වර්ෂ 2016 ක්වූ  ඔක්තෝම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දා




ජංගි හොරා බූසාන් යයි

ජංගි හොරා බූසාන් යයි

ආචාර්ය සෝමරත්න දිසානායකගෙන් වැඩිහිටියන්ට චිත‍්‍රපටයක්

ආචාර්ය සෝමරත්න දිසානායක තිර රචනා කොට අධ්‍යක්ෂණය කළ ඔහුගේ නවතම සිනමාපටය වූ අන්ඩර් පෑන්ට් තීෆ් (ජංගි හොරා) දකුණු කොරියාවේ බූසන් නුවර පැවැත්වෙන බූසාන් අන්තර් ජාතික සිනමා උලෙළ සඳහා තෝරාගෙන තිබේ.

අධ්‍යක්ෂවරයා මේ වනවිටත් බුසාන් නුවරට ගොස් සිටියි. අන්ඩර් පෑන්ට් තීෆ් සෝමරත්නගේ සුපුරුදු සිනමා රාමුවෙන් ඔබ්බට ගොස් නිර්මාණය වූ චිත්‍රපටයකි. මානසික ව්‍යාධියෙන් පෙළෙන වැඩිහිටියකු පිළිබඳ කතාවක් රැගත් මෙම චිත්‍රපටය රැඟුම් පාලක මණ්ඩලය මඟින් වැඩිහිටියන්ට පමණක් ප්‍රදර්ශනයට අවසර ලබාදී තිබේ.

පුබුදු චතුරංග, දිල්හානි අශෝකමාලා, චින්තක කුලතුංග, බුද්ධි රන්දෙණිය ප්‍රධාන චරිත නිරූපණය කරන මෙහි කැමරා අධ්‍යක්ෂණය විශ්ව බාලසූරියගෙනි. අජිත් රාමනායක සංස්කරණ ශිල්පියාය. පි‍්‍රයන්ත කළුආරච්චි ශබ්ද සංකලයෙන් නිර්මාණය වූ මෙහි සහාය අධ්‍යක්ෂණයෙන් චාමර චින්තක සේලාර දායක විය.

ආචාර්ය රෝහණ වීරසිංහගේ සංගීත අධ්‍යක්ෂණයකි. විශාරද ශෂිකා නිසංසලා සහ විශාරද හර්ෂණ දිසානායක ගායනයෙන් දායක වූ අන්ඩර් පෑන්ට් තීෆ් රේණුකා බාලසූරියගේ නිෂ්පාදනයකි.


ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

අනුස්මරණ චිත්‍රපට උලෙළ හෙට සිට

ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ 09 වැනි ගුණානුස්මරණය වෙනුවෙන් එතුමන් සංගීතය නිර්මාණය කළ චිත්‍රපට ඇතුළත් උලෙළක් කේමදාස පදනම විසින් සංවිධානය කර ඇත. මෙම චිත්‍රපට උලෙළ හෙට (ඔක්තෝබර් 20) සිට 24 දින දක්වා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදි නොමිලයේ පැවැත්වේ.

මෙම චිත්‍රපට උලෙළේ විශේෂත්වයක් වන්නේ, ඩිජිටල්කරණය කරන ලද (ච්.ඛ්.ර්‍ථ) හංසවිලක් සිනමාපටය ප්‍රථමවරට මෙම සිනමා උළෙලේ දී ඔක්තෝබර් 24 වන දින 6.30ට මහජන ප්‍රදර්ශනය සිදු කිරිමයි. සිනමා උලෙළේ ප්‍රදර්ශනය කරන චිත්‍රපට සියල්ලම 35ථථ ප්‍රදර්ශන තත්ත්වයෙන් සවස 2.30 සහ 6.30 දර්ශන වාර ලෙස ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇත.

