වර්ෂ 2016 ක්වූ  ඔක්තෝම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දා




සම්මානනීය නිෂ්පාදකට අපචාර චෝදනා

සම්මානනීය නිෂ්පාදකට අපචාර චෝදනා

‘අපවාද’, සමාජයක නමක් දිනාගත් කලාකරුවන් ඇතුළු පුද්ගලයිනට නොයෙක් විට මුහුණ දීමට සිදුවන ගැටලුවක්. ඇත්ත නැත්ත කුමක් වුවත් ජනප්‍රිය චරිතයකට එරෙහිව නැඟෙන, බොහෝ විට ලිංගිකත්වය හා මුසුවුණු අපවාද නිසා ඔවුන් උපයාගත් කීර්ති නාමයට සිදුවන කැළල සුළුකොට තැකිය හැකි නොවේ. මෙවැනි අපවාද සමාජයේ වේගයෙන් ප්‍රචාරය වන නිසාම ඉන් සිය බඩවියත සරුකර ගන්නා කලාකරුවෝද මෙකල සිටිති.

පසුගියදා ඇමෙරිකානු චිත්‍රපට නිෂ්පාදකවරයකු සහ අධ්‍යක්ෂවරයකු වන හාවී වින්ස්ටන්ට එරෙහිව පැතිරී ගිය අපවාදය හොලිවුඩයම දෙවනත් කළ බව පෙනේ. මේ වනවිට 65 වන වියෙහි පසුවන හාවී ප්‍රසිද්ධ චිත්‍රපට නිෂ්පාදන ආයතනයක් වන මිරමැක්ස් ෆිල්ම්ස් හි නිර්මාතෘවරුන් දෙදෙනාගෙන් එක් අයෙකි. අනෙක් නිර්මාතෘවරයා ඔහුගේ සොහොයුරා වන බොබ් වීන්ස්ටන් වේ. පල්ප් ෆික්ෂන්, ද ක්ලාක්, ද ක්‍රයින් ගේම් ආදී චිත්‍රපට මිරමැක්ස් හි විශිෂ්ට නිෂ්පාදන ගණයට වැටෙන අතර, ‘ශේක්ස්පියර් ඉන් ලව්’ චිත්‍රපටයේ නිෂ්පාදනය වෙනුවෙන් හාවී ඇකඩමි සම්මානයක්ද දිනා ගත්තේය.

පසුගියදා ‘ද නිව්යෝක් ටයිම්ස්’ සහ ‘ද නිව් යෝකර්’ යන පුවත්පත්වල පළ වුණු ප්‍රවෘත්තීන්ට අනුව, හාවී දිගු කාලයක් තිස්සේ කාන්තාවන් ගණනාවක් ලිංගික අපයෝජනයන්ට ලක් කළ බවට එම කාන්තාවන් විසින් චෝදනා ලැබ සිටියි. මේ අපයෝජන අතර, අතවර සහ දූෂණය කිරීම්ද ඇතුලත් බව සඳහන්. මෙම පුවත හෙළි වීමත් සමඟම ඔහුගේ වීන්ස්ටන් ආයතනයේ (The Weinstein Company) අධ්‍යක්ෂ මඬුල්ල විසින් හාවි සේවයෙන් පහ කෙරිණි. වසර 10ක් හාවී හා විවාහ වී සිටි විලාසිතා නිර්මාණ ශිල්පිනියක් සහ නිළියක් වන ඔහුගේ තරුණ බිරිඳ, ජෝජියා චැප්මන් ඔහුගෙන් දික්කසාද වන බව ද දැනුම් දුන්නීය. හාවී විසින් අනුග්‍රහය දක්වන්නට යෙදුනු ප්‍රධාන පෙලේ දේශපාලකයෝ හාවි හෙලා දකින බවට ප්‍රකාශ කළහ.

ජෝඩි කැන්ටර් සහ මෙගන් ටොහේ යන ජනමාධ්‍යවේදීන් විසින් මෙම පුවත් පළ කෙරුණු අතර, හාවි විසින් දශක 3ක තරම් කාලයක සිට අතවර කෙරුණු බවට කියවෙන කාන්තාවන් අතර නිළියන් මෙන්ම මිරමැක්ස් සහ වීන්ස්ටන් යන ආයතනයන්හි සේවයේ නියුතු නිෂ්පාදන සහයිකාවන්ද ඇතුලත්. අතවරයන්ට ගොඳුරු වුණු කාන්තාවන්ට පසුව ඔහු විසින් මුදල් ගෙවා ඇති බවද එහි දැක්වේ. රොනන් ෆැරෝ නම් ජනමාධ්‍යවේදියා විසින් පසුව පළ කෙරුණු පුවතකට අනුව මේ අතවරයන්ට අවම වශයෙන් කාන්තාවන් 13 දෙනෙකුවත් මුහුණ දී ඇති බවත් ඉන් තිදෙනෙක් ඔහු විසින් දූෂණය කෙරුණු බවත් කියවුණි.

හාවිගේ අයුතු යෝජනාවන්ට යටත් නොවුණු කාන්තාවන්ගෙන් පලිගැනීමට ඔහු තම ආයතනය ආයුධයක් කරගත් බවත් සඳහන් වන අතර ආයතනයේම සේවකයින් ද මේ බව ප්‍රකාශ කර ඇත. ඉහත පුවත්පත්වල මෙම පුවත පළවීමත් සමඟම චිත්‍රපට කර්මාන්තයේ සිටින තවත් බොහෝ කාන්තාවන් හාවි විසින් තමන්හට ලිංගික අතවර කරන්නට හෝ අයුතු යෝජනා ඉදිරිපත් කරන්නට යෙදුණු බවට චෝදනා කරමින් ඉදිරියට පැමිණියහ. 43 දෙනෙකු වන මෙම කාන්තාවන්ගෙන් බොහෝ දෙනා නිළියන් වන අතර හෙදර් ග්‍රැහැම් සහ ඇන්ජලීනා ජොලි ද මේ අතර වෙති.

හාවී මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බවත් ඒ වෙනුවෙන් ප්‍රතිකාර ලබන බවත් හාවිගේ නීතීඥවරිය විසින් පළමුව පැවසුණු අතර, පසුව එම නීතීඥවරිය වීන්ස්ටන් ආයතනයේ ඉල්ලීම පරිදි හාවිගෙන් ඉවත් වූවාය. හාවිගේ ප්‍රකාශකයෙක් පසුගියදා පැවසූ පරිදි ඔහුට විරුද්ධ ලිංගික අතවර චෝදනා අසත්‍ය වන අතර ඔහුගෙන් අයුතු යෝජනා ඉදිරිපත් වුණු කාන්තාවන්ගෙන් ඔහු කිසිවිටෙක පළිගෙන නැත. ඔහු තවදුරටත් පවසන්නේ හාවී මේ වනවිට ප්‍රතිකාර ලබමින් නිවැරදි මාර්ගයේ ගමන් ගන්නා බැවින් යම් දිනෙක සමාජය ඔහු පිළිගනු ඇති බවයි.

ඒ කෙසේ වෙතත්, හාවී පළමුව විධායක නිෂ්පාදකයකු වූ චිත්‍රපටය ‘Scandal’  (අපවාදය) වන අතර ඔහු විසින් නිෂ්පාදනය කෙරුණු ‘Sex, Lies and Videotape’  (කාමය, බොරුව සහ වීඩියෝ පටය) මිරමැක්ස් සමාගමේ නැගීම සනිටුහන් කළ නිර්මාණයක් බවද මෙහි ලා සඳහන් කිරීම සුදුසු යයි හැඟේ.