වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

ප්‍රතිචාර සඳහා නවතම අංකයක් 0728384283

ලෝ පතළ ලෙස්ටර් නාමය

විශ්ව කීර්තිධර අග්‍රගණ්‍ය සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිංහල සිනමාවේ සුවිශේෂි අධ්‍යක්ෂවරයෙකි. දෙස් විදෙස් සම්මාන උලෙළ නියෝජනය කරමින් මව්බිමට කීර්තිය අත්කර දුන් ලංකා පුත්‍ර යෙකි. එතුමාගෙන් සිංහල සිනමාවට සිදු වූ සේවය අනභිබවනීය යි. රසික අප එතුමාට චිර ජීවනය පතමු.

එච්. ඉන්ද්‍රපාල
ශ්‍රී සංඝමිත්තා මාවත
මුංහේන


හිමාලි සයුරංගි

පුංචි තිරයේ ජනප්‍රියම නිවේදිකාව ලෙස කටයුතු කර නුග සෙවණ හැඩ කළ ඔබගේ දක්ෂතාවයන් රංගන ක්ෂේත්‍රය තුළද දෙවෙනි නොවේ. මේ දිනවල දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය ඔස්සේ එය තව තවත් ඔපවත් වී ඇති බව පෙනේ.

චන්දන වන්නිආරච්චි
දෙහිඅත්තකණ්ඩිය


රොබට් නොක්ස් සිනමාවට

සම්මානනීය තිරකතා රචකයකු මෙන්ම අධ්‍යක්ෂවරයකු වන සරත් ධර්මසිරි විසින් කන්ද උඩරට රජ සමයේ සිරකරුවකුව සිටි ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස්ගේ ජීවිත කතාව ඔහු ලද අත්දැකීම් සමඟින් සිනමා නිර්මාණයක් ඔස්සේ ගෙන ඒමට කටයුතු කිරීම පිළිබඳ අපගේ ස්තූතිය.

මැණිකේ විල්වල
තිලකරත්න විල්වල
තටාකය පාර
කෑගල්ල


පැහැසරා - වොල්ගා

නවමු අයුරකින් ගෙන එන පැහැසරා ටෙලි නිර්මාණය සේම එහි රංගනයෙන් දායන වන නළු නිළියන්ගේ ද රඟපෑම් උසස් බව දැනේ. ඒ අතරින් වොල්ගා කල්පනීගේ රංගනය වඩාත් සිත් ගනී. ඔබ සැමට සුබ පැතුම්.

ශාන්ති බන්දුනාථ
මහනුවර


සිනමාවේ පෙරළිකාර චරිතය

අනෝමා ජනාදරී චරිතාංග රංගන ශිල්පිනියක් ලෙස මෙරට සිනමාව හා රූපවාහිනිය තුළින් ප්‍රේක්ෂක ජනාදරයට පත් වී ඇති ඔබ සමාජය ගැන තම අදහස් විවෘතව කතාකරන පෙරළිකාර චරිතයක් යැයි කිවහොත් එය නිවැරදිය. එමෙන්ම වර්තමාන සමාජයේ ඇති නොයෙකුත් සිද්ධාන්ත එක්රැස් කොට ගෙන එන ප්‍රේම ජවනිකා කෘතිය තුළින් ඔබගේ සහජ දක්ෂතා සමාජයට විවර කරන්නට දරන්නා වූ උත්සාහය බෙහෙවින් අගය කළ යුතුයි. ඔබට ජය.

මිල්ටන් ප්‍රනාන්දු
නව එක්සත් මාවත
මුදුකටුව


අමරණීය සිනමාකරුවෝ

කේ. ගුණරත්නම්, ටී. සෝමසේකරම්, ජබීර් ඒ. කාදර් වැනි සිනමාකරුවන් සිනමා ලොව අමරණීය වනු ඇත.

අරියදාස පිංදෙණිය
බටවල
පාදුක්ක


අමතක නැති ඩොමී

එකල සිංහල සිනමාවේ දුෂ්ට චරිත ඉතා තාත්විකව ඉදිරිපත් කළ නළුවෙක් ලෙස ඩොමී ජයවර්ධන විශේෂ වේ. රංගනයට අවැසි පෞර්ෂයද ඔහු සතු විය. ලසඳා, මොනරතැන්න වැනි චිත්‍රපටවල ඔහු කළ රංගනයන් අපට අමතක නැත.

ජගත් චන්ද්‍රසිරි
පූජා ජගත්සිරි
මීරිගම පාර
පස්යාල


නවරත්න ගමගේ මෙහෙවර

සිංහල සංගීත ක්ෂේත්‍රයේ අඩු වූ හිඩැස පිරවීමට සමත් වූ ප්‍රවීණ සංගීතඥ නවරත්න ගමගේට ප්‍රණාමය.

අතුල රම්‍යසිරි
පානදුර


වාමන යාමය

මිත්‍යාව හා සෞන්දර්ය එකට කැටි වූ වෙනස් මඟක් ගත් ටෙලි නිර්මාණයක් ලෙස වාමන යාමය හැඳීන්විය හැකිය. රජරට පළාතේ ගවේශනයක යෙදෙන තරුණ තරුණියන් පිරිසක් වටා ගෙතුණු එහි අයේෂ්මන්ත හෙට්ටිආරච්චිගේ කැමරාකරණය ප්‍රශංසනීය යි. උමයංගනා, ජෙහාන්, සරත් කොතලාවල, විශාඛා ජයවීරගේ රංගනයන් අගෙයි.

ඩඩ්ලි ගෝමස්
කටුබැද්ද
මොරටුව


එදත් අදත් ජන හද බැඳගත් කපුගේ

සිංහල සිනමාව මෙන්ව වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයටද සංගීතයෙන් දායක වූ මෙරට ජන හද බැඳගත් ගායන ශිල්පියකු වූ ගුණදාස කපුගේ අප අතරින් වෙන් වුවත් අදටත් ඔහුගේ සංගීත නිර්මාණ ජීවමාන වේ. සිංහල ගීතයට ගුණයක් එක් කළ ඔහු අදටත් අප අතර සිටියා නම් සංගීත කෂේත්‍රයට සිදුවන මෙහෙවර සුවිශාල වනු ඇත.

ප්‍රභාත් රාජපක්ෂ
නාවලපිටිය


යුගයේ පෙම්වතාට

පෙම්වතාගේ චරිතයට බොහෝ අවස්ථාවල ඉතාමත් සංයමයකින් පණ පොවන යුගයේ පෙම්වතා ලෙස පුංචි තිරයේ සිටින විශ්ව කොඩිකාර චරිතාංග රංගනය කෙරෙහි සිත යොමන්නේ නම් හොඳ යැයි සිතේ. ඉදිරියේදී ඔබේ රැඟුම් සිනමාවේත් දකින්නට ලැබේවා.

නිමල් කුලසේකර
අඟුලාන පාර
මොරටුව


නවකයන් වෙත කදිම පාඩමක්

පැරණි නිවේදිකාවන් පස් දෙනෙකු කැඳවා ස්වාධීන එෆ්එම් නාලිකාව ඔස්සේ විකාශය කෙරෙන වැඩසටහන කදිමයි. තිලකා රණසිංහ, දයා නෙල්ලම්පිටිය, කුසුම් පීරිස් ඇතුළුව ඉදිරිපත් කෙරෙන එම වැඩසටහන සවනට ප්‍රිය උපදවයි. ඔවුන් බස හසුරවන අයුරු සහ නිවැරදි උච්ඡාරණය නවකයන්හට කදිම පාඩමකි.

දිනේෂ් ගුණසේකර
නූපේ
මාතර


මල් 7 මල් හතයි

හිරු නාලිකාවේ අමුතුම මාලිදියේ ටෙලිය මල් හතයි. පියුමි, ශලනි, රිතූ, පබෝධා, ශෙහානි, තිසුරි මල් හතට මැදි වූ කාවිංගගේ රංගනය කදිමයි. විශිෂ්ටයි. හිරුට සහ මල් 7ට එක් වූ සැමට තුති.

සරත් සේනාධීර
කලඑළිය
ජා-ඇල


පවන් මල්ලවආරච්චි වෙත

සීයා සහ තම පියාගේ අඩි පාරේ යමින් සංගීත ලොවට පිවිසි පවන් මල්ලවආරච්චි, ඔබේ හඬින් ගීත එකතුවක් එළිදක්වන්න. ඔබගේ ඉදිරි වැඩකටයුතු සාර්ථ වී දීප්තිමත් අනාගතයන් එළිපෙහෙළි වේවා. පියා සහ සීයාගේ නම් රැකගනිමින් ඉදිරියට යන්න.

