වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




හැම තැනම තුන්වැනියා වී පේ‍්‍රම තරඟය ජයගත් රූ රැජන

අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්
 

හැම තැනම තුන්වැනියා වී පේ‍්‍රම තරඟය ජයගත් රූ රැජන

1951 වසරේ ටයිම්ස් ආයතනය සංවිධානය කළ ‘ලංකා රූ රැජින තරඟයට ඉදිරිපත් වූ දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යාවකට එහි තුන්වන ස්ථානය හිමිවීමේ පුවත ටයිම්ස් ඔෆ් සිලෝන් පත්‍රයේ මුල් පිටුවෙන් වාර්තා කර තිබුණි. පත්‍රයේ පළ වූ ඒ රූමතියගේ ඡායාරූප කිහිපයක් චිත්‍රපට නිෂ්පාදකවරයකු වූ එස්. එම්. නායගම්ගේ ඇස ගැසුණි. 1947 වසරේ ලංකාවේ තිරගත වූ ප්‍රථම සිංහල කථානාද චිත්‍රපටය වූ ‘කඩවුණු පොරොන්දුවේ’ නිෂ්පාදකවරයා වූුයේ නායගම්ය. 1952 වසරේ ‘බණ්ඩා නගරයට පැමිණීම’ චිත්‍රපටය ප්‍රදර්ශනය කරමින් සිටි ඔහු තමාගේ ඊළඟ චිත්‍රපටය ‘නව ජීවනම්’ දමිළ චිත්‍රපටය ඇසුරෙන් ‘ප්‍රේම තරඟය’ නිෂ්පාදනය කිරීමේදී එහි කථානායිකාව ලෙස නවක නිළියක් සිනමාවට හඳුන්වාදීමට බලාපොරොත්තුවෙන් සිටියේය. එයට සුදුසුම තරුණිය ග්වෙන්ඩලීන් වීරකෝන් නම් තෙවෙනි ස්ථානය දිනූ රූ රැජිනිය බව නායගම්ගේ අදහස විය. ඔහුගේ මේ යෝජනාවට ‘ප්‍රේම තරඟය’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ ඒ. බී. රාජ් ද එකඟ විය. ග්වෙන්ඩලීන් වීරකෝන් ‘ප්‍රේ්ම තරඟය’ චිත්‍රපටයෙන් සිංහල රිදී තිරයට පැමිණියේ ‘අයේෂා වීරකෝන්’ නමිනි. මෙතැන් සිට අපි ඇයව ‘අයේෂා වීරකෝන්’ නමින් හඳුන්වමු.

1935 අප්‍රේල් 22 වෙනිදා දෙහිවලදී උපත ලැබූ ඇය දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවාය. ඉන්පසු ඇය දෙහිවල මධ්‍ය විද්‍යාලයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලැබූ අතර ඇගේ පන්ති මිතුරන් වූයේ පුරවිජය ෆොන්සේකා (චිත්‍ර ශිල්පි), තිස්ස හේවාවිතාරණ (චිත්‍ර ශිල්පි) හා දීප්ත ලීලාරත්න (විදේශ මාධ්‍යවේදී) තිදෙනාය. මේ කාලයේ ඇය දෙහිවල ඇල්බට් පෙදෙසේ ද, දෙහිවල නිකිපෙ ‘අජන්තා’ නිවසේ ද පදිංචිව සිට ඇත.

උඩරට රදළ පෙළපතකින් පැවත ආ ඇය සොහොයුරු සොහොයුරියන් සිව් දෙනකුගෙන් යුත් පවුලක වැඩිමලාය. ඇගේ පියා වංශපාල වීරකෝන්ය. ඔහු 1947 මිය ගියේය. මව මියුසියස් ගුරු අභ්‍යාස විද්‍යාලයේ ඉංග්‍රිසි කථිකාචාර්යවරියක ලෙස කටයුතු කළාය. ඇගේ ජීවන තොරතුරු 1957 ජූලි මස 15 වෙනිදා නිකුත් වූ ‘චලන චිත්‍ර’ සිනමා සඟරාවේ කර්තෘ කේ. ජී. ඇම්. සමරවීරට මෙසේ විස්තර කොට තිබුණි.

