වර්ෂ 2016 ක්වූ  ඔක්තෝම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දා




මේ ඉන්නේ මගේ මිනිබිරී දුල්ෂාරා

මේ ඉන්නේ මගේ මිනිබිරී දුල්ෂාරා

විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන සිය මිනිබිරිය ගී ලොවට හඳුන්වාදෙයි

ප්‍රවීණ ගායන ශිල්පිනී චන්ද්‍රිකා සිරිවර්ධනගේ සිතට පසුගිය කාලයේ ඇතිවුණු සෝකය කියලා නිම කිරීමට නොහැකි වුණු තරම්. ඒ ඇගේ ආදරබර සැමියා ඇන්ටන් අල්විස්ගේ නික්ම යෑම. චන්ද්‍රිකාගේ ජීවිතයේ දුක - සැප බෙදාගෙන ජීවිතය අවසානය දක්වා අත්වැල් අල්ලාගෙන යන්න සපත වුණු ඇන්ටන් චන්ද්‍රිකාව අතැර ගියේ නොසිතුව මොහොතක. ඇගේ ජීවන ගමනේ සෑම කටයුත්තදි ම ඈ අසල සිටි යෝධ ශක්තිය අහිමි වීමත් සමඟ දැනුණු අඩුව වචනවලට නඟන්නට නොහැකි තරම්. ඒ වුණත් චන්ද්‍රිකා සිර්වර්ධන අපේ ආදරණීය ගීත කෝකිලාව සුපුරුදු විදියට සියලු ම කටයුතුවල නියැළෙන්න හිතහදාගෙන. මේ ඇති වී තිබෙන පරිසරයත් එක්ක අප ඈ මුණ ගැසුණේ කාලයකට පසුව. ඒ ඇගේ නවක තතු විමසනු රිසියෙන්.

අප ඉදිරිපසට පැමිණියේ සුන්දර යුවතියක්. ඇගේ සුන්දර උවනට නඟාගත් සිනහව පිටුපසින් තවත් උවනක් මතුවුණා. ඒ අපට සුපුරදු ලෙස ම හුරුපුරුදු ඇගේ උවන. ඇගේ උවනත්, යුවතියගේ උවනත් මාරුවෙන් මාරුවට බැලුව මගේ කුතුහලය වැටහී ගිය නිසා දෝ ඈ පළමුවෙන් ම හඬ අවදි කළා.

“මේ ඉන්නේ මගේ මිනිබිරිය දුල්ෂාරා දසන්ති ද අල්විස්.”

චන්ද්‍රිකා සිරිවර්ධන මිනිබිරියව තමන්ට තුරුලු කර ගන්නා ගමන් ම අපට හඳුන්වා දුන්නා. ආත්තම්මාගේ සෙනෙහස තරම් සෙනෙහසක් තවත් කොයින්ද කියලා කියන්න වගේ දුල්ෂාරා ආත්තම්මා අසලින්ම අසුන් ගත්තා.

“අලුත් ම තොරතුරු මොනවාද?”

කාලයකට පසුව වුණත් මා විමසුවේ බොහෝ තොරතුරු කියන්නට ඇතැයි සිතුණ නිසා.

“මේ දවස්වල සුපුරුදු විදියට පන්ති පවත්වාගෙන යනවා. විශාරද පාඨමාලාවේ විභාගයත් ළඟ නිසා ඒ කටයුතුවලට ළමයින්ව සූදානම් කරමින් කාලය ගත කරන නිසා කාලය ගතවෙනවා නොදැනෙන තරම්. මේ මාසයේ 29 වැනිදා රිද්ම රැයක් ප්‍රසංගය පැවැත්වෙනවා. ඒ සඳහා ශිල්පීන් හා ශීල්පිනියන් රැසක් සහභාගි වීමට නියමිතයි. ඊට අමතරව දෙසැම්බර් මාසයේ ඩුබායිවලත්, පෙබරිවාරි මාසයේ ඔස්ට්‍රේලියාවේත් ප්‍රසංග පැවැත්වෙන නිසා එහි යන්නටයි මා මඟ බලාගෙන සිටින්නේ.”

චන්ද්‍රිකාගේ දින චරියාවේ මූලිකත්වය ලැබී ඇත්තේ ඇගේ ස්වර සමාධි කේන්ද්‍රයේ කෙරෙන කටයුතුවලටයි. සංගීතය සමඟ දිවිය ගෙවන ඈ ගායිකාවක් වගේ ම ගුරුවරියක්.

“බොහෝ ළමයින් කැමැත්තක් දක්වන්නේ මා විසින් ම උගන්වනවාටයි. වෙන අය උගන්වනවාට ඔවුන් කැමැත්තක් නොදක්වන නිසා මමමයි කලායතනයේ ඉගැන්වීම් කටයුතු කරන්නේ. දින තුනක් ඔවුන් සමඟ ගත කිරීමට ලැබීම මට සතුටක්.”

