වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




ශී‍්‍රමාල් රට හැර ගිහින්ද?

ශී‍්‍රමාල් රට හැර ගිහින්ද?

මම ජීවත්වන මේ රටවල්වලත් කලාවක් තිබෙනවා. මෙහි වෙසෙන දේශපාලනඥයන් ඒ කලාවට ඉඩදීලා තිබෙනවා. කවදාවත් කලාවේ සිටින පුද්ගලයන් දේශපාලනයට අරගෙන නැහැ. දේශපාලනඥයන් කලාව කරන්න ගිහින් නැහැ.

ශ්‍රීමාල් වෙඩිසිංහ ඔබ අතරට පැමිණෙන්නේ රංගන ශිල්පියකු ලෙසින් වුවත් ඔහු මාධ්‍යවේදියෙක්. පුවත්පත් කලාවට බෙහෙවින් ආදරය කරන ශ්‍රීමාල් වෙඩිසිංහ මේ වනවිට අපේ රටෙන් තරමක් ඈත්වීලයි කාලය ගත කරන්නේ. එහෙත් සිය රටට තිබෙන ආදරය නිසාමත්, කලාවට තිබෙන ආදරය නිසාමත් වරින්වර ඔහු සිය රටට පැමිණෙන්න අමතක කරන්නේ නැහැ. මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති වග දැන ගැනීමට ලැබුණු නිසා ම කලකට පසුව ඔහුත් සමඟ කතාබහක යෙදෙන්නට ‘සරසවිය’ අප තීරණය කළා.

ඔබ අපේ රටේ දීර්ඝ කාලීනව නොමැති වුවත් රංගනයෙන් සහභාගි වුණු නිර්මාණ රැසක් ම මේ දවස්වල විකාශය වෙනවා?

මා රඟපෑ ‘මේ මමයි’, ‘චුට්ටේ’, ඇතුළු නිර්මාණ රැසක් ම මේ දවස්වල විකාශය වෙනවා. මේ ටෙලි නාට්‍යවල රූගත කිරීම් තවමත් තිබෙන නිසා ඒ සඳහායි මා යළිත් මාස එකහමාරකට පමණ පසුව මගේ මව්බිම වෙත පැමිණියේ. ඒ අතරතුර චිත්‍රපට කිහිපයකටත් ආරාධනා ලැබුණා. ඒ නිර්මාණවලටත් මා රංගනයෙන් දායක වෙනවා.

ඔබ එක්වරම සිය රට දමලා යන්නේ සිතේ ඇතිවුණු යම් කළකිරීමක් නිසාද?

මම බොහොම ආදරෙයි මගේ රටට. මම නළුවකු වීමට කලින් වැඩ කළේ ජනමාධ්‍යවේදියකු විදියටයි. මා නළුවකු වුණත් ඒ පිළිබඳ තිබෙන කැමැත්ත තවම මගේ සිතේ මුල්බැස ගෙන තිබෙන බව කිව යුතුයි. මා කනස්සල්ලට පත් වී තිබෙන්නේ අපේ රටේ ටෙලි නාට්‍ය හා සිනමා කලාව ගැනයි. ඒ කලාව එක් පැත්තකින් එය ව්‍යාපාරිකකරණය වී තිබීමත්, අනෙක් පැත්තෙන් එය දේශපාලනිකරණය වී තිබීමත් යන කාරණා හේතුවෙන්. ඒ කාරණා දෙක මත දෝලනයවීමෙන් පීඩාවට පත්වන්නේ අන් කවුරුත් නොවෙයි නළු නිළියන්.

මෙසේ පැවසීමට ඔබට තිබෙන අයිතිය කුමක්ද?

මෙසේ මට කතා කිරීමට යම් අයිතියක් තිබෙන බව හැඟෙන්නේ මගේ ඉතිහාසය පිළිබඳ විමසද්දියි. මා ජාතික රූපවාහිනියට බැඳෙන්නේ 1981 වසරේදියි. නිත්‍යනුකූලව රූපවාහිනිය හදාරලා, රූපවාහිනි නිෂ්පාදකවරයකු විදියටයි එහි කටයුතු කරන්නේ. ඒ අනුව රූපවාහිනිකරණය පිළිබඳ මනා දැනුමක් ඇති අය සිටින්නේ අපේ රටේ අතළොස්සක් නම් ඒ එක් කෙනෙකු හැටියට මා මෙසේ ප්‍රකාශ කරන්නේ අභිමානයෙන්. ඒ මේ වකවානුව ඇතුළත කෙරෙන්නාවූ නිර්මාණ කෙරෙන්නේ ව්‍යාපාරිකකරණය හෝ දේශපාලනිකරණය මත සිටිමින් බවයි මට නම් පෙනෙන්නේ. ඒ නිසා මේ හේතුමත හොඳ නිර්මාණ බිහි නොවන නිසා මා වෙන මාවතක් තෝරා ගත්තා. ඒ වගේම මගේ පවුලත් මා රැකිය යුතුයි. මේ සියලු කරුණු කාරණා මූලික කරගනිමන් මා තීරණයකට පැමිණියේ ජාත්‍යන්තර වශයෙන් යම්කිසි ව්‍යාපාරයක් ආරම්භ කිරීමටයි. ඒ නිසයි මා මෙහෙට සංක්‍රමණය වුණේ. විදේශ ගතවෙලා මා අද හොඳ ස්ථාවරත්වයක ඉන්නවා. එසේ නොකර අපේ රටට වෙලා සිටියා නම් මට සිදුවන්නේ කනස්සල්ලට පත්වීමයි.

ඔබ ඔය පවසන්නේ අද රූපවාහිනිවල විකාශය වන දීර්ඝ නාට්‍ය රැල්ල ගැනද?

මෙගා පන්සියයයේ නාට්‍ය බිහිවන තාක්කල් හොඳ නිර්මාණ බිහිවන බවක් අපට පෙනෙන්නේ නැහැ. එදා මට මතකයි පරාක්‍රම නිරිඇල්ල, ලූෂන් බුලත්සිංහල, යූ.ආරියවිමල්, බන්දුල විතානගේ වැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයන් කළ නිර්මාණ පිළිබඳ. අද එවැනි නිර්මාණ බිහිවෙන්නේ නැහැ. මොකද පගාව තුළිනුයි නිර්මාණ දා ගන්නට සිදුවී තිබෙන්නේ. ඒ නිසා අපි නිර්මාණවලින් ඈත්වීම අමුතු දෙයක් නොවෙයි. මේ නිසා මේ පවතින තත්ත්වය දිගටම තිබුණොත් අවසානයේ සිදුවන්නේ අවංකව කලාවට ආදරය කරන අය මේ රටෙන් විදේශ ගතවීමයි.

මේ නිසා ඔබ කලාවට තිබෙන ආදරයට වරින්වර පැමිණ නිර්මාණවලට දායක වී සන්තෝෂයෙන් යනවා?

එලෙස මා නිර්මාණවලට දායක වන්නේ ඉතාමත් සන්තෝෂයෙන් නොවෙයි අසන්තෝෂයෙන්. මොකද මේ නිර්මාණවලින් සොයන මුදලට වඩා මුදලක් මගේ ව්‍යාපාරවලින් මට සෙවිය හැකියි. උදාහරණයක් විදියට නිෂ්පාදකවරයා ඔහු නිෂ්පාදනය කරන නිර්මාණය ටික දවසකින් අතට ගැනීම දැක්විය හැකියි. එවිට අධ්‍යක්ෂවරයාට කර බාගෙන සිටිම හැර වෙන කරන්නට දෙයක් නැහැ. ඔහුට එසේ කිරීමට සිදුවී තිබෙන්නේ මුදල් නිසයි.

ඔබ පවසන්නේ අතීතයේදී වර්තමානයේ මෙන් එවැනි දේ සිදුනොවුණු බවද?

