වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




සාහිත්‍යයට පෙම්බැඳි නිර්මාණවේදියකුගේ පුනරාවලෝකනය

සාහිත්‍යයට පෙම්බැඳි නිර්මාණවේදියකුගේ පුනරාවලෝකනය

සුදත් රෝහණ

සාහිත්‍ය කෘතියක් ඇසුරින් වන නිර්මාණයකදී හෝ එසේ නොවන අවස්ථාවකදී හෝ සුදත්ගේ නිර්මාණ කාර්යයේ කැපී පෙනෙන තවත් ලක්ෂණයක් වන්නේ තිර රචනය සඳහා ඔහු දක්වන විශේෂත්වයයි. සුදත්ට සිය ගුරුවරයා ගුරු මුෂ්ටියක් නොතාබාම තිර රචනා කලාවේ ආගිය මුලගිය තැන් උගන්වා ඇති බව සැබෑවකි

සම්මානනීය ටෙලි නාට්‍ය සහ චිත්‍රපට නිර්මාණවේදියකු වන සුදත් රෝහණගේ කලා ජීවිතයට මෙම වසරේදී දශක තුනක් සම්පූර්ණ වේ. ඒ වෙනුවෙන් ඔහුගේ සේවය අගයමින් මෙම මස 26 වැනිදා සවස 6 ට කොළඹ 07 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී විශේෂ උපහාර උලෙළක් පැවැත්වෙනු ඇත.

සුදත් රෝහණගේ මෙම උපහාර උලෙළ සත්ජන සහෘද සංසදයේ සංවිධානයකි.

සුදත් රෝහණ මෙරට කලා මාධ්‍යය තුළ රන් සලකුණක් ලෙසින් ඔසවා තැබීම යහපත් කලා මාධ්‍යයක් ප්‍රාර්ථනා කරනු ලබන කිසිවෙකුගේ විරෝධයට හසු නොවනු බව මගේ විශ්වාසයයි. මෙරට කලා ක්ෂේත්‍රයේ කාගේත් සම්භාවනාවට පාත්‍ර වූ වර්තමානයේ කලා ලෝකය දිග් විජය කරමින් නිර්මාණකරණයේ යෙදෙන නිර්මාණකරුවන් අතර සුදත් රෝහණ ඉදිරියෙන්ම සිටී. මෙරට විශිෂ්ට ගණයේ නිර්මාණ බිහි කරන නිර්මාණකරුවන් රැසකගේ ගුරු වූ ආචාර්ය තිස්ස අබේසේකරයන් විසින් ඔප මට්ටම් කළ හොඳම ගෝලයෙකු වූ සුදත් රෝහණ සිය ගුරුවරයාගේ මාර්ගෝපදේශයන් අකුරටම පිළිපදිමින් මෙරට කලා මාධ්‍යයේ යහපත වෙනුවෙන් පෙනී සිටින්නෙකි. තිස්ස අබේසේකර සහ සුදත් රෝහණ අතර වූ මේ ගුරු ගෝල සබඳතාවය මෙන්ම ඔවුන් දෙදෙනාගේ සුසංයෝගය මෙරට නිර්මාණ ධාරාවට තිළිණ කළ දේ සැමදා ඉහළින් බැබළෙනු විනා කිසිදින කිසිවකුටවත් ඉවත දැමිය නොහැකිය. එයට හොඳම උදාහරණය ලෙස තිස්ස අබේසේකරයන්, සුදත් රෝහණ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ කෙටි කතා ඇසුරින් නිර්මාණය කළ ‘විකුම්සිහ කතන්දර’ ඒකාංගික ටෙලි නාට්‍ය මාලාවේ නිෂ්පාදක වී සිය ශිෂ්‍යයා වූ සුදත් එහි තිර රචකයා හා අධ්‍යක්ෂවරයෙකු කළ ආකාරය මෙන්ම සුදත්ගේ ‘මන්දාරම් එළි‘ ටෙලි නාට්‍යයේ තිස්ස අබේසේකර විශ්ව විද්‍යාල ආචාර්යවරයකු ලෙස රඟපෑමත් ‘උතුවන් කන්දේ සරදියෙල්’ ටෙලි නාට්‍යයේ භික්ෂූන් වහන්සේ නමකගේ චරිතය රඟපෑමෙනුත් ‘කරුවල ගෙදර’ සහ ‘ස්වයංජාත’ ටෙලි නාට්‍ය සඳහා තිර රචනයෙන් දායකවීමත් සඳහන් කළ හැකිය. ගෝලයා යටතේ අධ්‍යක්ෂණය වූ ගුරුවරයාත්, ගුරුවරයාගේ තිර රචනා අධ්‍යක්ෂණය කළ ගෝලයාත් අතර සිදුවන මේ අපූරු සුසංයෝගයේ අත්‍යන්ත බැඳීම මෙරට ප්‍රේක්ෂකයින් රැගෙන ගියේ ආනන්දයෙන් ප්‍රඥාව කරාය.

