වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




ලොකානෝ ‘ඕපන් ඩෝර්ස්’ සැසිය නොවැම්බර් 26, 27 දෙදින කොළඹදී.....

ලෝකානෝ උලෙළ ‘දොර විවර’ කරයි එහි ඇතුළුවන්න උත්සාහ කරමු

ලොකානෝ ‘ඕපන් ඩෝර්ස්’ සැසිය නොවැම්බර් 26, 27 දෙදින කොළඹදී.....

ජ්‍යෙෂ්ට කථිකාචාර්ය ධනුෂ්ක ගුණතිලක සමඟ මුහුණට මුහුණ සංවාදයක්...

සාක් සිනමා උළෙල මේ දිනවල කොළඹ...

බොහෝ විට මේ උළෙලින් බලාපොරොත්තු වුනේ සාමය හඳුන්වාදීම සඳහා කලාත්මක ප්‍රවේශයක් ගැනීමත් ඒ තුළින් වඩාත් හොඳීන් ඒ කලාව සංස්කෘතිය තුලට අවශෝෂණය කරගන්නා ක්‍රමයක් හදන්නයි. සිනමාව තුළින් මහා සමාජ පෙරලි ඇති කරන්න බැරි උනත් යම් බලපෑමක් කරන්න පුළුවන් බවට විශ්වාසයක් තිබෙනවා.

ධනුෂ්ක ගුණතිලක ගැන ඔබ අසා තිබෙනවා විය යුතුය. නමුත් ඔබට රූපයෙන් තරමක් නුපුරුදු වන්නට පුළුවන. ධනුෂ්ක ගැන බොහෝ දෙනා දන්නේ ඔහු සිනමා අධ්‍යාපනය සම්බන්දයෙන් ගුරුවරයෙකු වන නිසාය. අපේ රටේ සිනමාකරුවන් ඔහුව දන්නේ විශිෂ්ට කැමරා අධ්‍යක්ෂවරයෙක් ලෙසටය. එමෙන්ම ජාත්‍යන්තරයේ බොහෝ දෙනා ඔහුව හඳුනාගත්තේ සිනමා උළෙල සංවිධානය කරන්නෙකු හැටියටය. 2000 දශකයේ මුල් කාලයේ ඔහු ඉන්දියාවට යන්නේ සිනමාව හැදෑරීමටය. බොහෝ දෙනාගේ තේරීම යුරෝපය, ඇමරිකාව, කොරියාව වෙද්දී ධනුෂ්ක ඉන්දියාව තෝරාගන්නේ එක් විශාල හේතුවක් නිසාය. ලෝකයේ හොඳම සිනමා පාසල් 10 අතර ඉන්දියාවේ ප්‍රකටම සිනමා පාසලද වෙයි. එය පූනේ හි ඉන්දීය චිත්‍රපට හා රූපවාහිනි ආයතනය නම් වූ ආසියාකරයේ ඉතාමත් විශිෂ්ට හා ගෞරවාදරයට පත් වූ සිනමා පාසලයි. ඉන්දීය චිත්‍රපට ආයතනයේදී ඔහු ලැබූ වසර ගණනක විශ්වීය අධ්‍යාපනයත් ඉන්දියාවේ වෘත්තීය වශයෙන් චිත්‍රපටකරණයේ යෙදී ඉන් අනතුරුව ඉන්දීයානුවන්ටම සිනමාව උගන්වා ඔහු ලැබූ පරිචයත් සියල්ල එක ක්ෂණයෙන් දමා ඔහු ලංකාවට පැමිණියේ මීට දශකයකට පමණ පෙරය. වරෙක ඔහු තමා උගත් ඉන්දීය චිත්‍රපට ආයතනයෙන්ම ආරාධනා ලැබුණේ එහි පැමිණ ශිෂ්‍යන්ට ගුරුහරු කම් ලබා දෙන ලෙසටය. ඔහු එකල ලංකාවට පැමිණියේ ලංකාවේ අංකුර පෝෂණය වෙනුවෙනි. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඩිජිටල් ෆිල්ම් ඇකඩමිය ඇරඹෙන විටත් ඔහු එහි ආරම්භකයෙක්ය. එතුලින් ඔහුගේ ගුරුහරුකම් ඇතුව වැඩුනු ශිෂ්‍ය සංඛ්‍යාව විශාල ගණනකි. අද ඔවුන් සැදී පැහැදී සිටින්නේ ලැබෙන පළමු මොහොතේම ලෝක සිනමාව ජයගන්නටය. එතරම්ම ඔහුගෙන් ශිෂ්‍යන්ට ලැබුණු ගුරුහරුකම් අප්‍රමාණය.

