වර්ෂ 2016 ක්වූ  ඔක්තෝම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දා




‘SALT OF THE EARTH’

ලෝකයේ අධ්‍යක්ෂවරුන්ටත් වඩා කැමරා අධ්‍යක්ෂවරුන් සමගිව ඉන්නවා...

මාව විශ්වීය මිනිසෙක් කළේ ඉන්දීය චිත්‍රපට ආයතනයයි...

ප්‍රවීණ ඉන්දීය කැමරා ශිල්පී සනී ජෝසෆ්

සනී ජෝසෆ් ට අනුව නම් තමන්ට ලෝකයේ යන සංචාර අතරින් තමන්ගේ වටා පිටාවට සංස්කෘතියට ඉතාම කිට්ටු වන්නේ ශ්‍රී ලංකාවය. ඒ අනුව ඔහුට ඔහුගේ වාස භූමිය වන කේරලයත් ලංකාවත් එකක් ලෙස පෙනේ. එහි පුදුමයකුත් නැත. ඉන්දියාව ගැන අධ්‍යයනයකින් සිටින්නෙක් එය හිස සලා අනුමත කරනු ඇත. ඒ නිසා ඔහුට අපූර්ව වන ලංකාවට පය තැබීමට අවස්ථාවක් ලත් සැනින් ඔහු ලංකාවේය. ලංකාවේ ඔහුට සිනමාවේ මිතුරන් රාශියකි. කලකට ඉහත ඔහුට ආරාධනා ලැබෙන්නේ දේශීය චිත්‍රපට කිහිපයකට කැමරාවෙන් දායක වන්නටය. තවත් වතාවක ශිල්පය උගන්වන්නටය.

ඔහු සිනමාව උකහා ගන්නේ ඔහු බාල වයස් සමයේ සිනමාවට ආසාවෙන් ඔහු කළ රැකියාවක් නිසාය. ඒ ගමේ සිනමාශාලාවේ ප්‍රක්ෂේපණ යන්ත්‍ර ක්‍රියාකරුවෙකු වීමයි. ඒ කෙසේ වුවත් ලෝකය සනී ජෝසෆ් හඳුනාගන්නේ සෞන්දර්යාත්මකව කැමරාව හසුරුවන්නෙක් හැටියටය. මෙම විෂයේදී සෞන්දර්ය ප්‍රධාන ධාරාවෙන් ව්‍යුක්ත කලා ප්‍රභවයක් නොවුනද සෞන්දර්ය ග්‍රහණය කරගැනීම සහ භාවිත කිරීම ශිල්පියා මූලික කරගෙන වෙන්නෙකි. ඔහු සෞන්දර්යවේදියෙක් ලෙස මුලින්ම නිරාවරණය වන්නේ සුප්‍රකට ඉන්දීය සිනමාකරුවෙක් වන ශාජි එන්. කරූන් ගේ ‘පිරවි’ චිත්‍රපටය සමඟය. ශිල්පීය දක්ෂතා මැනවින් ප්‍රකට කළ එම චිත්‍රපටයෙන් පසු ඔහු වැඩ කරන්නේ ඉන්දියාවේ ඉහළ නම් දැරූ සම්භාව්‍ය චිත්‍රපට වලය. ඒවාට ඔහු ජාතික හා ප්‍රාන්ත සම්මානවලින් පිදුම් ලැබුවේය.

ඉන්දියාව අති විශාල රටක් වන හෙයින් බොහෝ විට ඉන්දීය ශිල්පීන් තමන්ගේ වටා පිටාවේ ඇති ප්‍රාදේශීය කර්මාන්තයේ පමණක් වැඩ කටයුතු කරති. නමුත් සනී එයින් විශේෂ වන්නේ ඔහුට ඔහු අයත් යැයි කියන්නට තරම් ඉන්දියාවේ කර්මාන්තයක් නොවීමයි. කේරලයේ සිටියත් මලයාලම් කර්මාන්තය ඔහුගේ කර්මාන්තය නොවන්නේ එහෙයිනි. ශාජි එන්. කරූන් ගේ සිට බුද්ධාදෙබ් දාස්ගුප්තා දක්වා පරාසයක ඔහුට වැඩ කිරීමට අවස්ථා ලැබෙන්නේත් එහෙයිනි.