පරාක්‍රම නිරිඇල්ල නිර්මාණයක් අධ්‍යක්ෂණය කරන විට කිසිම නිෂ්පාදකවරයකු ඒ නිර්මාණයට අත ගැසුවේ නැහැ. ‘යශෝරාවය’ වගේ නිර්මාණවලට තිබුණු ආණ්ඩුවවත් අත ගැසුවේ නැහැ. මේ නිසා එදා ඒ අධ්‍යක්ෂවරයා ඔහුගේ පාඩුවේ නිර්මාණ කරගෙන ගියා. වර්තමානයේදී මේ තත්ත්වය වෙනස් වෙලා. සමහර විට ඒ නිෂ්පාදකවරයාගේ බිරිය නිර්මාණයක රඟපානවා කියලා. එවිට අර නිෂ්පාදකවරයා අධ්‍යක්ෂවරයාට මෙහෙම විය යුතුයි, අර විදියට විය යුතුයි කියමින් විවිධ දේ පැවසීමයි බොහෝ නිර්මාණවල සිදුවන්නේ. ඒ ගැන විමසුවාට පසුව නිදහසට කරුණු කියන්නටත් අධ්‍යක්ෂවරයාට සිදුවෙනවා. එවැනි නිර්මාණ කෙරෙන පසුබිමක මේ රටේ කලාවක් තිබෙන්නේ කොහොමද?

එහෙමනම් ඔබ ජීවත්වන ඒ රටේ එවැනි කලාවක් තිබෙනවාද?

මම ජීවත්වන මේ රටවල්වලත් කලාවක් තිබෙනවා. මෙහි වෙසෙන දේශපාලනඥයන් ඒ කලාවට ඉඩදීලා තිබෙනවා. කවදාවත් කලාවේ සිටින පුද්ගලයන් දේශපාලනයට අරගෙන නැහැ. දේශපාලනඥයන් කලාව කරන්න ගිහින් නැහැ. එතැනයි අපේ රට පටලවාගෙන ඉන්නේ. ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් කලාව කරනවා. කලාකරුවන් දේශපාලනඥයන් වීමට හදනවා. මෙහෙම කරන්නේ ඇයි? සුඛවිහරණය සඳහායි. බුදුදහම අනුව වුණත් මේ ක්‍රමය වැරැදියි. අපේ රටේයි අඩියෙන් අඩිය පන්සල් තිබෙන්නේ. ඒත් මේ ක්‍රමය මෙනෙහි කරගන්න බැහැ. කලාව කරගෙන යන පුද්ගලයාට කලාව කරගෙන යන්න දෙන්නේ නැහැ. දේශපාලනය කරන පුද්ගලයා දේශපාලනය කරගෙන යන්නේ නැතිව ඒ එක එක දේවල්වලට අත දානවා. මේ තත්ත්වයයි වෙනස් විය යුත්තේ.

මේ මොහොතේ ඔබ සිටින්නේ කුමන රටකද?

මා මේ මොහොතේ සිටින්නේ කාම්බෝජයේ. ඒ රටෙත් අපේ රටේ වගේ ම යුද්ධයක් පැවතුණු රටක්. ඒත් මේ රටේ කලාකරුවා වැජඹෙන්නේ ඔවුන්ගේ ස්වාධීන කලා කෘති නිර්මාණය කරමින් ජනතාව සමඟයි.

ඔබ පවසන්නේ කලාකරුවන් දේශපාලනය නොකළ යුතු බවද?

