වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




අශාන් - සේමිණි එක් කොට විසංගමනය මාලඹේදී හැදේ

අශාන් - සේමිණි එක් කොට විසංගමනය මාලඹේදී හැදේ

රන්ජන් ප්‍රසන්න සිනමා ප්‍රවිෂ්ටය

සේමිණීගේ අතගෙන රඟන අශාන් ඩයස්ගෙනුත් ප්‍රේක්ෂකයාට ඊටත් වඩා හොඳ ආරංචියක් ලැබෙන්නේ. ඒ කලක් තිස්සේ කැන්ගරු දේශයත් ශ්‍රී ලංකාවත් අතරේ එකෙල මෙකෙල වෙමින් සිටිය අශාන් දැන් ශ්‍රී ලංකාවේම නැවතී ඉදිරියේදී කලින්ටත් වඩා සිංහල චිත්‍රපටල රඟන්නට අදහස් කරනා වග. අශාන් ඒ කතාව හාපුරා කියලා සරසවියටමයි කීවේ.

සරිගම චිත්‍රපටයට මුරණ්ඩු කපිතාන්ගේ චරිතය මැවූයේ අශාන් ඩයස්. ඔහුත් 28’ චිත්‍රපටයේ සුද්දිට පණ දුන් සේමිණි ඉද්දමල්ගොඩත් අතිනතගත් මංගල ඡායාරූපය තමයි සිංහල සිනමාවේ මේ දිනවල අලුතින්ම කතාබහට ලක්වන පින්තූරය.

‘විසංගමනය’ විදියටත් බොහෝ දෙනා හඳුන්වන මේ අතිනත ගැනීමේ ආරංචියටමයි අපි පහුගියදා සල්මල් උයනට කරපෙව්වේ. මාලඹේට නුදුරු ඒ ඉසව්වේ සුවිසල් මැදුරක ඩග්ලස් රණසිංහ, හයසින්ත් විජේරත්න, සමනලී ෆොන්සේකා, චරිත් අබේසිංහ, චින්තක කුලතුංග එහෙමත් පිරවරාගෙනයි අශාන් - සේමිණි මේ අලුත් රැඟුම රඟන්නේ. මින් පෙර නොදුටු විරූ විදියට ඒ දෙදෙනාට දෙදෙනා කැමරා පථය ඉදිරිපිට අඹු සැමියන් වෙද්දී සමනලීත් ලෙහෙසියෙන් පහසුවෙන් වැඩේ අත්හැරලා නෑ.

සේමිණිගේ දෝනි විදියට සේමිණි ළඟම දැවටි දැවටී ඉඳිමින්ම සමනලීත් විසංගමනයෙන් අලුත්ම පෙමකටයි මුල පුරන්නේ. ඒ ජූලියා චිත්‍රපටයෙන් යොවුන් පෙම්වතකු විදියටත් අප හමු වූ චරිත් අබේසිංහ සමඟයි.

හාපුරා කියලා මේ ජෝඩු - ජෝඩු, ජෝඩු වෙද්දී ඒ සේරෝටම පොල්මඞකාරයා වෙන්නේත් රට නොදන්න කලාකරුවෙන් නෙවෙයි. මින් පෙර ටෙලි නාට්‍ය ගණනාවක්ම අධ්‍යක්ෂණය කළ රන්ජන් ප්‍රසන්න තමයි ඒ.

රන්ජන් විසංගමනයත් කරපින්නාගෙන සිනමාවෙන් දොරට වඩින්නට වන සූදානමේ තවත් සුවිශේෂත්වයක් වෙනවා. ඒ අපූරු චිත්‍රපට නිෂ්පාදකවරයෙක් විසංගමනයත් සමඟින් සිංහල සිනමාවට පිවිසීම.

උපේන්ද්‍ර මහේෂ් විජේරත්න නම් වන මේ චිත්‍රපට නිෂ්පාදකවරයාට අපූරු චිත්‍රපට නිෂ්පාදකවරයෙක්ය කියන්නටත් හේතුවක් වෙනවා. ඒ ඔහුම රංජන් ප්‍රසන්නට ඔහුගේ සිතේ ඈදිච්ච විසංගමනයේ රූප පෙළේ ඡායා මාත්‍රයක් විස්තර කරමින් ඉන් සිනමා රූප පෙළක් මවන්නට ආරාධනා කිරීමයි. කකුල් කඩිත්තුව හැදෙනකල්ම තිරකතාවත් කරපින්නාගෙන නිෂ්පාදකවරු සොය සොයා ගාටන්නට සිදුවීම හුඟක් නවක සිංහල චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ට අමුතු දෙයක් නෙවෙයිනේ. ඒත් ඒ අතින් රංජන් හරිම ‘ලක්’කාරයෙක්.

