වර්ෂ 2016 ක්වූ  ඔක්තෝම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දා




අමීර් අද සිට සුපිරි තරුවක්

අමීර් අද සිට සුපිරි තරුවක්

දීපවාලි හෙවත් ආලෝකයේ උත්සවය හින්දු බැතිමතුන් සමරන්නේ නරක අභිබවා හොඳ සහ අධ්‍යාත්මික ගුණධර්ම වර්ධනය අරමුණුකර ගනිමිනි. මේ වසරේ දීපවාලි උත්සවය අදට (ඔක්තෝබර් 19) යෙදී ඇත. බොලිවුඩයෙන් දීපවාලි උත්සවය වෙනුවෙන් සුවිශේෂි සිනමා නිර්මාණය තිළිණ කිරීම සිරිතක් බවට පත්ව ඇති සේය. මෙවරද ඒ වෙනුවෙන් අපූරු සිනමා නිර්මාණයක් තිරගත කිරීම අදින් ඇරඹේ.

මේ වසරේ දීපවාලි උත්සව සමයේ අසිරිය සමඟින් රිදී තිරයේ දිගහැරෙන්නේ අමීර් ඛාන් ගෙන එන සිනමා නිර්මාණයක් වීමත් විශේෂයි. සාමාන්‍ය ප්‍රේම කතා රටාවෙන් බැහැරව වෙනස් කතාපුවත් ඔස්සේ සිනමාව වර්ණවක් කරන චිත්‍රපට නිෂ්පාදනය පසුගිය කාලයේ අමීර් වෙතින් දකින්නට ලැබූ විශේෂත්වයක් බවත් කිව යුතුයි. ඔහු මෙම නව සිනමා සිත්තම ද ගායන හැකියාවෙන් ඉහළ දරුවෙකු සමඟින් නිර්මාණය කර තිබීම එයට තවත් උදාහරණයක්.

තම ගායන, නර්තන සේම තවත් විවිධ දක්ෂතා දක්වන්නට දරුවන් වෙනුවෙන්ම වෙන් වු සුපිරි තරු තරග වර්තමානය වන විට ලොව පුරාම දක්නට ලැබේ. බොලිවුඩ් රිදී තිරයෙන්ද අද සිට දකින්නට ලැබෙන්නේ එවැනි වූ සුපිරි තරු තරගයකට සහභාගි වන අපූරු දැරියකගේ කතා පුවතකි. එය Secret Superstar නමින් බොලිවුඩය ඇතුළුව ලොව පුරා රිදී තිරයන්හි දිග හැරේ. සංගීතමය චිත්‍රපටයක් වන Secret Superstar අධ්‍යක්ෂණය කර තිබෙන්නේ අද්වෙත් චන්දන් විසිනි. මෙය ඔහුගේ කුළුඳුල් සිනමා නිර්මාණය වන අතර අද්වෙත් යනු අමීර් ඛාන්ගේ පෙර කලමනාකරු වීමද විශේෂතවයකි. Secret Superstar සංගීත අධ්‍යක්ෂණය සංගීතඥ අමිත් ත්‍රිවේදි විසින් සිදුකර ඇත. තරුණ සංගීත අධ්‍යක්ෂවරයකු වන අමිත්ත්‍රිවේදි English Vinglish, Queen, Lootera වැනි චිත්‍රපට රැසක සංගීත අධ්‍යක්ෂණය කර ෆිල්ම්ෆෙයාර් සහ ඉන්දීය ජාතික සම්මානයට පවා පාත්‍ර වූවෙකි. මේ වෙනුවෙන්ද ගීත රචනා කර තිබෙන්නේ, Bajrangi Bhaijaan, Heropanti, Ek Tha Tiger, Dhoom: 3, Begum Jaan වැනි චිත්‍රපට රැසක ගීත රචනා කළ කවුසාර් මුනීර් විසිනි.

2015 වසරේදී නිෂ්පාදන කටයුතු ආරම්භ කරන විට Secret Superstar චිත්‍රපටය නම්කර තිබුණේ Aaj Phir Jeene Ki Tamanna Hai නමින්. 'මට නැවත ජීවත් වෙන්න ආසයි' යන්න එහි තේරුම ගෙන දෙනවා. පසුගිය වසරේදී එය Secret Superstar ලෙසින් නම් වුණු අතර, එහි සියලුම රූගත කිරීම් මුම්බායිහිදී සිදු කෙරුණා.