‘මම ඉංග්‍රීසි භාෂාවෙන් ජ්‍යෙෂ්ඨ විභාගය සමත් වී විශ්වවිද්‍යාලයට බාහිර අපේක්ෂිකාවක් ලෙස බැඳී ඉංග්‍රීසි, ලතින් ආදී විෂයයන් හදාරා නීතිඥවරියක් වීමට බලා සිටියත් අන්තිමේදී නායගම් මහතාගේ ඉල්ලීම පිට චිත්‍රපට නිළියක් වුණා. වරක් මම වාණිජ කටයුතු පිළිබඳ විභාගයක් කළා. ඒ අතරම බොම්බායට ගොස් හින්දි චිත්‍රපටයක රඟපෑමටත් හිතුවා. ‘ප්‍රේම තරඟයේ’ මම සිසුන් සමඟ තරඟයට සින්දු කියලා ප්‍රේමයෙන් ද, ගීතයෙන් ද ජයගත් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වූ මල්ලිකා ලෙස රඟපැවේය. මා සමඟ තරඟයට ගීත ගයපු ශිෂ්‍යයා ප්‍රේ්මදාස. මේ චරිතය රඟපැවේ අරුණ ශාන්ති. මම මුලින්ම අරුණ ශාන්ති සමඟ රඟපාන ප්‍රේම ජවනිකාවක් කැමරා ගත වුණේ. එදා මට ඇති වූ හිතේ ගැස්ම හා ලැජ්ජාව කිසිදා අමතක වන්නේ නෑ.

අයේෂා බටහිර නැටුම් මෙන්ම කථකලි, මනිපූරි, උඩරට හා භාරත නැටුම් ගැන දක්ෂතා ඇති කලාකාරිනියක්. චිත්‍රසේන ශේෂා පලිහක්කාර හා දක්ෂ භාරතීය නර්තන ශිල්පී රෝයි චෞද්රි ඇගේ ගුරු භවතුන්ය. ඉංග්‍රිසි, ලතින්, හින්දි, සිංහල භාෂා චතුර ලෙස කතා කළ ඇය කොළඹ ලස්නනට අඳින පළඳින තරුණියන්ගෙන් ප්‍රමුඛ ස්ථානය ලබා ගත් ශිල්පිනියක් ලෙස ‘සන්ඩේ ටයිම්ස්’ පත්‍රය වර්නා කර තිබුණි. ඕ ලස්සනට මෙන්ම විනෝදයටත් ආසා කළ යුවතියක් ලෙස ද ප්‍රකටව සිටියාලු. 1954 වසරේ කොළඹ ආනන්ද විද්‍යාලයේ පැවැත් වූ ‘ලංකා රාජනිය නොහොත් ‘කුවේණි’ තේරීමේ තරඟයට ඉදිරිපත් වී තෙවැනි ස්්ථානය දිනා ගත්තාය. චිත්‍ර කලාවට ප්‍රිය කළ ඕ ටික කලක් සුසිල් ප්‍රේමරත්නගෙන් චිත්‍ර කලාව ඉගෙන ගෙන ඇති බව පැවසේ.

‘මට හැම තරඟයකින්ම ලැබෙන්නේ තුන්වැනි තැන. ‘ප්‍රේම තරඟයෙන්’ නම් ජය ගත්තා’ යයි ඇය ප්‍රකාශ කර තිබුණි.

1954 ජනවාරි 8 වැනිදා ජ්ඪතථ ජ්චපඥ සඟරාව ඇය ලංකාවේ නිම්මි ලෙස හඳුන්වා තිබිණි.

පුවත්පත් කලාවට කුසලතා දැක් වූ ඇය ටයිම්ස් පත්‍රයේ කාන්තා පිටුවට විශේෂාංග රචනා කළ අතරම ඇය ඉංග්‍රීසි බසින් නවකතාවක් ද රචනා කළාය. මේ නවකතාවේ නම ‘ච්චදජඥ ධට ඹ්ධඵබ ඹ්ධමඥ’ ය. අශ්වයන් පිට යාමට හා පිහිනීම ඇගේ ප්‍රියතම විමෝදාංශ කොට ගත්තාය.

