වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




මාලිනිගේ සිට අනෝමා දක්වා එතෙර බුහුමන් ලද අපේ රංගනවේදිනියෝ-2

මාලිනිගේ සිට අනෝමා දක්වා එතෙර බුහුමන් ලද අපේ රංගනවේදිනියෝ-2

පසුගිය සතියෙන්...

පෙර කී ලෙසින් 70, 80 සහ 90 දශකයන්හී ජාත්‍යන්තර කිත් පැසසුම් ලැබීමේ භාග්‍යය මෙරට ජේෂ්ඨ නිළියන් උදෙසා පමණක් සීමා වී තිබු නමුදු, ‘2000- 2009’ දශකයේ ආරම්භක වර්ෂයේදීම එකී ගෞරවය තමන් සතු කරගැනීමට ශ්‍රී ලාංකේය ළමා රංගන ශිල්පිනියන් දෙදෙනෙකු සමත්වූහ. ඒ සෝමරත්න දිසානායකගේ ‘සරෝජා’ සිනමාපටය වෙනුවෙන් 2000 වර්ෂයේදී ඉරානයේ පැවති 15 වෙනි ඉස්ෆහන් අන්තර්ජාතික ළමා හා යොවුන් සිනමා උළෙලේදී ‘හොඳම ළමා නිළිය සඳහා වූ රන් සමනළ සම්මානයෙන්’ (Golden Butterfly Award for Best Child Actress) සමව පිදුම් ලද නිත්‍යවානි කන්දසාමි සහ ප්‍රමුදි කරුණාරත්නය.

එසේම මෙකී ජයග්‍රහණයත් සමග මේ දක්වා දේශීය දීර්ඝ වෘත්තාන්ත සිනමාපටයක් තුල වූ චරිත නිරූපනයක් වෙනුවෙන් අන්තර්ජාතික සිනමා උළෙලකදී ‘හොඳම නිළිය’ සම්මානයෙන් පිදුම් ලද ලාබාලතම ශ්‍රී ලාංකේය රංගන ශිල්පිනිය (වයස අවුරුදු 07, මාස 10, දින 26 දී) ලෙසින් වාර්තා පොත් අතරට එක්වීමට නිත්‍යවානි කන්දසාමි සමත් වූවාය. එයට අමතරව සෝමරත්න දිසානායකගේ ‘පුංචි සුරංගනාවි’ සිනමාපටය වෙනුවෙන්ද පෙරකී ‘හොඳම ළමා නිළිය සඳහා වූ රන් සමනළ සම්මානය’ නැවත වතාවක් තමන් සතු කරගැනීමේ අවස්ථාව 2002 වර්ෂයේදී පැවති 17 වෙනි ඉස්ෆහන් අන්තර්ජාතික ළමා හා යොවුන් සිනමා උළෙලේදී නිත්‍යවානි කන්දසාමිට හිමිවිය.

මේ අනුව එකම අන්තර්ජාතික සිනමා උළෙලකදී ‘හොඳම නිළිය’ සම්මානය දෙවතාවක් දිනූ පළමු සහ එකම ශ්‍රී ලාංකේය රංගන ශිල්පිනිය ලෙසින් නිත්‍යවානි කන්දසාමි දේශීය සිනමා ඉතිහාසයට එක්ව ඇත. නිත්‍යවානි සහ ප්‍රමුදිට අමතරව, දීර්ඝ වෘත්තාන්ත සිනමාපටයක් තුල වූ රංගනය වෙනුවෙන් ජාත්‍යන්තර ඇගයීම් ලද අනෙක් එකම ළමා නිළිය බවට පත්වුයේ සරලා කාරියවසම්ය.

ඒ 2007 වර්ෂයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති 28 වෙනි යංග් ආර්ටිස්ට් සම්මාන උළෙලේදී (Young Artist Awards) අන්තර්ජාතික වෘත්තාන්ත සිනමාපට අංශය යටතේ ‘ලොව හොඳම ළමා නිළිය’ (World Best Child Actress- International Feature Film) ලෙසින් කිරුල දරමිනි. මෙහිදී ඉහත සම්මානය දීපා මේතා අධ්‍යක්ෂණය කල ‘වෝටර්’ නම් ඉන්දියානු සිනමාපටය වෙනුවෙන් සරලා කාරියවසම් ලද ජයග්‍රහණයක් වූ අතර, ඒ නිසාවෙන් එදා මෙදා තුර විදේශීය සිනමාපටයක රංගනය වෙනුවෙන් අන්තර්ජාතික සම්මානයකින් පිදුම් ලද පළමු සහ එකම ශ්‍රී ලාංකේය රංගන ශිල්පිනිය ලෙසින් සරලා කාරියවසම් වාර්තා පොත් අතරට එක්ව වුවාය.