නමුත් අද වන විට ඔහුගේ භූමිකාව මදක් වෙනස්ය. ස්වභාවයෙන්ම තැන්පත්ව සිටීමේ ගුණාංගය නිසා ඔහු අද කැපවන්නේ ඉගැන්වීමේ භූමිකාවටය. ඔහු සෞන්දාර්යත්මකව ඉගැන්වීමේ නිපුණයෙක් බවට නම් ලංකාවේ බොහෝ දෙනා සාක්ෂි දරනු ඇත. මන්ද ලංකාවට පැමිණි බොහෝ අවස්ථාවල් වල සනී ජෝසෆ් තමන්ගේ දැනුම බෙදාගැනීමට ඉදිරිපත් වූ නිසාය.

සනී හා මා අතර මේ මුණගැහීම සිදුවන්නේත් ඔහු ශිෂ්‍යන්ගේ සිනමා භාවිතාවන් ඇගයීමට ආ මොහොතකය. පසුගියදා නිමා වුණු කොළඹ අන්තර්ජාතික ශිෂ්‍ය චිත්‍රපට උළෙලේ ප්‍රධාන ජූරියට මෙන්ම ප්‍රධාන වැඩමුළුවටද මෙවර දායකත්වය දැක්වූයේ සනී ජෝසෆ් ය. කාර්ය බහුල වැඩ සටහනක් තුල ඔහු ලද මද විවේකයක් සරසවිය වෙත ලබා දුන්නේය. ඊට කෘතඥ වෙමින් මා මේ කෙටි සංවාදය ආරම්භ කළේ මෙසේය.

* මා නිවැරදි නම් ඔබ සිනමාවත් එක්ක සම්බන්ද වෙන්නේ 70 අග දශකයේ ඉන්දීය චිත්‍රපට ආයතනය හරහා?

මම පූනේ හි චිත්‍රපට ආයතනයට එන්නේ 1979. නමුත් මම එන්නේ සංස්කරණය ඉගෙන ගන්න. කැමරාකරණය ගැන ඉගෙන ගන්න නෙවෙයි. නමුත් මම නිතරම නියැලිලා හිටපු දෙයක් තමා ඡායාරූපකරණය. සංස්කරණය ඉගෙන ගන්න පෙලඹවීමක් ඇති කළේ මට අධ්‍යක්ෂණය ගැන අවබෝධයක් ගන්න සංස්කරණය ඉවහල් වෙයි කියලා හිතලා. චිත්‍රපට ආයතනයේ කාලය ගත කරද්දී තමයි මට වැටහුණේ මම සිනමා කැමරා ශිල්පයත් ප්‍රගුණ කළ යුතුයි කියලා. ඒ සඳහා මම අඩිතාලම හැටියට භාවිත කළේ මගේ සංස්කරණ ඉගෙනුම. ඊට පස්සේ තමයි කැමරාකරණ පශ්චාත් උපාධියට මම ලියාපදිංචි වුණේ. ඉන් පස්සේ මම සංස්කරණය අතහැරියා.

* පූනේ වල අධ්‍යාපනය ඔබට සෑහෙන විවිධත්වයක් දීමට සමත් වුණා කියලා මම හිතනවා?

ඔව්. මම විෂයන් කිහිපයක් ගැන අවධානය යොමු කළානේ. වසරකට වරක් පැවැත්වෙන රසවින්දන අධ්‍යාපනය ගැනත් මම අවධානයෙන් හිටියේ. ඒක මාසයක කාලයක් පැවැත්වෙන එකක්. මට මතකයි එවකට අපේ ගුරුවරයෙක් වුණු පී.කේ නායර් මහත්මයාගෙන් මම විශේෂ අවසරයක් ඉල්ලුවා ඒ රසවින්දන පන්ති වලට සහභාගී වෙන්න. ඔහු මට අවසර දුන්නා.

* ඔබ ඊට පස්සේ කෙලින්ම එන්නේ සිනමාවේ වැඩ කරන්නද?