අයේෂා අයස්කාන්ත විලාසයකින් හෙබි නිළියක් මෙන්ම එවකට සිනමාවේ සිටි උගත්ම නිළිය වූ බව චිත්‍රපට අධ්‍යක්ෂ විමලදාස පෙරේරා 1992 ඔක්තෝබර් 14 වෙනිදා ‘සරසි’ පුවත්පතේ උප කර්තෘ ආනන්ද පද්මසිරිට කියා තිබුණි.

‘ප්‍රේම තරඟයෙන් ඇය සිනමාවට එද්දී ‘තාරකා’ සිනමා පත්‍රයෙන් ඡායාරූප සහිතව ඇය ගැන විස්තරයක් මම පළ කළෙමි. අයේෂාගේ මුළු පවුලම මගේ සමීප හිතවතුන් බවට පත්ව තිබිණි. ඒ අතරින් ඇගේ නංගී මානෙල් පෝෂියා ද කලාවට ළැදි වූවාය. කෙසේ වුවත් අයේෂාගේ මව ඇය දිගටම රඟපානවාට අකමැති වුවාය. අයේෂා ‘විනෝදය’ සිනමා සඟරාවට ඉංග්‍රීසි බසින් පළ කරද්දී ලේඛනයෙන් අපට සුවිශාල සහයෝගයක් දැක් වූවාය’ විමලදාස කියා ඇත.

විමලදාස කියා ඇති පරිදි ඇය සමාජ සේවිකාවක් ලෙස ද ප්‍රසිද්ධව සිටි අතර තමා හමුවීමට ආ කිසිදු අසරණයකු හිස් අතින් ගොස් නැති බවත් දුගී දුප්පත් අසරණයන්ට කෑම බීම, මුදල් හදල් මෙන්ම ඇඳුම් පැළඳුම්වලින් ඇය සංග්‍රහ කළ බව විමල් පවසා තිබුණි.

අයේෂා ප්‍රේම තරඟයේ ගැයූ ගීත තුනක් එකල අතිශයිින්ම ජනප්‍රිය වී ඇත. ඉන් තනි ගීත දෙකක් පසුබිමින් ගැයුවේ ලතාය. හියුගෝ ප්‍රනාන්දු රචනය කළ මේ ගී සංගීතවත් කර ඇත්තේ ආර්. මුත්තුසාමිය.

‘හෝ හඬ දී බැස යන ගංගා’, ‘උගත්තු වියත්තු’ අයේෂා හා අරුණ ශාන්ති ගැයූ මේ යුග ගීත දෙක පසුබිම් ගායනය ධර්මදාස වල්පොල හා ලතාය.

‘හොඳ හොඳම වේය ලොව‘, ‘සැපත ස්වර්ගේ හා නිරේ දුක් සාදා දෙන්නේ ප්‍රේ්ම් රසේ’ එම ගීත අතර වේ.

අයේෂා ඉන්පසු රඟපෑ ‘ජීවිත සටන’ (1957) චිත්‍රපටයේය.

‘මගේ ප්‍රථම රඟපෑම ගැන පැහැදීමට පත් ශාන්ති කුමාර් සෙනවිරත්න ‘ජීවිත සටන’ චිත්‍රපටයට මා තෝරා ගත්තේ ශෝකී චරිත නිරූපණයට මා වඩා කැපී පෙනෙන බව ඔහුට පෙනී ගිය නිසායි. මේ චිත්‍රපටයේ මම රඟපෑවේ ආනන්ද වීරකෝන් සමඟ අයේෂා යන ප්‍රධාන චරිතය. 1957 තිරගත වූ ‘සුකුමලී’ චිත්‍රපයේ (මුල් නම ශෝභනී) මමත්, ආනන්ද වීරකෝන්, ලැඩී රණසිංහ හා රීටා රත්නායක සමඟ. ඒ චිත්‍රපයේ රිටා රත්නායකට හා මට නැටීමට අවස්ථාව ලැබෙනවා. චිත්‍රපටයේ එක් අවස්ථාවක මම ගීතයක් ගයමින් සීත ගඟුලක නානවා. මේ ගීතය පසුබිමින් ගයන්නේ ලතා.

