වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




Bollywood

පද්මාවතියට නීතියේ පිහිට

Padmavati කියන්නේ දැඩි බාධා රැසක් මධ්‍යයේ සංජේ ලීලා බන්සාලි විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක්. පද්මිණි රැජන ලබා ගැනීම වෙනුවෙන් රාජස්ථානයේ චිතෝර්හි සිදුවන හමුදා මෙහෙයුමක් පිළිබඳ කතාවක් මෙහි කියවෙනවා. මෙම මෙහෙයුම මෙහෙයවන්නේ අලවුදීන් කිල්ජි විසින්. ඓතිහාසික ප්‍රේම කතාවක් ගෙන එන Padmavati චිත්‍රපටයේ දීපිකා චිතෝර්හි පද්මිණි රැජන ලෙසත්, රන්වීර් කිල්ජි වංශයේ දෙවන සුල්තාන් අලවුදීන් කිල්ජි ලෙසත් ෂහීඩ් රණා රාවල් රතන් සිං ලෙසත් චරිත නිරූපණය කරනවා.

පසුගිය ජනවාරි මාසයේදී Padmavati දර්ශන තලයට මැර ප්‍රහාර පවා එල්ල වුණා. එහිදී දර්ශන තලයේ තිබූ කැමරා උපකරණ කිහිපයකටත් අලාභානි වූ බවත් බොලිවුඩ් ආරංචි මාර්ග වාර්තා කළා. නොවැම්බර් මාසයේ තිරගත කරන්න නියමිත බව ප්‍රකාශයට පත්වීම සමඟින් Padmavati චිත්‍රපටයට ඓරහිව උද්ඝෝෂණ පවා පැවැති බවත් ඒ අතරේ වෙනවා. එපමණක් නොව විරුද්ධවාදින් විසින් චිත්‍රපටයට විරුද්ධව පෙත්සම් රැසක් ද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරලා.

කෙසේ වෙතත් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම පෙත්සම් ප්‍රතික්ෂේප කළ බවයි සැළවෙන්නේ. රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය නොලද බව සහ අයුතු ලෙසින් සහතික කළ බවට වන එම පෙත්සම් රැඟුම් පාලක මණ්ඩලයේ ප්‍රධාන ආයතනය වන Film Certification Appellate Tribunal වෙත ඉදිරිපත් කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී තිබෙනවා.


හොලිවුඩයෙන් කේරළයට

නිස්කලංකව නිවාඩුවක් ගත කිරීම කාර්යබහුල ඕනෑම පුද්ගලයෙකුගේ බලාපොරොත්තුවක්. ජනප්‍රිය හොලිවුඩ් නිළියක් පසුගිය කාලයේ ඒ විදියට නිවාඩුවක් ගත කරන්න බොලිවුඩයට ඇවිත් සිටියා. ඇය හැලී බෙරී. මේ වසරේදී ඇය දායක වූ චිත්‍රපට ත්‍රිත්වයක් තිරගත කෙරුණා. ඒ අතරේ ඇය කාර්යබහුල ජීවිතය ටික දිනකට අතහැර දමා තමයි මේ විදියට ඉන්දියාවේ කේරළයේ නිවාඩුවක් ගත කරන්න පැමිණියේ.

පසුගිය කාලයේ සුරූපි ඓෂ්වර්යා පුවත් මැව්වේ Fanney Khan චිත්‍රපටය වෙනුවෙන් ඇය සුවිශේෂි තෙල් සත්කාර සහ සිරුරේ බර අඩු කරගැනීම වෙනුවෙන් ආයුර්වේදයේ සහය ලබන බවයි. නිවාඩුව ගත කරන්න පැමිණි හැලී බෙරීත් ඓෂ්ගේ මඟ යන බවයි ආරංචි වෙන්නේ. කේරළයේ සුප්‍රසිද්ධ නිවාඩු නිකේතනයකදී ඇයත් ආයුර්වේද සත්කාර ලබා ගත් බව දැන් ප්‍රසිද්ධයි. නිදහසේ වීදි පුරා සහ වෙරළ තිරයන්හි ඇවිද ගිය මේ හොලිවුඩ් නිළිය කනිචුකුලංගාරා දේවි කෝවිලත් වන්දනාමාන කළා. ඉන්දියාවේ ගත කළ මේ නිවාඩුව ඉතාම සුන්දර බව දන්වමින් කේරළයේදී ඇය ගත් සුන්දර ඡායාරූප පෙළක් තම ඉන්ස්ටග්‍රම් ගිණුමට එක් කරන්නත් ඇය අමතක කළේ නැහැ.


සල්මන් - කත්‍රිනා පෙම් කතාව

කත්‍රිනා කියන්නේ බොලිවුඩයෙන් බැහර සිට පැමිණ බොලිවුඩයේ නමක් දිනාගත් තරුවක්. බොලිවුඩයේ මුලින්ම කත්‍රිනාගේ හද ගත්තේ සල්මන්. සල්මන් කත්‍රිනා පෙම් කතාව දෙදරා ගිය පසුව මේ දෙදෙනාගේ දායකත්වයෙන් නිර්මාණය වුණු Ek Tha Tiger අති සාර්ථක සිනමා නිර්මාණයක් වුණා. මේ දිනවල හැමෝම කතා වෙන්නේ එහි දෙවැන්න පිළිබඳවයි.

