වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




Saturday Night Movie

The Whole Truth

The Whole Truth චිත්‍රපටය විත්තිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයකු වටා ගෙතී ඇති කතාවකින් යුතු සිනමා නිර්මාණයකි. රිචඩ් රැම්සි නම් මෙම නීතිඥවරයා දහහත් හැවිරිදි නව යොවුන් විත්තිකරුවා ඔහුගේ පියාගේ ඝාතකයාය යන චෝදනාවෙන් මුදවා ගැනීම වෙනුවෙන් කරනා අරගලය The Whole Truth ඔස්සේ දිග හැරෙනවා.

ස්වාධීන රූපවාහිනි සේවයේ සති අන්ත සිනමා පෙළ ගැස්මේ නොවැම්බර් 25 වැනි සෙනසුරාදා රාත්‍රි 10.30ට විකාශය කිරීමට නියමිතව තිබෙන්නේ කර්ට්නි හන්ට් විසින් අධ්‍යක්ෂණය කෙරුණු The Whole Truth චිත්‍රපටය යි. මෙහි කීනු රීවුස් රිචඩ් රැම්සි ලෙසින් චරිත නිරූපණය කරන අතර රීනි සෙල්වෙගර්, ගුගූ භාතා රෝ, ගාබ්‍රියෙල් බාසෝ, ජිම් බෙලුෂි ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති.

IMDb දර්ශකයේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලෙසින් 6.2/10ක් එයට හිමි වී තිබුණද විචාරකයන්ගෙන් නම් ලැබී ඇත්තේ සෘණ ප්‍රතිචාරයක්. රොටෙන් ටොමැටෝස් වෙබ් අඩවිය එය වාර්තා කරන්නේ සියයට 29ක් ලෙසින්. මේ කතාවේ තිරරචනය ගුවන්තොටුපලින් මිලදී ගන්නා පොතක් වැනිය යන්න ඔවුන්ගේ අදහසයි. කෙසේ නමුත් එවැනි පොත් ගොඩකටත් වඩා එය උණුසුම් සේ පෙනෙන බවත් ඔවුන් සඳහන් කරනවා. The Whole Truth චිත්‍රපටය පුරාවට රංගන ශිල්පීන් ශිල්පිනියන්ගේ රංගනයට යම් තැනක් හිමි වුවද ඔවුන්හට හොඳ තිරරචනයක් හමුවී නොමැති බවත් මෙම විචාරක අදහස් අතර වෙනවා.