‘සීතලයි, සීතලයි හිම වාගේම සීතයි ජලේ’’

‘සුකුමලී චිත්‍රපටයේ එළිමහන් දර්ශනයකදී ගඟකට වැටී මට වතුර පෙවී හුස්ම ගන්න බැරිව ගියා. මාව ඈත ගහගෙන ගියා. මා එදා හිතුවා මගේ නිළි ජීවිතේ එදින අවසන් වන බව. මම බේරුණේ අනූනමයෙන්. මගේ කෙටි චිත්‍රපට ජීවිතයේ මිට අමතක නොවන අවස්ථාවයි මේ’ අයේෂා කියා ඇත.

අයේෂාගේ එදා ප්‍රියතම නළු නිළියන්ව ඇත්තේ ග්‍රෙගරි පෙක්, මැලරින් මොන්රෝ, දේව් ආනන්ද්, නූතාන්, ආනන්ද වීරකෝන්, සීතා ජයවර්ධන ආදීන්ය. රුක්මණී දේවි, සුනිල් සාන්ත, තලත් මෙහෙමුද්, ගීතාරෝයි ඇයගේ ප්‍රියතම ගායක ගායිකාවන් වී ඇත.

අයේෂා අවසන් වරට රඟපැවේ 1959 තිරගත වූ ටී. ජානකිරාම් අධ්‍යක්ෂණය කළ ‘සිහිනය’ චිත්‍රපටයේය. ඒ චිත්‍රපටයේ ද අයේෂා රඟපෑවේ අයේෂා නම් ශිෂ්‍යාවකගේ චරිතයයි. ඇය කුඩා කල සිට හඳුනන ගුණපාල නම් තරුණයාට ආදරය කළාය. ගුණපාල හා ඩොමී නිවුන් සහෝදරයන්ය. මේ චරිත දෙක රඟපෑවේ ඩොමී ජයවර්ධන විසිනි. අයේෂා ගුණපාල හා ඩොමී තවත් විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් සමඟ බදුල්ලේ විනෝද ගමනක් යති. එහිදී ඔවුන් ඔරු පැදීමේ තරගයකට සහභාගි වෙති. එහිදී අයේෂා හා ගුණපාල සිටි ඔරුව පෙරළෙයි. සැවොම බේරුණ් ගුණපාල පමණක් සොයාගත නොහැකි වෙයි. අයේෂා අවංකව ගුණපාල ගැන සිතමින් කාලය ගත කරයි.

මගේ ජීවේ මෙමා සිතුවේ

සදා කාලේ මගෙයි කියලා’

චිත්‍රපටයේදී අයේෂා හුදෙලාවේ ගයන මේ ගීතය ද පසුබිමින් ගැයුවේ ලතා වල්පොලය.

‘කාලය යනවා - සෝකය එනවා

මේ බව සිහිකර මා ළත වෙනවා’

ඔරු පැදීමේ තරඟයේදී අයේෂා හා ගුණපාල ගී ගයමින් රඟන ගීතයට ‘මල් පීදී ප්‍රේම වෘක්ෂයේ - විහිදේ සුවඳ ප්‍රේමයේ’ (ගායනය - මොහිදින් බෙග් හා ජානකී) මේ ගීතය සතුටින් ගයා අවසන බෝට්ටුව පෙරැලීම අයේෂා වීරකෝන් තම සිනමා ජීවිතයේ ගඟක වැටී දෙවනවරට ද භයංකර අත්දැකීමකට මුහුණ දුන්නාය. ‘දෛවයෝගය’ චිත්‍රපටයේ ලංකා කුමරිය ලෙස රඟපෑමට මුහුරත් උලෙළට ද සහභාගි වුවත් පසුව ඇය ඉවත්වූවාය.