සුනිල් බී. වේහැල්ල
ගෝනපොල


එදා හැඩ කළ ළමා ගීත

‘සමන් වැලේ මල්’, ‘මිදුලේ වැලි මාලිගාව’, ‘අකුරු මැකී නෑ’, ‘මගේ පොඩි යාළු’, ‘පැණි කුරුල්ලනේ’, ‘කියන්න සුළඟේ’ වැනි ළමා ගීත ළමයින් සේම වැඩිහිටියන් පවා ඉතා ආදරයෙන් වැළඳගෙන ආසාවෙන් රස විඳී ගීතයන් වේ. මේ ගීත කලාතුරකින්වත් අසන්නට ලැබෙනවා නම් සතුටකි. එසේම වර්තමානයේ මෙවැනි ළමා ගීත නිර්මාණයේ විශාල අඩුවක් පවතින බව කිව යුතුය. යහපත් සමාජයක් නිර්මාණයෙහි ළා මෙවැනි ළමා ගී බිහි වීම ඇවැසි බව දැනේ.

සරත් ලියනගේ
රන්මුතුගල
කඩවත


කැමරාවෙන් දස්කම් පෑ තිමති වීරරත්න

70 දශකයේ සිංහල සිනමාවේ දක්ෂ කැමරා අධ්‍යක්ෂවරුන් අතරේ තිමති වීරරත්න නාමය සුවිශේෂි වේ. 'පිපාසය මේ දෑස කුමටද', 'සංගීතා', 'රජ දවසක්', 'වන බඹරා' වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය ද කළ තිමති වීරරත්න විසින් සිනමාවට කළ සේවය අනභිබවනීය යි.

ලියනගේ සෝමරත්න ද සිල්වා
මරදාන
අහුන්ගල්ල


නැවුම් ගී එකතුවක් ගෙන එන්න

ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ සෙවණේ පෝෂණය වී දැයට පිපුණු දක්ෂ ගායන ශිල්පිනියක සේම සංගීත ආචාර්යවරියක වන ඉන්දිකා උපමාලි නැවුම් ගීත එකතුවක් එළිදක්වන්න කාලය යි මේ. දියෙන් කිරි වෙන් කරන්නා වූ හංසියක දේ තව තවත් යහපත් සේ ලොවට තිළිණ කරන්න. ඔබගේ අසමසම හඬ ලාලිත්‍යයට සුබ පැතුම්.

යුක්ති


අමරණිය අමර සර

වසරක් ගෙවී ඇත නික්මී අප අතැර
එනමුදු හඬ ඇසේ දෙසවන් තුළ නිතර
හැම හදකම රැඳී ඇත ඔබ ගී සමර
යළි මෙහි උපදින්න මියැසියෙ දෙව් අමර

නන්දා මාම්පිටිය
පොතානේගම
අනුරාධපුර


සුගතපාල සෙනරත් යාපා කලාකරුවාට

ප්‍රථමවරට රජත මයුර සිනමාවේ සම්මානය
දියත පතළ තරගයකින් ලංකාවට ගෙනාවේය
කලාකරුවො රැසකුත් ඔහු ලක් දෙරණට බිහි කළේය
විජය කුමාරතුංගත් හන්තානේ කතාවෙන්ය

පිටරට සම්මාන රැසක් ඔහුගෙ නිවෙසෙ තිබෙන්නේ
අපේ රටේ සංජනනී රණ තිසරත් ලබන්නේ
ලේඛකයෙක් පාලකයෙක් නායකයෙක් වෙමින්නේ
නිෂ්පාදන අධ්‍යක්ෂණ ගී රචනා කරන්නේ

වේදිකාවෙ සිනමාවේ රඟපෑමට දස්කම් ඇත
ලොවින් එකෙක් සැම දෙයටම සමත්කමක් පෙන්වා ඇත
අපි ප්‍රණාම පුද කරනවා ගෞරයෙන් ඔබතුම වෙත
තෙරුවන් සරණින් ලැබෙනව නිරෝගි සුව ඔබ වෙත

ආර්. ඒ. සෝමා රණසිංහ