ඔව්. මම පූනේ චිත්‍රපට ආයතනයෙන් එළියට ආවට පස්සේ දිගටම වැඩ කරන්නේ මලයාලම් චිත්‍රපට කර්මාන්තයේ ප්‍රවීණ කැමරා ශිල්පියෙක් වන වේනු ළඟ. ඔහුගෙන් මම ලබපු අත්දැකීම් අති විශාලයි.

* ඔබ නිතර ප්‍රගුණ කළ ඡායාරූපකරණය ඔබට අතහැරෙන්නට ඇති?

ඇත්තෙන්ම එහෙම වුණේ නැහැ. 80 ගණන් වල මුල කාලේ වගේ මට කරන්න ලැබුණා අපූරූ වැඩක්. ඇත්තෙන්ම ඒක ටිකක් සංකීර්ණ, ශල්‍යාගාරයක සිදු වුණු සැත්කමක් මොහොතින් මොහොත ඡායාරූප ගත කරන්න වුණු වැඩක්. ඇත්තටම ඒ දේට මට යොමු වෙන්න ලැබුණේ මගේ පවුලේ පසුබිම නිසා. මොකද මගේ පවුලේ කිසිවෙක් සිනමාවට සම්බන්ධත් නැහැ ඡායාරූපකරණයට සම්බන්ධත් නැහැ. මගේ පියා වෛද්‍යවරයෙක්. ඒ නිසා ශල්‍ය කටයුතු සම්බන්ධයෙන් වන ක්‍රියාවලීන්,පාරිභාෂිත වචන මට අමුතු ඒවා වුණේ නැහැ. ඇත්තෙන්ම එහෙම ඡායාරූප ගත කරන්න කියලා මට කිව්වේ විශ්වවිද්‍යාලයක අධ්‍යයන කටයුත්තකට. මම ඉතාම සීරුවෙන් ආලෝක ධාරා පාලනය කරමින් ඒ සැත්කම ඡායාරූප ගත කළා.

* ඉන්දියාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක් සමඟ වැඩ කරන්න ශිල්පියෙක් තමන්ගේ වෘත්තියේ සෑහෙන කලක් වැඩ කරන්න අවශ්‍යයි. ඔබට එවැනි කාලයක් බලන් ඉන්න අවශ්‍ය වුණේ නැහැ දැවැන්තයෝ එක්ක වැඩ කරන්න?

ඔව්. ඒ කතාව මම පිලිගන්නවා. මම වේනු සමඟ වැඩ කර ගොඩනගාගත් ස්ථාවරය ඒ දේට ඉවහල් වුණා.

* ‘පිරවි’ චිත්‍රපටයෙන් පස්සෙත් ශාජි එන්. කරූන්, අදූර් ගෝපාලක්‍රිෂ්ණන්, බුද්ධදෙබ් දාස්ගුප්තා වගේ ඉන්දියාවේ සම්භාව්‍ය සිනමාවේ දැවැන්ත අධ්‍යක්ෂවරු ඔබ සමඟ වැඩ කළා. ඔවුන් ඔබව තෝරා ගැනීමට තරම් ඔබ ප්‍රකට කළ විශේෂත්වය මොකක්ද?

මම හිතන්නේ මෙහෙමයි. ඔවුන් කාලයක් තිස්සේ නිරීක්ෂණය කළා මගේ වැඩ කරන ස්වභාවය පිළිබඳව. ඒ වගේම මම ඔවුන් සමඟ හොඳ සංවාදයක් හදාගත්තා. ඇත්තෙන්ම මගේ විශේෂත්වය වුණේ මේකයි. අධ්‍යක්ෂවරයා මට පිටපතක් දුන්නම මම ඒක දිහා බලන්නේ කුරුල්ලෙකුගේ ඇසින්. ඉතාම ඉහල කෝණයකින්. ඒක මගේ වැටහීමට කරන දෙයක්. අනික් කාරණය චිත්‍රපටය වඩාත් හොඳීන් ග්‍රහණය වෙන්නේත් මේ ඉහළ කෝණයෙන් බලපුවාම. තව වැදගත් කාරණයක් තියෙනවා. මම මේ බලන කෝණය නිසා අධ්‍යක්ෂවරයාට පිටපත ගැන තිබෙන සමස්ත අදහසට කිසිම හානියක් නැහැ. ඒ නිසා මම මේ බලන ෆැසිස්ට්වාදී නොවන කෝණය නිසා අධ්‍යක්ෂවරු කැමතියි මා සමඟ වැඩ කරන්න.