සිනමා උලෙළට සමගාමීව එහි දී ප්‍රදර්ශනය කරනු ලබන චිත්‍රපට තුළින් තෝරාගත් චිත්‍රපට පිළිබඳ සාකච්ඡාවක් දපැවැත්වීමට නියමිතය. මෙම සාකච්ඡාව කේමදාස පදනමේ මෙහෙයවීමෙන් චිත්‍රපට අධ්‍යක්ෂවරුන් සහ නිර්මාණ ශිල්පින්ගේ සහාභාගීත්වය යටතේ ඔක්තෝබර් 21 සහ 22 යන දෙදින ප.ව 5.00 සිට 6.00 දක්වා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේ දී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත. ආචාර්ය ප්‍රේමසිරි කේමදාස විසින් ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රය පෝෂණය කිරීම සඳහා සිදු කළ යුග මෙහෙවර සිහි කිරීම උදෙසා මෙම සිනමා උලෙළ පැවැත් වේ.

ආචාර්ය ප්‍රේමසිරි කේමදාස අනුස්මරණ චිත්‍රපට උලෙළේ කාලසටහන

ඔක්තෝබර් 20 - 6.30 ගොළු හදවත

ඔක්තෝබර් 21 - 2.30 වාසනා

6.30 නිධානය

ඔක්තෝබර් 22 - 2.30 ලොකුම හිනාව

6.30 සිරි මැදුර

ඔක්තෝබර් 23 - 6.30 බඹරු ඇවිත්

ඔක්තෝබර් 24 - 6.30 හංසවිලක්


ආලංකුලම ෆිල්ම්ස් නැවත නිෂ්පාදනයට

බාසුරු සිරිවර්ධන සිනමාවට

ඩොනල්ඩ් ජයන්තගේ අධ්‍යක්ෂණයක්

නළු නිළියන් තෝරා ගැනීම 22

ඩොනල්ඩ් ජයන්ත සහ සරොව් අධ්‍යක්ෂණය කරනු ලබන දැවැන්ත සිනමා කෘතියක් ළඟදීම ඇරැඹීමට නියමිතය. එය නිෂ්පාදනය කරනුයේ ආලංකුලම ෆිල්ම්ස් වෙනුවෙන් බාසුරු සිරිවර්ධනය. අතිශය ජනප්‍රිය සිනමා කෘතීන් කිහිපයක් නිෂ්පාදනය කළ ආලංකුලුම ෆිල්ම්ස් හි අධිපතිත්වය දැරුවේ නැසීගිය ධම්මික සිරිවර්ධනයි. ඔහුගේ ඇවෑමෙන් ඔහුගේ පුතු බාසුරු චිත්‍රපට නිෂ්පාදනයට එක් වන අවස්ථාව මෙයයි. එලෙස නිපයෙන මෙම සිනමාපටයේ මහේන්ද්‍ර පෙරේරා, පුබුදු චතුරංග, ගිරිරාජ් කෞශල්‍ය, දමිතා අබේරත්න, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, තුසිත ලක්නාත්, සරත් කොතලාවල, සරත් චන්ද්‍රසිරි, මිහිර සිරිතිලක, දයාදේව එදිරිසිංහ චරිත රංගනයේ යෙදෙයි. නලීන් ප්‍රේමතිලකගේ අංග රචනයෙන් දායක වන මෙහි ඇඳුම් නිර්මාණය ජනක උල්ලුඳුපිටියගෙනි. අශෝක ආරියරත්න නිෂ්පාදන කළමනාකරුය. මෙම සිනමාපටයට නවක රංගන ශිල්පීන් තෝර ගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් මෙම මස 22 වැනිදා දවස පුරා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වෙනු ඇත.