පසුගිය කාලයේ ඔහු සිනමා ජූරි සභිකයෙක් ලෙසද ජාත්‍යන්තර මට්ටමෙන් කටයුතු කළේය. එනිසා බොහෝ විට ඔහුගේ පරිචයෙන් ප්‍රයෝජන ලබන්නේ විදෙස් රටවල්ය. අද ලංකාවේ සිටින වඩාත් ක්‍රියාශීලීම සිනමා සම්බන්ධීකාරකු අතර ඔහු ද වෙයි. බොහෝ විදෙස් සිනමා උළෙලවල් වල සම්බන්ධීකරණ කටයුතු කරන ඔහු තවත් උළෙලවල් වල උපදේශන රාජකාරියද කරයි. බොහෝ විදේශ තානාපති කාර්යාල යටතේ පවතින සංස්කෘතික අංශයන්ට නැතිව බැරි පුද්ගලයෙක් වන්නේ ධනුෂ්ක ගුණතිලකයි. ඒ නිසාම ධනුෂ්කගේ සම්බන්ධීකරණයෙන් ලංකාවේ සිදුවන විදේශ වැඩ බොහොමයක්ය. ලංකාවේ සිනමාකරුවන්ට ඒවා වැඩ දායක වන අතරේ ඒවා වඩාත් සංස්කෘතිමය අතින් ලංකාවට වාසි දායක කරගැනීමට ධනුෂ්ක දරන දායකත්වය විශිෂ්ට එකකි. පොදුවේ ලංකාව වෙනුවෙන් දායකත්වය දෙන අතරම පුද්ගලිකවත් ඔහුට ජාත්‍යන්තර අත්දැකීම් ලැබෙන මාර්ග ඇත. එම නිසා ඉදිරි වසර කිහිපය තුල ලංකාව තුල වීමට නියමිත ජාත්‍යන්තර වැඩ රාශියකි. එමෙන්ම එළඹෙන දින තුළදීද යම් සාධනීය වැඩසටහනක් ලංකාව තුල ක්‍රියාත්මක වීමට නියමිතය.

ඒ සම්බන්දයෙන් මම සහ ධනුෂ්ක මුහුණට මුහුණ හමුවන්නේ ජාත්‍යන්තරය හා අප අතර ඉදිරියේදී ඇතිවෙන්නට නියමිත හූය ගැන නිෂ්චිත අදහසක් මතු කර ගැනීමටය. එමෙන්ම මේ සංවාදය තුල අප රටක් ලෙස කළ යුත්තේ කුමක්ද යන්න වග ජ්‍යෙෂ්ට කථිකාචාර්ය ධනුෂ්ක ගුණතිලක ඉතා හොඳීන් පැහැදිලි කර ඇත.

* ඔබ පසුගිය දිනෙක පකිස්තානයේ සංචාරය කළා. මොකක්ද හේතුව? ඒ හේතුව සිනමාවේ එකක්ද?

ඔව් ඒක සිනමාව සම්බන්ද වැඩක්. පළමු වතාවට සංවිධානය කරපු ආසියානු සාම සිනමා උළෙල පැවැත්වුණේ පකිස්තානයේ. සිනමා උළෙලේ කෙටි චිත්‍රපට, වාර්තා චිත්‍රපට හා සජීවිකරණ කියන අංශ තුනක් වෙන් කරලා තිබුණා. ඒ සඳහා ජූරි සභිකයන් 9 දෙනෙක් සඳහා ආරාධනා ලැබුණා. වාර්තා චිත්‍රපට අංශයේ ජූරි සභිකයෙක් හැටියට මටත් ආරාධනාවක් ලැබුණා. ඒ උළෙල ඉතාම සාර්ථක එකක්. මම නියෝජනය කරපු ඛාණ්ඩයේ ඉතාම හොඳ චිත්‍රපට කිහිපයක් තිබුණා. ඊළඟ වතාවේ මේ උළෙල පවත්වන්න නියමිත වෙලා තිබෙන්නේ චීනයේ.

* මේ සාම සිනමා උළෙල මුල්ම වතාවට පකිස්තානයේ ස්ථාන ගත වෙන්නේ යුද්ධයට එරෙහිව සාමය ප්‍රචාරය කරන කටයුත්තක් විදිහටද?

නැහැ. මේ සිනමා උළෙලට එහෙම යුධ විරෝධී ආකල්පයක් නැහැ. තිබෙන්නේ සාමය කියන පුළුල් තේමාව ප්‍රචාරය කිරීම. ඒ කියන්නේ සාමය කියන එකෙන් අර්ථ ගැන්වුණේ යුද්ධයට එරෙහිව සාමය ලබා ගැනීම පමණක් නෙවෙයි. යුද්ධයට එරෙහිව සාමය සමඟ රටක අභ්‍යන්තරයේ සාමකාමිත්වය වගේම ගෙදර දොරේ තිබෙන්න ඕනෑ සාමය ගැනත් මේ උළෙල අවධානය යොමු කළා. සාමය කියන විශ්වීය සංකල්පය ගැන තමයි මුළු උළෙලම කතා කළේ.

