වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




සරිගම යූ ටියුබ් වාර්තාවක්! මාසයකදී මිලියනයක් නරඹලා

සරිගම යූ ටියුබ් වාර්තාවක්! මාසයකදී මිලියනයක් නරඹලා

කෙටි කලක් තුළදී අන්තර්ජාලය හරහා මිලියනයකට අධික ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සරිගම සිනමාපටය නැරඹා වාර්තාවක් තබා ඇත. මාසයක් තුළදී එම ප්‍රේක්ෂක කණ්ඩායම සරිගම නරඹා ඇත. ඉදිරි මාසය තුළදී සරිගම නැරැඹූ ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව මිලියන දෙකකට ආසන්න වේයැයි තමන් බලාපොරොත්තුවන බව අධ්‍යක්ෂවරයා සරසවියට දැන්වීය.

මාලිනී ෆොන්සේකා, පූජා උමාශංකර්, අශාන් ඩයස් ඇතුළු නළු නිළියෝ රැසක් සරිගමට දායක වූහ.

රන්වල වෙනුවෙන් රන් සලකුණ

ලයනල් රංවල සූරීන්ගේ හැත්තෑ අටවැනි ජන්ම දිනය සහ එතුමාණන්ගේ පහළොස්වැනි ගුණ සමරුව නිමිතිකර ගනිමින් රන් සලකුණ ප්‍රාසංගික දිගහැරුමේ විශේෂ දැක්මක් මෙම මස 25 වැනිදා සවස කොළඹ ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේදී පැවැත්වෙයි. මෙම ප්‍රසංගයේදී පළමු ස්ථානය ලයනල් රන්වල සූරින්ගේ නිර්මාණ සඳහා වෙන්වේ. දෙවැනි ස්ථානය ඔහුගේ පුතු සහන් රන්වල ඇතුළු රන්වල බලකායේ නව නිර්මාණවලින් සමන්විතය. අහසෙ ඉන්නවලු, ගම අවුලඤ්ඤං, පොඩි අයට ජන ගී, ත්‍රී, යුද්දෙටත් ඇවිත් වැනි රන්වල සන්දර්ශනවලින් තෝරාගත් මෙම අංග රන්වල බලකායේ වර්තමාන ශිල්පීන් මෙන්ම පැරැණි ශිල්පිනී මතුපරපුර, රන්වල ළමා බලකාය විසින් ඉදිරිපත් කෙරේ. මෙයට සමගාමීව රන්වල බලකායේ නවතම සංගත තැටිය යක්කු බොලව් ජනගත කිරීමද සිදුවේ.

වොලී බැස්ටියන් සැමරුම සිකුරාදා

බයිලා ගීත කලාව මෙරට ප්‍රචලිත කිරීමෙහිලා පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ වොලී බැස්ටියන් සමරමින් විශේෂ ප්‍රසංගයක් ඛ්ඥතඥඡපචබඪදඨ එචතතර නමින් මෙම මස 25 වැනිදා සවස කොළඹ බිශොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. සමන් ද සිල්වා, රොනි ලීච්, මරියසෙල්, බයිලා සැන්ටි ආදී ගායක ගායිකාවන් රැසක් මෙහිදී ගීතවත්වනු ඇත. මෙම ප්‍රසංගය වොලීගෙ මී මිනිබිරියකවන චේතනා රණසිංහගේ සංවිධානයකි.

ජී.ඩී.එල්.පෙරේරා අගයමින් ‘රට ගිය ඇත්තෝ’ තිරයට

විදේශ රටක රූගත කිරීම් කරන ලද පළමු ටෙලි නාට්‍යය වන 1983 වසරේ රූපවාහිනි නරඹන්නන්ගේ ආදරයට පාත්‍ර වූ ජී.ඩී.ඒල්.පෙරේරාගේ ‘රට ගිය ඇත්තෝ’ ටෙලි නාට්‍යය චිත්‍රපටයක් ලෙසින් සංස්කරණය කර පෙන්වන විශේෂ දර්ශනයක් මේ මස 29 වැනිදා පස්වරු 5.00ට බොරැල්ල නාමෙල් - මාලිනී පුංචි තියටර්හිදී පැවැත්වෙයි. සම්මානලාභී ප්‍රවීණ නාට්‍යකරුවකු වන ජී.ඩී.එල්.පෙරේරාගේ කර්ත්‍යවය ඇගයමින් මෙම තිරගත වීම සිදුවේ. මෙහි පිටපත, අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය ජී.ඩී.ඒල්.පෙරේරාගෙනි. නව සංස්කරණයෙන් යුත් ‘රටගිය ඇත්තෝ’ චිත්‍රපටය නරඹන්න පැමිණෙන්නැයි නාමෙල් වීරමුණි හා මාලිනී වීරමුණි ඔබ සැමට ආරාධනා කරයි.

පිදිය යුත්තන්ව පුදමු 6 වැනි වරටත් 26 දා

සටන් නළුවන් ඇතුළු කලාකරුවන් රැසකට සම්මාන පිදීමේ උළෙලක් මෙම 26 වැනි දින කඩුවෙල මහ නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායක ධර්මදාස වල්පොලයන් වෙනුවෙන් විශේෂ සම්මානයක් පිරිනැමෙන මෙහි රෙක්ස් කොඩිප්පිලි, රොබින් ප්‍රනාන්දු, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, විල්සන් කරු, ක්ලීටස් මෙන්ඩිස්, තිලක් ජයවීර, ටෙඩි විද්‍යාලංකාර, දේවින්ද මාකස්, ටිරොන් මයිකල්, නිමල් පල්ලෙවත්ත, ඇලික් අතපත්තු, දේව් පින්නදූව, උපසේන සුබසිංහ, රාජු ගමගේ, සුනිල් බමුණුආරච්චි, සුමිත් මුදන්නායක, ගාමිණී කුමාර, ශාන්ත කුලතුංග, ටිරොන් මයිකල් වැනි සටන් නළුවන් සමඟ විජේරත්න වරකාගොඩ, සනෝජා බිබිලේ, රෝහණ බෝගොඩ, ප්‍රියා සුරිසේන, ඉන්ද්‍රානි බෝගොඩ, නන්දා පතිරණ, නිමල්සිරි කුරේ, සුනෙත් වල්පොල, ෂෙල්ටන් මිහිඳුකුලසුරිය සහ කවීෂ විහඟ ද සම්මාන ලබති.

පිදිය යුත්තන් පුදමු යන නමින් පැවැත්වෙන මෙම උළෙල සංවිධානය සුනිල් පෙරේරා සහ එන්. එම්. පද්මකුමාරගෙනි.

සුහානා සෆර් ඉරිදා

සුහානා සෆර් භාරත ගී දැහැන මෙම මස 26 වැනිදා සවස කොළඹ විද්‍යා මාවතේ පිහිටි ආපදා කළමනාකරණ අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. බී. එම්. පියනන්ද, කාංචනා පීරිස්, අනුකුමාර් අමරසිංහ, කල්‍යානි ගංගා විතානගේ, ක්ලෙමන්ට් සිල්වා, දිනේෂ් ශ්‍රීමාල්, සමන් ප්‍රියංකර නම්මුනිගේ, චම්පික ප්‍රියශාන්ත සහ චන්දිම තිසේරා මෙහි ගැයුම් ඉදිරිපත් කරයි.

ප්‍රවීණ හින්දි ගීත සංරක්ෂක රංජිත් එදිරිසිංහ සහ හින්දි භාෂා කතිකාචාර්නි නධීරා ශිව්වන්ති මෙය නිවේදනයෙන් ඔපවත් කරයි.

සුනිල් සාන්තයන්ගේ 102 වැනි ජන්ම සංවත්සරයට වාර්ෂික සමරු දේශනයක් අද

ගුරුදෙව් සුනිල් සාන්තයන්ගේ 102 වැනි ජන්ම සංවත්සරයට සමගාමීව සුනිල් සාන්ත සමාජය මඟින් සංවිධානය කරන වාර්ෂික සමරු දේශනය අද දින (23 වැනිදා) පස්වරු 2.30ට කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි.

‘සුනිල් සාන්ත සංගීතයේ සිංහලත්වයට පාදක වූ මාත්‍රා වින්‍යාසය සහ තාන ස්වරූපය පිළිබඳ මූලික විමර්ශනය’ යන මැයෙන් මෙවර දේශනය පවත්වනු ලබන්නේ විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක විසිනි. දෙසුමේදී සුනිල් සාන්තයන් ගැයූ ගීත කිහිපයක මුල් පටිගත කිරීම් නිදර්ශන ලෙස ඉදිරිපත් කිරීමට නියමිතය. පැමිණෙන සියලු රසිකයන්ට දෙසුමෙහි මුද්‍රිත පිටපතක් ලබාදීමට කටයුතු සලස්වා ඇති අතර එහිදි සුනිල් ගී ගායනයක්ද පැවැත්වෙයිත මේ දේශනය සඳහා සහභාගි වන ලෙස සංගීත රසවතුන්, ශිෂ්‍ය - ශිෂ්‍යාවන්ට, විද්‍යාර්ථින් වෙත සුනිල් සාන්ත සමාජය ගෞරවයෙන් ආරාධනා කරයි.