දේශීය රංගන ශිල්පිනියන් වැඩිම සංඛ්‍යාවක් (07), ජාත්‍යන්තර සම්මානයන් වැඩිම සංඛ්‍යාවකින් (10) පිදුම් ලද දශකය බවට පත්වූ ‘2000- 2009’ දශකයේ, පෙරකී පරිදි නිත්‍යවානි කන්දසාමි, ප්‍රමුදි කරුණාරත්න සහ සරලා කාරියවසම් යන ළමා නිළියන් තිදෙනා අතර සම්මාන හතරක හිමිකාරිත්වය බෙදී ගිය අතර, සම්මාන හයක හිමිකාරිත්වය අනෝමා ජනාදරී, දමිතා අබේරත්න, නිම්මි හරස්ගම සහ මාලනී ෆොන්සේකා යන ජේෂ්ඨ නිළියන් සතුවුවාය.

ඒ අනුව අශෝක හඳගමගේ ‘තනි තටුවෙන් පියාඹන්න’ සිනමාපටය වෙනුවෙන් අනෝමා ජනාදරී 2003 වර්ෂයේ පැවති 16 වෙනි සිංගප්පූරු අන්තර්ජාතික සිනමා උළෙලේදීද , ඉනෝකා සත්‍යාංගනීගේ ‘සුළං කිරිල්ලි’ සිනමාපටය වෙනුවෙන් දමිතා අබේරත්න 2004 වර්ෂයේ බංගලාදේශයේ පැවති 08 වෙනි ඩකා අන්තර්ජාතික සිනමා උළෙල හා ඉන්දියාවේ පැවති 01 වෙනි අන්තර්ජාතික තමිල්නාඩු සිනමා උළෙල යන උළෙලයන් ද්විත්වයේදීද, ප්‍රසන්න විතානගේගේ ‘ඉර මැදියම’ සිනමාපටය වෙනුවෙන් නිම්මි හරස්ගම 2004 වර්ෂයේ ස්පාඤ්ඤයේ පැවති 05 වෙනි ලස් පල්මස් ඩි ග්රෑන් කැනේරියා සිනමා උළෙලේදීද , ප්‍රසන්න විතානගේගේ ‘ආකාස කුසුම්’ සිනමාපටය වෙනුවෙන් මාලනී ෆොන්සේකා 2009 වර්ෂයේ ඉතාලියේ පැවති 07 වෙනි ලෙවන්ටේ අන්තර්ජාතික සිනමා සිනමා උළෙලේදීද ‘හොඳම නිළිය’ (Best Actress) උදෙසා වූ සම්මානයෙන් පිදුම් ලැබීමට සමත්වූහ. එයට අමතරව ‘ආකාස කුසුම්’ සිනමාපටයේ රංගනය උදෙසා 2008 වර්ෂයේ පැවති 39 වෙනි ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී ‘රජත මයුර විශේෂ ජූරි සම්මානයෙන්’ Silver Peacock -Special Jury Award) පිදුම් ලැබීමටද මාලනී ෆොන්සේකා සමත්වූවාය.

මේ අනුව දමිතා අබේරත්න මෙන්ම මාලනී ෆොන්සේකාද එක් සිනමාපටයක රංගනය උදෙසා ජාත්‍යන්තර සම්මාන දිවිත්වයක හිමිකාරිත්වයකට මෙකී දශකය තුල හිමිකම් කියූ අතර, ඒ නිසාවෙන් එක් සිනමාපටයක රංගනය වෙනුවෙන් අන්තර්ජාතික සිනමා උළෙලයන් ද්විත්වයකදී ජාත්‍යන්තර සම්මාන ලද පළමු සහ දෙවැනි ශ්‍රී ලාංකේය රංගන ශිල්පිනියන් ලෙසින් ඔවුහු වාර්තා පොත් අතරට එක්වීමට සමත්වූහ. මෙහිදී ‘2000- 2009’ දශකය තුල ශ්‍රී ලාංකේය නිළියන් ලද පෙරකී සම්මාන 10 අතුරින් ඉහළම ජගත් සම්මානය ලෙසින් මාලනී ෆොන්සේකා ලද ‘රජත මයුර විශේෂ ජූරි සම්මානය’ පෙරමුණ ගැනීමට සමත්විය.

එනමුදු එකී සම්මානය ලද 2008 වර්ෂයේදී ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙල ලොව ‘බී’ ශ්‍රේණියේ (Grade ‘B’) තරඟකාරී අන්තර්ජාතික සිනමා උළෙලක් ලෙසින් වර්ගීකරණයට ලක්ව තිබීමත්, උළෙලේ ප්‍රධාන තරඟකාරීත්වය ආසියානු, ආසියානු ශාන්තිකර, අප්‍රිකානු හා ලතින් ඇමරිකානු කලාපීය රටවල සිනමාපට උදෙසා පමණක් විවෘත පැවතීමත් කැපීපෙනුනි. එයට අමතරව අනෝමා ජනාදරී සම්මාන ලද සිංගප්පූරු සිනමා උළෙලේ මෙන්ම දමිතා අබේරත්න සම්මාන ලද ඩකා සිනමා උළෙලේද ප්‍රධාන තරඟකාරී අංශයන් ආසියානු සිනමාපට උදෙසා පමණක් විවෘත විය.

ලබන සතියට...

සම්මාන සටහන හා විශ්ලේෂණය

උදිත ලක්මාල් කහඳවආරච්චි

වැඩසහන් සම්පාදක ප්‍රධානී

කොළඹ අන්තර්ජාතික සිනමා උළෙල