වසර පහකට පසුව Tiger Zinda Hai සමඟින් සල්මන් සහ කත්‍රිනාගේ නවතම රැඟුම් නරඹන්න දැන් අවස්ථාවක් එළඹෙන්න නියමිතයි. අබුඩාබිය, මොරොක්කෝව, ග්‍රීසිය වැනි රටවල රූගත කළ Tiger Zinda Hai චිත්‍රපටයේ Swag Se Karenge Sab Ka Swagat නම් ගීතය පිළිබඳ මේ දිනවල හොලිවුඩයේ ලොකු කතාබහක් ඇති වෙලා. එහි මේ දෙදෙනාගේ රංගනය ඉතාම මනරම් බවයි කියවෙන්නේ. එහි රංගනය වෙනුවෙන් ග්‍රීසිය, ප්‍රංශය, ට්‍රිනිඩෑඩ් සහ ටුබගෝ වැනි රටවල් කිහිපයකින් නර්තන ශිල්පීන් ශිල්පිනියන් සිය දෙනෙකු සහභාගි වී ඇති බවත් පැවසෙනවා.

චිත්‍රපටයේ අධ්‍යක්ෂ පවසන්නේ Ek Tha Tiger සමඟින් සල්මන් සහ කත්‍රිනා අතර තිබුණු සබඳකමට ප්‍රේක්ෂක මනාපය ඉහළින්ම හිමි වූ නිසාම ඒ සබඳකම තවත් ඉදිරියට ගෙන යාම වගකීමක් වූ බවයි. Tiger Zinda Hai ලබන දෙසැම්බර් 22 වැනිදා සිර ලොව පුරා තිරගත කරන්න සූදානම්.


විශේෂ දෙයකට වඩා වැඩි මිතුදම

කරන් ජොහාර් සහ කාජල්ගේ මිතුදමට දැන් වසර විසිපහක් විතර වෙනවා. හැබැයි පසුගිය කාලයේ මේ මිතුදම ටිකක් පළුදු වුණු බව තමයි ආරංචි වුණේ. එයට හේතුව වුණේ අජේගේ Shivaai චිත්‍රපටය හා කරන්ගේ Ae Dil Hai Mushkil චිත්‍රපටය නිසා කියලත් ඇතැම් අය පැවසුවා. උත්සව අවස්ථාවකදී කරන් කාජල් ගැන කළ ප්‍රකාශයකට අජේට කේන්ති ගිහින් කරන්ගේ කණ පිරෙන්න දොස් කිව්වා කියලත් රාවයක් පැතිරුණා.

ඒ කෙසේ වෙතත් මෑතකදී බිඳී ගිය ඒ මිතුදම යළිත් දළු ලා වැඩුණු බවත් බොලිවුඩ් පුවත් ගෙන එනවා. "හැමදාමත් එයා මට විශේෂ දෙයකට වඩා වැඩි යමක් වෙලා ඉඳීවි" පැරණි මිතුදම යළිත් ඇරඹීම ගැන කරන්ගෙන් විමසූ විට පවසා තිබෙනවා.


පැරණි පෙම්වතියන් නැවතත්

අනිල් කපූර්ට පැරණි පෙම්වතියන් හමු වෙලා. එක් කෙනෙක් මධුරි. අනිත් කෙනා ඓශ්වර්යා. අලුත්ම සිනමා නිර්මාණ දෙකක් සමඟින් තමයි අනිල් මේ දෙදෙනා හමු වෙන්නේ.

අනිල් කපූර් සහ මධුරි ඩික්සිත් රිදි තිරයේ පෙම්වතුන් වුණේ අනූව දශකයේදීයි. Ram Lakhan, Pukar සහ Beta වැනි චිත්‍රපට සමඟින් මේ දෙදෙනා ජනප්‍රියම පෙම් යුවළ බවට පත් වුණා. ඒ අතරේ අනිල් - මධුරි පෙනී සිටි Dhak Dhak Karne Laga ගීතයත් ඉහළ ජනප්‍රියත්වයක් ලද ගීතයක්.

වසර ගණනකට පසුව මේ දෙදෙනා යළිත් සිනමා නිර්මාණයකින් දකින්න ලැබෙන බව බොලිවුඩයෙන් ආරංචි වෙනවා. මේ විදියට වසර දහසයකට පසුව අනිල් සහ මධුරිගේ රංගනයක් දකින්න ලැබෙන චිත්‍රපටය Dhamaal බව මුම්බායි මිරර් වාර්තා කරනවා. හැබැයි එදා ජනප්‍රියම පෙම් යුවල වුණු අනිල් සහ මධුරි මේ චිත්‍රපටයේ නම් පෙම්වතුන් නොවන බවයි වාර්තා වෙන්නේ. ලබන ජනවාරි මාසයේදී රූගත කිරීම් අරඹන්න නියමිත හාස්‍යය රැගෙන එන මේ චිත්‍රපටය ලබන 2018 වසරේ දීවාලි උත්සවය සමඟින් තිරගත කරන්න නියමිතයි.

ඒ වගේම අනිල් සහ ඓෂ් රිදී තිරයේ හමු වෙන්නේ වසර 17ට පසුවයි. Hamara Dil Aapke Paas Hai චිත්‍රපටයේ අනිල් සහ ඓශ්ගේ රංගනයන් කාටත් අමතක නැහැ. මේ යුවලගේ නැවත හමුවීම සනිටුහන් කරන්නේ, Fanney Khan චිත්‍රපටය යි. එහි ඓශ් රොක් තරුවකට පණ පොවනවා. ඇයගේ ආදරය පතා එන තරුණයාගේ චරිතය නම් නිරූපණය කරන්නේ අනිල් නොව රාජ්කුමාර් රාඕ විසින්.