විජය ගී රැගත් පායා සීත රැයේ 24 වැනිදා

එදා මෙදාතුර අප සිනමාවේ බිහි වු ජනප්‍රියතම විශිෂ්ට රංගධරයකු සහ ප්‍රතිභාසම්පන්න ගායනවේදියකු වූ විජය කුමාරතුංගයන්ගේ ගීතාවලියකින් සමන්විත පායා සීත රැයේ ගීිතමය ප්‍රසංගය මෙම මස 24 වැනිදා සවස කොළඹ නෙළුම් පොකුණ රංග ශාලාවේදී පැවත්වේ.

කීර්ති පැස්කුවල්, අමල් පෙරේරා, භාෂි සුසාන්, සුහානි හර්ෂණී, කුෂානි සඳරේඛා, රවීන් කනිෂ්ක, නදීමාල් පෙරේරා සහ සනුක වික්‍රමසිංහ මෙහිදි ගීතවත් වනු ඇත. ජාතික රූපවාහිනි සංස්ථාවේ සංවිධානයක් වන මෙහි සංගීත අධ්‍යක්ෂණය නවරත්න ගමගේගෙනි. චන්න විජේවර්ධන නර්තනය අධ්‍යක්ෂණය කරයි. මෙම ප්‍රසංගයට සමගාමීව විජයගේ හඬ පෞරුෂයට සමරූපීව ගායන කෞශල්‍යයකින් සමන්විත නවක ගායකයන් කිහිප දෙනෙකු මෙරට රසික ප්‍රජාවට හඳුන්වා දීම සිදු කරයි.

නිර්මාල් ගේ යෝධයන්ගේ අඩවිය රූ ගැන්වීම් නිමවෙයි

මෙයට පෙර පිටසක්වල අබිරහස චිත්‍රපටය නිර්මාණය කළ නිර්මාල් රාජපක්ෂගේ නවතම විද්‍යා ප්‍රබන්ධ සිනමාකෘතිය යෝධයන්ගේ අඩවියේ සියලු රූපගතකිරීම් මේ වන විට නිමව තිබේ. ගාල්ල නාවුක වරාය, රූමස්සල, කන්නෙලිය රක්ෂිතය ඇතුළු දර්ශනීය පසුතල රැසක රූගත කිරීම් සිදුකළ මෙහි සනත් ගුණතිලක, ගයාත්‍රි ඩයස්, සේනක විජේසිංහ, ඉමායා ලියනගේ ඇතුළු නළු නිළියන් රැසක් රංගනයේ යෙදෙති. අධ්‍යක්ෂණය මෙන්ම කතාව, දෙබස්, තිරරචනය, කැමරාකරණය, සංස්කරණය, පරිගණක දෘශ්‍යකරණය සහ නිෂ්පාදනය නිර්මාල් රාජපක්ෂගෙනි. නිමල් සිරිද සිල්වා කලා අධ්‍යක්ෂවරයායි. ශනිල් අංග රචනයෙන් දායකවේ. චරිත් දේවප්‍රියගේ සහාය අධ්‍යක්ෂණයෙන්, ශෂික රුවන් මාරසිංහ ශබ්ද සංකලනයෙන් දායක වේ.

බුද්ධික හැම්ලට් ගෙන එයි

සම්මානනීය වේදිකා නාට්‍ය අධ්‍යක්ෂ බුද්ධික දමයන්තගේ නවතම වේදිකා නාට්‍ය හැම්ලට් මෙම මස 30 වැනිදා සවස කොළඹ ලුම්බිණි රඟහලේදි වේදිකාගත වේ. ජයනාත් බණ්ඩාර, චමිලා පීරිස්, සුමිත් රත්නායක, මහේන්ද්‍ර වීරරත්න, නිමල් ජයසිංහ, සාරංග දිසානායක ආදී නළු නිළියන් මෙහි චරිත මවති.