පහුගියදා අපි මාලඹේට කිට්ටු මහ මැඳුරට ගොඩවදින විටත් රංජන් රූගැන්වීම්වල. සේමිණිත් අශානුත් දෙන්නාට දෙන්නාගේ පවුල් හබයක සීන් වගයකයි රංජන් පැටලිලා හිටියේ. ඒ සන්තෑසියම තමයි කැමරා ඇසට ඇස දුන් ත්‍රිෂූල දීප තඹවිටටත් වී තිබුණේ.

මේ කට්ටිය සල්මල් උයනේ දර්ශන තලයට එන්නේ මොරටු පුරේ, බණ්ඩාරගම, රාජගිරිය, කොම්පඤ්ඤවීදියේ එහෙම කරක් ගහලා අන්තිමටමයි.

ගමෙන් නගරයට ඇවිදින් සල්ලි අත පත ගාන්න ගත්ත කඩවසම් තරුණයෙක් ඒ සල්ලි ගහේ කරටියටම නැගගන්නා විදියක් විසංගමනයෙන් පෙනේවි. එත් ඒ නඟින නැඟුමේදී දෝත දරනා සල්ලි පොදිවලින් ජගත් (අශාන් ඩයස්) සෑහීමකට පත් වේද?

‘තාත්තා මැරිලා තුන්මාසේ යන්නත් කලින් මට දේපළ බෙදන එක කතා කරන්න පුළුවන්ද?’

රුක්ෂාණි (සේමිණි ගේ ඒ කන්කෙඳිරිය මැඩගෙනම මතු වෙන්නේ ‘තාත්තා මළා කියලා මේ ඔක්කෝම නවත්වන්න ද කියන්නේ?’ කියනා ජගත්ගේ (අශාන් ඩයස්) හඬ.

කීප වතාවකින් රංජන්ගේ සිතට වදිනා තරමටම ඒ දෙබස් කිය කියා රංගනයෙන් පසුවයි අශාන්, සේමිණි දෙදෙනාටම නිනව්වක් ලැබෙන්නේ.

ඒ අල්ල පනල්ලේ, ‘කොහොමද ඉතින් මොනවද මේ දවස්වල කරන වෙන වැඩ?’ කියලා අපි කතාව පටන් ගත්ත විදියට සේමිණිගේ හිත නම් ටිකක් නොරොක් වෙච්ච හැඩයි.‘
නිෂ්පාදක උපේන්ද්‍ර මහේෂ් විජේරත්න

මං එක වතාවකට එක වැඩයි බාර ගන්නේ. දෙකට දෙවාරං වැඩ මගේ නෑනේ’ තියාගෙනයි සේමිණි කතාවට බැස්සේ. චිත්‍රපට කිහිපයක තිරපිටපත් කියවා බලමින් සිටිනා බවත් හෙළි කළ සේමිණි ගිහාන් රෝහණගේ අලුත් ටෙලියකින් දිගු කලෙකට පස්සේ පුංචි තිරයේ ළඟදීම දකින්නට ලැබේවිය කියනා ආරංචියත් ඔන්න සේමිණීමයි දෙන්නේ.

සේමිණීගේ අතගෙන රඟන අශාන් ඩයස්ගෙනුත් ප්‍රේක්ෂකයාට ඊටත් වඩා හොඳ ආරංචියක් ලැබෙන්නේ. ඒ කලක් තිස්සේ කැන්ගරු දේශයත් ශ්‍රී ලංකාවත් අතරේ එකෙල මෙකෙල වෙමින් සිටිය අශාන් දැන් ශ්‍රී ලංකාවේම නැවතී ඉදිරියේදී කලින්ටත් වඩා සිංහල චිත්‍රපටල රඟන්නට අදහස් කරනා වග. අශාන් ඒ කතාව හාපුරා කියලා සරසවියටමයි කීවේ.

තමන්ට තමන්වම අහිමිවීම පෙන්නුම් කරන විසංගමනයේ ජගත්ගේ ප්‍රධාන චරිතයට මවුපියන් වන්නේ ගම්බද ගුරු දෙපළක්. ඩග්ලස් රණසිංහ සහ හයසින්ත් විජේරත්න තමයි ඒ. ඉතින් ප්‍රවීණ නළු ඩග්ලස් මෑතකදි හුඟක් චිත්‍රපටවලට රංගනයෙන් දායක වී තිබෙනවා. එයින් චිත්‍රපට ගණනාවක්ම තිරගත වන්නට නියමිත ඒවා.

