වර්ෂ 2016 ක්වූ  ඔක්තෝම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දා




ITN Saturday Night Movie Braveheart

ITN Saturday Night Movie Braveheart

ලබන 21 වැනි සෙනසුරාදා ස්වාධීන රූපවාහිනියෙන් විකාශය කිරීමට නියමිත චිත්‍රපටය වන්නේ මෙල් ගිබ්සන් විසින් අධ්‍යක්ෂණය කෙරුණු Braveheart චිත්‍රපටය යි. ස්කොට්ලන්ත වීරයකු වටා ගෙතුණු Braveheart තිරගත කෙරුණේ 1995 වසරේදීයි. මෙල් ගිබ්සන් ඇතුළුව, සොෆි මාර්කියු, පැට්‍රික් මැක්ගෝන්, කැතරින් මැක්කොමැක් ඇතුළු පිරිසක් එහි රංගනයෙන් දායක විය.

විලියම් වොලස් යනු ස්කොට්ලන්තයේ යුද වීරයෙකි. ස්කොට්ලන්තය එංගලන්ත පාලනයෙන් නිදහස් කර ගැනීමට ගෙන ගිය අරගලයේ වීරයෙක් වූ විලියම් වොලස් එම අරගලය ග්‍රාමීය ජනතාව සමඟින් දියත් කළ අතර එංගලන්ත හමුදාව සමඟින් කරටකර සටන් කිරීමට තරම් ඔවුන් වොලස් වෙතින් ලද පුහුණුව ප්‍රබල විය.

ස්කොට්ලන්ත නයිට්වරයකු වන විලියම් වොලස් තම රටේ නිදහස වෙනුවෙන් සටන් කළ ප්‍රධානතම චරිතයක් වන අතර ඔහු ලද ප්‍රමුඛතම ජයග්‍රහණය වන්නේ 1297 වසරේ සැප්තැම්බර් මාසයේදී ස්ටාර්ලින් පාලම මත කෙරුණු සටනේදී එංගලන්ත හමුදාව පරාජය කිරීමයි. විලියම් වොලස් වටා ගෙතුණු Braveheart චිත්‍රපටය අමෙරිකානු ඩොලර් 70 වියදමක් දරා නිර්මාණය කළ අතර අමෙරිකානු ඩොලර් මිලියන 210ක ආදායමක් ලබන්නට සමත් වී ඇත.

68 වැනි ඔස්කාර් සම්මාන උලෙළේ සම්මාන දහයක නිර්දේශ නාම අතරට ඇතුළත් වූ Braveheart චිත්‍රපටය එයින් හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම කැමරාකරණය, හොඳම වේශ නිරූපණය සහ හොඳම ශබ්ද පරිපාලනයට හිමි සම්මාන දිනා ගන්නට සමත් විය. 53 වැනි ගෝල්ඩන් ග්ලොබ් සම්මාන උලෙළේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය හිමි වූ අතර 49 වැනි බ්‍රිතාන්‍ය ඇකඩමි සම්මාන උලෙළේදී හොඳම කැමරාකරණය, හොඳම ඇඳුම් නිර්මාණය සහ හොඳම ශබ්ද පරිපාලනය වෙනුවෙන් සම්මාන හිමි විය.

නරඹන්නන්ගේ අවධානය දිනා ගත් දරුණු බවත් කපටි ඉතිහාසයත් නිරූපිත මෙම ඓතිහාසික වීර කතාවට සාධාරණයක් ඉටු කරන්නට නාට්‍යමය, ක්‍රියාදාම, ප්‍රේමණීය ජවනිකා එහි අරමුණට ගැලපෙන අයුරින් එක්කොට ඇති බව විචාරක මතය වේ.