වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




මම සකස්කඩයත් කියෙව්වා

මම සකස්කඩයත් කියෙව්වා

මෙන්න ප්‍රවෘත්ති - මම වින්ද්‍යා

මේ ඉන්නේ වින්ද්‍යා මාරඹගේ. ස්වර්ණවාහිනිය ඔස්සේ ඔබ හමුවට එන ඇය මේ දිනවලදි ගෙන එන්නේ කාලගුණ වාර්තාව. මෑතක් වනතුරු ඇය මද්දහන 12 ප්‍රවෘත්ති හරහා ඔබ වෙත ආවා. ඊට මද විරාමයක් තැබුවත් ප්‍රවෘත්ති සංස්කාරකවරියක ලෙස ඇය බොහොමත්ම කාර්යබහුලයි.

* ඉතින් වින්ධ්‍යා ජීවිතේ වැඩිහරියක් ගෙවෙන්නෙ ප්‍රවෘත්තිත් එක්ක නේද?

ඒකනම් එහෙම තමයි. මං ස්වර්ණවාහිනියට ඇවිත් මේ වනවිට අවුරුද්දක් පමණ වනවා. ඒ කාලය අතරතුරදි ප්‍රවෘත්තිම තමයි කිව්වෙ. පසුව කාලගුණ වාර්තාව කිව්වා. උදෑසන ඉඳලා අපි කරන්නෙ නිව්ස් හොයලා හදන එක. එතකොට කාලය ගෙවෙනවා තේරෙන්නෙම නැහැ.

* ඔබගෙ මාධ්‍ය ජීවිතය ආරම්භවූ අන්දම මතක් කළොත්?

නිවේදිකාවක් වීමට මං පෙරුම්පිරුවෙ පාසල් අවධියේ ඉඳගෙන. ඒ ආසාව පෙරදැරිව සිටි මට කලම්බු ටී. වී. ආයතනයට බැඳෙන්න අවස්ථාව ලැබුණා. ඒකෙ කාලයක් හිටිය. පසුව ස්වරණවාහිනියට එක්වන්නේ සම්මුඛ පරීක්ෂණයකට අයැදුම් කරලා.

* පළමුව ප්‍රවෘත්ති කිව්ව දවස මතකද?

අද වගේ මතකයි. මට එදා ඕනවුණේ එක වචනයක්වත් වරදන්නෙ නැතුව ප්‍රවෘත්ති කියන්න.

* එහෙම කිව්වද?

ඔව්. මං එදා එක වචනයක්වත් වැරැද්දුවෙ නැහැ.

* සාමාන්‍යයෙන් ඔබට ප්‍රවෘත්ති කියද්දී වැරදුණ අවස්ථා ඇති?

වැරදුණ අවස්ථානම් අල්පයි. වරද්දන්නෙ නැතුව ප්‍රවෘත්ති කියන්න තමයි උත්සහ ගන්නෙ.

* ඔබ සිතන පරිදි ප්‍රවෘත්ති නිවේදනයේදී වැරදුණොත් සමාවෙන්න යන වචනය කිවයුතුද?

නැහැ. හැබැයි බරපතළ වැරැද්දකදි සමාවෙන්න යන වචනය භාවිත කළොත් හොඳයි. නැත්නම් කමක් නැහැ.

* ඔබ ඔබේ සිංහල උච්චාරණය හදාගත්තෙ කොහොමද?

මං පාසලේදීම ඒක හදාගත්තා. විවිධ තරගවලට සහභාගිවීම තුළිනුයි මට එහෙම කරන්නට ලැබුණේ. සකස්කඩය පසුකාලීනව කියව්වා. ඉන් ලැබුණු සවියත් එහෙමයි.

* ප්‍රවෘත්ති නිවේදිකාවක වුණාම රුව ගැනත් සැලකිලිමත් විය යුතුමයි?

මං රුව ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙනවා. රූපෙන් තමයි අපව වැඩිදෙනක් හඳුනන්නෙ. ඉතින් ලස්සනට ඉන්න එපායැ. හැබැයි එහෙම වුණා කියලා කෘත්‍රිම දේවල් පාවිච්චි කරන්නෙ නැහැ. ස්වභාවික ක්‍රමෝපායන්ගෙන් රුව ලස්සනට තියාගන්නවා.

* වෙනත් නිවේදිකාවන්ට වගෙ ඔබට රංගනයට ඇරැයුම් ලැබිලා නැතිද?

රංගනයට නම් ඇරැයුම් කිහිපයක්ම ලැබුණා. මං ගියෙ නැහැ.

* ඇයි ඒ?

මට ආරාධනා ලැබුණෙ මියුසික් වීඩියෝවලට දායක වන්න. ටෙලි නාට්‍යයකට හරි සිනමා නිර්මාණයකට නම් කතා කරලා නැහැ. හැබැයි මට හිතෙනවා මට රඟපාන්න බැහැ කියලා. ඒ නිසා ගියේ නැහැ. දන්න නිවේදනය කරමින් ඉන්නවා.

* ඔබගේ ගම්පළාත කොහොද?

මගෙ ගම රාගම.

* ඉගෙනගත් පාසල?

මං ඉස්කෝල හතරකට ගියා. අන්තිමට ඉගෙන ගත්තේ කුරුණෑගල ශුද්ධවු පවුලෙ කන්‍යාරාමයෙන්.

* පවුලෙ විස්තර මොනවද?

අම්මයි, තාත්තයි, අයියලා දෙන්නයි.

* වින්ද්‍යාට හොඳට කවි නිසඳැස් ලියන්නට හැකියාවක් තියෙනවා කියලා ආරංචි වුණා?

ඔව්. මං ඒ පැත්තෙන් නිර්මාණයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මං ලියන ප්‍රවෘත්ති වෙනස්ම ආරක් ගන්නා බවත් ප්‍රවීණයින් කියලා තියෙනවා. මට ඒක සතුටක්.

* වින්ද්‍යා පෙම්වතියක්ද?

අනේ නැහැ. තවම තනිකඩයි.

* වින්ධ්‍යා ඉතා උසයි. ඇත්තටම ඔබේ උස කියන්න.

අඩි පහයි අඟල් නවයයි

* අවසන් කොට මොනවද කියන්න තියෙන්නෙ?

මට මේ තැනට එන්න උදව් කළ අයට තුති පුදනවා.