වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




‘සරසවි නිර්මාණ’ සම්මාන ප්‍රදානය 26

 ‘සරසවි නිර්මාණ’ සම්මාන ප්‍රදානය 26

ලීල් ආනන්ද ගජනායකගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ‘සරසවි නිර්මාණ’ සම්මාන ප්‍රදානය මේ මස 26 වැනිදා පස්වරු 6.00ට කොළඹ 07 මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි.

මෙහිදි සම්මාන ප්‍රදානයට පෙර පෙරවරු 10.00 සිට සමස්ත ලංකා මට්ටමින් තෝරා ගන්නා ලද අවසන් වටය නියෝජනය කරන නාට්‍ය 08ක් වේදිකා ගතවෙයි. ඒ නාට්‍යවල ජයග්‍රහණය කරන තරගකරුවන්ට සවස පැවැත්වෙන සම්මාන ප්‍රධානයේදී සම්මාන ලබාදෙන අතර ඊට අමතරව ප්‍රවීණ රංගන ශිල්පීන් අටදෙනෙකුට සරසවි නිර්මාණ ප්‍රසාද සම්මානද පුදනු ලබයි. මෙවර ඒ සම්මානයෙන් පුද ලබන්නේ සිරිල් වික්‍රමගේ, රම්‍යා වනිගසේකර, ලියෝනි කොතලාවල, සුමනා රත්නපාල, ලාල් කුලරත්න, අනුරබණ්ඩාර රාජගුරු, කුමාරි පෙරේරා, නිල්මිණි තෙන්නකෝන් යන රංගන ශිල්පීන් හා ශිල්පිනියන්ය.

එදින පෙරවරු 10සිට වේදිකා ගතවන කෙටි නාට්‍ය 08 වන්නේ ලාල් සමරජීවගේ ‘සාම චින්තා’, ප්‍රවීන් චමෝද්ගේ ‘උරුම’, ගයාන් අනුෂ්කගේ ‘පාලි’, ප්‍රතිභානි පෙරේරාගේ ‘ඇදුරෙක් සහ මීයෙක්’, වික්‍රම රන්දුනුගේ ‘තුවක්කුව සහ රෝසවල’, සීලා අමරසිංහගේ ‘උපස්ථාන’, සුපුන් එරංදගේ ‘පිස්සු නැති මිනිස්සු’, මොනරාගල බුදුරුවාගල මහ විදුහලේ සුපුන් සඳරුවන්ගේ ‘ඩෙත්’යන නිර්මාණයි. මේ කෙටි නිට්‍ය විනිශ්චය සඳහා සහභාගි වන්නේ අජිත් ලොකුගේ, ජගත් බෙරගම, මෙරිල් ලියනගේ යන විද්වත් පිරිස විසිනි. ලීල් ආනන්ද ගජනායක මහතා පවත්වාගෙන එනු ලබන ‘සරසවි නිර්මාණ’ සම්මාන ප්‍රදානය ආරම්භ කර ඇත්තේ 84 වසරේයි. එදා පටන් අද දක්වා නොකඩවා වසර තිස්තුනක් පැවැත්වුණු මේ සම්මාන උලෙළ ඔහු සිදුකරනු ලබන්නේ නාට්‍ය කලාවට ඔහුගේ තිබෙන ආදරය නිසාම ය. කිසිදු ලාබ අපේක්ෂාවක් නොමැතිවම සිදුකරනු ලබන මේ කටයුත්ත නිසා ප්‍ර දේශීය වශයෙන් කිසිදු ඇගයීමකට ලක්නොවූ නාට්‍යකරුවෝද ඇගයීම ලක්වෙති.

එදින පැවැත්වෙන සම්මාන ප්‍රදානය නිළි රැජන මාලනී ෆොන්සේකාගේ හා දකුණු පළාත් මහඇමති ඉසුරු දේවප්‍රිය හා සංස්කෘතික කටයුතු අමාත්‍ය අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුල යන ආරාධිත අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.


ජෝති මිතුරු සමාජයේ නව නිලධාරි

එච්. ආර්. ජෝතිපාල අනුස්මරණ පදනමේ සහ මිතුරු සමාජයේ නව නිලධාරී මණ්ඩලය මෙසේය.

