වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




මියගිය දවස සොයන තරුණයෙක්

මියගිය දවස සොයන තරුණයෙක්

Coco හොලිවුඩ් රිදී තිරයේ දිග හැරෙන නවතම සුරංගනා කතාවක් රැගත් වික්‍රමාන්විත, සංගීතමය පරිගණක සජීවකරණ චිත්‍රපටය යි. දොළොස් හැවිරිදි මිගෙල් නම් කුඩා පිරිමි ළමයා විසින් එක්තරා සිදුවීම් දාමයක් අවදි කිරීම සමඟින් මෙම කතාව දිග හැරේ. මෙම සිදුවීම් දාමය ඔස්සේ යන මිගෙල් හට තම පවුලේ වසර සියයක් පැරණි සාමාජිකයන් එකට එක්වන අවස්ථාවක් අත්දකින්නට ලැබෙනවා. මෙලෙසින් Coco චිත්‍රපට කතා සංකල්පය, ඔක්තෝබර් මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා යෙදී ඇති ඩියා ඩි මුයර්ටෝස් (Day of the Dead)නම් මිය ගිය පුද්ගලයන් සිහි කෙරෙන මෙක්සිකානු නිවාඩු දිනය ද සම්බන්ධ කර ගනිමින් නිර්මාණය කිරීමත් විශේෂයි.

තම ප්‍රියතම සංගීතඥයා වන අනස්ට් ඩි ලා කෲස් වැනි සංගීතඥයකු වීම කුඩා මිගෙල්ගේ එකම සිහිනය යි. එය කෙසේ වෙතත් මිගෙල්ගේ පරම්පරාවම එම සංගීතය තහනම් කර තිබීම මිගෙල් වෙත එල්ල වන ප්‍රධානතම බාධකය වෙනවා. මිගෙල් සිය හැකියාව පෙන්වන්නට කොපමණ උත්සාහ කරන්නේ දැයි කිව හොත් අවසානයේ ඔහුහට නවතින්නට සිදු වන්නේ මළවුන්ගේ ලෝකය තුළයි. ඒ යම් හේතුවක් මත ඔහුට මළවුන්ගේ ලොව වෙත යාමට සිදුවීම නිසාවෙනි. මේ අතර හෙක්ටර් රිවේරා නම් කපටි පුද්ගලයකු මිගෙල් හට හමු වේ. හෙක්ටර් හමුවීමෙන් අනතුරුව දෙදෙනා එක්ව විශ්මයජනක ගමනක් යන අතර එහිදී කුඩා මිගෙල්ගේ පවුලේ අතීතය පිටුපස තිබෙන කතාව ද හෙළිකර ගැනීමට අවස්ථාව සැලසෙනවා.

Coco චිත්‍රපටයට කුඩා මිගෙල් ලෙසින් ඇන්තනි ගොන්සාලේස්, හෙක්ටර් රිවේරා ලෙසින් ගේල් ගාර්සියා බර්නාල් සහ අනස්ට් ඩි ලා කෲස් ලෙස බෙන්ජමින් බ්‍රාට් ද ඇතුළු පිරිසකගේ හඬ දායකත්වය ලැබී ඇත. මෙහි සංගීතය නිර්මාණ කර තිබෙන්නේ චිත්‍රපට සංගීත නිර්මාණකරණයේ විශිෂ්ටයකු වන මයිකල් ජීයාචිනෝ විසිනි.

වොල්ට් ඩිස්නි පික්චර්ස් සහ පික්සර් ඇනිමේෂන් ස්ටුඩියෝස් නිෂ්පාදන ආයතන විසින් නිෂ්පාදිත Coco හි අදහස සහ අධ්‍යක්ෂණය ලී අන්ක්‍රිච් ගේය. සංස්කරණ ශිල්පියකුද වන අන්ක්‍රිච් මෙහි සංස්කරණ කටයුතුවලටද සිය දායකත්වය ලබා දී ඇත. තිරරචක ඇඩ්‍රියන් මොලයිනා මේ සඳහා සම අධ්‍යක්ෂණයෙන් සහ සම රචනයෙන් දායකත්වය ලබා දී තිබෙනවා. පසුගිය ඔක්තෝබර් 20 වැනිදා Coco චිත්‍රපටය මෙක්සිකෝවේ පැවති Morelia ජාත්‍යන්තර සිනමා උලෙළේදී සිය මංගල දර්ශනය පැවැත් වූ අතර ඊයේ (නොවැම්බර් 22) සිට අමෙරිකාව ඇතුළුව ලොව පුරා තිරගත කිරීම ඇරඹිණි.

IMDb දර්ශකයේ ප්‍රේක්ෂක ප්‍රතිචාර 9.2/10ක් එයට හිමි වී ඇති අතර රොටෙන් ටොමැටෝස්හි විචාරක මනාපය සියයට 96ක් ලබා ගන්නට සමත් වී සිටියි. වර්තමානයේ සිනමා නිර්මාණවල හොඳීන්ම ගැළපෙන නර්තනයේ යෙදෙන යුවළ කතන්දර කීමේ හැකියාව සහ වර්ණවත් දෘශ්‍ය ප්‍රයෝග බව මෙම පරිගණක සජීවකරණය ඔස්සේ හොඳීන්ම පෙන්වා දී ඇති බව ඔවුන්ගේ අදහසයි. එසේම සුන්දරත්වය, හාස්‍යය සහ ඉතාමත් අපූර්ව ආකර්ෂණීය නාද මාලාවන් ගෙන් මෙය සන්නද්ධ වී ඇති බව මයිකල් අර්බිටර් නම් විචාරකයාගේ අදහසයි.

මළවුන්ගේ ලෝකය පෙන්වුව ද වර්තමානයේ නිර්මාණය වන සිනමා නිර්මාණයන්ගෙන් සියයට 99ටත් වඩා Coco චිත්‍රපටය ප්‍රාණයෙන් සපිරි චිත්‍රපටයක් බව මැට් ඩොනටෝ නම් විචාරකයා පවසා සිටියි. එසේම පිස්කර් එය කළ බවට පුදුමයට පත් නොවිය යුතු බවත් ඔවුන් තරමට හදවතට කතා කරන වෙනත් අය නොමැති බවත් එහි වැඩිදුරටත් සඳහන්.