්සාහ කරලා. ඒකට නළුවෙක් හොයලා අන්තිමට මාව ගන්න අපේ අම්මාගෙන් අහලා තියෙනවා. ඒත් අම්මා බයට කැමති වෙලා නැහැ. මම අවුරුදු 21 දී රුසියාවට ආවා. දැන් අවුරුදු 28 ක්ම රුසියාවේ පදිංචි වෙලා ඉන්නේ. අම්මට අවශ්‍ය වෙලා තිබුණා තාත්තාගේ චිත්‍රපට උලෙළක් කරන්න. නමුත් ඒකට චිත්‍රපට හොයාගන්න බැරිවෙලා තියෙන්නේ 1983 ජූලි කලබල නිසා. තාත්තා අන්තිමට රඟපාලා තියෙන්නේ දාමරිකයෝ චිත්‍රපටයේ. ඒකේ මුහුරත් උලෙළට සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මියත් ඇවිල්ලා තියෙනවා. තාත්තාගේ මරණය කලා භවනේ තියෙන කොට විජය කුමාරතුංග මහත්තයා එදා දවසම කලා භවනට වෙලා හිටියලු. ඒ විස්තරෙත් අහන්න දැන් අපේ අම්මාත් නැහැ. අම්මා නැති වුණේ 2013 දී.

තාත්තාගේ රඟපෑම් ගැන දපුලට මොනවාද හිතෙන්නේ?

තාත්තා ගැන ආඩම්බරයක් සතුටක් ඇති වෙනවා. ඒත් මට රඟපෑම් ගැන දන්නේ නැති නිසා ඒ ගැන මොකුත් කියන්න බැහැ. කොහොම හරි මට රඟපාන්න ආසා හිතුණෙම නැහැ. මාව පොඩි කාලේ අම්මා එක්කගෙන ගියා ගුවන් විදුලිය ළමා පිටියට. ඒත් මම සින්දු කිව්වේ නැහැ.