සභාපති ක්‍රිෂාණි නර්මදා ජෝතිපාල, උපසභාපති, ප්‍රියන්ත අදය කුමාර, ලේකම් මල්ලිකා යූ. ලියනගේ, උපලේකම් රංජිත් හේවාවිතාරණ, භාණ්ඩාගාරික රිචඩ් ජනප්‍රියය ද සිල්වා, උප සභාපති ලාල් අතුකෝරාල.


ටී. කුමාරගේගෙන් නොමිලේ රංගන පාසලක්

රූකඩ රාජ්ජේ, වෙලාවකට පිස්සු. මාෂා සහ වලහා වැනි ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය රචනා කර අධ්‍යක්ෂණය කළ රාජ්‍ය සම්මාන දිනූ ඩී. කුමාරගේ මෙහෙයවන ‘කුමාරගේ නාට්‍ය පාසල’ට ඔබටත් දැන්ම ඇතුළත් විය හැකිය. එහි ඇතුළත් වී නොමිලේ රංගනය හදාරා දැනට ආදායම් ලබමින් ප්‍රදර්ශනය වන වේදිකා නාට්‍යවල රඟපෑමට අවස්ථාව උදාකර ගැනීමට ඔබටත් පුළුවන. කලුතර ප්‍ර දේශයේ ආරම්භ කරන මේ නාට්‍ය පාසලට බාහිර කරදරවලින් නිදහස්, කැප කිරිමක් කළ හැකි ආධුනික හා රංගනයට කැමැත්තක් දක්වන තරුණ තරුණියන්ට සහභාගි විය හැකි අතර ඒ අය 0716-330078 හෝ 034-2281363 යන දුරකථන අංකවලට ඩී. කුමාරගේ අමතන්න.


‘අවසාන නින්දගම’ එළිදකියි

ප්‍රවීණ ලේඛකයකු මෙන්ම මාධ්‍ය වේදියකුවන ප්‍රේමකීර්ති රණතුංගගේ අලුත්ම නවකතාව ‘අවසාන නින්දගම’ කෘතිය මේ මස 28 වැනිදා මරදාන දයාවංශ ජයකොඩි සහ සමාගමේ පොත් ප්‍රදර්ශනාගාරයේදී එළිදකියි. මේ කෘතිය දයාවංශ ජයකොඩි ප්‍රකාශනයකි.


නිශාන්ත උයන්ගොඩගෙන් කෙටි නාට්‍ය කෘතියක්

රාජ්‍ය සම්මානලාභී කෙටිනාට්‍යකරුවකු වන නිශාන්ත උයන්ගොඩ ජයතිලකගේ සම්මානනීය කෙටි නාට්‍ය ත්‍රිත්වයක එකතුව රැගත් ‘පින්තාරු තුනක්’ නාට්‍ය කාතිය පසුගියදා එළිදැක්විණි. ‘ගැළපෙනම එකියක්’, ‘අන්දපු ලස්සන’, ‘වාසගම දීපං’ යන රාජ්‍ය හා යෞවන සම්මාන දිනාගත් කෙටි නාට්‍ය ත්‍රිත්වය මේ කෘතියට ඇතුළත්ව ඇත. මේ කෘතිය පැළෑඳ ප්‍රකාශනයකි.


ශ්‍රීමත් ඉන්ද්‍රජිත්ගෙන් ‘නිළ අල්ලා මොළ සූරාකෑමේ කලාව’

ගුවන්විදුලි හා රූපවාහිනි නිවේදක ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ ලියූ ‘නිළ අල්ලා මොළ සූරාකෑමේ කලාව’ විචාර කෘතිය පාඨක අතට පත්කර ඇත. අද්‍යතන ගුවන්විදුලි හා රූපවාහිනි මාධ්‍යවල සාධණීය හා නිශේධණීය අංග විමර්ශනයට ලක්කරමින් ශ්‍රීමත් මේ කෘතියෙන් නොදුටු පැති ගණනාවක් අනාවරණය කර ඇත.