වර්ෂ 2016 ක්වූ  ඔක්තෝම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දා




ස්වරූප සහ යථාරූප

ස්වරූප සහ යථාරූප

ආචාර්ය ධර්මසේන පතිරාජයන් යනු සිනමාවේ අපේ කාලයේ වීරයෙකි.පසුගිය සති දෙක මුලුල්ලෙහි ඔහු ජාත්‍යන්තර සිනමා උලෙළක දි මෙන්ම දේශීය සිනමා උලෙළකදී ද මහත් බුහුමානයට පත්වුයේ සිය ජීවිතය පුරා යහපත් සිනමාවක් වෙනුවෙන් කරන ලද විශිෂ්ට නිර්මාණ වෙනුවෙනි. ඒ යාපනය අන්තර්ජාතික සිනමා උලෙළේ දි ද කොළඹ පැවැත්වුන දෙරණ සිනමා උලෙළේ දි ද ධර්මසේන පතිරාජයන්ට සිය මෙහෙවර උදෙසා බුහුමන් ලැබිණ.

විශිෂ්ට ගණයේ සිනමාකරුවකුට බුහුමන් පිදිම මෙරට සිනමාවට පමණක් ආවේනික කරුණක් නොවේ. ලොව පුරා සෑම සිනමා උලෙළකම ජාත්‍යන්තර සහ දේශිය වශයෙන් සිනමාකරුවන් අගයති. යාවජීව සිනමා සම්මානය පුද කරද්දී එහි සිටින සියලු දෙනා අසුනින් නැගිට ගෞරව කිරීම සම්ප්‍රදායකි.ඇතැම් සිනමා උලෙළක යාවජීව සම්මානයකින් පිදුම් ලබන අවස්ථාවේ අදාළ කලාකරුවා පිළිබඳ කර්මාන්තයේ හැඟිම ද නිරාවරණය වෙයි. වරක් හොලිවුඩ් සිනමාකරු එලියා කසාන් ට ඇකඩමි සම්මාන උලෙළක පිදෙන යාවජිව සම්මානය වන අර්වින් තැල්බර්ග් සම්මානය පුද කරද්දි එහි අසුන්ගෙන සිටි ස්පිල්බර්ග් ඇතුලු ලොව ඉහල ඝණයේ සිනමා ශිල්පීන් නිහඬ විරෝධයක යෙදුණේ අසුනින් නොනැගිටිමිනි. එයට හේතව ඔන් ද වෝටර් ෆ්‍රන්ට් වැනි විශිෂ්ට චිත්‍රපට තැනු කසාන් අතීතයේ එක් යුගයක සෝවියට් සම්බන්ධතා සහිත සිනමාකරුවන් සෙවීමේ කුප්‍රකට සී.අයි.ඒ.මෙහෙයුමක දි හොලිවුඩ් සිනමාකරුවන් පාවා දුන්නා වූ (ලංකාවේ හැටියට ගෝනි බිල්ලාගේ චරිතය) පුද්ගලයා ලෙස අනාවරණය වි තිබීමය.

එහෙත් පතිරාජයන් යනු සිනමාවේ සදාකාලික විරයෙකි. සැමවිටම තරුණ සිනමාකරුවන්ගේ අරගලයේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මෙන්ම ඔහුද පෙනී සිටි අයෙකි. 1974 වසරේ ඔහු සම්මත සිනමාව උඩු යටිකුරු කරමින් අහස් ගව්ව නිර්මාණය කිරීම හරහා ඇරඹි ඔහුගේ සිනමා චාරිකාවේ නවතම සිනමා දැක්ම ස්වරූප දැන් තිර ගත වෙයි. ස්වරූප නිර්මාණය වනුයේ ඔහුගේ මෙයට පෙර තිර ගත කරන ලද සක්කාරං වලට පුර්වයෙන් යුතුව වුව ද එය තිර ගත වනුයේ පසුවය.

සිනමාකරුවකුට බුහුමන් දැක්විම අගය කළ යුතුය.එහි කිසිදු විවාදයක් නැත.එහෙත් සිනමාකරුවකුට පමණක් නොව ඕනෑම කලාකරුවකුට කළ හැකි හොදම ගෞරවය වනුයේ එය පමණක් යැයි මා විශ්වාස කරන්නේ නැත.සිනමාකරුවකුට කළ හැකි හොඳම ගෞරවය නම් ඔහුට නිර්මාණාත්මක වට පිටාවක් සැකසිමත් ඒවා බාධාවකින් තොරව එළි දැක්වීමත්ය.එමෙන්ම ඒ සඳහා ප්‍රේක්ෂක සහභාගීත්වය වැඩිවී තිබීමය.