සුදත් රෝහණ නම් වූ නිර්මාණකරුවා උපන්නේ 1964 මැයි 08 වැනි දින මිනුවන්ගොඩදීය. කන්නන්ගර ආරච්චිගේ යසරත්න කන්නන්ගර හා හෙට්ටිතන්ත්‍රිගේ දෝන ලීලාවතීට දාව මේ පවුලට උපන් එකම දරුවා වූයේ සුදත්ය. පවුලේ කිසිවෙකුත් කලාවට ලැදි වූ අය නොමැති වුවත් කුඩා කාලයේ සිටම සුදත්ගේ වැඩ් කැමැත්ත කලාවට යොමු වීමටය. සමහර විට එය ඔහුට ජන්මයෙන් ලද දායාදයක් වන්නට ඇතැයි අපට අනුමාන කළ හැකිය. මිනුවන්ගොඩ නාලන්දා විද්‍යාලයට අකුරු කරන්නට යන්නට පටන් ගත් දා සිටම පන්තියේ උගන්වන වෙනත් විෂයයන්වලට වඩා සුදත්ගේ සිත ගියේ කලා කටයුතුවලටය. පාසලේ වැඩිහිටි ශිෂ්‍යයන් කලා කටයුතුවල නිරතවත්දී සුදත්ගේ සිරිත වූයේ ඔවුන් අසලට ගොස් ඒ දෙස බලා සිටීමය. එහි ප්‍රතිඵලය වූයේ සුදත් පහේ පන්තියේ සිසුවෙකුව සිටියදී ‘යුගයක පෙරළිය’ නමින් නාට්‍යයක් නිර්මාණය කිරීමය. අද කාලයේ පහේ පංතියේ සිසුවකුට නම් පාසලෙන් ටියුෂන් පංතියටත්, ටියුෂන් පංතියෙන් පාසලටත් යනවා විනා නාට්‍යයක් කරන්නට තරම් නිදහස් සිතුවිලි පුරන්නට ඉඩක් වර්තමාන පරිසරය සකස් කරදී නොමැත. භාග්‍යයක තරම කෙතරම් ද කියනවා නම් එදා ඒ නිදහස සුදත්ලා භුක්ති වින්දේය.

සුදත්ගේ මේ නාට්‍යයට සම්බන්ධ කර ගත්තේ ඔහුගේ පාසලේම තවත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසකි. ඉන් පසුවත් සුදත් පාසල් නාට්‍ය කිහිපයක්ම අධ්‍යක්ෂණය කරන්නට පෙළඹුණේය. ඒ දේදුණු පාළම (1982), ‘අම්මාවරුනේ’ (1984), බිසවක් රජවේ (1986) වැනි නාට්‍යය නිර්මාණය කරමිනි. සුදත් නාට්‍යය නිර්මාණය කළා සේම වෙනත් අධ්‍යක්ෂවරුන් නිර්මාණය කරන ලද නාට්‍යයන්හි රඟපාන්නටත් එකල ඔහුට ආරාධනා ලැබිණ. එසේ රඟපෑ එක් නාට්‍යයක් වූයේ දයාවංශ ජයසිංහ නිර්මාණය කළ ‘දයාවක් නැති මිනිස්සු’ නාට්‍යය. එම රංගනයෙන් එකල සුදත් පාසල් මට්ටමින් හොඳම ළමා නළුවා බවට ද පත් විය.