* ගෙවුණු කාලයේ ඔබ මුළු ඉන්දියාව පුරාම ගියා සිනමාවත් එක්ක.

දැනට බැලුවොත් චිත්‍රපට 60 කට වැඩියි. ඒවා භාෂා හැටියට ගත්තොත් භාෂා 10ක් පමණ.

* ඔබ අදටත් ජිවත් වෙන්නේ කේරලයේ. ඒ කියන්නේ ඔබ දකුණු ඉන්දියානු වැසියෙක්. ඉන්දියාවේ සාම්ප්‍රදායිකව තිබෙන උතුරු දකුණු ස්ථර බෙදීම ඔබ කොහොමද දකින්නේ?

එහෙම බෙදීමක් තිබෙන බව ඇත්ත සංස්කෘතිමය වශයෙන්. නමුත් මම ඒ බෙදීමෙන් මුක්ත වුණු කෙනෙක්. මම ගියේ ඉන්දීය චිත්‍රපට ආයතනයට. එතන එහෙම බෙදීමක් නැහැ. එතැනින් බිහි වෙන්නේ විශ්වීය පුරවැසියෝ. ඒ නිසා මට කිසිම තැනක බෙදීමක් නැහැ. මට භාෂා 10කින් ඉන්දියාවේ විවිධ සංස්කෘතීන් එක්ක චිත්‍රපට කරන්න පුළුවන් වුණේ ඒ ලක්ෂණය නිසා.

* ඔබ දැන් වැඩියෙන්ම නියැලිලා ඉන්නේ ඉගැන්වීමේ ක්ෂේත්‍රයට. මම නම් හිතන්නේ නැහැ ඒක කොහෙත්ම ලෙහෙසි කටයුත්තක් කියලා.

ඔව් ඒක මම පිළිගන්නවා. මට පුළුවන් කැමරාවක තාක්ෂණය උගන්වන්න. නමුත් මට කවදාවත් උගන්වන්න බැහැ ඒ තාක්ෂණය යොදා ගෙන රූපයක් දකින විදිහ උගන්වන්න. ඒ නිසා ඒක බැරෑරුම් වැඩක් තමයි.

* ඔබ අද වෙනකන් නියැළුණේ කලාත්මක සිනමාවේ. ප්‍රධාන දහරාවේ සිනමාව ගැන ඔබ දරන අදහස මොකක්ද?

අයෙත් මට එන්න වෙනවා වෛද්‍ය විද්‍යාත්මක පැත්තකට. කලාත්මක සිනමාව මට අනුව AESTHETIC (සෞන්දර්යත්මකයි). නමුත් අද ප්‍රධාන දහරාව ඒකෙ අනික් පැත්ත. මොකක්ද ඒ? ඒක ANESTHETIC  (නිර්වින්දකයි). මොකද සල්ලි පස්සෙන් යන තැනකට ඒක වැටුණොත් ප්‍රේක්ෂකයා නිර්වින්දක වෙනවා.

* ඔබ මේ වන විට ඉන්දීය කැමරා අධ්‍යක්ෂවරුන්ගේ සංගමයේ ලේකම්?