පසුගිය දවස්වල ජනාධිපතිතුමා පවසලා තිබුණා නළු නිළියන්ට දේශපාලනයට පිවිසෙන්නට දෙන්නේ නැහැ කියලා. ඒක බොහොම හොඳ කාරණයක්. මා පිළිගන්නේ කලාකරුවන්ගෙන් බුද්ධිමත් අය සිටින්නේ අතළොස්සක ප්‍රමාණයක් පමණක් බවයි. උඩින් ඔපයක් තිබුණු පමණින් හැමෝටම දේශපාලනය කරන්න බැහැ. ඒක දේවත්වයෙන් යුතු රැකියාවක්. ඒ සඳහා මේ පරඬැලුන් වැනි අයවත් ඉදිරිපත් නොකළ යුතුයි. උගත්කමක් තිබෙන අයයි ඒ සඳහා ගෙන ආ යුත්තේ. දැනට ඒ දේශපාලනය කරන සමහරුන්ගෙන් ප්‍රශ්නයක් දෙකක් අසන්න. බ්‍රිතාන්‍යයේ අගමැති කවුද? කියලා අහන්න. ඔවුන් ඒක දන්නේ නැහැ. ඒකට ඔවුන් කියයි ඩොමී ජයවර්ධන කියලා. ‘හුණුවටය’ කාගෙද කියලා අහන්න. ඔවුන් දන්නේ නැහැ ඒ නිර්මාණය බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට්ගේ කියලා. බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට් කියන්නේ කවුද කියලා විමසන්න. ඔවුන් උත්තර දේවි ඔහු ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරයෙක් කියලා. නිදහස ලැබුව දිනේ දන්නේ නැති අය දේශපාලනයට පිවිසෙනවාද? ඒ වගේ දැනුමක් තිබෙන අයයි නළු නිළියන් කියන්නේ. එවැනි අය දේශපාලනයට පැමිණීම නිසා අද රටට සිදුවී තිබෙන්නේ ඛේදජනක තත්ත්වයක්. එය වෙනස් විය යුතු කාරණයක්.

යළිත් නිර්මාණ දෙසට හැරුණොත් නිර්මාණයක් බිහිවීමට නම් අධ්‍යක්ෂවරයා මෙන්ම තිරපිටපතටත් යම් වගකීමක් පැවරෙනවා. බොහෝවිට අද එවැනි වගකීම් සහිත තිරපිටපත් රචනා නොවන බවක් පෙනෙන්නට තිබෙනවා නේද?

සමහර නිර්මාණවලදි තිරරචකයා නාට්‍ය නිර්මාණය කරන ස්ථානයට පැමිණ එහි සිටින නළු නිළියන්ගේ මුහුණ බලලයි තිරපිටපත් ලියන්නේ. එවැනි තැනකුයි අද නිර්මාණ ඇතුළේ නිර්මාණය වී තිබෙන්නේ. එදා නිර්මාණයක් කරන විට ඒ නිර්මාණයේ සිදුවන සිදුවීම් එකින්එක පියවරෙන් පියවරයි සිදුවන්නේ. අද තේ හදන කොල්ලාත් කොහොන් හරි නිෂ්පාදකවරයකු අල්ලාගෙන නාට්‍යයක් කරනවා. පෝස්ටර් ගහන කොල්ලත් නාට්‍යයක් කරනවා. ඔවුන් කරන ඒවා නිර්මාණද? මීට පෙර මේ කලාව සැලකුවේ බොහොම උතුම් කලාවක් විදියටයි. ඒ උතුම් තත්ත්වයයි අද විනාශ වී තිබෙන්නේ.

එහෙත් බොහොම හොඳට සමාජය හා මනුෂ්‍ය ස්වභාවය විවිරණය කරන නිර්මාණ රැසක් බිහිව තිබෙනවා. ‘කූඹියෝ’, ඉදිරියේදී විකාශය වීමට නියමිත ‘සහෝදරයා’ වගේ නිර්මාණ ඊට උදාහරණයි?

මට තවමත් ඒ නිර්මාණ නරඹන්න නොහැකි වුණා. ෆේස්බුක් එක හරහා නම් මට ‘කූඹියෝ’ ගැන බොහොම හොඳීන් දැන ගැනීමට ලැබුණා. මේ නිර්මාණ දෙකම ආරම්භ කරන කාලයේ මා ලංකාවේ සිටියේ නැහැ. ඒත් ඒවා නැරැඹීමටයි මා අදහස් කරගෙන ඉන්නේ. එවැනි නිර්මාණ බිහිවීම සතුටට කාරණයක්.

ඔබ රඟපෑමට, ව්‍යාපාර කටයුතුවලට අමතරව නිෂ්පාදන කටයුතුවලට දායකවීමට අදහසක් නැද්ද?