‘සිහිනය’ චිත්‍රපටයෙන් පසු අයේෂා විවාහ වූවාය. ඇගේ සැමියා වූයේ මාරවිල ඉඩම් හිමි වැවිලිකරුවකු වූ අධිනීතිඥ ජේම්ස් එඩ්වඩ් හැරල්ඩ් හේරත් මහතාය. එතැන් සිට ඇය ග්වේන් හේරත් මැතිනිය වූවාය. ප්‍රකට සමාජ සේවකයකු වු හැරල්්ඩ් හේරත් සමඟ ග්වේන් මාරවිල නාත්තන්ඩිය ප්‍රදේශවල සමාජ, දේශපාලන කටයුතුවල යෙදුණාය. නාත්තන්ඩියේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු කතානායක සර් ඇල්්බට් එෆ්. පීරිස්ගේ අභාවයෙන් පසු නාත්තන්ඩියේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක වු හැරල්ඩ් හේරත් මහතා 1977 මහා මැතිවරණයෙන් එම අසුන වැඩි ඡන්ද 6448 කින් ජය ලබා පොල් කර්මාන්ත නියෝජ්‍ය ඇමතිවරයා ද, මුදල් නියෝජ්‍ය ඇමතිවරයා ලෙස ද කටයුතු කළේය.

ග්වේන් අද ඉංග්‍රීසි මාධ්‍යවේදිනියකි. සෞන්දර්ය අධ්‍යාපන කටයුතු පිළිබඳ උපාධිධාරිනියක් ද වූ ඇය කලා විචාරිකාවක් ලෙස ඉංග්‍රීසි පාඨකයන් අතර ප්‍රකටය. ක්‍රිකට් ක්‍රීඩාවට විශේෂ ඇල්මක් දක්වන ඇය ලංකා කාන්තා ක්‍රිකට් සංගමයේ සභාපතිනිය ද වූවාය. කි‍්‍රකට් විචාරිකාවක් ද වන්නීය. මෑතදී ඇය ක්‍රිස්තියානි එකතුව තේමා කරගත් ප්‍රථම කෘතිය වූ Pope Francis : Hope For Christian Unity  ලියා කොළඹ අගරදගුරු අතිඋත්තම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වෙත පිළිගැන්වූවාය. මේ ගැන විවරණයක් ලියූ ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධානයේ පාලන මණ්ඩලයේ මාධ්‍ය අධ්‍යක්ෂ (ජාතික) ජේ. ඒ. රෝස් කොලි ප්‍රනාන්දු පුල්ලේ මෙසේ පවසා තිබුණි.

‘ඉංග්‍රීසි භාෂාව හා සාහිත්‍ය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු වන ඈෂ්ලි හල්පේ මහතාගේ ආදි ශිෂ්‍යාවක් ද වන ග්වේන් හේරත් එම ගුරු පියාගෙන් ලද ගුරුහරුකම් හා දැනුම් සම්භාරය මහත් ගෞරවපූර්වකව මෙහිි සිහිපත් කරන අතරතුර වනුයේ නව සසුන් පියා ගැන තමා අතින් ලියවුණු මේ අගනා කෘතිය කිහිප වතාවක්ම ඉතා හොඳින් කියවා බැලීම මේ ලොවේ වෙසෙන සියලුම ක්‍රිස්තියානි ජනතාව දෙව් පියාණන් හා දෙව්මව් සමඟ එකම දරු කැලක් ලෙස දිවි ගෙවා අවසානයේ ස්වර්ග සම්පත් භූක්ති විඳීනු දැකීමය.’

ග්වේන් හේරත් හෙවත් අයේෂා වීරකෝන් මට වරක් හමු වී කතා කිරීමට අවස්ථාව ලැබුණේ 1983 වසරේදීය. එදා පොල් කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන සම්බන්ධතා නිලධාරි සෝමපාල රාජකරුණා (මියගිය) සමඟ මා මාරවිල හේරත් මහත්මියගේ නිවසට ගිය අවස්ථාවේදිය. මීට වසර හැට ගණනකට එපිට කොබ්බෑවල රණසිංහ සංස්කරණය කළ (1952) “නිළිය” සඟරාවේ අයේෂා වීරකෝන් ගැන ලියූ කවි පෙළක එක් කවියකි මේ.

‘පේම තරඟය’ මඟින් සිනමා ලොවට පළමුව වරට පිවිසුනි

එයින් සිනමා රසිකයන්ගේ ළයෙහි ආලෝකයක් විහිදුනි

ඉදිරියට පිවිසියේ බාධක කටොළු හැම දේ දෙපලු කරමිනි

එයින් “අයේෂා” කියන නාමය රිදී තරුවක් පරිදි බැබලුනි