* ඒ කතාබහ කොතරම් දුරට සංස්කෘතිකයිද?

ඇත්තෙන්ම ඒ උත්සහය එක අතකින් කලාත්මකයි අනෙක් අතින් සංස්කෘතිකයි. බොහෝ විට මේ උළෙලින් බලාපොරොත්තු වුනේ සාමය හඳුන්වාදීම සඳහා කලාත්මක ප්‍රවේශයක් ගැනීමත් ඒ තුළින් වඩාත් හොඳීන් ඒ කලාව සංස්කෘතිය තුලට අවශෝෂණය කරගන්නා ක්‍රමයක් හදන්නයි. සිනමාව තුළින් මහා සමාජ පෙරලි ඇති කරන්න බැරි උනත් යම් බලපෑමක් කරන්න පුළුවන් බවට විශ්වාසයක් තිබෙනවා.

* ලංකාවෙත් මූලික අවශ්‍යතාවක්නේ සාමය කියන්නේ. ආසියානු රටක් හැටියට ඔය ක්‍රියාවලිය තුළින් ලංකාවට ලැබෙන ප්‍රතිලාභය මොකක්ද?

අපි සාමය කියන සංකල්පය පොඩ්ඩක් පැත්තකට තිබ්බොත් ඉතුරු වෙන්නේ සිනමාව හා කලාව. මෙන්න මෙතැන තමයි තිබෙන්නේ ලංකාවට හරියටම මුහු වෙන්න පුලුවන් තැන. ආසියානු රටක් හැටියට කලාව ප්‍රවර්ධනය කිරීම අතින් ඉරානය සිටින්නේ ඉතා ඉහලින්. ඒ වගේමයි පකිස්තානයත්. අපිට වැඩිය නොපෙනුනාට පකිස්තානය කියන්නේ කලාව වෙනුවෙන් ලොකු මැදිහත්වීමක් කරන රටක්. කොටින්ම පකිස්තානයේ පාර්ලිමේන්තුවේ කතානායකවරයා පවා නවකතා කරුවෙක්. නමුත් ලංකාවේ තත්වය ගැන අපි කවුරුත් දන්නවා. අපි අපේ සංස්කෘතියට ප්‍රතිලාබයක් ලැබෙන විදිහට කලාව හසුරුවාගෙන නැහැ.

* ඔබ මොකක්ද කරන යෝජනාව?

මම රටෙන් එළියට ගිහින් එද්දී ලැබෙන අත්දැකීම් වලින් මම දන්නවා රටක් හැටියට අපි අපේ සංස්කෘතිය වෙනුවෙන් මුකුත් කරලා නැහැ කියලා. ඒත් සාම සිනමා උළෙල වගේ තැන් වලින් අපි උකහා ගත යුතු දේවල් තියෙනවා. එකක් තමයි ආසියාවේ රටක් හැටියට අනෙකුත් ආසියානු රටවල් එක්ක අපේ තිබෙන සංස්කෘතික ගනුදෙනුව ඉතා අල්පයි. අපිට රටක් හැටියට දේශපාලන ගනුදෙනු තිබෙනවා, වෙළඳ ගනුදෙනු තිබෙනවා. නමුත් මිනිස්සු මිනිස්සු ගනුදෙනු කරගන්නේ නැහැ. අපි ඔවුන් ගැන දන්නේ නැහැ. ඔවුන් අපි ගැන දන්නේ නැහැ. ගොඩක් වෙලාවට අපි කලාව වුනත් කරන්නේ යුරෝපය ගැන හිතල. නමුත් යුරෝපය වගේ තැනකට ලංකාව කියන්නේ ඉතා පොඩි තැනක්. ඔවුන්ට අපෙන් වැඩක් නැහැ. අපිටයි ඔවුන්ව ඕනේ. ඔවුන් ළඟට කිට්ටු වෙන්න නම් අපට සිද්ධ වෙනවා ඔවුන්ගේ විදිහට වැඩ කරන්න. උදාහරණයක් කිව්වොත් ඔවුන්ට ලංකාවේ සංස්කෘතික පරිසරය වැදගත් නැහැ. ඒ වෙනුවට ඔවුන් කරන්නේ පුද්ගලයන්ව අගයන එක. ඔවුන්ට ලංකාව වටින්නේ නැහැ. හැබැයි ඔවුන්ට විමුක්ති ජයසුන්දරව වටිනවා. අන්න ඒ වගේ. නමුත් ආසියාවේ එහෙම නැහැ. ආසියාවේ රටකට තවත් ආසියාවේ රටක් කිට්ටුයි. අපේ සමානකම් තිබෙනවා ගොඩක්. ඔවුන් කැමතියි අපිව වැළඳගන්න. අන්න ඒ සඳහායි අපි කලාව පාවිච්චි කරන්න ඕනෑ. තවත් කලා මාධ්‍ය තිබුණත් සිනමාව කියන්නේ ඒ සඳහා හොඳම මාධ්‍ය. අපිට පුලුවන් අපේ වටේ සිටින දකුණු ආසියානු රටවල් සමඟ හවුල් නිෂ්පාදන වලට යන්න ස්වාධීන සිනමාකරුවන් සමඟ. ඉන්දියානු සමාන්තර දහරාවත් පකිස්තානය, බංග්ලාදේශය, භූතානය, නේපාලය කියන රටවල් එක්ක අපිට පුලුවන් වඩා හොඳ සිනමා ගනුදෙනුවකට යන්න. අනික මේ රටවල් එකතු කළාම වෙළඳපලත් විශාලයි.