ඇගේ මිහිරි ස්වරයෙන් නැවුම් ගීතයක් අපගේ සවනත නොවැකුණේ දිගු කලකින්.

“අලුතෙන් ගීතයක් ගයන්නටත් ඔබගේ අදහසක් තිබෙනවාද?”

“ඉදිරියේදී ගීත දෙකක් පටිගත කිරීමට මා අදහස් කරගෙන ඉන්නවා. ඒ සඳහා සියලු කටයුතු සූදානම් කරමිනුයි කාලය ගත කරන්නේ. මේ ගීත ලියලා තිබෙන්නේ අලුත් ගී පද රචකයකු වන ඩී.යූ.ඩී විජේසිංහයි. ඔහුගේ ඉල්ලීමට අනුවයි ඇත්තටම මේ ගීත දෙක ගැයෙන්නේ. මේ ගීත දෙකේ සංගීතය නිර්මාණය කළේත් මා විසින්මයි. ඒ වගේ ම තවත් අලුත් ගීත කිහිපයක් ම ගයන්නත් අදහසක් තිබෙනවා.”

පසුගිය දිනවල චන්ද්‍රිකා සිරිවර්ධනට තවත් කරදරයකට මුහුණ දෙන්නට සිදුවුණා. ඒ අනතුරකට. ඈ දමාගෙන සිටි සෙරප්පුව පැටලීම නිසා බිමට වැටුණු ඕ තවමත් සිටින්නේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින්.

“මේ වනවිට ඔබට යම් සුවයක් දැනෙනවද?”

“ඒ වැටුණු වෙලාවේ මට සිතුණේ මගේ අත කැඩුණා කියලයි. ඒත් හොඳ වෙලාවට අතේ මැණික්කටුවටවත්, ටිෂූස්වලටවත් කිසිම හානියක් වෙලා නැහැ. ඒත් තවම තැල්මේ අඩුවක් නැත්තේ ඇයි කියන ප්‍රශ්නයයි තිබෙන්නේ. ඒ නිසා තවමත් කිසිම සුවයක් දැනෙන්නේ නැහැ.”

ඇගේ තනියට වෙනදා සැමියා ඈ පසුපස සිටියත් මෙවර සිටින්නේ ඇගේ මිනිබිරිය දුල්ෂාරා. ඇගෙන් පසුව සංගීත ක්ෂේත්‍රයට පිය මනින මේ නවක යුවතියටත් තිබෙන්නේ මිහිරි හඬක්. පණ්ඩිත් අමරදේවයන් දැයෙන් සමුගැනීමට පෙර අවසන්වරට යුග ගීතයක් ගැයුවේත් ඈ සමඟයි.

“මේ ප්‍රසංගවලදි ඔබත් සමඟ මිනිබිරියත් ගී ගයනවාද?”

“රිදී රැයක් ප්‍රසංගයේදී මාත් සමඟ ඈ ගයනවා. ඒ වගේ ම ඈ මේ 22 වැනිදා ‘සිහිනයකි රෑ’ වැඩසටහනේදී ගීත දහයක් ගයනවා. ඒ වීණා ජයකොඩි රංගන ශිල්පිනියගේ තේරීම අනුවයි.”

ප්‍රවීණ ගායිකාවක ලෙස සංගීතයේ නියැළෙමින්, එහි කටයුතුවලට සහභාගි වෙමින් චන්ද්‍රිකා සිරිවර්ධනගේ අනාගත පැතුම දුල්ෂාරා මිනිබිරිය ඉදිරියට ගෙන යෑමයි. ගායන ක්ෂේත්‍රයට අලුතින් ම එකතු වන යොවුන් ගායිකව දුල්ෂාරා, ආත්තම්මාගේ අසල ම හිඳීමින් කතාබහට ඇහුම්කන්දෙන ඈ සමඟ ද කතාබහ කිරීමට අප අමතක කළේ නැහැ.

“ඉතිං ඔබගේ යොවුන් ජීවිතයේ කටයුතු පෙළ ගැසෙන්නේ කොහොමද?”

“මේ වනවිට මා ගේට් වේ ජාත්‍යන්තර පාසලේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් හදාරනවා. මෙවැනි විෂයයක් හැදෑරීම ඉදිරියට වඩාත් හොඳ වේවි. ඒක සංගීතයට වුණත් ප්‍රයෝජනවත් වේවි. උපාධියේ කටයුතු සමඟ සංගීතය හැදෑරීමටයි මේ දවස්වල මගේ කාලය ගතවන්නේ”

දුල්ෂාරා සංගීතයේ අත්පොත් තබන්නේ සිය ආත්තම්මාගෙන්. මේ වනවිට සංගීත විශාරද විභාගය අවසන් කර සිටින ඈ සැරැසෙන්නේ සංගීත් නිපුන් විභාගය සඳහායි.

“දුල්ෂාරාත් සිය වෘත්තිය විදියට ගායනය ම තෝරා ගන්නද සිතාගෙන ඉන්නේ?”

“ඒ ගැන මම තාම සිතලා නැහැ. ඒත් මා ගායිකාවක් විදියට ඉදිරියට යන්නට කැමැතියි. ඒ වගේ ම මේ දවස්වල ටෙලි නාට්‍යයක රඟපෑමටත් ආරාධනාවක් ලැබිලා තිබෙනවා. ඒත් කවදාවත් මා රඟපාන්නට නම් සිතුවේ නැහැ. එහි රූගත කීරීම් කටයුතුත් ඉදිරියේදි සිදුවේවි. ඊට අමතරව චිත්‍රපට ගීතයක් ගැයීම සඳහාත් ආරාධනා ලැබිලා තිබෙනවා. මා ගැයූ ගීත දෙකක් පමණ ඉදිරියේදී ඔබ සියලුදෙනාට ම අසන්නට හැකිවේවි. ඒ එක් ගීතයක් යුග ගීතයක්. දෙනුවන් පෙරේරා සමඟ ගැයූ ඒ ගීතයේ රූපරචනා මේ වනවිට නිමකර අවසන්.”

ගායනය, සංගීතය, නර්තනයට හපන් දුල්ෂාරාගේ ජීවිතයට ආත්තම්මා මෙන්ම සහයෝගය දක්වන තවත් දෙදෙනෙකු ඈ අසලයි. ඒ ඇගේ මව අයෝමි අල්විස් හා පියා ප්‍රසන්ත අල්විස්.

“පවුලේ වටපිටාව ම නිර්මාණය වී තිබෙන්නේ සංගීතය ඇසුරේයි”

“ඇත්තටම තාත්තාත් හොඳ ගායකයෙක්. ක්ෂේත්‍රයට පිවිසුණේ නැති වුණත් ඔහු කාලයක පටන් ගැයුවේ බටහිර ගීතයි. ඒ කාලයේ ඒ ගීත වෙනුවෙන් ඉඩක් අපේ රටේ තිබුණේ නැහැ. ඒ නිසයි තාත්තා ගායකයකු ලෙස කරළියට පිවිසුණේ නැත්තේ. මේ වනවිට නම් ඒ තත්ත්වය වෙනස් වෙලා. ඒ වගේ ම මගේ අයියා දෙවින් මේලක ගැනත් යමක් සඳහන් කළ යුතුයි. මේ වනවිට ඔහු ‘නගාරා’ සංගීත කණ්ඩායමේ ගිටාර් වාදකයකු විදියට කටයුතු කරනවා. ඔහුටත් ගීත ගැයිය හැකියි. ඔහු ගායනා කළ ගීතයක් ඉදිරියේදි රසිකයන් අතට පත්වේවි. විශේෂයෙන් මේ කාරණයත් සඳහන් කළ යුතුයි. මා ඒ සංගීත කණ්ඩායමේ සාමාජිකාවක් ද කියලා බොහෝදෙනා මගෙන් විමසලා තිබුණා. මා එහි සාමාජිකාවක් නොවෙයි. ඒත් එහි මා ගී ගයන්නේ ආරාධිත ශිල්පිනියක් විදියටයි.”

චන්ද්‍රිකා සිරිවර්ධනගේ පුතු ප්‍රසන්නගේ පවුලේ සියල්ලන්ම මෙලෙසින් සංගීතයට ළැදි වන්නා සේම දියණියගේ දරුවන්ද සංගීතයට දක්වන්නේ ඉමහත් ලැදිකමක්. ඒ වගේ ම ගීත ලියන්නටද දියණියට ඇත්තේ මහත් කැමැත්තක්. ඇගේ පුතු චිතෲ නීලේෂ්. ඔහුත් ගයන්නට දක්ෂයෙක්.

මේ සියලු දේ අතර චන්ද්‍රිකාට සිය සැමියා සිහි නොවන දිනයක් නොමැති තරම්. සංගීත කටයුතුවලට අමතරව ඇගේ දවස ගත වන්නේ ගෙතුමක් සමඟින්. මේ වනවිට ඈ ගෙතූ ඇඳුම් මිනිබිරියගේ රුවට ගැළපෙන්නේ අපූරුවට. අපට සමුදුන්න ඈ ගෙතුමක් අතට ගත්තා. ඒ මීට ටික දවසකට කලින් ආරම්භ කළ ඒ ගෙතුම ඉක්මනටම අවසන් කිරීමට සිතාගෙන.