වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




කොච්චර හීන තිබුණද බං

කොච්චර හීන තිබුණද බං

බිනරි තම සිතට එරෙහිව සටන් කළාය. විනෝද් එදින පැමිණියේ තමන් හමුවන්නටය. කාලාන්තරයක සිට ඔහුගේ දුක සැප පවසා සිටියේ තමන්ටය. ඔහු ගේ දඩබ්බර ගති මෙල්ල කරන්නට ඇයට හැකි වූ වාර අන්න්තය. එදා ඔහු පැමිණි විට මොහොතක් කතා කරන්නට දොර ඇරියා නම් තමා පෙළන වේදනාව සමනය කළ හැකි වා නියතය. එහෙත් තාත්තා ගේ තරවටුවට එරෙහිව යන්නට තරම් තමා දිරිමත් වූයේ නැත. ඔහුගේ විපතේ සිටිය නොහැකි නම් එහි ඇති සාධාරණත්වය කුමක් දැයි ඇය තමා ගෙන්ම පෙරළා ප්‍රශ්ණ කළාය.

බිනරි හමුනට ගිය විනෝද් ඇය හමුනොවූ තැන ගියේ ලක්ෂ්මන් සොයන්නටය. ඒ මොහොතේ නිවසේ කිසිවකු නොසිටිනු ඇතැයි ඔහු සිතුවේ නැත. කෝසල පිටත්ව ගියේ උදේ පාන්දරය. විමලා ද නිවසින් පිටව යනු විනෝද් දුටුවේ අතරමගය. ඉඳීන් ඔහු තම වාරය එනතුරු කල්මැරුවේය. ලක්ෂ්මන් පිබිද ආවේ ඒ අතරය. විනෝද් ඔහු බිම පෙරළා ගෙන පිහිය අතට ගත්තේ තම කෝපය ඉන් පිටාර යවා සියල්ල හමාර කරන්නටය. තම ජිවිතයේ සියළු බලාපොරොත්තු සමග සෙල්ලම් කළ මිනිසාගේ හදවත පසාරු කර ගෙන යන්නට අනින්නටය.එහෙත් ඔහුගේ හැඟීම මොහොතකින් වෙනස් ව ගියේය. කොපමණ කෝප ගැන්වුනත් තමා ට තවමත් කැරපොත්තෙකු පවා මරා දමන්නට නොහැකි බව ඔහුට හැඟිණ. මිනිසකු මරා දමන තත්ත්වයට තමන් පත් විය යුතු නැතැයි අවසාන මොහොතේ ඔහුගේ සිතට නැගුණා විය යුතුය.මෙතුවක් දැවැන්තයෙක් ව සිටි මිනිසකු එක මොහොතකින් ජීවිතය අයදිනා තැනට පත් ව සිටී.එ හැඟුණ සැනින් විනෝද් සිය පිහිය මුදා හැරිය යුතු ඉලක්කය වෙනස් කළේය. ලක්ෂ්මන්ගේ උරහිස අසලින් බිමට ගිය පිහිය එහි තිබූ ටයිල් කරන ලද පොළව සිප ගත්තේය. විනෝද් නැගිට්ටේය.ලක්ෂ්මන් තවමත් මරණය අපේක්ෂාවෙන් සිටියි. පිහි තලය තම පපු කුහර තුළට කිඳා බසින වේදනාව ඉවසන්නට බලා සිටියේය. විනෝද් ගෙයින් එළියට බට විත්තිය ඔහුට නොදැනිණ. තමා අසලින් සුළු දිය ගඳක් දැනුනෙන් විනෝද් වට පිට බැලුවේය. මිනිසකුගේ මරණ භීතිකාව එපමණ බැව් ඔහුට වැටහිණ. ඉතිරි දුර යන්නට පෙර ඇඟ පත සෝදා ගන්නේ නම් කදිමය.එහෙත් ඔහු පාරට ගියේය. කිසිවක් තමන් ගැන අවධානයක් නොමැතියැයි වටහා ගත් හෙයිනි.ලක්ෂ්මන් තමන් පසුපස හඹා එනු ඇතැයි විනෝද් අනුමාන කළේය.එහෙත් ඔහු තමා පසුපස නැති වග වටහා ගත් හෙතෙම අඩිය ඉක්මන් කළේය.

ඔහු මුලින් කල්පනා කළේ කොහේ යායුතුද යන්න ගැනය. බිනරි පිළිබඳ සිතුවිල්ලක් පහළ වුව ද ඔහු මෙලෙස එහි යන්නට සිත දුන්නේ නැත.තත්වය කවර එකක් වුවද යළිත් තමා පසුපස පොලීසිය එනු ඇතැයි සිතත්ම ඔහුගේ සිත භීතියෙන් වෙව්ලා ගියේය. පසුගිය දින වල ඔහු ලද අත්දැකීම් බියකරු සිහිනයක් මෙන් විය. ඔහු පසුපස බැලුවේ කිසිවකු හෝ එනු ඇතැයි සිතා ගෙනය.

කිසිවකු ට හෝ ඔහු ගැන වැඩන් නොවිණ. එබැවින් ඔහු දිගින් දගටම ගමන් කළේය. නැග ආ කුසගින්න ඔහු හෙම්බත් නොකළේය. විනෝද් ගියේ තම නිවසටය. නිවසට ඇතුළුවන්නට පෙරාතුව ඔහු වටපිටාව හොඳීන් නිරීක්ෂණය කළේය. ඔහු නිවසට පැමිණියේ මාස කිහිපයකට පෙරාතුවය. ඔහු කෙළින්ම ඇදුනේ නාන කාමරයටය.පයිප්පය ඇර ගත් ඔහු දිය නාන්නට පටන් ගත්තේය. සියලු පව් සෝදා හළ යුතුය. ලක්ෂ්මන් ට පහර දුන්න ද ඔහු මිය යන්නේ නැත. අවසාන මොහොතේ හෝ තමා මිනීමරුවකු නොවීම ගැන ඔහුට හැඟුණේ සැනසුමකි.

මේ වෙලාවට වතුර එන්නේ වේගයෙන් නොවේ. අවට ඇති කන්තෝරුවලට කඩ සාප්පුවලට බෙදෙන වතුර ගෙවල් මණ්ඩියේ ඇති වතුර වේගය අඩාල කරන්නේය. සිරුර දිගේ වතුර ගලද්දී ඔහු ඇඳ උන් ඇදුම් උනාලූයේය. අවට නොපෙනෙන ලෙස එහි ඇති කුඩා තාප්පය ඔහුට සැනසිල්ලක් ගෙනාවේය.පසෙකින් එල්ලා තිබුණ සරම අතට ගත් ඔහු හිස පිසැලෑම පසෙකින් ලා එය ඇඳ ගත්තේය.එය තාත්තා ගේ පරණ සරමකි.අනතුරුව ඔහු එතැනින් එළියට පැමිණ ගෙට වැදිණ. ඇඟ පිසලා නොගත් හෙයින් හිස මතින් ගන වතුර තවමත් සියොළග තෙමා සිටියි.

සාලයට පැමිණි ඔහු දුටුවේ මේසය මත තබා ඇති පාන් සහ මාළු පීරිසියකි. අනාරාධිතවම ඔහු එහි අසුන් ගත්තේය.කිසි කලක ආහාර නොදුටුවෙකු මෙන් ඔහු එය ගිල දමන්නට විය.ඔහු ගේ ගිල ගැනීම නතර වූයේ කිසිවක් තම හිස අත ගානු දැනීමෙනි.වතුර පිරි හිස තුවායකින් පිරි මැදෙනු ඔහුට දැනුණේ අනතුරුවය. දිගු කලකට පසු වුව ද හිස පිරි මදින අත ඔහු එකහෙලා ඇඳීන ගත්තේය.ආහාර ගැනීම පසෙකලා ඔහු මොහොතක් නතර ව අනතුරුව නැගී සිටියේය. ඒ තාත්තාය.

පසු ගිය දවස් ගණනම ඔහු තමා වෙනුවෙන් වෙහෙසුණේය.සමීපයේ සිටි බොහොමයක් තමා හැර ගිය ද කිසි විටෙකත් ඔහු තමා හැර ගියේ නැත. පොලිස් කූඩුවේ ලැග සිටි තමා දෙස බලා සිටි තාත්තා වචචනයක් වත් කතා කළේ නැත. ඔහුගේ ඇස අග කඳුළක් නළියනු විනෝද් දුටුවේය. දිගු කලකින් එකිනෙකා මුණ ගැසී සතුටෙන් කතා කළ දවසක් නැත. ඔහුගේ ආධිපත්‍යයට එරෙහිව ඔහු හැමවිටම නැගී සිටියේය.එහෙත් අවශ්‍යම දවසේ තාත්තා පුතු ළඟ සිටියේය.පිය පුතු දෙදෙනා ගේ එකිනෙක හමුව හැඟීම් බර එකක් විය.

‘තාත්තේ’ යැයි ඔහුට කියැවිණ.අනතුරුව පියදාස ගේ උර හිස මතට හිස තැබූ ඔහු කුඩු දරුවකු මෙන් ඉකිළන්නට විය. විනෝද් ගේ හිස පිරිමැදීම පසෙක ලූ පියදාස තම ප්‍රත්‍රයා තදින් වැලඳ ගත්තේය.

***********

අම්මා කිසිවකු සමග කතා කරනු ඇසුන ද බිනරි පළමුව ඒ ගැන උනන්දු වන්නට උත්සාහ නොකළාය. කිසිවකු සමග කතා කරනවාට වඩා තමන්ගේ පාඩුවේ සිටීම වැදගත්යැයි ඇය කල්පනා කළා වැන්න.

‘ඒයි මොකද බං ගේ ඇතුළට රිංගා ගෙන ළමිස්සියක් වුණ දවසේ වගේ’

එම හඩ ඇයට හුරුය.එහෙත් එහි හිමිකාරිය ලංකාවේ සිටියේ නැත.බිනරිට මුලින් සිතුණේ එලෙසය.

දිගු කලකට පසු තම නිවසට පැමිණි සරෝජා තනිව සිටි බිනරි ගේ සිතට ගෙන ආවේ සැනසිල්ලකි.කුඩා කල තම යෙහෙළිය ව සිටි සරෝජා ඉතාලියේ රස්සාවකට ගියේ එහි සිටි පුංචි අම්මාගේ ආරාධනාවකටය.

‘සරෝජා’

බිනරි ට කෑගැසිණ.

කෙසඟ තරුණියකව සිට මෙරටින් ගිය සරෝජා එදා වඩා හැඩ වැඩ ව ඇත්තීය.බිනරි යෙහෙළිය සිය කාමරයට රැගෙන ගියේ ඇගේ දෑතින්ම අල්ලා ගෙනය

‘මොකද බං උඹ ඇදිල පැදිල ගිහිල්ලා’

සරෝජා විමසුවාය. ඇගේ වචන උච්චාරණයේද ඇත්තේ වෙනදාට වඩා වෙනසකි.

‘මං ගැන විස්තර කියන්න කලින් කියපං උඹ ගැන විස්තර’

‘ඊයේ මං ආවේ.මේ ඉස්සෙල්ලාම උඹ බලන්නයි ආව්.’

‘අනේ පළයං බං යන්න. මෙහෙන් ගියත් හරි උඹ ගැන වගක්වත් නෑ.ගිය දවස්වල නම් කෝල් එකක් හරි දුන්නා.’

බිනරි සිය යෙහෙළිය හමුවේ චෝදනා පත්තරයක්ම දිග හැරියාය.

‘අනේ නැ බං මෙහෙ වගේ නෙවේ.පුංචි අම්මා රස්සවක් හොයලා දෙනවා කියලා එක්කගෙන ගියාට බං එව්ව කරන එක ලේසි නෑ.හරියට වැඩ බං.මං වයසක නෝනා කෙනෙක් බලා ගන්නවා’

සරෝජා නිදහසට කරුණු කියන්නට පටන් ගත්තාය.

‘කියපං උඹ ගැන විස්තර.

සරෝජා අසන්නට පටන් ගත්තාය.

‘මං ගැන මොනවා කියන්නද? මං එදා වගේමයි.’

ඇයි උඹ ඒ දවස් වල අපට කිව්වේ උඹ කවදා හරි පික්චර් ඇට් කරනවා කියලා.නිළියක් වෙනවා කියලා.

සරෝජා ඔලොක්කුවට මෙන් මතක් කළේ පාසල් යන දවස්ය.

‘කොච්චර හීන තිබුණ ද බං’

‘හීන නිකම් තියෙන්නේ නෑ.ඒවාට උත්සාහ කරන්ඩ ඕන’

සරෝජා ඇඳ මත වාඩිවුනාය.

‘ඉතින් උඹව එකෙක් හොයා ගත්තෙත් නැද්ද’

අනතුරුව සරෝජා විමසුවාය.

‘උඹ නේ රට ගියේ කවුරුවත් උඹට හම්බ වුණේ නැද්ද’

‘හම්බ වුණා. අපි ළඟදී මැරි කරන්නයි හිතා ඉන්නේ’

‘ෂ මරු’.

‘ඉතින් කියපන්කෝ උඹ තාම නැද්ද’

‘පිස්සුද’

‘අර ඒ දවස් වල උඹත් එක්ක නාට්‍යවලට සෙට් උණේ. කෝ දැන් ඌ’

සරෝජා ඇසුවාය. ඇය තම යෙහෙළියගේ මුහුණ වෙනස් වන අයුරු දුටුවාය. මෙතුවක් තමා සිත තුළ සිර කර ගත් සියල්ල එළි දරව් වන්නට යන්නීය. එය ගඟක් වැන්න.මෙත්වක් පවුරු බැඳ එක් කළ දුක් ගිනි දිය දහර දැන් පිටාර යන්නේය.

‘අනේ ඇයි මේ’

සරෝජා සිය යෙහෙළිය තමා වෙතට නැමුරු කර ගත්තීය.