වර්ෂ 2016 ක්වූ  ඔක්තෝම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දා




පෝස්ටරේ දාන්න ඕනැලු. උගේ නම, “දේශභක්ති ලක්ෂ්මන්” කියලා.

පෝස්ටරේ දාන්න ඕනැලු. උගේ නම, “දේශභක්ති ලක්ෂ්මන්” කියලා.

‘මම පෝස්ටර් ඔක්කොම ඩිසයින් කළා. කොහොමද බලන්න?

විනෝද් පැවසුවේය. ඔහු ගේ ඇස් මත නලියන සතුට දෝරේ ගලන්නේයැයි බිනරි ට සිතුණි. තමාත් ඒ සතුටෙහි කොටස් කරුවකුව ඇතැයි යන අහිංසක ආඩම්බරයෙන් බිනරි පිනා ගියාය.

නාට්‍යයේ පිටපත මුල් වරට කියවන්නට දුන්නේ ද ඇයටය. එය යතුරු ලියන කොට හැඩ ගැන්වු පසු මුල් වරට පෙන්වූයේ ද ඇයට ය.

පෝස්ටරය වර්ණ කිහිපයකින් හැඩ ගන්වා තිබිණ. ඇඳ තිබුණේ සුවිසල් ගොඩනැගිල්ලක් සහ පැල්පතකි.

විනෝද් ධර්මදේව නාට්‍ය නිර්මාණයක්. එහි සඳහන්ව තිබිණ.

ලක්ෂ්මන් ජයවික්‍රම අර්ථපතිත්වයෙන් එයට යටින් සඳහන් ව තිබිණ.

‘ලකියට චූන් යයි මේක දැක්කම’

බිනරි අනුමාන කළාය. තමන්ගේ නමත් එහි සඳහන්ව තිබිණ නම් කදිමය. එහෙත් එහි ඇගේ නම එහි නොවීය. ලක්ෂ්මන් සහ විනෝද් ගේ නම හැර වෙනත් කිසිම නමක් එහි නොවිය.

පසුගිය දවස් කිහිපයෙහිම ඇය හැන්දැවේ නාරාහේන්පිට පාසලට යන්නට පුරුද්දක් කර ගත්තීය. ඇගේ චරිතය නාට්‍යෙය් තිබුණ එකම කාන්තා චරිතයයි. පුහුණුවීම් තිබුනත් නැතත් ඇය විනෝද් සමග කාලය ගත කළාය.

නාට්‍යයට ලොකුම හිසරදය වූයේ නළුවන් ගෙනි. කලින් වේදිකාවේ දැන සිටි නළුවන් කිහිප දෙනෙකුටම ආරාධනා කළත් කිසිවකු හෝ ලාබයට රගපාන්නට කැමැති වූයේ නැත. තම නාට්‍යයට උදව්වට එන්නේමැයි කැට කැඩූ කිසිවක් හෝ විනෝද් සමග නොවීය. සියල්ලටම මුදල් වුවමනා විය. නාට්‍යයට එක් වූ තරමක් පළපුරුදු නළුවා දසයා විය. දසයා සමඟ එකම බෝඩිමේ ලගින්නට ගිය විට විනෝද් ගේ යාළුකම තවත් වැඩි විය.එහි සිටි තවත් සගයන් කිහිප දෙනෙක් රඟපාන්නට නො ආවත් ඔවුන් නාට්‍යයට උදව් කළහ.නැතිනම් එසේ කරන්නට පොරොන්දු වූහ. නාට්‍යයට අලුත් කොල්ලන් සොයා දුන්නේ දසයාය.රඟපාන්නට චාන්ස් සොයාන යන අවස්ථාවල එම උණෙන් පෙලුන කිහිප දෙනෙක්ම දසයා සමග මිතුරුව සිටීම වෙලාවේ හැටියට යහපත් විය. නාට්‍යයේ පුහුණු වීම් වළ දී පැමිණෙන දුක් පැණි රසයැයි වළඳමින් එහි කටයතු කරන්නට කිසිවක් නැත. ඇතැමෙක් අලුත් ටෙලි නාට්‍යක මොකක් හෝ චාන්ස් එකක් පැමිනි විට නාට්‍යයෙන් මග හැර යති.

මේ නිසාවෙන් අලුත් අලුත් නළුවන් දිනපතා සොයන්නට විය. නාට්‍යයට දින වෙන් කර ශාලාව ගත්තේ ද විනෝද්ය.

‘මල්ලි යන වියදම් මට කියපං.ගණං හිලව් ඇතුව’

ලක්ෂ්මන් කට වචනයට කියා පෑම විනෝද් හයියක් කර ගත්තේය. ඔහු හමුවට යන හැම දවසේම රස මසවුළු සමග මත්පැන් බෝතලයක් ද තැබීමට ලක්ෂ්මන් වග බලා ගත්තේය.

‘අපි හම්බ කරන කොට ජීවිතේට යමක් කර ගන්නත් ඕනෑ’

ලක්ෂ්මන් විනෝද්ගේ පිටට .තට්ටුවක් දැම්මේය. තට්ටුවේ සැරට විනෝද්ගේ ඇස් වලට කදුළත් නැංවිණ.

‘පත්තර වලටත් තියන්ඩ ඕනෑ’

දසයා යෝජනාවක් කළේය. විනෝද් එයට එකඟ විය.

හැන්දැවට හැන්දැවට නාට්‍යයක වැඩ කියා ගෙදරින් එළියට යෑම බිනරිට පහසුවක් නොවිණ.එහෙත් අම්මා කැමැති කරවා ගන්නට ඇය සමත් වූවාය. කොහොමත් අඳුර වැටෙන්නට කලියෙන් ගෙදරට එන පොරොන්දුව ඉෂ්ට කරන්නට ඇයට පුළුවණ.