හොඳ නාට්‍යයක් කිරීමට මට ආරාධනා ලැබුණොත් මා නිෂ්පාදන කටයුතුවලට දායකත්වය දක්වන්නටයි සිතාගෙන ඉන්නේ. හැබැයි හොඳ නිර්මාණයකට පමණයි. ඒ නිර්මාණයකට නිෂ්පාදනයෙන් දායක වුණොත් මා රඟපාන්නේ නැහැ.

හොඳ නාට්‍යයක් යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද?

ඉන්දියන් සම්භවයකින් එහාට ගිය, අපේම කියා ගත්ත නාට්‍ය නිර්මාණය කළ යුතුයි. ‘යශෝරාවය’ වගේ නිර්මාණයි අප නිර්මාණය කළ යුත්තේ. හොඳ නවකතා පොත් අප අතර කීයක් නම් බිහිවෙනවාද? කේ.ජයතිලක, මාර්ටින් වික්‍රමසිංහ වැනි ලේඛකයන්ගේ පොත් කොයිතරම් සුන්දර ලෙස නිමා වූ නිර්මාණද? ඒ මා පැවසුවේ උදාහරණ කිහිපයක් පමණයි. එවැනි නිර්මාණ අද වනවිට කොපමණ ප්‍රමාණයක් බිහිව තිබෙනවාද? ඒ වගේම අද තිබෙන ටෙලි නාට්‍යයක් විකාශය වනවිට පිටපත් කීයක් ගැන අවධානය යොමු කරනවාද? මේවා බාරගන්න ආයතන මුලින්ම ඔවුන්ට පවසන්නේ මුල් කොටස් පහළොවක් නිර්මාණය කර භාරදිය යුතු බවයි. එහෙත් ඒ කොටස බොහොම හොඳට නිමවන ලද නාට්‍යවල දහසය වැනි කොටසේ පටන් කලින් තිබුණු හොඳ තත්ත්වය කොහේද ගිහින්. එහෙම නැතුව සිදුවිය යුත්තේ නාට්‍යයක සම්පූර්ණ පිටපත විමසීමයි. එහෙම නොවී බිහිවන මේ නිර්මාණ නිසා අතරමං වන්නේ කවුද ප්‍රේක්ෂකයායි. එවිට ප්‍රේක්ෂකයා ග්‍රහණය කරන්නේ මොනවාද? ඉන්දියානු නාට්‍යයයි. මෙයයි අද එකම ඛේදවාචකයක් බවට පත්වී ඇත්තේ.

ඔබ ඉන්දියන් නාට්‍යවලට බොහෝ සේ විරුද්ධ බවයි පෙනී යන්නේ.

ඉන්දියන් නාට්‍ය ලංකාවේ පෙන්වනවාටත් මා තරයේ විරුද්ධයි. ඉන්දියන් නළු නිළියන් ගෙනැත් කරන චිත්‍රපට ගැනත් මා තරයේ විරුද්ධයි. ඉන්දියන් අධ්‍යක්ෂවරුන් ගෙනැත් මෙහේ නිර්මාණ කරන එකට මා සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ඒවා නිෂ්පාදනය කරන නිෂ්පාදකවරන් සමඟත් මා තරයේ විරුද්ධයි. මොකටද අපි කත් අඳීන්නේ. අපට තිබෙනවා නේ සුන්දර වූ ශ්‍රී ලාංකික වූ සිනමාවක්. ටෙලි නාට්‍ය කලාවක්. අපට ඉන්නවා නේ ශ්‍රේෂ්ඨ නිළියන්. නිළි රැජන මාලනී ෆොන්සේකා තවමත් ඉන්නවා නේ. ඒ නිසා ඉන්දියාවෙන් කෙරෙන නිෂ්පාදන නැවැත්විය යුතුයි. ඒ නිර්මාණවලට දඩයක් ගැසිය යුතුයි. අප මේ ගමන් කරන්නේ වැරැදි මාවතකයි.