ඩග්ලස් ඉන් එක චිත්‍රපටයක් රූගත කරද්දී සිද්ධ වෙච්ච දෙයක් සිහි කළේ සිනාවෙවී.

‘කාලෙකින් අසුපිටින් ගමන් නොකළ මට පහුගිය දවසක චිත්‍රපටයක රූගත කිරීමකදී ඒ අවස්ථාව ලැබුණා. ඒත් මට තනිව නෙවෙයි. ඒක අශ්වාරෝහක පෙළපාලියක්. එතැනයි අවුල තිබුණේ. මගේ අස්සයා හරි කලබලකාරයා. මෙයා එක පෙළට යන්නේම නැහැ. වෙන එවුන්ට වඩා හදිස්සිකාරයා. එයින් මෙයින් අධ්‍යක්ෂවරයාට ඒ දර්ශනේ හරි හැටි රූපගත කරගන්නත් හුඟ වෙලාවක් ගතවුණා. ඒත් එක්කම ඩග්ලස් ළඟදී තවත් චිත්‍රපටයකට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ චරිතයට හුඟක් කිට්ටු චරිතයක් රඟපෑවාය කියලත් සිහි කළේ ආඩම්බරයෙන්.

ඩග්ලස් විසංගමනයේ විශ්‍රාමික විදුහල්පතිගේ දිසානායක චරිතය මවද්දී ඔහුගේ එහෙමත් නැතිනම් ජගත්ගේ (අශාන් ඩයස්) මවට රඟන්නේ හයසින්ත්.

මේ දිනවල ‘අප්පට සිරි’ චිත්‍රපටයේ මායාකාරී අමුතු දෑසක් ඇතිව රඟන රැඟුමට ප්‍රතිචාර එමටයි කියලයි හයසින්ත් කියන්නේ. බොහෝ දෙනෙක් නිවෙසටත් දුරකතන ඇමතුම් දෙමින් ඒ පිළිබඳමලු කතා කරන්නේ. ඒ චිත්‍රපටයේ නරක විහිළුවක් දෙපිට කැපෙන වචනවත් නැති නිසා හයසිනුත් ඒකට ආසලු.

රූගත කිරීමක් හමාර වෙන එක ඇඳිරි වැටිච්ච යාමෙක විසංගමනයේ තාක්ෂණික ශිල්පීන්ට වෙන්වෙච්ච බසයක් බණ්ඩාරගමදී කැඩිලා. ඉතින් නළු නිළියන්ගේ වාහනයක් තරම් ඉක්මනට ඒ වාහනේ අලුත්වැඩියා කටයුත්ත කෙරිලා නැතිලු. අනෝරා වැසි වැටුණු ඒ වෙලාවේ වාහනේටම වෙලා කට්ටියටම කල්මරන්නලු වුණේ. ඔයින් මෙයින් මාසයකට ආසන්න කාලයක් රූ ගැන්නුව විසංගමනයේ අවසන් භාගයයි පසුගියදා සිදු කෙරමින් තිබුණේ. කොහොමටත් එළැඹෙන වසරේ මැද භාගය වන විට තම මංගල චිත්‍රපටය විදියට විසංගමනය ප්‍රදර්ශනයට බලාපොරොත්තු වන බවයි රංජන් ප්‍රසන්න කියන්නේ.

අශාන් ඩයස්, සේමිණි ඉද්දමල්ගොඩ, සමනලී ෆොන්සේකා, හයසින්ත් විජේරත්න, ඩග්ලස් රණසිංහ, උදිත් අබේරත්න, නිරෝෂන් විජේසිංහ, චින්තක කුලතුංග, චරිත් අබේසිංහ, ඉෂාන් මෙන්ඩිස්, ගාමිණී ජයලත්, බන්දුල සූරියබණ්ඩාර, සුජීව කරුණාරත්න ආදීහු විසංගමනයේ පංගුකාරයන්ව සිටිති.

සහාය අධ්‍යක්ෂණයෙන් තරංග සම්පත් කිරිඇල්ල ද, අංග රචනයෙන් ප්‍රියංක තිලක් රත්නායක ද, කැමරාවෙන් ත්‍රිෂූල දීප තඹවිට ද, කලා අධ්‍යක්ෂණයෙයන් චන්දන ප්‍රියංකර ද, කොණ්ඩා සැකසුමින් තුෂාර විදානගමගේ ද එක්වන විසංගමනය උපාලි ගම්ලත්ගේ තිර කතාවකට අනුව රිදී තිරයට නඟන්නේ රංජන් ප්‍රසන්නය. විසංගමනය උපේන්ද්‍ර මහේෂ් විජේරත්නගේ නිෂ්පාදනයකි.