වර්ෂ 2016 ක්වූ  ඔක්තෝම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දා




හුළං ගෙදර ලියූ ගාමිණී එස්. බණ්ඩාර

හුළං ගෙදර ලියූ ගාමිණී එස්. බණ්ඩාර

කලාකරුවෙකු කලාවට පැමිණෙන ආකාර කිහිපයක් තිබේ. කෙනෙකු මාපිය ආභාසයෙනි. තවකෙක් සිය වාසනා ගුණය මතින්ය. අනෙක් කොට්ඨාසය තම උත්පත්ති හැකියාව මතින් තමන්ගේම ස්ව උත්සාහයෙනි. තවකෙක් අහම්බෙන්ය. ගාමිණී එස්. බණ්ඩාර නම් මොහු හඳුනාගත හැක්කේ, තම හැකියාව සහ ස්ව උත්සාහය මතින් ගොඩනැගුණු කලාකරුවකු ලෙසින්ය. එපමණක් නොව ලොකු කුඩා කාගේත් නොමඳ ප්‍රේ්ක්ෂක ආදරය දිනාගත් 'මෙඩි සිනා' සහ 'හුළං ගෙදර' ටෙලි නාට්‍යයන්හි තිර පිටපත් රචකයා ද වෙන කිසිවකුත් නොව මොහුමය. ඔහු පෙර දිනක සරසවියට ගොඩ වැදුණේ ඔහුගේ තොරතුරු අපත් සමඟ සහ සිය රසික රසිකාවන් සමඟත් බෙදා හදා ගන්නටයි.

ඉතිං මේ දවස්වල මොකද කරන්නේ?

ම් . . . මේ දවස්වල මම ලියපු හුලං ගෙදර ටෙලි නාට්‍යය ස්වාධීන රූපවාහිනියේ සෑම සෙනසුරාදාවකම ප. ව. 7.00 ට විකාශය වෙනවා. එයට බොහෝ පාඨක ප්‍රතිචාරයක් ලැබෙනවා. ඒ වගේම චිත්‍රපට පිටපතකුත්, ටෙලි නාට්‍ය පිටපතකුත් මේ දවස්වල ලියාගෙන යනවා.

එදා මෙදාතුර පැමිණි ගමන් මඟ සිහිපත් කළොත්?

මම 2002 දී කොළඹ එන්නේ මහේන්ද්‍ර පෙරේරාගේ Studio Sence එකේ වැඩ කරන්න. ඒ අතරතුරදී මම කලා ආයතනය සමඟත් එකතු වෙලා කලා අධ්‍යක්ෂකවරයෙක් විදියට වැඩ පටන් ගත්තා. පස්සේ 2003 දී මම හිරු නාළිකාවට සම්බන්ධ වෙනවා. එහි ප්‍රධාන කලා අධ්‍යක්ෂක හා පසුතල සැලසුම් ශිල්පියා ලෙසට 2016 වනතුරු සේවය කළා. මට සිදු වුණ හදිසි අනතුරක් නිසා එතැනින් අයින් වෙන්න සිදු වුණා. පස්සේ මම හිරු එකේම අරුණ ජයවර්ධන හරහා ජයප්‍රකාශ් ශිවගුරුනාදන්ව මුණ ගැසෙන්නට අවස්ථාව ලැබුණා.

ඉන්පසු පටන්ගත් පළමු දේ තමයි 'මෙඩි සිනා'. එය මම හිතුවටත් වඩා ලොකු ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගත්තා.

කලා අධ්‍යක්ෂවරයෙක්, තිර පිටපත් රචකයෙක් වුණේ කොහොමද?

හිරු එකේ ඉන්න කාලේ 'සෙවණැලි' වැඩසටහන මුල ඉඳලාම ලිව්වේ මම. අරුණ ජයවර්ධන තමයි මට කිව්වේ 'ඔයාට හොඳට ලියන්න පුළුවන්නේ. දිගටම ලියන්න කියලා'. මූලික අඩිතාලම තමයි ඒ.

දායක වුණු නිර්මාණ පිළිබඳ කතා කළොත්?