අහස් ගව්ව නිර්මාණ වනුයේ 1974 වසරට කලිනි. එවකට මෙරට චිත්‍රපට ප්‍රදර්ශණය හිමි ව තිබූ සිනමා සමාගම් අහස් ගව්ව තිර ගත කරවීම පිළිබඳ වගකීම බාර ගන්නට සෘජුව එක් වුයේ නැත. එයට වසර නවයකට පෙර 1965 වසරේ දී සාමා චිත්‍රපටය නිර්මාණය කළ ජී.ඩී.එල්.පෙරේරා මුහුණ දුන්නේ ද එම ගැටළුවටමය. සාමා සඳහා ඕඩියන් නම් නව සමාගමක් සිනමාහල් කිහිපයක් අසීරුවෙන් වෙන් කර ගන්නට හැකි විය. අහස් ගව්ව ට ද එම අසීරුව මුහුණ දෙන්නට සිදුවිය. ඒ වන විට රාජ්‍ය චිත්‍රපට සංස්ථාව සෘජු ව ප්‍රදර්ශණයට මැදිහත් විය.ඒ වන විට චිත්‍රපට සංස්ථාව පිහිටුවා දෙවසරක් ගත වූ නමුත් චිත්‍රපට ප්‍රදර්ශණයේ සියළු බලතල සංස්ථාව සතු කර ගෙන නොවීය. කෙසේ වෙතත් සංස්ථාවේ මැදිහත් වීමෙන් අහස් ගව්වට ඉඩක් ලබා ගන්නට හැකි විය. අහස් ගව්ව අතිශය ජනප්‍රිය චිත්‍රපටයක් නොවීය. එහෙත් එය සිනමාවේ නව මුහුණුවරක් ගෙනාවේය. 1956 වසරේ දී රේඛාවට උරුම වූයේ ද අහස් ගව්වට ලැබුණු ප්‍රතිචාරයම ය.

2017 වසරේ දී ධර්මසේන පතිරාජයන් ස්වරූප මුදා හරිනුයේ ද එය කවදා තිර ගත වෙත් ද යන ගැටළුවට කාලාන්තරයක් මුහුණ දීමෙන් අනතුරුවය. චිත්‍රපටය මෙවර තිර ගත කරවීම බාර ගෙන තිබුණේ චිත්‍රපට සංස්ථාවය.

මුලින් තිර ගත කිරිමට නියමිත දවස පිළිබඳ පුවත්පත් වල පවා පළවූව ද නියමිත දිනයේ චිත්‍රපටයේ තිර ගත වීම දින නියමයක් නොමැතිව කල් ගියේය. අනතුරුව එය තිර ගත වන දවසට පෙර දින රාත්‍රියේ චිත්‍රපටය තිර ගත වන්නේ හෙට යැයි මාධ්‍යයේ නියැලි අපට දැන ගන්නට ලැබිණ. ඒ පසුවරු 4 . 15 ට නියමිත දර්ශණයයි.මේ දර්ශණ වාරය එක් අතකින් මියෙම්වා රැකෙම්වා දර්ශණයකි. එම කාලය පසුගිය වසරේ ඇතැම් ප්‍රදර්ශකයන් විසින් හඳුන්වා දෙන ලද්දේ තිර ගත වීමට වරම් නොමැතියැයි ඇසෙන සිනමා කෘතින් සඳහාය. අශෝක හඳගමගේ ඇගේ ඇස අග,ප්‍රසන්න විතානගේ ගේ උසාවිය නිහඩයි, වින්දන සහ කල්පන ආරියවංශ දෙසොහොයුරන්ගේ ප්‍රේමය නම් අති සාර්ථක වූයේ මේ දර්ශනවාරයන්ගේ ප්‍රදර්ශනය වීමෙන් බව අමතක නොකළ යුතුය.ඒ සඳහා පුළුල් ප්‍රචාරයක් යොදා ගැනීමට සිනමාකරුවන් උත්සුක වූහ. කවර යහපත් සිනමා නිර්මාණයක් වුව විවෘත සිනමාහලක දී එය වෙළඳ භාණ්ඩයක් පමණී. එබැවින් එය අලෙවි කරවා ගැන්ම පිළිබද කවර තර්කයක් වත් නැත.සිනමා ශාලාවලට ප්‍රේක්ෂකයන් එක් රැස් නොවන්නේ නම් එය ශාලාවෙන් ඉවත් කිරීම සාමාන්‍ය කරුණකි. වර්තමානයේ සිනමාහලක් නඩත්තුව යනු පහසු කටයුත්තක් නොවේ..

පතිරාජයන් ගේ වෘතාන්ත සිනමාවට දැන් අවරුදු හතලිස් තුනක් වයසය. මේ හතලිස් තුන් වසර ගෙවි යද්දිත් පතිරාජයන් මුහුණ දෙන ගැටළුව එකකි. ඔහු සමාජ ප්‍රවණතාවන් සෙසු ජනතාවට කලින් විනිවිද දුටු සිනමාකරුවකු වූ බව සැබෑය. එහෙත් එය හදුනාගැන්මට තරම් සිනමා ප්‍රවාහයක් නොසිටීම ත් සැබෑවය.

1972 වසරේ චිත්‍රපට සංස්ථාව සිය චිත්‍රපට බෙදා හැරීම තෝරා ගන්නා ලද්දේ ප්‍රසිද්ධ රැගුම් පාලක මන්ඩලයේ අනුමත දින වකවානු පිළිවෙලටය. එහෙත් මෙයින් ඵල ලද්දේ යහපත් සිනමාවක් අපේක්ෂාවෙන් සිටි පිරිස නොව මොකක්දෝ අටවා චිත්‍රපට ලේබලය ගැසූවන්ය.එයට හේතුව අනුමැතිය ලබන ඕනෑම චිත්‍රපටයක් තිරගත කරන බවට එකල සංස්ථාව හරහා ලද විශ්වාසයයි.මේ නිසාම ඕනෑම විසූක දස්සනයක් පෙන්වීමට ශාලවලට සිදු විය.එක කලකදී එම චිත්‍රපට අනිවාර්යයෙන් සති දෙකක් සිනමාහලේ රඳවා ගත යුතුයැයි නියමයක් ද විය. එහෙත් මේ වන විට එම තත්වය වෙනස්ව ගොසිනි. මෑතක තැනෙන ඇතැම් චිත්‍රපට ප්‍රදර්ශන සමාගම් මගින් ප්‍රතික්ෂප කරන ලබන ඇත්ත කාරණය නම් ඒ ඇතැමෙක් කිසිම වැදගැම්මකට නැති මොනවාදෝ ඒවා වීමය.ලෝකයේ බොහෝ රටවල සිනමා තාක්ෂණය ඩිජිටල්වීමේ වාසිය ප්‍රේක්ෂකයන් අත් පත් කර ගත්තේ අගනා නිමාවකින් යුක්ත චිත්‍රපට නැරඹීමෙන් වුව මෙරට සිදුව ඇත්තේ වඳුරන්ට දැලි පිහිය ලැබීමේ ප්‍රවණතාවකි.සිනමා හල් අසලටවත් වැද්ද නොගත යුතු චිත්‍රපට නාමයෙන් තැනෙන මේ ඇතැමක අරමුණ දවසක් දෙකක් කෙසේ හෝ සිනමා ශලාවලට පංගාර්තු වී පසුව ඩීවිඩී එකක් ලෙස වෙළඳ පොලට නිකුත් කර ගැනීමය. වැඩි වියදමකින් තොරව ගානත් ෂේප් කර අනිකුත් වුවමනා එපා කම් ද පිරිමහ ගැනීමය.

එහි අවාසනාව නම් ධර්මසේන පතිරාජයන් වැන්නන්ගේ සිනමා නිර්මාණ ද එම තොගයට ප්‍රදර්ශකයන් විසින් අසු කර ගනු ලැබීමය. විශේෂයෙන් විනෝදය සුලබ කරණයක් ව පවතින වර්තමානයේ සිනමාව යනු තව දුරටත් ජනතාවගේ ප්‍රධාන විනෝදාශ්වාදය වන්නේ නැත.සිනමාව ප්‍රධාන විනෝද මාධ්‍යය හැටියට සංඛ්‍යාත්මකව නිවැරදි වූයේ හැත්තැ ගණන් වල දීය. එහෙත් අද සිනමාව හදාරන ශිෂ්‍යයන් පවා සිනමාව වීර ක්‍රියාවක් ලෙස නොසලකන්නාසේය. සිනමාව හදාරන්නේ යැයි පැවසෙන බොහෝ සිසුන් අතීත චිත්‍රපට කෙසේ වතුදු අලුත් චිත්‍රපට ද නරඹන්නේනැත. ඔවුන්ගේ සිනමාව බහුල වශයෙන් කේන්ද්‍රගත වනුයේ ජංගම දුරකතනයේය. බහුල සිනමාව භාවපූර්ණ අන්තයේ සිට හුදු ක්ෂනික වින්දනය සඳහා පමණක් උපයෝගි කර ගන්නා හැඩයක් ගනියි. ඒ රස වින්දනයට නොවේ.

ධර්මසේන පතිරාජ වැන්නන්ට වඩා ගෞරවය අත් පත් කර දිය හැක්කේ ඔවුන් විසින් තනන ලද සිනමා නිර්මාණ නැරඹමෙන් විනා මුහුණු පොත ඔස්සේ එයට ලයික් දැමීමෙන් නොවේ. වඩා යහපත් සිනමාවක් පිළිබඳ සිහින සැබෑ කළ හැක්කේ ද එයින් පසුවය.

අතීතයේ තර්කොව්ස්කි, කුරසවා, බර්ග්මාන් වැන්නන් සිය මව්රටදී මුහුණදුන් ඛේදවාචකයට පතිරාජයන්ද ගොදුරුව ඇත්තේය. ඔවුහු නම් විදෙස්ගතව තම නිර්මාණකරණයේ යෙදුණාහ.