 ප්‍රේමකීර්ති ගී ඇතුළත් සඳකැන් වැසිලා නොවැම්බර් 12

මෙරට බිහි වූ අග්‍රගණ්‍ය ගීත රචකයකු වන ප්‍රේමකීර්ති ද අල්විස් විසින් රචිත ගීත නිර්මාණ 28 ක් ඇතුළත් විචිත්‍රවත් ප්‍රසංගයක් එළඹෙන නොවැම්බර් මස 12 වැනිදා සවස නෙළුම් පොකුණ රංග ශාලාවේදී පැවැත්වීමට නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සැලසුම් කොට තිබේ. සඳකැන් වැසිලා යනුවෙන් නම් කොට ඇති මේ ප්‍රසංගයේ ආචාර්ය වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, ටී. එම්. ජයරත්න, ප්‍රියා සූරියසේන, සමන් ද සිල්වා, සුසිල් ප්‍රනාන්දු, රොඩ්නි වර්ණකුල, සෙව්වන්දි රණතුංග, නදිනි ප්‍රේමදාස, ජනිත් ඉද්දමල්ගොඩ සහ පවන් මල්ලවාරච්චි ගීතවත්වීමට නියමිතය. සුරේෂ් මාලියැද්දගේ ස්වර රටාවෙන් හැඩවන මෙය මෙහෙයවනු ලබන්නේ සමන් අතාවුදහෙට්ටි විසිනි. නර්ථන වින්‍යාසය චන්න විජේවර්ධනගෙනි.


සී.ටී උපහාරයට

‘සඳවට රන්තරු’ 40

මෙරට සංගීත ක්ෂේත්‍රයේ පොප් සංගීතයේ රජු ලෙස විරුදාවලි ලත් සී. ටී ප්‍රනාන්දුගේ 40 වැනි අනුස්මරණ උලෙළ වෙනුවෙන් 'සඳවට රන්තරු' 40 උපහාර ගී ප්‍රසංගය ඔක්තෝබර් 21 වැනි සෙනසුරාදා ගම්පහ, සුමේධ රංගන ශාලාවේදී පැවැත්වේ. ප්‍රියන්ත ප්‍රනාන්දු ඇතුළුව ගායන ශිල්පීන් ශිල්පිනියන් රැසක් ගී ගයන 'සඳවට රන්තරු' 40 ප්‍රසංගයේ සංගීතය උපාලි ප්‍රනාන්දු ප්‍රමුඛ වාද්‍ය වෘන්දය විසිනි. 'සඳවට රන්තරු' සංවිධානය කරන්නේ මිල්ටන් මලවි ආරච්චි විසිනි.


වැලි පවුර වැඩ ඇරැඹේ

සුනිල් ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කරන දෙවැනි සිනමා අධ්‍යක්ෂණය වූ වැලි පවුර සිනමාපටයේ මුහරත් උලෙළ පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලා පරිශ්‍රයේදී පැවැත්විණ. හේමසිරි ලියනගේ, මහේන්ද්‍ර පෙරේරා, දිල්හානි ඒකනායක, අකිල සඳකැළුම්, කුමාර තිරිමාදුර, ගයත්‍රි ඩයස් ඇතුළු නළු නිළියන් රැසක් චරිත මවන මෙහි නිෂ්පාදනය දම්මික අතපත්තුගෙනි. සජිත වීරප්පෙරුමගේ කැමරා අධ්‍යක්ෂණයෙන් ද, සුනෙත් රසාංග සහාය අධ්‍යක්ෂණයෙන් ද, තරංග රුක්මල්වල අංග රචනයෙන් ද, දර්ශන වික්‍රමතුංගගේ සංගීිතයෙන් ද වැලිපවුර හැඩවේ. අධ්‍යක්ෂණය මෙන්ම කතාව, දෙබස්, තිර රචනය ද සුනිල් ප්‍රේමරත්නගෙනි. මාධ්‍ය සම්බන්ධීකරණය සහ නිශ්චල ඡායාරූපකරණය උපුල් නිශාන්ත විසින් සිදු කරයි. සේයාරුවෙන් දැක්වෙනුයේ වැලි පවුරු සිනමාපටයේ පිරිවර සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරුයි.