|
හේමාල් කියන්නේ දැනෙන්න රඟපාන නළුවෙක්දේදුනු ආකාසේ ගැන ප්‍රියන්ත කොළඹගේ සමඟ සංවාදයක්
‘දේදුනු ආකාසේ’ චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ කර ගත වී ඇත්තේ දින කිහිපයක් පමණයි. ඒ දින කිහිපය ගෙවී ගියේ කුමන ආකාරයෙන්ද? ගෙවී ගියේ දින කිහිපයක් වුණත් ‘දේදුනු ආකාසේ’ චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර නම් ඉහළයි. මීට පෙර මා නිර්මාණය කළ ‘ආදරණීය කතාවක්’ චිත්‍රපටයට වඩා වැඩි ප්‍රතිචාරයක් ‘දේදුනු ආකාසේ’ චිත්‍රපටයට මේ වනවිට ලැබෙන බව පැවසිය යුතුයි. මේ දින කිහිපය ඇතුළත චිත්‍රපටය නරඹන ලද සිනමා ප්‍රේක්ෂකයන් බොහෝදෙනෙකු මට සුබ පැතුවා. ඒ ගැන කතා කරනවා. ඒක මා සිතන්නේ හොඳ ප්‍රවණතාවක්. මොකද චිත්‍රපටයක් නරඹලා දවස් දෙකක් ඇතුළත මෙවැනි විශාල ප්‍රතිචාරයක් මීට පෙර ලැබිලා නැහැ. ඒ නිසා මා සිතන්නේ ‘දේදුනු ආකාසේ’ චිත්‍රපටය සිනමා ප්‍රේක්ෂකයන් අතරට ගමන් කරාවි කියලා. ‘විමුක්ති’, ‘අරුමෝසම් වැසි’ ආදී චිත්‍රපට නිර්මාණය කළ ඔබ ‘ආදරණීය කතාවක්’ චිත්‍රපටය මඟින් ඔබේ සිනමා කියැවීම වෙනස් මඟකට අවතීර්ණය කරනවා. ‘දේදුනු ආකාසේ’ චිත්‍රපටයත් එහිම දිගුවක්. ඔබ මේ සැරැසෙන්නේ දිගට ම මෙවැනි චිත්‍රපට නිර්මාණය කිරීමටද? මගේ අදහස මිනිස්සු නරඹන චිත්‍රපට නිර්මාණය කිරීමයි. මිනිස්සු නරඹන්නේ නැති චිත්‍රපට නිර්මාණය කරලා වැඩක් නැහැ. නිර්මාණය වන මොනයම් නිර්මාණයක් වුණත් මිනිස්සුන්ගේ පරිභෝජනයට පිවිසෙන්නේ නැත්නම් පරිහරණය කරන්නේ නැත්නම් ඒ නිර්මාණය හොඳ නිර්මාණයක් නොවන බවයි මගේ හැඟීම වන්නේ.එහෙම නම් එය නරක නිර්මාණයක්. සමහර විට සමහර නිර්මාණකරුවන් නිර්මාණය කරන නිර්මාණ සිනමා ප්‍රේක්ෂකයන් වැලඳ නොගත්තත් එහි අන්තර්ගතය අපූර්ව අයුරිනුයි විදහා දැක්වෙන්නේ? යම් නිර්මාණයක මොකක් හෝ ලොකු ගුණයක් තිබෙනවා යැයි කියලා සිතන්න. ඒත් ඒ නිර්මාණය කිසිම මනුස්සයකුටවත් නරඹන්න නොහැකි නම් ඒ නිර්මාණය වැඩක් නොවන බවයි මා පවසන්නේ. එවිට එවැනි නිර්මාණ කාටද? එහෙම නම් එවැනි නිර්මාණ නිර්මාණකරුවා සඳහා පමණක් විය යුතුයි. ඒ නිසා මා පවසන්නේ නිර්මාණය නිර්මාණකරුවා සඳහා පමණක් නොවිය යුතු බවයි. එය පොදු මිනිසුන් අතරට යා යුතුයි. එවිටයි එය නිර්මාණයක් විදියට සාර්ථක වන්නේ. ඒ නිසා මා ඉදිරියටත් නිර්මාණය කරන්නේ මිනිස්සු නරඹන චිත්‍රපටයි. ‘දේදුනු ආකාසේ’ චිත්‍රපටයට පදනම් වන කතාව ආදර කතාවක්. ඒ හරහා විහිද යන සිදුවීම් දාමයක් හරහායි එය සමාජයට බද්ධ වන්නේ. මෙවැනි