දැනට මම ලියූ මෙඩි සිනා හා හුළං ගෙදර විකාශය වෙනවා. ඊට අමතරව කලා අධ්‍යක්ෂවරයකු ලෙස ස්වර්ණවාහිනි නාළිකාවේ ගෞතමී, හංසි, නිල්නෙතු, වැස්ස නුඹ වගේ, මං ආසයි පියාඹන්න ටෙලි නාට්‍යවලටත්, ජාතික රූපවාහිනියේ අකුණු සැර, දොරටු රකින්නෝ යන ටෙලි නාට්‍යවලත්, හිරු නාළිකාවේ වැහිළිහිණි, එක් මානවිකාවක්, ආමිස පූජා ටෙලි නාට්‍යවලත්, ස්වාධීන රූපවාහිනී නාළිකාවේ මහිංසා ටෙලි නාට්‍යයටත් සම්බන්ධ වෙලා තියෙනවා.

ඒ වගේම චිත්‍රපට සඳහා ආනන්ද වික්‍රමසිංහ මහතා අධ්‍යක්ෂණය කළ 'හදවත මල් යායයි' චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළා.

වේදිකා නාට්‍ය ගත්තොත් 2010 රාජ්‍ය යෞවන සම්මාන නාට්‍ය උලෙළ සඳහා 'නිකරුණේ ගැවසීම තහනම්' වේදිකා නාට්‍යය හා 2011 රාජ්‍ය නාට්‍ය උලෙළට 'දැන් ඉඩමේදී විකණේ' යන වේදිකා නාට්‍ය දෙකම නාට්‍ය රචනයෙන්, නිෂ්පාදනයෙන් හා අධ්‍යක්ෂණයෙන් දායක වුණා.

ඒ වගේම විවිධ වැඩසටහන් පිටපත් කිහිපයක් ද මම ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අතුරින් හිරු ටීවී නාලිකාවේ සලකුණ වැඩසටහන දැන් විකාශය වෙනවා.

තිර පිටපත් රචනා ගත්තොත් මෙඩි සිනා, හුළං ගෙදර, සෙවනැලි, මල්වත්ත පාර, මුතු වෙරළ, දෑඟිලි, මාත් එක්ක එනවද යන ටෙලි නාට්‍ය සඳහා දායක වෙලා තියෙනවා.

ඒ වගේම මම ලියූ සිකුරුලන්තය ටෙලි නාට්‍යය හිරු ටී වී එකේ විකාශය වුණා. කරාටි හා හුළං, එක්සයිස් ගෙදර, ධාරා, දිව්‍යරජානෝ යන නිර්මාණ ඉදිරියට විකාශය වීමට නියමිතයි.

ජාත්‍යන්තර නිර්මාණ සඳහාත් දායක වෙලා තියෙනවා නේද?

ඔව්. ඉරාන ජාතික චිත්‍රපට අධ්‍යක්ෂක සයිරස් මහතාගේ 'Shadow' චිත්‍රපටයේ හා ඔහුගේ ලෝක සාමය සඳහා නිර්මාණය කළ ගීතයේ ශ්‍රී ලංකාවේ කලා අධ්‍යක්ෂකවරයා වෙන්න මට වාසනාව ලැබුණා.

ඔබට ලැබුණු ඇගැයීම් පිළිබඳවත් කතා කළොත්?

මම ලියූ දොරටු රකින්නෝ ජාතික සිග්නිස් සම්මාන උලෙළ සඳහා නිර්දේශ වී තිබුණා.

අතහිත දීපු උදවිය පිළිබඳවත් කතා කළොත්?

ඔව්, විශේෂයෙන්ම මගේ අම්මා, තාත්තා සහ මගේ දයාබර බිරිඳ මුලින්ම සිහිපත් කරන්න ඕනෑ. ඒ වගේම ඩොනල්ඩ් ජයන්ත, ජයප්‍රකාශ් ශිවගුරුනාදන්, අකිල අබේරත්න, අරුණ ජයවර්ධන, සඳරුවන් ජයවික්‍රම මේ වෙලාවේදී සිහිපත් කරන්න කැමැතියි.

අනාගත බලාපොරොත්තු පිළිබඳ කතා කළොත්?

තව තවත් බොහෝ අත්දැකීම් එක්කරගෙන අධ්‍යක්ෂණයට පිවිසෙන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.

ඔබව සම්බන්ධ කරගත හැකි ආකාරයත් කියමු?

ඔව්, මගේ ලිපිනය - නො: 26/11, අමරතුංග මාවත, උඩහමුල්ල, නුගේගොඩ හා 0716300375 සහ 0112834282 යන දුරකථන අංකවලින් ද සම්බන්ධ කරගත හැකියි.