මේ ලද උත්තේජනය සුදත්ගේ කලා සිතුවිලි අතරට නළුවෙකුගේ හීනය රැගෙන ආවේය. නළුවෙකු වන්නට ඔහු තුළ විශාල බලාපොරොත්තු ගොඩ ගැසිණ. එහෙත් ඒ සඳහා අවස්ථාව සලසා ගැනීම එකල ලේසිපහසු කාරියක් වූයේ නැත. දිනක් පුවත්පතක් බලමින් සිටි සුදත්ට චිත්‍රපටයක් සඳහා ළමා නළුවෙකු අවශ්‍ය බව කියමින් පළ වූ දැන්වීමක් දැක්කේය. නිවෙසටත් හොරා ඒ සඳහා අයදුම්පත්‍රයක් යොමු කළ සුදත්ට ඉන් කැඳවීමක් ලැබුණි. නිවෙසට හොරා මිතුරෙකු ද සමඟ සම්මුඛ පරීක්ෂණයට සහභාගිවීමෙන් පසු ඒ සඳහා සුදත්ව තෝරා ගැනිණ. එහෙත් අවාසනාවක මහත අදාළ දිනට ඊට සහභාගි වන්නට බැරි වූයේ පාසලේ පැවති විභාගයක් නිසාය. ටික දිනකින්ම ඒ චිත්‍රපටයෙන්ම සුදත්ට ආරාධනා ලැබෙනුයේ එහි වෙනත් කුඩා චරිතයක් සඳහාය. ඒ සඳහා ඔහු සහභාගි වන අතර ඒ චිත්‍රපටය වනුයේ බර්මින් ලයිලි ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ ‘වාලම්පුරි ය’. කරවල වාඩියකට අල්ලාගෙන යනු ලබන ළමයින් කණ්ඩායමක එකෙකු ලෙස සුදත් රඟපෑ අතර දින 20 ක් පමණ හම්බන්තොට ගොඩවාය ප්‍රදේශයේ රූගත කිරීම්වලට සහභාගි වූහ. රූගත කිරීම් නොමැති අවස්ථාවලදී ළමයින් සියල්ල එකතු වී වැල්ලේ සෙල්ලම් කළ ද කුඩා සුදත්ගේ සිත දිව ගියේ කැමරාවත් සමඟ හරඹ කරන වැඩිහිටියන් දෙසටය. කැමරාව පිටුපසින් ඇසෙන විවිධ ශබ්ද කුඩා සුදත්ගේ කුතුහලයෙන් පිරි සිතුම් පැතුම් අවදි කරන්නට විය. ඒ නිසාම ඔහු සෙල්ලම පසෙක ලා කැමරාව අසලට වී ඒ දෙස බලා සිටියේය.

චිත්‍රපට රංගනයෙන් පසු සුදත් නැවතත් වේදිකාවට සම්බන්ධ වූ අතර ගැටවරයෙකු ලෙස වැඩෙත් දී ඔහුගේ සියලු සිතුම් පැතුම් කලාව සමඟ ඒකාත්මික වනු ඔහුටත් නොදැනීම සිදු විය. සුදත් ප්‍රසිද්ධ වේදිකාවේ රංගනයට ප්‍රථම වතාවට එක් වනුයේ නීල් ද මොරායස්ගේ ‘නිව්යෝර්ක් අන්දරය’ නාට්‍යයෙනි. මේ අතරම ඔහු නාට්‍යකරණය පිළිබඳ ඉගෙන ගැනීමට විවිධ පාඨමාලා හදාරන්නට පටන් ගත්තේය. සමහර පාඨමාලාවලට සම්බන්ධ වී කාලයත්, ධනයත්, ශ්‍රමයත් වියදම් කර සුදත් රැවටුණු අවස්ථා ද බොහෝ විය. එහෙත් කලාකරුවෙකු වීමේ නොතිත් ආශාව මේ කිසිවකින් සුදත්ගේ සිතින් මකා දැමිය නොහැකි විය.