කතා සංකල්පයක් නිර්මාණයකට අරගෙන එන්නේ එය කාලයක පටන් ඔබේ සිතේ පිළිසිඳ ගැනීමක් මඟින්ද? මෙන්න මේ ආකාරයේ චිත්‍රපටයක් නිර්මාණය කළ යුතුයි කියන අදහසක් මගේ සිතේ තිබුණා. සාමාන්‍යයෙන් මා තිරනාටකයක් නිර්මාණය කරද්දි තවත් දෙන්නෙකු හෝ තුන්දෙනෙකුවත් ඒ කටයුත්තට සහය කර ගැනීම පුරුද්දක්. තාරක හේරත් කියන්නේ මා සමඟ ලියන කියන කෙනෙක්. මා ඔහුට පැවසුවේ මෙන්න මේ ආකාරයක චිත්‍රපටයක් මට අවශ්‍ය බවයි. ඒ නිසා ඒ ගැන සිතමු යන්නයි. මෙන්න මේ වගේ නිර්මාණයක් ය යන්න මෙහි මූලික වස්තුබීජය එන්නේ තාරකටයි. එතැනින් එහාට මමයි, තාරකගෙයි එකමුතුවෙනුයි කතාව සංවර්ධනය කරන්නේ. අවසන් වශයෙන් මා කතාව තාරකත් සමඟ ලිව්වාට පසුව මගේ තවත් යහළුවකු වන වජිර කස්තුරි සමඟ එකතුවෙලයි එය අවසන් කළේ. අවසානයට යළිත් මා තාරක සමඟ එකතුවෙලා මෙන්න මේකයි පිටපත කියන කාරණයට පිවිසුණා. තිරනාටකයක් රචනා කරද්දි කණ්ඩායමක් සමඟ එය කළ යුත්තේ ඇයි? මා විශ්වාස කරන්නේ අපේ රටේ තිරනාටක නිර්මාණයේදී කණ්ඩායමක් සිටිය යුතු බවයි. මට දැනෙන විදියට එවැනි සමූහයකගේ එකමුතුවෙන් නිර්මාණය වන තිරනාටකයක සාර්ථකත්වය වඩාත් වැඩියි. ඒ නිසයි මා එලෙස පවසන්නේ.
ඔබ ඇතුළු පිරිසගේ සහයෝගයෙන් නිර්මාණය වුණු තිරනාටකය චිත්‍රපටයක් බවට පත් කිරීමේදී
එහි නිළියන් විදියට තෝරා ගැනෙන්නේ නිරූපණ ශිල්පිනියන් දෙදෙනක්. මේ චරිතවලට නිරූපණ
ශිල්පිනියන් දෙදෙනෙකුව ම තෝරා ගැනීමට අපේ රටේ මේ ක්ෂේත්‍රය ඇතුළේ දක්ෂ රංගන ශිල්පීන් හා ශිල්පිනියන් ඉන්නවා. ඒකට තර්කයක් නැහැ. ඒත් මට වුවමනා වන්නේ නැවුම්, අලුත් රූප තිබෙන දෙදෙනෙකු මේ චිත්‍රපටයයේ චරිතවලට යොදා ගැනීමටයි. අනෙක් කාරණය නම් මේ කතාව විකාශය වන්නේ භෞද්‍ර යෞවනයේ සිට විවාහක තරුණවිය දක්වා කාලයයි. ඒ නිසා මා තීරණය කරන්නේ භෞද්‍ර යෞවනයට හරියන හා මා සිතන මොඩන් සංස්කෘතිය නියෝජනය කරන විදියට හරියන චරිත දෙකක් මේ චරිත දෙක සඳහා ගත යුතු බවයි. ඒ වගේ ම තරු ගුණය තිබෙන දෙදෙනෙකු තෝරා ගැනීමටත් මට අවශ්‍ය වුණා. රංගන ශිල්පිනියන්ගේ තරු ගුණය පිළිබඳ ඔබ වඩාත් සැලකිල්ලක් දක්වන්නේ කුමන කාරණයක් නිසාද? මට දැනෙන විදියට අපට සිටි අවසාන තරු වන්නේ සබීතා පෙරේරා, දිල්හානි අශෝකමාලා වැනි අයයි. ඊට පස්සේ තරු සිටියේ නැහැ. හැත්තෑව දශකයේ සිනමා ප්‍රේක්ෂකයා සිනමා ශාලාවට පැමිණෙන්නේ මේ තරු ගුණයත් එක්කයි. මාලිනී ෆොන්සේකා, ස්වර්ණා මල්ලවාරච්චි, ගීතා කුමාරසිංහ, ශ්‍රියානි අමරසේන වැනි ශිල්පිනියන්ගේ තරුණ කාලයේදියි චිත්‍රපටවලට සිනමා ප්‍රේක්ෂකයන් බොහෝ පැමිණියේ. ඒ අතීතයේ තිබුණු අත්දැකීම් වර්තමානයට උපයෝගී කරගැනීමට පුළුවන්ද කියන කාරණයත් සමඟයි මා සිටියේ. ඒ නිසයි මා තරු ගුණය තිබෙන ශිල්පිනියන් දෙදෙනෙකු මේ නිර්මාණය සඳහා තෝරා ගත්තේ. ඔවුන් රංගන ශිල්පිනියන් බවට පත්කළ යුතුයි. ඒ උත්සාහයේ තවම මා ඉන්නවා. චුලක්ෂි හා ටීනා යන දෙදෙනාව රංගන ශිල්පිනියන් විදියට හැසිරවීමේදී ඔබට මුහුණ දීමට සිදුවුණේ මොනවගේ අභියෝගවලටද? චුලක්ෂි කිසිම දවසක කැමරාවක් ඉදිරියේ රඟපාලා තිබුණේ නැහැ. ඇගේ රංගන හැකියාව තිබුණේ බින්දුවේ. මා ඈව තෝරා ගන්නේ රංගනය හදාගන්න හැකියි කියන මතයේ ඉඳලයි. ටීනා ගත්තොත් ඈ රඟපාලා තිබුණේ මියුසික් වීඩියෝවලයි. ඒත් ඒවා කිසිම විදියකින් අපට රස විඳීන්නට හැකි නිර්මාණ නොවෙයි. මා ඈට පැවසුවේ ඈ චිත්‍රපටයේ රඟපාද්දි මියුසික් වීඩියෝවල රඟපානවාට අකැමැති බවයි. දැනට වුණත් ඒ අකැමැත්ත එහෙමමයි. චිත්‍රපටය සඳහා තෝරා ගනිද්දී ඔවුන් දෙදෙනාට ම රංගන ප්‍රතිභාවක් තිබුණේ නැහැ. මා මූලික වශයෙන් කළේ ඔවුන්ව පුහුණු කරන එකයි. චිත්‍රපට නරඹන්න පුරුදු කරන එකයි. ඊට අමතරව වැඩමුළු කළා. ඒ හරහා ඔවුන්ට යම්කිසි මට්ටමකට රංගනය ගැන යම් අවබෝධයක් ලබා දුන්නා. ඉතුරු ටික ඒ ඒ දර්ශනයේදී මා ඔවුන්ගෙන් ගත්තා. සමහර විට බොහෝ දේවල් මා දෙබස් කියලා පෙන්නුවා. අනෙක් වෙලාවට මා ඔවුන්ට රඟපාන්න වුවමනා කොටස පමණක් කියලා දුන්නා. ඒ නිසා මට ඔවුන්ව හසුරවන්නට පහසු වුණා. භාගෙට දේවල් දැනගෙන එන අයට වඩා මූලික අත්දැකීම් සමඟ ආව නිසා මට ඔවුන්ව රඟපෑවීමට පහසු වුණා. හේමාල් රණසිංහ ඔබගේ චිත්‍රපටවල නිතර ම මෙන් දකින්නට ලැබෙන නළුවෙක්. ඔබ සමුද්‍රගේ චරිතය නිර්මාණය කළේ ඔහු වෙනුවෙන්මද? මගේ පළමු චිත්‍රපට දෙකේ ම සිටියේ සනත් ගුණතිලකයි. තුන්වන චිත්‍රපටය ‘අරුමෝසම් වැහි’ ළමා චිත්‍රපටයක් නිසා ඒ සඳහා සනත්ව ගන්නට මට නොහැකි වුණා. ඒ වගේ ම මගේ නිර්මාණවලට හේමාල්ව ම ගන්න ඕන ය කියලා එකකුත් නැහැ. ඒත් මගේත් හේමාල්ගේත් තිබෙන සම්බන්ධය ගත්තොත් හේමාල් මාව හඳුනා ගැනීම, මා හේමාල්ව හඳුනා ගැනීම හා ඔහුගේ දක්ෂතාව හඳුනා ගැනීම හරහා මා ඔහුව චිත්‍රපටයේ චරිතයකට තෝරා ගන්නවා. මට හේමාල්ව ගැළපෙන්නේ නැහැයි කියන චරිතයක් තිබෙන තිරපිටපතක් ලියැවුණොත් ඒ සඳහා මා සුදුසු ම රංගන ශිල්පියාව තෝරා ගනීවි. රූපය, රංගනය, නර්තනය, උස වැනි සිනමා රංගන ශිල්පියකුට තිබිය යුතු අංග රැසක් හේමාල් සතුයි. ඔබ ඔහුව දකින්නේ කුමන අයුරින්ද?
මා ඔහුව දකින්නේ ‘ප්‍රවේගය’ චිත්‍රපටය හරහායි. ක්‍රියාදාම චිත්‍රපටයක සිටින
ක්‍රියාදාම නළුවකු විදියටයි මා ඔහුව දුටුවේ. ඔහු රංගන ශිල්පියකු විදියට ගොඩනැඟිය
හැකි බවට යම් විශ්වාසයක් මා සතුව තිබුණා. ඔහුගේ යම් ලක්ෂණ අනුව ඔහුව හදාගන්නට
පුළුවන් නළුවකු විදියටයි මා ඔහුව දුටුවේ. හොඳ අධ්‍යක්ෂවරයකු යටතේ එවැනි අයකු නළුවකු
බවට පත්කිරීමට පුළුවන්. ඊට පෙර චිත්‍රපටත් එක්ක බැලුවොත් ඔහු මිනිස්සුන්ට දැනෙන්න
රඟපාලා තිබුණේ ‘ආදරණීය කතාවක්’ චිත්‍රපටයේ. ඒත් ඔහු ‘දේදුනු ආකාසේ’ චිත්‍රපටයේ ඊට
වඩා ප්‍රබල රංගනයක යෙදෙනවා. ඒ නිසා රංගන ශිල්පියා මෙහෙයවා ගන්නේ කොහොමද කියන කාරණය
තිබෙන්නේ අධ්‍යක්ෂවරයාගේ අතෙයි. ප්‍රබල කියමනක් වන රංගන ශිල්පියෙක් කියන්නේ
මැටිපිඩක්. ඉන් රූපයක් අඹන්න හැක්කේ අධ්‍යක්ෂවරයාටයි යන කියමනයි මට මෙහිදි සිහිපත්
වන්නේ. මෙවර ඔබ ‘දේදුනු ආකාසේ’ චිත්‍රපටය නිර්මාණය කරන්නේ නර්තනය හා සංගීතය යන්න ප්‍රධාන කර ගනිමින්. ඔබ ඒ කාරණා දෙක ප්‍රධාන කරගත්තේ වුවමනා වෙන්මද? මගේ ‘ආදරණීය කතාවක්’ ගත්තොත් එහි තිබෙන්නේ සංගීතයයි. මෙහි මා සංගීතයට වඩා නර්තනය කියන පැත්ත ටිකක් වැඩි කරලයි තිබෙන්නේ. මේ තමයි ජීවිතයේ රිද්මය වන්නේ. එන්ටර්ටේන්ට්මන්ට් කියන වචනය ඇතුළේ එක්කෝ අපි විඳීන්නේ සංගීතය, ගීතය. අනෙක් පැත්තෙන් ගත්තොත් නර්තනය. අද බොහෝවිට තරුණයෝ කරන්නේ නිවෙසට වී සෙටප් එකක් ඔන් කරගෙන නටන එකයි. මේ දේවල් ඔවුන් කරන්නේ සැහැල්ලුවෙන් ඉන්නයි. මේ චිත්‍රපටයෙන් මා පෙන්වන්නේ තරුණ අවදියයි. ඒ නිසා මා මේ නිර්මාණයට සංගීතය හා නර්තනය කියන දෙකම උපයෝගී කර ගන්නවා. එහෙත් මා කතාව ඉතාමත් ගැඹුරු විදියට ජීවිතය ඇතුළාන්තයට ගෙන යන්නේ සිනමා ප්‍රේක්ෂකයන්ට සංගීතය හා නර්තනය අමතක කර දමමින්. අපේ සිනමා ප්‍රේක්ෂකයන්ට ගීතය අවශ්‍යයයි. හැත්තෑව දශකය ගත්තොත් ගීතය ඉතා ප්‍රබල සාධකයක් විදියට අපේ සිනමා ප්‍රේක්ෂකයන්ට බලපෑ බවයි පෙනෙන්නේ. අනෙක් කාරණය නම් නර්තනයත් ඒ වගේ ම ප්‍රබලයි. ඔබ පවසන්නේ අපේ චිත්‍රපටවලදිත් ඉන්දියානු සිනමාවේ පවතින සමහර ලක්ෂණ පැවැතිය යුතු බවද? අපේ රටේ සිනමා ප්‍රේක්ෂකයන් බොහෝදෙනෙක් හුරුවී සිටින්නේ හින්දි හා දමිළ චිත්‍රපටවලටයි. අප මෙවැනි ආකර්ෂණීය චිත්‍රපට හැදුවේ නැත්නම් අනිවාර්යයෙන් ම ඉන්දියානු අධ්‍යක්ෂවරුන් පැමිණ අපේ රටේ චිත්‍රපට හදනවා. ඒකට සාධක දැනටමත් තිබෙනවා. ඉතිං සම්මාන බලාගෙන අප චිත්‍රපට හද හදා ඉන්න විට ඉන්දියානු අධ්‍යක්ෂවරුන් පැමිණ අපේ සිනමා ප්‍රේක්ෂකයන්ට මෙහේ චිත්‍රපට හදනවා. ඒ නිසා මා පවසන්නේ සිනමා ප්‍රේක්ෂකයන්ගේ රසඥතාව හඳුනාගෙන, එහෙත් ඔවුන්ව ආනන්දයෙන් ප්‍රඥාවට අරගෙන යන්නේ කොහොමද කියන කාරණය තීරණය කරගෙන අප චිත්‍රපට නිර්මාණය කළ යුතු බවයි. ඒ වගේ ම ඊට අවශ්‍ය සාධක එකතු කරගත යුතුයි. ඔබ ‘දේදුනු ආකාසේ’ චිත්‍රපටය හරහා කරන්නේ සිනමා ප්‍රේක්ෂකයන්ගේ සිතේ ෆැන්ටසියක් නිර්මාණය කිරීමයි. එවැනි ෆැන්ටසියක් චිත්‍රපටයක් හරහා නිර්මාණය කරන්නේ කුමන අදහසක් ඇතිවද? මිනිස්සුන්ට බලන් ඉන්න නොහැකි ඉතා කටුක ශබ්දය ඇහෙන්නේ නැති රූප රාමුත් සමඟ, ඉතා අඳුරු රූප රාමුත් සමඟ නිර්මාණයක් පෙන්වනවාට වඩා ෆැන්ටසියක් හරහා හරි අපට කියන්න වුවමනා වන දේ කිව හැකි නම් එයයි විය යුත්තේ. අවසානයේ කලා කෘතියක් ඇතුළේ තිබිය යුත්තේ ආනන්දයෙන් ප්‍රඥාවට ගමන් කිරීම නම් එය කරන්නේ ෆැන්ටසියක් හරහා හෝ සිහිනයක් හරහා හෝ මොකකින්ද යන්න නොවෙයි වැදගත් වන්නේ. මිනිස්සුන්ට කියන්න වුවමනා දේ ඔවුන්ට දැනෙන්නේ ඒ විදියට නම් එවැනි මාධ්‍යයක් තෝරා ගැනීමයි අධ්‍යයක්ෂවරයකු කළ යුත්තේ. ෆැන්ටසියක් හරහා රටේ දේශපාලනය විප්ලවයක් කළ හැකි නම්, මා පවසන්නේ දේශපාලනඥයන් වුණත් සූදානම් විය යුත්තේ ඒ හරහා රටේ දේශපාලනය වෙනස් කිරීමටයි. එවැනි කාරණයක් ක්‍රියාත්මක කිරීමට මිනිස්සු එකතු වන්නේ නම් ෆැන්ටසියක් හරහා හෝ එය සිදුවූවාට කුමක්ද සිදුවන්නේ. ඒත් සත්‍ය ජීවිතය කියන්නේ ෆැන්ටසියක් නොවෙයි නේද? ලෝකයේ කොයිකාලෙත් තාරුණ්‍ය ඇතුළේ තිබෙන්නේ ෆැන්ටසියයි. ඒත් ඔවුන් ජීවත් වීමේදී මුහුණ දෙන්නේ ෆැන්ටසියකට නොවෙයි. යථාර්ථය ගත්තොත් එතැනින් එහාට ගිය කටුක දේවල්, ප්‍රබල ප්‍රශ්න වගේ ඔක්කොම දේවල් එතැන තිබෙනවා. ඒත් තාරුණ්‍ය හැමදාම තිබෙන්නේ ෆැන්ටසියක් ඇතුළේයි. අපට ෆැන්ටසියක් ඇතුළේ ජීවත්වීමට නොහැකි වන්නේ මෙන්න මේ යථාර්ථය නිසයි. ඒ නිසයි අප ෆැන්ටසියෙන් එළියට ඇවිත් යථාර්ථයට මුහුණ දෙන්නේ. ඒ නිසා ඕනෑ ම තරුණයකු හෝ තරුණියක සිටින්නේ ෆැන්ටසියක් ඇතුළේයි. ‘දේදුනු ආකාසේ’ චිත්‍රපටය වඩාත් සුන්දර වී ඇත්තේ එහි යොදාගනු ලබන සිනමානුරූපී ලක්ෂණ හා සුන්දර දර්ශන තල නිසයි. මේ කාරණය ඔබගේ අනෙක් චිත්‍රපටවලත් දකින්නට ලැබෙන පොදු ලක්ෂණයක්. ඒ සඳහා ඔබට බොහෝ වෙහෙස මහන්සියක් වීමට සිදුවුණාද? සිනමානුරූපී කියන කාරණයේදී මූලික ලෙස ම මගේ ආත්ම කථනය සඳහා මා යොදා ගන්නේ ඡායාරූපකරණයයි. මා මුලින්ම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ඡායාරූප ශිල්පියකු විදියටයි. මා සිනමාව දකින්නේ ම රූපරාමුව හරහායි. ඒ නිසා මගේ සිනමාව ඇතුළේ ප්‍රබලම මාධ්‍ය වන්නේත් කැමරාව හා රූපයයි. ඒ නිසා මා චිත්‍රපටයට රූපයක් මවා ගත නොහැකි කිසිම තැනක් තෝරා ගන්නේ නැහැ. ඒ රූපය මවා ගැනීම මා සිදුකරන්නේ තිරරචනාව කියවන අතරේදිමයි. මේ රූපරාමුව කෙසේ විය යුතුද යන තීරණයට මා පිවිසෙන්නේ ඒ අවස්ථාවලදියි ඒ පරිසරයේදියි. උදාහරණයක් විදියට ජයලත් මනෝරත්නගේ නිවෙස සොයා ගැනීමට මට දවස් දොළහක් පමණ ගියා. නුවරඑළියේ, හපුතලේ, මාතලේ, බණ්ඩාරවෙල මේ හැමතැනම සොයලා මා ඒ නිවෙස තෝරා ගත්තේ නුවර හන්තාන ප්‍රදේශයෙන්. ඒ වගේ ම දර්ශන තලයට මා ප්‍රබල ස්ථානයක් ලබා දෙනවා. මොකද මා හරි විදියටම උත්වේජනය වන්නේ දර්ශන තලයත් එක්ක නිසයි. ඒනිසා ම ඒවා සොයා ගැනීමේදී මා ඉවසිලිවන්ත වෙනවා. හරිම දේ තෝරා ගන්න උත්සාහ කරනවා. අද බිහිවන බොහෝ ජනප්‍රිය රැල්ලේ සිනමා නිර්මාණවල සිනමාරූපී බවක් ඇත්තේ නැහැ. ඒ නිසයි සිනමා ප්‍රේක්ෂකයා සිනමා ශාලාව ප්‍රතික්ෂේප කර තිබෙන්නේ. මේ කාරණය ගැන ඔබට පැවසීමට තිබෙන්නේ කුමන අදහසක්ද? ඔය ප්‍රශ්නය ජනප්‍රිය රැල්ලේ ප්‍රශ්නයක් නොවෙයි. ජනප්‍රිය චිත්‍රපටවලට වඩා සිනමා ප්‍රේක්ෂකයන් ගෙන්වා ගැනීමට නොහැකි නිර්මාණ බිහිවන්නේ විකල්ප සිනමාව පැත්තෙන්. කලාත්මක යැයි පවසන චිත්‍රපට නැරැඹීමටයි සිනමා ප්‍රේක්ෂකයන් අඩුවෙන් එන්නේ. මා දකින විදියට ඒ චිත්‍රපටවලත් සිනමානුරූපී බවක් ඇත්තේ නැහැ. ඒ විදියට එන්න තිබෙන චිත්‍රපට පනස් ගණනක් තිබෙනවා. ඒ නිසා අද නරක චිත්‍රපටයි පෙන්වන්නට බැරිව තිබෙන්නේ. හොඳ චිත්‍රපට කියන දේ පෙන්වන්නට හැකිවෙලා. චිත්‍රපට පෙන්වන්නට නොහැකි වීම හරහා මේ නිර්මාණය වී තිබෙන්නේ යම් අර්බුදයක්ද? මෙහිදි අපට හඳුන්වන්නට වන්නේ පෙන්වන්න හැකි හා නොහැකි චිත්‍රපට ලෙසයි. ඒ අනුව පෙන්වන්න බැරි චිත්‍රපට ලොකු ප්‍රමාණයකුත්, පෙන්වන්න පුළුවන් චිත්‍රපට පොඩ්ඩකුත් තමයි තිබෙන්නේ. හදන චිත්‍රපට පෝලිමට යන්නේ ඒවා පෙන්වන්න බැරි වන නිසයි. පෙන්වන්න පුළුවන් චිත්‍රපට අද නිර්මාණය කරලා හෙට වුණත් පෙන්වන්න පුළුවන්. ඒ නිසා පෝලිම්වල තිබෙන්නේ පෙන්වන්න නොහැකි චිත්‍රපටයි. ඔබ අදහස් කරගෙන ඉන්නේ අද චිත්‍රපටයක් නිර්මාණය කරත් හොඳ නම් හෙට පෙන්වන්නට පුළුවන් කියන මතයේද? ඔව්. අපේ රටේ සිනමා වෙළෙඳ පොළ ඇතුළේ අද නිර්මාණයක් කළත් පෙන්වීමට හැකියාව ලැබෙන්නේ පෙන්වන්න පුළුවන් චිත්‍රපටයක් නිර්මාණය කළොත් පමණයි. නැතිනම් එවැනි චිත්‍රපටයක් නොවුණොත් අද හැදුවත් හෙට නොවෙයි වසරක් ගියත් පෙන්වන්නට නොහැකි වේවි. එයයි යථාර්ථය වන්නේ. ඒ නිසා පෙන්වීමට හැකි නිර්මාණ හැදෙන විට ම ඒ චිත්‍රපට පෙන්වීමට දිනත් නියම වෙලා. මේ නිසා ලොකුම අසාධාරණයට ලක්වන්නේ තරුණ සිනමාකරුවනුයි. ඔවුන් සිනමාව හදාරමින් සිනමාව දකින විදිය තාම තියෙන්නේ අනෙක් පැත්තටයි. ඒ නිසා ඔවුන් දකින විදිය වෙනස් විය යුතුයි. ඔවුන් අතර ඉන්දික ෆර්ඩි නැන්ඩු වගේ නිර්මාණකරුවෝ පෙන්වන්න පුළුවන් චිත්‍රපටයක් නිර්මාණය කරලා තිබෙනවා. ඒ නිසා ඔහු තමන්ගේ චිත්‍රපටය පෙන්වූවා. ඒ නිසා නිර්මාණකරුවන් සිතිය යුත්තේ තමන් සිනමා භාෂාවෙන් කියන්න ඕන දේ කොහොමද කියන්නේ යන්නයි. නිර්මාණයක් කළොත් එය පෙන්විය යුත්තේ සිනමා මණ්ඩල හරහායි. එහෙම නම් ඒ නිර්මාණ සිනමා මණ්ඩල හරහා පෙන්වන්න පුළුවන් විදියට නිර්මාණයෙන් සිනමාත්මකව කියන්න ඕන කොහොමද කියලා ඔවුන් දැනගත යුතුයි.
|