* මේ අතරේම තමයි ඉන්දියාවේ පැවැත්වීමට නියමිතව තිබූ සාර්ක් කලාපයේ සිනමා උළෙල මෙවර ලංකාවේදී සංවිධානය කරන්න ඔබේ දායකත්වය ලැබෙන්නේ?

ඔව්. මෙවර සාර්ක් සිනමා උළෙල මෙම මස 21 සිට 25 දක්වා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමාශාලාවේදී පවත්වන්න නියමිතයි. අපේ කලාපයෙන් ආපු චිත්‍රපට ගැන මම ගොඩක් සතුටුයි. ඒවා ජාත්‍යන්තර තලයේ ඉහලින්ම ඇගයීමට ලක්ව ආපු චිත්‍රපට. ඒ වගේම ලංකාවෙන් ‘ඇගේ ඇස අග’ චිත්‍රපටයත් ‘සය පෙති කුසුම’ චිත්‍රපටයත් උළෙලට නිර්දේශ වෙලා තිබෙනවා. ඒ වගේම ධර්මසිරි බණ්ඩාරනායක මහත්මයාගේ ‘හංස විලක්’ චිත්‍රපටයේ ඩිජිටල් පිටපත උළෙලට සමගාමීව ප්‍රදර්ශනය කරන්නත් අපි කටයුතු යොදලා තියෙනවා. උළෙලේ ප්‍රධාන වැඩමුළුව 24 (හෙට) වනදා රුසියානු සංස්කෘතික ආයතනයේදී උදෑසන 9 ට පවත්වන්න නියමිතයි. මේ සියල්ලටම ඇතුල්වීම නොමිලේ.

* ලෝක ප්‍රකට ස්විට්සර්ලන්තයේ ලොකානෝ සිනමා උළෙලේ නියෝජිතයින් ලංකාවට පැමිණෙන්නේත් මේ අතර...

ලොකානෝ උළෙලේ අධ්‍යයන අංශය තමයි ලොකානෝ ‘ඕපන් ඩෝර්ස්’ කියන්නේ. 2016, 2017, 2018 යන වසරවල් සඳහා ඔවුන්ගේ එක් ඉලක්කයක් වුනේ දකුණු ආසියානු කලාපයේ සිනමාව වෙනුවෙන් ප්‍රවර්ධන කටයුතු කිරීම. ඔවුන් අපේ සිනමාකරුවන්ට මග පෙන්වීම සහිතව අත දෙනවා චිත්‍රපට නිෂ්පාදනය කිරීමට. ඒක රටක් හැටියට අපිට ලැබෙන ජයග්‍රහණයක්. ලොකානෝ උළෙල කියන්නේ අපේ ලාංකික නිර්මාණකරුවන්ට එතරම් නුහුරු තැනක් නෙවෙයි. නමුත් පහුගිය කාලයේ ලංකාවෙන් ලොකානෝ වෙත යවපු ව්‍යාපෘති වාර්තා එතරම් හොඳ මට්ටමක තිබුණේ නැහැ. ඒ නිසා ලොකානෝ බලධාරීන් ලංකාවට ඇවිල්ල මේ ගැන අපේ නිර්මාණකරුවන්ට විශේෂ වැඩමුළුවක් කරන්න සුදානමෙන් ඉන්නවා. මේ මාසයේ 26, 27 දෙදින තරංගනී ශාලාවේදී ඒ වැඩමුළුව පැවැත්වෙනවා. මේ ව්‍යාපෘතිය සැකසීම කියන්නේ එක්තරා විද්‍යාත්මක කාරණාවක්. ඒකයි ලෝකයේ උළෙලවල් මේ කාරණාව බරපතල ලෙස ගන්නේ.