ඉන්සා නම් දැරියගේ ආසාව වන්නේ ඉහළම තලයේ සුපිරි ගායිකාවක් වීමයි. ගායනයේ දස්කම් දක්වන ඇයගේ ගමනට ඇති එකම බාධාව නම් සාම්ප්‍රදායිකත්වය ඉහළින්ම අගයන සිය පියාගේ දැඩි තීරණය යි. එක්තරා දිනයකදි හමුවන සංගීතඥයෙක් විසින් මුස්ලිම් දැරියක වන ඉන්සාහට සිය සංගීත ගමන යාම වෙනුවෙන් උපකාර කිරීමට ඉදිරිපත් වේ. දැඩි මතධාරි පියාගේ ක්‍රියාකලාපය හමුවේ ඉන්සා සුපිරි තරු වේදිකාවට පිය නඟන්නේ කෙසේද යන්න Secret Superstar ඔස්සේ දිග හැරෙනවා.

Secret Superstar චිත්‍රපටයේ ප්‍රධන භූමිකා නිරූපණය කරන්නේ අමීර් ඛාන් සමඟ සයීරා වසීම් සහ මෙහ්ර් විජ් විසින්. සයිරා වසීම් යනු කවුරුන් දැයි අමුතුවෙන් හඳුන්වා දිය යුතු වන්නේ නැහැ. ජම්මු කාශ්මීර්හි උපන් දහසය හැවිරිදි සයිරා දැන් ලොවම හඳුනන තරුවක් වී අවසන්. A Dangal චිත්‍රපටය සමඟින්. එහි මල්ලවපොර සූරියක වන ගීතා පොගත්ගේ කුඩා වියට පණ පෙව්වේ සයිරා විසින්. ඒ වෙනුවෙන් ඇය ඉන්දීය ජාතක සම්මාන උලෙළේ හොඳම සහය නිළිය ලෙසින්ද සම්මානයටද පාත්‍ර වුණා. මේ වනවිට ඉන්දීය සිනමාවේ ඉහළම ආදායම් ලබා ඇති චිත්‍රපටයේ රංගනයට දායක වී ජාතික සම්මානයක් පවා ලැබීම ඇයගේ සිනමා ගමනේ ආරම්භය සමඟින් සිදුවීමත් විශේෂයි.

අමීර් ඛාන් චිත්‍රපට නිෂ්පාදන අයතනය සමඟින් Secret Superstar චිත්‍රපටය නිෂ්පාදනය කෙරෙන්නේ අමීර් ඛාන්, කිරන් රාඕ, ආකාශ් චවුලා, සන්ජේ කුට්ටි සහ අධ්‍යක්ෂ අද්වෙත් චන්දන් විසින්. අමීර් ඛාන් මීට පෙර Dangal චිත්‍රපටයේ මල්ලවපොර සූරයෙකුගේ චරිතය නිරූපණය කළා. මෙම චිත්‍රපටය සමඟින් ඔහු සංගීතඥයකු බවට පත් වී සිටින අතර ඔහු විසින් නවක ගායිකාවකද බොලිවුඩ් සිනමාවට හඳුන්වා දී තිබෙනවා. ඇය මේග්නා මිශ්‍රා. Secret Superstar චිත්‍රපටයේ ගීත පහ අතරින් ගීත හතරක්ම ගායනා කරන්නේ, දහසය හැවිරිදි මේග්නා විසින්. ඇය බොලිවුඩ් සිනමාව වෙනුවෙන් ගැයූ ප්‍රථම ගීතය වන්නේ Secret Superstar  හි ඇතුළත් "Main Kaun Hoon" ගීතය යි.

දැනට ඉන්දීය සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් වාර්තා කළ චිත්‍රපටය බවට අමීර්ගේ Dangal චිත්‍රපටය පත් වී තිබෙන්නා සේම ඊට පෙර ද එම වාර්තාවට හිමිකම් කියූවේ ඔහුගේම PK  චිත්‍රපටය යි. මෙවර දීපවාලි තිළිණය ලෙසින් පිදෙන Secret Superstar ඉන්දීය සිනමා ඉතිහාසයේ කුමන ස්ථානයේ රැඳෙනු ඇති දැයි කාගේත් අවධානය යොමු වී ඇත.