වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




රුවන්පුරයෙන් උඩු ගං බලා යන “මින්සර”

රුවන්පුරයෙන් උඩු ගං බලා යන “මින්සර”

විඩාපත් රසික සිත් සුභාවිත ගීතයෙන් සහ සංගීතයෙන් සුවපත් කරවීමේ අරමුණු කරගත් ප්‍රවීණයන්ගෙන් සැදි සංගීත කණ්ඩායමක් රත්නපුරයෙන් බිහිව ඇත.

'මින්සර' නම් වූ එම කණ්ඩායමේ සියලුම ශිල්පී් සංගීත ක්ෂේත්‍රයේ විශාල ලෙස අත්දැකීම් සහිතව ගායනය මෙන්ම වාදනය ද ඉහළින්ම ප්‍රගුණ කළ පිරිසක් වීම විශේෂත්වයකි. පනහ දශකයේ සිට මේ දක්වා වූ පරපුර තුනක නියෝජනයකින් ඔවුන් සැදී ඇත.

මෙරටට පොප් සංගීතය හඳුන්වා දුන් ක්ලැරන්ස් විජයවර්ධන බිහි වූයේ රුවන්පුුරෙනි.

එදා ක්ලැරන්ස් විජයවර්ධනගේ හඬට පෙම් බඳිමින් ඔහු අනුගමනය කළ රසිකයන් හා ගීත ලෝලීන් තවමත් රත්නපුරයේ සිටිති. ක්ලැරන්ස් විජයවර්ධනගේ මූන්ස්ටෝන් සමඟ පුරුකින් පුරුක බැඳෙමින් අල්ප ස්වල්ප තරමකින් හෝ ඒ ධජය මතු පරපුර වෙත ගෙන යන්නට උරදෙන ශිල්පීන් කිහිප දෙනෙකු තවමත් රුවන්පුරයේ ඉතිරිව සිටිති.

ඒ අතර සිටින ප්‍රවීණ සංගීත ආචාර්යවරුන්, ගායකයන් මෙන්ම වාදන ශිල්පීන් කිහිප දෙනෙකු ද එක්ව 'මින්සර' නමින් සංගීත කණ්ඩායමක් බිහිකර ඇත්තේ එකී අරමුණ සාක්ෂාත් කරගන්ටය.

'මින්සර' ප්‍රසංගයක් ලෙස කළඑලි දැක්ම නොවැම්බර් 25 දා රත්නපුර නව නගර පුස්තකාල රංග ශාලාවේදී සිදු වෙයි.

කණ්ඩායමට නායකත්වය දෙන්නේ අතුල දෑසිංහය. ප්‍රසංගය සඳහා පුහුණුවීම් කරන අතරතුරදීයි ඔහු අපට එක් වූයේ.

'මම නායකයා නම් නෙවෙයි. ඒත් අපේ කට්ටිය මාව එතනට තල්ලු කරනවා. මොකද මේ වැඩේට ආරම්භය දුන්නේ මම නිසා.'

නැත්නම් මෙතන ඉන්නනවා සංගීත විශාදරයෝ, ආචාර්යවරු, ප්‍රවීණ ගායකයෝ. වෙනසකට තියෙන්නේ අපේ සංගීතය ගායනය මොඩ් වෙලා නැහැ.

අපේ ගායන වාදන හැම විටම ශාස්ත්‍රීයව අරුත්බරව ඒ වගේම බුද්ධිගෝචර විදියට තමා ගලාගෙන යන්නේ.

සමහර විට තරුණ පරපුරට මේක අල්ලන්නේ නැතිව ඇති. ඒත් අපි වගේම මේකට ආශ කරන ඉතාම උන්දුවෙන් අපව උනන්දු කරන විශාල පිරිසක් අප අතර ඉන්නවා.

ඒත් මෙවැනි සාම්ප්‍රදායික ගීත කලාව ප්‍රගුණ කළ ඉදිරියට ගෙන යන්න කැප වුණ අය ඉන්නේ අතළොස්සක් පමණයි.

වත්මන් පරපුර ඒකට උනන්දු වෙනවා අඩුයි.

අපි අතර ඉන්නව වැඩිහිටියන් වගේම තරුණ ගායන ශිල්පීන් වාදන ශිල්පීන්. ඔවුන් අපත් සමඟ එකට සිටින්නේ ඉතාම උනන්දුවෙන්.

සුභාවිත ගීතයත් එයට රුචි ශ්‍රාවක පිරිසක් දිනෙන් දින ඉහළ යන බව අපට හොඳට පෙනී ගිය දෙයක්.

අපි මෙවැනි සංගිත කණ්ඩායමක් බිහි කළේ ඒ නිසයි.

අපට දැන් හොඳ ඉල්ලුමක් තියෙනවා. ඔවුන්ගේ ඉල්ලීම නිසාමයි අපි මේ කළ එළි ප්‍රසංගය සංවිධානය කළේත්.

කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම සංගීතාචාර්ය රංජිත් අල්විස් හිටපු විදුහල්පතිවරයෙක්. අසෝක ජයසිංහ සංගීත විභාග පරීක්ෂකවරයෙක්. ඒ වගේම ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල ලක්ෂිත සෙනෙවිරත්න නිහතමානීව අතුලගේ අදහස් අනුමත කළා.

ශෂීකා ශ්‍රීමාලි, විහඟ ජයසිංහ, ඩිලාන් සංගීතන් නවක පරපුරින් ඔවුන් සමඟ එක්ව සිටිනවා.

විශේෂයෙන් හැට හැත්තෑව දසකයේ අපේ දෙසවන් සැනහූ ගී පදවැල් මින්සර ගායක කණ්ඩායමේ ප්‍රවීණ ශිල්පීන්ගේ හඬින් රසවත් වෙනු දැක්මට අසන්නට රිසි වෙත්තෝ 25 සෙනසුරාදා සවසට රත්නපුර නව නගර පුස්තකාල රංග ශාලාවට රොඳ බඳිතියි මින්සර ශිල්පීහු අපේක්ෂා කරයි.

වැඩියමක් වෙතොත් අතුල දෑසිංහගේ අංක 0714408908 දුරකථනය විවෘතව පවතින්නේ නිරන්තර විමසුමටය.