සුදත් නම් වූ ගැටවරයාගේ ඊළඟ ආශාව වුයේ කෙටි චිත්‍රපටයක් කිරීමය. පුවත්පතක පළ වූ දැන්වීමක් නිසා සුදත් මේ සඳහා උනන්දු විය. එහෙන් මෙහෙන් සොයාගත් මුදලකින් ෆිල්ම් කෑන් එකක් අරගෙන 16ර්ර් චිත්‍රපටයක් නිර්මාණය කරන්නට පටන් ගත්තේය. එහෙත් දළ සේයාපට අඩි 500 ඉවර වූ බැවින් සුදත්ට චිත්‍රපටය අවසන් කර ගැනීමට නොහැකි විය. චිත්‍රපටය නිමා නොකළද තමා නව මාවතකට පිය එසවූයේය යන අභිමානවත් හැඟීමකින් සුදත්ගේ සිත පිරී ගියේය. එසේම මේ චිත්‍රපටයේ තිර රචනය සකසා ගැනීම පිණිස ඔහු ආගිය ගමන් ඔහුගේ ජීවිතයේ ඉරණම තීරණය වූ ගමන් බවට ද පත් වූයේය.

සුදත් දැරූ අති විශාල ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස දිනක් කොළඹ පාක් රෝඩ්හිදී ඔහුට තිස්ස අබේසේකර මුණ ගැසීමට අවස්ථාව සැලසිණ. සුදත්ට අවශ්‍ය වූයේ තමන් ලියූ චිත්‍රපට කතාව එතුමන්ට පෙන්වා කිසියම් උපදෙසක් ලබා ගන්නටය. එහෙත් එවකට අතිශය කාර්යබහුල වූ තිස්ස අබේසේකරයන් එදින එම කාර්ය කළ නොහැකි බව පවසා සුදත්ට හමුවීමට දිනයක් සහ වේලාවක් ලබා දෙන්නේය.

නියමිත දිනට මිනුවන්ගොඩ සිට උදෑසනම පිටත් වූ අබේසේකරයන් මුණ ගැසීමට පැමිණියත් කියූ වෙලාවට වඩා මිනිත්තු 10 ක් ප්‍රමාද වී ඔහු තිස්ස අබේසේකරයන්ගේ නිවෙසට පැමිණියේය. වෙලාවට වැඩ කිරීමේ පළමු පාඩම අබේසේකරයන්ගෙන් ඉගෙන ගෙන එදිනත් සුදත් නිවෙසට ගියේ තිර නාටකය පෙන්වාගත නොහැකිවය. එහෙත් දුර සිට පැමිණි නිසා පුංචි සමාවක් දී නැවත දිනයක් ඔහුට ලබා දී තිබිණ.

ඊළඟ දිනයේ ඔහු නියමිත වේලාවටම පැමිණ අබේසේකරයන් හමු වුයේය. තිර රචනය පෙන්වා ගුණ දොස් ද විමසා කලාවට සම්බන්ධවීමට කැමති නිසා ඒ සඳහා අවස්ථාවත් සලසා දෙන ලෙස ද ඉල්ලුුවේය.

දින, සති, මාස, අවුරුදු ගෙවී සුදත්ට තිස්ස අබේසේකරයන් හමු වනුයේ ඔහු ‘විරාගය’ චිත්‍රපටය කරන්නට සූදානම්ව සිටි සමයේදීය. කලාවට එන්නට දඟලන තරුණ කොලු ගැටයාට අබේසේකරයන් කුඩා ලියුම් කෑල්ලක් අත තබා සෝමදාස මල්දෙණිය හමුවන ලෙස පැවසුවේය.

ලියුමේ ලියා ඇත්තේ කුමක්ද යන්න පිළිබඳ දැනගන්නා තුරු සුදත්ට ඉවසිල්ලක් නොවීය. ඔහු මඟට ගොස් හොර රහසේ ලියුම විවෘත කළේය.

“හිතවත් මල්දෙනිය,

මෙය රැගෙන එන සුදත් රෝහණ සිනමාවට ළැදියාවක් දක්වන අයෙක්. මොහුව ඔබගේ සහායක ලෙස සම්බන්ධ කර ගන්න. ඔහුට එන්න මුල් අවස්ථාව හදා දෙන්න.

තිස්ස අයියා

යනුවෙන් එහි ලියා තිබිණ.

සුදත් මේ ලිපිය ද රැගෙන 1985 අපේ‍්‍රල් මාසයේ එක්තරා දිනක ගාල්ල මහ කප්පින වලව්වට ගියේය. ‘විරාගය’ රූගත කිරීමේ දර්ශන තලය එහි පිහිටා තිබුණි. ඇඳුම් කෑලි දෙක තුනක් දමා ගත් බෑගයක් ද රැගෙන මහ කප්පින වලව්වට පැමිණි කුඩා කොලු ගැටයා තිස්ස අබේසේකරයන්ගේ අධීක්ෂණය යටතේ මේ දර්ශන තලයේදී බොහෝ දේ ඉගෙන ගත්තේය. මුල් කාලයේ සුදත් මල්දෙනියගේ පමණක් නොව සියලු දෙනාගේ සහායකයා විය. දර්ශන තලයේ බොහෝ දෙනෙක් සුදත්ව සොයන තරමට පසු කලක එහි සුදත් ජනප්‍රිය චරිතයක් වූයේය. ඉතා ඉක්මනින්ම වැඩ ඉගෙන ගත් තරුණයා කෙරෙහි විශ්වාසය තබමින් තිස්ස අබේසේකරයන් ඔහු විරාගයේ සහාය අධ්‍යක්ෂවරයකු ලෙසින් හා සහාය සංස්කරණ ශිල්පියෙකු ලෙසින් සම්බන්ධ කර ගත්තේය. මේ ඇරඹි ගමන අධ්‍යක්ෂවරයෙකු හා තිර නාටක රචකයෙකු ලෙසින් ද සුදත්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයය බවට පත් විය.

සුදත් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු වන්නට ප්‍රථම අත්දැකීම සපුරා ගනුයේ සිය ගුරුදේවයාණන් වූ තිස්ස අබේසේකරයන්ගේ නාට්‍යයන් හි සහය අධ්‍යක්ෂවරයා ලෙසින් කටයුතු කරමිනි. තිස්ස අබේසේකරයන් අධ්‍යක්ෂණය කළ ‘ගංගාවතරණය’, ‘දොළොස්්මහේ ගංගාව, ‘තුන්කල් සිහිනය’, ‘එකගෙයි අවුරුද්ද’ වැනි ටෙලි නාට්‍යයන්හි සහාය අධ්‍යක්ෂවරයා වූයේ සුදත්ය. ඉන්පසු ‘සිටුවරයකුගේ කතාව, ‘ගංගා හ නිශ්ශංක’, ‘නොනිමි සුවඳ’ වැනි ටෙලි නාට්‍යවලත් ‘සහන් එළිය’ චිත්‍රපටයේත් සහාය අධ්‍යක්ෂණයට දායක වූයේය.

ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු වශයෙන් ඔහුගේ ආගමනය සිදුවනුයේ 1990 දීය. කමල් පෙරේරා විසින් ලියන ලද කෙටි කතාවක් වූ ‘අමරාවතී සහ සෝමදාස’ ඇසුරෙන් ඔහු එනමින්ම ඒකාංගික ටෙලි නාට්‍යයක් නිර්මාණය කළේය. සුදත් සාහිත්‍යකාමියකු යැයි අද අපි හඳුන්වන්නා වූ තැනට රැගෙන යාමේ ආරම්භක පියවර එය විය. සුදත් සිය ප්‍රථම නිර්මාණය සඳහාම සාහිත්‍ය කෘතියක් ඇසුරුකර ගත්තේය. ඔහුගේ නිර්මාණ ජීවිතයේ සෙසු ගමන් මඟ තුළ දක්නට ලැබෙන හා හඳුනාගත හැකි සුවිශේෂී ලක්ෂණය මතු වන්නේ එසැනිණ. සුදත් ‘අවිදු අඳුර’ (1993) ටෙලි නාට්‍යය සඳහා පාදක කර ගන්නේ සරත් විජේසූරියගේ එනමින් යුත් සාහිත්‍ය කෘතියයි. ඉන්පසු 1994 දී සරත් විජේසූරියගේම ‘නිරානන්දය’ 1995 දී පියසේන කහඳගමගේ ගේ ‘වනවදුුලේ වසන්තය’, 1996 දී ජයසේන ජයකොඩිගේ ‘බැද්දෙගෙර’ 1998 දී ස්වර්ණලතා කිරිවත්තුඩුවගේ ‘හිරු අවරට යා නොමදී’ ඇසුරින් ‘ස්වර්ණ තිසරාවි’, 2001 දී ජයසේන ජයකොඩිගේ ‘අඹු දරුවෝ’, 2005 දී සරත් ධර්මසිරිගේ ‘කටු ඉඹුල’, 2008 දී මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ ‘කරුවල ගෙදර’, 2010 දී සමරවීර විජයසිංහගේ ස්වයංජාත’, 2013 දී ශාන්ති දිසානායකගේ ‘ගිරිකුළ’ සුදත් රෝහණ අතින් ටෙලිවිෂනයට නැගිණ.

ඔහු 1993 දී නිර්මාණය කළ මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ කෙටි කතා හතරක් ඇසුරින් නිර්මාණය කළ ‘විකුම්සිහ කතා’ එවකට බෙහෝ ජනප්‍රසාදය දිනා ගත්තක් විය. නවකතා හා කෙටි කතා සාහිත්‍යය අතරින් ටෙලි නාට්‍ය මාධ්‍යය පෝෂණය කරන්නට සුදත් දැක් වූ දායකත්වය ඔහුගේ නිර්මාණ දිවිය තුළ දක්නට ලැබෙන කැපී පෙනෙන ලක්ෂණයකි. එතැනින් ද නොනැවතුණු ඔහු සිය ප්‍රථම සිනමා සම්ප්‍රාප්ති වෙනුවෙන් ද තෝරා ගත්තේ සාහිත්‍ය කෘතියකි. ඒ එන්. ටී. කරුණාතිලකගේ ‘උළුගෙදර ආරච්චිල’ නවනකතාව ඇසුරින් කළ ‘සුදු කළුවර’ය.

සාහිත්‍ය කෘතීන් ඇසුරු කරමින් ඔහු කළ නිර්මාණවලින් බැහැරව ඔහුගේ ටෙලි නාට්‍ය නිර්මාණ විෂ්ලේෂණය කළහොත් ඒවා ද අපේ ටෙලි නාට්‍ය ඉතිහාසය තුළ සුවිශේෂී සන්ධිස්ථාන සනිටුහන් කළ විවිධ මාතෘකා ගැඹුරු රූප ඥනයකින් වියමන් කළ ඒවා විය. මන්දාරම් එලි (1991), දත් කුකුළු පාලා (1992), යුග විලක්කුව (1997), ඉරබටු තරුව (2000), ගඟ අද්දර කැලේ (2003), එක ඉත්තක මල් (2004), උතුවන්කන්දේ සරදියෙල් (2006) මේ අතර වේ. ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම ටෙලි නාට්‍ය සමුච්චය පිළිබඳ විමර්ශනාත්මකව විග්‍රහ කර බැලීමේදී සුදත් මෙරට සුවිශේෂී අධ්‍යක්ෂවරයෙකුවීමේ හේතු කිහිපයක් අවධාරණය වේ. සුදත් හැමවිටම අභියෝග සොයා යන්නෙකි. ‘උතුවන්කන්දේ සරදියෙල්’ වැනි ටෙලි නාට්‍යයක් ඔහු නිර්මාණය කරනුයේ සරදියෙල් මියගොස් වසර 100 ක් ද ඉක්ම වූ පසුවය. ඒ වෙනුවෙන් දත්ත සොයා යාමට මෙන්ම, ඉතිහාසයේ ඉපැරණි පිටු පෙරළීමට සුදත්ට කිසිදු කම්මැළිකමක් නොමැතිය. ඓතිහාසික කතා වස්තුවක් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයට රැගෙන ඒමේදී විඳින්නට වන සියළු අභියෝගතා මෙන්ම දුෂ්කරතා ඔහු වළඳනුයේ මීපැණි විලසින්ය. එයට හේතුව තමන් බිහි කරන්නට සූදානම් වන දරුවාට සුදත් දක්වනු ලබන අප්‍රමාණ සෙනෙහසය. ඒ ආදරය, සෙනෙහස අභියෝග ජයගන්නට සුදත්ට ශක්තිය සපයන්නේය.

අප එදිනෙදා සමාජයේ අසන්නට දකින්නට ලැබෙන ලාභ, සරල කතා වස්තු මෙන්ම වර්තමානයේ අපේ ආලින්දවල විගඩම් නටන චරිත සුදත්ගේ ටෙලි නාට්‍යවල දක්නට නොමැත. ඔහු නිර්මාණකරණයට පිවිසෙන්නේ කිසියම් වූ සමාජ , දේශපාලන දැක්මකින් යුතුවය. නිර්මාණකරුවකු වශයෙන් පමණක් නොව සාමාන්‍ය පුරවැසියකු වශයෙන් ද තමන් සතුව විශාල සමාජ වගකීමක් පවතින බව ඔහු නිතරම සිහියේ තබා ගත්තෙකි. සුදත් ‘යුග විලක්කුව‘ වැනි ටෙලි නාට්‍යයක් නිර්මාණය කරනුයේ මෙරට ජාතිවාදී අරගලය උග්‍ර අවස්ථාවක පැවතියදීය. දෙමළ, සිංහල ජාතීන් අතර සහජීවනය ආදරය බැඳීම වර්ධනය කරනු උදෙසා එදා ‘යුග විලක්කුව‘ සුදත් විසින් නිර්මාණය කරනු ලැබූයේ අප්‍රමාණ දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් ජීවිත තර්ජනය ද නොතකා උතුරු සටන් බිමේ සැබෑ යුදමය දර්ශන ද ඊට ඇතුළත් කරමිනි.

‘උතුවන්කන්දේ සරදියෙල්’ වැනි ඓතිහාසික කතාවක් නිර්මාණය කිරීමේදී එහි ඓතිහාසික වටිනාකම නොනැසී පවත්වා ගැනීම උදෙසා නිර්මාණය විසින් ඉල්ලා සිටිනු ලබන සියලු සත්කාරයන් ලබාදීමට ඔහු කිසි විටෙකත් පසුබට නොවන කෙනෙකි. මෙවන් අවස්ථාවලදී ඔහු තම පහසුව හෝ ආර්ථික වාසි හෝ පාඩුව පිළිබඳ කිිසිසේත්ම නොතකන පුද්ගලයෙකි. එවැනි අවස්ථාවන්වලට මුහුණ දී නොයෙක්වර තම අතින් පාඩු සිද්ධ කර ගත්තෙකි.

සාහිත්‍ය කෘතියක් ඇසුරින් වන නිර්මාණයකදී හෝ එසේ නොවන අවස්ථාවකදී හෝ සුදත්ගේ නිර්මාණ කාර්යයේ කැපී පෙනෙන තවත් ලක්ෂණයක් වන්නේ තිර රචනය සඳහා ඔහු දක්වන විශේෂත්වයයි. සුදත්ට සිය ගුරුවරයා ගුරු මුෂ්ටියක් නොතාබාම තිර රචනා කලාවේ ආගිය මුලගිය තැන් උගන්වා ඇති බව සැබෑවකි. එහෙත් තමන්ම තිර රචනයක් නොලියන්නේ නම් ඔහු ඒ සඳහා තෝරා ගන්නේ අතිශූර කතාකාරයෙකි. ඒ ඒ නිර්මාණයන් සඳහා සුදුසු වන තිර රචකයන් ඔහු තීරණය කරනුයේ ගසට පොත්ත මෙන් ඇති සමීප සබඳතාවයක ගැළපීම මනාව අවබෝධ කොටගෙනය. ඔහුගේ ‘කරුවලගෙදර’ සහ ‘ස්වයංජාත’ ටෙලි නාට්‍යයන්හි කොටස් කීපයක තිර රචනය කරඇත්තේ තිස්ස අබේසේකර විසිනි. ‘කටු ඉඹුල’ තිර රචනය කරනු ලැබුවේ සරත් ධර්මසිරි විසිනි. යුග විලක්කුව සුගතපාල ද සිල්වාගේය. ගඟ අද්දර කැලේ, එක ඉත්තක මල්, උතුවන්කන්දේ සරදියෙල් වැනි ටෙලි නාට්‍ය සඳහා ඔහු තෝරා ගන්නේ සෝමවීර සේනානායකයන්ය. අදාළ තේමාවට හිමි රිද්මය හඳුනා ගන්නා තිර රචකයන් තෝරා ගැනීම විෂයෙහි සුදත් සිටිනුයේ ඉතා ඉහළිනි.

මෙරට පැවති ටෙලි සම්මාන උලෙළ බොහොමයකදී සුදත්ගේ නිර්මාණ කාර්යයන් ඇගැයුමට පාත්‍ර විය. බොහෝ නළු නිළියන්ට, කාර්මික ශිල්පීන්ට සම්මාන හිමි විය. එසේම ඔහුගේ නාට්‍ය හරහා සුවිශාල අනාගත පරපුරක් බිහි කරලූයේය. ඔහු විසින් නිර්මාණය කරන ලද විකුම්සිහ කථන්දර නාට්‍යය ඔස්්සේ නළු නිළියන්, කාර්මික ශිල්පීන් ඇතුළු ශිල්පීන් 16 දෙනකුට ආසන්න ප්‍රමාණයක් දොරට වැඩියේය. වර්මානයේ ජනප්‍රිය ප්‍රවීණ නළු නිළියන් යුවළක් වන සේමිණි ඉද්දමල්ගොඩ, උමයංගනා වික්‍රමසිංහ වැන්නියන් ක්ෂේත්‍රයට පැමිණියේ ඔහුගේ හඳුන්වාදීමෙනි. එසේම ලක්ෂ්මන් වික්‍රමතිලක වැනි කැමරා අධ්‍යක්ෂවරුන් මෙන්ම අතුල අධිකාරි ප්‍රථම වරට සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස දොරට වඩින්නේ ද ඔහුගේ නිර්මාණ ඔස්සේය. කලාවක් වශයෙන් පමණක් නොව කර්මාන්තයක් වශයෙන් ද ටෙලි නාට්‍යය රැක ගැනීමේ වගකීම වෙනුවෙන් ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය පිහිටුවා එහි ආරම්භක කැඳවුම්කරු වූයේ ද සුදත්ය.

සුදත්ට ජීවිතය දෙස ආපස්සට හැරී බැලූකළ කම්පාවන්න කිසිදු කාරණාවක් නැත. සමාජ අයහපතට හේතු වූ නිර්මාණයක් ඔහු අතින් බිහි වී නොමැත. තම දරුවන් යහමඟ යොමු කළ කරුණාබර, ආදර්ශවත් පියෙකු පරිද්දෙන් ඔහු තම නිර්මාණ ප්‍රවේශමෙන් ඇති දැඩිකොට සමාජයට මුදා හැරියේය. මේ සියලු කාරණා මැද දියණියන් දෙදෙනකුට ආදර බර පියෙක්ව, ප්‍රිය බිරිඳට සෙනෙහෙබර සැමියෙක්ව, මවිපියන්ට ආදරණීය පුතෙකුව, සහෝදර, අසල්වැසි, යාළු මිත්‍රාදීන්ට හෘදයාංගම හිත මිතුරකුව ඔහු ගත කළ ජීවිතය ද නිර්මාණ මැදම සිහිපත් කළ යුතුය. කණ කැස්බෑවා විය සිදුරින් එළිය දකින්නා සේ ලබාගත් මනුෂ්‍ය භාවයෙන් දශකත්‍රයක කාල පරිච්ඡේදයක් මෙරට නිර්මාණ ධාරාව තුළ ප්‍රේක්ෂක නැණ නුවණ පහන් කරවීම පිණිස කළ අති මහත් වූ සමාජ වගකීම ඉටු කරලීම වෙනුවෙන් ආදරණීය සුදත් අයියේ ඔබට අපේ ආචාරය!