වර්ෂ 2016 ක්වූ  ඔක්තෝම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දා




ඩෙංගු හැදුණ නළුවා ගෙදරට වී සනීපෙන්

ඩෙංගු හැදුණ නළුවා ගෙදරට වී සනීපෙන්

අං ආවෝ සමඟ එන ‘සුනිල් ශ්‍රී’

සුනිල් ශ්‍රී යන නාමයත් සමඟ අපට නිතැතින්ම මතක් වන්නේ වේදිකාවයි. එය එතරම්ම සමීපකමකි. හරියට ගහට පොත්ත මෙනි. සුනිල් ශ්‍රී මේ වනවිට නාට්‍ය දහ අටක් වේදිකාවට ගෙනවිත් තිිබේ. අං ආවේ ඔහුගේ නවතම නාට්‍ය නිර්මාණය වේ. ඒ ගැන සුනිල් ශ්‍රී අදහස් දැක්වූයේ මෙලෙසයි.

අං ආවෝ නාට්‍යයේ අන්තර්ගතය ගැන සඳහනක් කළොත්?

(සුනිල් මඳක් කලාපනා කරයි).

මං බැලවෙ කොහෙන්ද මේ ගැන කියන්න පටන් ගන්නේ කියලා. හරි මං මෙහෙම කියන්නම්. අප රට හරිම සුන්දර රටක්. ගැමි සිරිය නොඅඩුව දක්නට ලැබුණා. එන්න එන්න ඒ තත්ත්වය වෙනස් වුණා. රට තුළ විවිධ පෙරළි හටගත්තා. විශේෂයෙන් සංස්කෘතික පෙරළිය ලොකු විපර්යාසයක් කළා. මේ මේ තත්ත්වයන් මත තමාට තමා අහිමි වුණා. මෙන්න මේ ගැන තමයි අං අවෝ මඟින් මං ඉදිරිපත් කරන්නේ.

ඒ කියන්නේ මෙය ආදර්ශවත් නාට්‍යයක්?

සැබවින්ම ඔව්.

වේදිකා නාට්‍යකින් සමාජයක් හදන්න පුළුවන්ද?

සමාජයේ හැමෝම වේදිකා නාට්‍ය නරඹන්න එනවා නම් පුළුවනි.

ඔබ පැවසූ දෙය තවදුරටත් විග්‍රහ කළොත්?

නාට්‍ය බලන්න සමස්ත සමාජයක් එන්නේ නැහැනෙ. එන පිරිසට හැදෙන්න දෙයක් වේදිකා නාටය්‍යක් නරඹලා ගන්නට හැකියාවක් තිබෙනවා. අං ආවෝ නාට්‍යයත් එහෙමයි. නරඹන්නන්ගේ චින්තනය වෙනස් වන්නටම මං දෙයක් කළා.

අං ආවෝ නම කාගෙද?

අද බහුතරයකට අං ඇවිල්ලනෙ තිනේනේ. ඒ ගැන හිතලා මං ඒ නම දැම්මේ.

ඔබ හදන වේ'දිකා නාට්‍යයහි ඔබ රඟ නොපාන්නේ නැති තරම්?

ඔව්. මේකෙත් මං ප්‍රධාන චරිතයක් රඟපානවා. අධ්‍යක්ෂවරයකු, වේදිකා රචකයකු හැටියට මං කාර්යබහුලයි. එනමුත් මට දක්ෂතාවයක් තියෙනවා. ඒක මොකටද අපතේ යවන්නේ.

මේ දිනවල වේදිකා නාට්‍යයක් කිරීම ලෙහෙසි නැහැ. අතිශය කාර්යබහුල නළු නිළියන් පිරිසක් තමයි මේ නාට්‍යයෙත් ඉන්නේ. කෙහොමද ඔවුන්ව රිහසල් කළේ?

හරිම සරලයි. මගේ නාට්‍යයක රිහසල් කරන ක්‍රමවේදය වෙනස්. මං කරන්නේ ආර්ටිස්ලගෙන් දින අරගෙන වෙනමමම තැනක ලොජ්වෙන එක. එතැන් පටන් දින ගණනාවක් මං ඔවුන්ව රිහසල් කරනවා.

ඔබ මේ වන විට සම්මාන කීයක් අරගෙන තිබෙනවාද?

එකක්වත් නැහැ.

මෙතරම් වේදිකා නාට්‍ය ප්‍රමාණයක් හදලා තිබුණත් ඔබට සම්මාන නොලැබී තිබීම පුදුමයක්?

මට උලෙළවල්වලින් සම්මාන නැති වුණත් ජනතා සම්මානයන් ඕනෑ තරම් ලැබිලා තියෙනවා. මට ඒ ඇති.

දශක කිහිපයක් ඔබ නාට්‍ය කලාව තුළ හිටි'යත් සම්මාන නොලැබීම තුළින් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔබේ නාට්‍ය කොලිටියක් නැහැ කියලා?