ඔව් මම කලින් ඒ තනතුරේ හිටියා. මෑත කාලීනව ඒකෙ සභාපතිත් වුණා. ඇත්තටම අපේ කාර්ය වුණේ ලෝක මට්ටමෙන් අපි එකමුතු වෙලා වැඩ කටයුතු කරන්නේ කොහොමද කියන එක. ඒ සඳහා ලෝකෙම කැමරා අධ්‍යක්ෂවරු එකතු වෙච්ච තැනක් තිබෙනවා යුරෝපය පදනම් වෙලා. අපිත් ඒකෙ සාමාජිකයෝ. ඇත්තෙන්ම ලෝකයේ ඉන්න අධ්‍යක්ෂවරුන්ටත් වඩා කැමරා අධ්‍යක්ෂවරු ප්‍රගතිශීලියි. මොකද ඊශ්‍රාලය සහ ඉරානයේ අධ්‍යක්ෂවරු කවදාවත් එකට ඉන්නේ නැහැ. නමුත් මේ සංගමයේ එහෙම නෙවෙයි. ඔවුන් දෙගොල්ලොත් එකට ඉන්නවා කිසිම ගැටලුවක් නැතුව. ඒ වගේම ශ්‍රී ලංකාවේ කැමරා අධ්‍යක්ෂකවරුන්ගේ සංගමයත් ඒ ලෝක සංගමයට එන්න සුදානම්. ඒ වෙනුවෙන් ධනුෂ්ක ගුණතිලක (ප්‍රවීණ කැමරා ශිල්පී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය) සෑහෙන මහන්සි වෙනවා.

* ඔබ මුලින්ම ලංකාවට ආවේ මොන වකවානුවේද?

මම 90 දශකයේ තමයි මුලින්ම ආවේ. ඊට පස්සේ කිහිප වතාවක් ආවා ඉගැන්වීම් කටයුතු වලට. නිලේන්ද්‍ර දේශප්‍රිය ඒ වකවානුවේ කරන්න ගියා චිත්‍රපටයක්. ඒකේ කැමරාව වෙනුවෙන් මාව තෝරාගත්තත් චිත්‍රපටය කෙරුනේ නැහැ. ඊට පස්සේ කිහිප වතාවක්ම ඉගැන්වූවා. මට මතකයි මහින්දපාල සර් තමයි මම කියන ඒවා ඒ වැඩමුළුවේ අයට පරිවර්තනය කළේ. මගේ හිතවතියක් තමයි ගීතා කුමාරසිංහ මැතිණිය. ඇයට අනතුරක් වුණා කියලත් ආරංචියි. මම ඇයට ඉක්මන් සුව පතනවා.

* ඔබ චෙන්නායි හි සුප්‍රකට එල්. වී ප්‍රසාද් චිත්‍රපට ඇකඩමියේ ආරම්භකයෙක්. දැන් ඔබේ දායකත්වය කොතැනද?

ඔව්. ඔබත් දන්නා මහාචාර්ය කේ. හරිහරන් එක්ක හිටියා ආරම්භයේ. ඒකෙ ආරම්භක කැමරා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානියා වුණේ මම. දැන් මම කේරලයේ ත්‍රිවෙන්ද්‍රම් හි රේවතී කලාමන්දීර් චිත්‍රපටි ඇකඩමියත් එක්ක වැඩ කරනවා.

* ඒ අතරේ ඔබ ඔබේම චිත්‍රපටයකත් වැඩ නිම කළා?

ඔව්. ඒ මගේ පළමු අධ්‍යක්ෂණය. චිත්‍රපටයේ නම ‘SALT OF THE EARTH’. දෙවියන්වහන්සේගේ යම් ක්‍රියා කලාපයන් ගැන මම ප්‍රශ්න කරනවා මෙහිදී. මොකද මම උපතින් කතෝලිකයෙක් නිසා ප්‍රශ්න කරන්න මට අයිතියක් තිබෙනවා. ස්වර්ගය තිබෙන්නේත් දෙවියන් ළඟ නම් අපාය තියෙන්න ඕනෙත් දෙවියන් ළඟ.

ඒ සනී ජෝසෆ් අපට කියූ දෙයයි. අපටද ඔහු ගැන යමක් කීමට ඇත. ප්‍රසන්න විතානගේ සිනමාකරුවා 90 දශකයේ අග තම පුරහඳ කළුවර චිත්‍රපටයට තෝරා ගත්තේ සනී ජෝසෆ්ය. ඊට පෙර අනන්ත රාත්‍රිය නැරඹු සනී එකෙනෙහිම පැවසුවේ මෙයට වඩා සුදුසු තමා නොව එම්. ඩී. මහින්දපාලයන් බවය.