ඔය පැනයට මට දීර්ඝ පිළිතුරක් ලබා දෙන්න පුළුවන්. නමුත් ඒක හරි නැති නිසා කෙටියෙන් මං මෙහෙම කියන්නම්. මගේ නාට්‍ය බහුතරයක් හාස්‍ය්‍යට බරයි. ඒ හාස්‍ය තුළින් මං උත්සාහ කරන්නේ හොඳ පණිවිඩයක් සමාජගත කරන්නයි. සම්මාන ලැබෙන්නේ මේ වගේ ඒවට නෙවේනේ. මමත් නොතේරෙන මොකක් හෝ හැදුවොත් මටත් සම්මාන දෙයි. ඇතැම් අයට සුනිල් ශ්‍රීගේ නාට්‍ය දිරවන්නේ නැහැ. සමහර විට ඒ අය මගේ නාට්‍ය බලලත් නැතුවයි එහෙම කියන්නේ. මං මේ වෙලාවේ ආරාධනා කරනවා මගේ නාට්‍ය නරඹලා ඒවාවල කොලිටිය තීරණය කරන්න කියලා.

ඔබේ නාට්‍ය නරඹද්දී ප්‍රේක්ෂකයන්ගෙන් මොනවගේ ප්‍රතිචාර ද ලැබෙන්නේ?

කිව්වට විශ්වාස කරන්න මගේ නාට්‍ය ඉවර වෙනකම් ප්‍රේ්ක්ෂකයා ආසනයෙන් නැගිටින්නේ නැහැ. නාට්‍ය ඉවර වෙලා මගේ කතාව සිදු කළායින් පසුවත් ඇතැම් දෙනා ඉන්නවා. එහෙම වෙන එක මට හරි සතුටක්. මගේ නාට්‍යවලදී කවුරුවත් මැදින් නැගිටලා යනවා මං දැකලා නැහැ. ඒ වගේම ජංගම දුරකතනවලින් මට බාධා ඇතිවෙලත් නැහැ. ප්‍රේක්ෂකයෝ හොඳට මගේ නාට්‍ය රස විඳිනවා.

වේදිකා නාටය කරන්න ගිහින් අමාරුවේ වැච්ච අවස්ථා ගැන ඕනෑ තරම් අත්දකීම් ඔබ සතුව ඇති?

මොකද නැත්තේ. රිහසල් අවිල්ලා නළුවො මග දාලා ගියාම තමයි තරු පේන්නේ. නමුත් මං ඒ සෑම අවස්ථාවකදීම හොඳින් මුහුණ දීලා තියෙනවා. මේ ළඟදී දවසක වෙච්ච සිදුවීම් දෙකක් කියන්නම්. මගේ නාට්‍යයේ ප්‍රධාන චරිතය කරන නළුවෙක් හදිසියේම එන්න බැහැ කිව්වා. ඔහුට ඩෙංගු හැදුණා කියලා කිව්වේ. දඩි බිඩියේ වෙන කෙනෙකුව රිහසල් කරලා එදා නාට්‍ය පෙන්නුවා. මං එම නළුවගේ ගෙවල් පැත්තේ පොඩ්ඩක් ගියා බලන්න. මෙන්න එයා ගෙදර ඉන්නවා. ඔහු අද වෙනකම් දන්නේ නැහැ ඔහු කළ බොරුව මට මාට්ටු වුණා කියලා. ඔන්න ඒ නළුවම දවසක් 3.30 දර්ශනය කරලා 6.30 රඟපාන්න බෑ කිව්වා. අන්තිමේ බැනලා කරලා නාට්‍යයට ගත්තේ. එදායින් පසුව මං ඔහුව සදහටම නාට්‍යයෙන් ඉවත් කළා.

කාලය මදිකම නිසා අද වන විට බොහෝ නළුවන් පුරුදු වෙලා තියෙනවා පෙළ මතක් කරන්නෙකුගේ සහාය ඇතුව රඟපාන්න?

අත්‍යවශ්‍යම කාරණයකදී හැර පෙළ මතක් කරන්නෙකුගේ උදව් ගන්න එක වේදිකා නාට්‍යයකට හරි නැහැ. ඔහු මත්තෙම හිටියොත් වේදිකා නාට්‍ය අසාර්ථකයි කියන මතයෙයි මං ඉන්නේ.

අං ආවෝ නැවතත් වේදිකා ගතවන දිනය සහ එහි නළු පිරිවර මතක් කළොත්?

මෙම මස 19 වැනිදා එනම් අද සවස 3.30 ට සහ 6.30 ට මරදාන ටවර් රඟහලේදී අං ආවෝ වේිදිකා ගතවෙනවා. ක්ලීටස් මෙන්ඩිස්, කුමාර තිරිමාදුර, අවන්ති අපොන්සු, සජීව මල්මාලආරච්චි, සංජානා පීරිස්, ධනුක සිල්වා සමඟ මම මෙහි රඟපානවා.