‘අපිට හෝල් එක ලැබෙන්නේ ලබන දහ වැනි දා. අපි ඒකට දැන් ලෑස්ති වෙන්ඩ ඕනෑ’

විනෝද සිය සගයන් අමතා පැවසුවේ ජයග්‍රාහි විලාසයෙනි.

‘මම එඩ්වඩ් අය්යාට කිව්වා අපට ෂෝ දෙක තුනක් විතර ඕගනයිස් කරලා දෙන්ඩ කියලා’

විනෝද් විශ්‍රාම ගිය නාට්‍යය සංවිධායකවරයෙක් ගේ නමක් සඳහන් කළේය.කලක් හොඳ නාට්‍යය කිහිපයකම සංවිධායකවරයා ලෙස කටයුතු කළ එඩ්වඩ් පසුව දේශපාලනයට ද බැස්සේය. ඔහු දැන් සතිඅන්ත පුවත්පතකට විකට කතා තීරුවක් සම්පාදනය කරමින් ජීවත් වෙයි.

ඔහුට එඩ්වඩ් හඳුන්වා දි තිබුණේ බෝඩිමේ සිටි සගයෙකි. එඩ්වඩ් නාට්‍යය සංවිධානයේ ඇති දුෂ්කරතා ද සංවිදායකයන් විසින් ඇති කර ගනු ලබන ගැටළු ගැන ද ප්‍රයෝගික අත්දැකීම් රැසක් ඇසුරෙන් නිර්ලොීභී ව ඉගැන්වූයේය.

‘පෝස්ටරේට කාගෙවත් නම් දැම්මේ නැහැ.

විනෝද් බිනරි ගේ සිත කියන්නාක් මෙන් පැවසුවේය.

‘දැම්ම නැති එක හොඳයි.’

‘මං පත්තර වලට දෙන කොට ඔක්කොම නම් දෙනවා

‘ඇය එයට කිසිත් නොකියා හ්ම් යැයි හඬ නැගුවාය.

‘මොකද බකමූණියක් වගේ හ්ම් කියන්නේ’

ඔහු ඇසුවේය. විනෝද් වාඩි වී සිටියේ පාසල් ගොඩ නැගිල්ලේ කෙටි තාප්පය මතය.

‘මට කොහොමටත් නාට්‍යෙය් දිගටම එන්න වෙන එකක් නැහැ.අපි මුල් ෂෝ ටික කරමු’

බිනරි පැවසුවාය.

‘ඇයි ඒ පාර. ඔයාට ම නේ රඟපාන්න ආසයි කියලා හොයන්න ගියේ’.

‘ඔයා නාට්‍යය හැදුවේ මං හින්දද?’

ඇගේ පැණයෙන් විනෝද් අපහසු වට ලක් විය.

‘නැහැ.ඒ වුනාට ඔයා හොඳට වැඩේ කළා නේ’

දිගින් දිගටම නාට්‍යයට කල් මැරීම තමන්ට එපා වි ඇතැයි කියන්නට බිනරි අකමැති වූවාය. ඇය සිතා සිටියේ එය ඉක්මනින් නිමා වන ඇති බවය. එහෙත් දිගින් දිගටම පුහුනු වීම් වල යෙදෙන්නට ඇය අකමැති වූවාය.

ඒ වුනට මං මුල් නාට්‍ය වල දිගටම ඉන්නවා.’

විනෝද් යමක් කියන්නට සිතා ගත්තද කියන්නට ගියේ නැත.දැනටමත් බිනරි ගෙන් ලැබෙන උපකාර එමටයැයි විනෝද් විශ්වාස කළේය.ගෙදර රස කෑමක් ලැබුණ ද ඇය එය බෙදා ගන්නට අරගෙන එන්නිය. ඇතැම් දවසක කණ්ඩායමට තේ කෝප්ප්යක් ලැබෙන්නේ ඇය අත ඇති සුලු මුදලිනි. බිනරි නැතිව නාට්‍යය ගැන සිතන්නට විනෝද් මැලි වූයේය.

ඔවුනගේ කතා බහ අවසන් වූයේ දසයා එතැනට පැමිණීමෙනි.

‘මැගසින් එකක් ගහ ගත්තොත් ඒකේ ඇඩ් වලින් වියදම කවර් කර ගන්න පුළුවන් කියලා. එඩ්වඩ් අය්යා කිව්වා.මං ලකී අය්යට කිව්වාම එයා ඒක කරනවා කිව්වා. ඒකට අපේ නාට්‍යයේ පින්තූර එහෙම දුන්නා’

විනෝද් දසයාට ඇසෙන්නට පැවසුවේ බිනරි ට අලුත් ආරංචියක් කරමිනි .

‘මිනිහා වියදම් කරන ගාන හොයලා දෙන්න ඕනෑ’

බිනරි ගෙදර ආවේ කිසියම් සතුටකින් සිත පුරවා ගෙනය.එහෙත් එය කුමක්දැයි කියන්නට ඇය නොදත්තාය.එය හිත යටට එබිකම් කර විසඳා ගැන්මට ද ඇය උත්සාහ නොකළාය.

රැයක් එළි වී ගත වන යාමයට අලුත් අලුත් දේ සිදුවන්නට ඇති ඉඩ කඩ බොහොමයකි. විනෝද් බිනරි ගේ නිවහනට පැමිණියේ කඩිනමිනි. ඔහු සමග දසයා ද විය. බිනරි සිටියේ කාමරයේය.

‘අන්න අර ළමයි ඇවිල්ලා’

අම්මා පැවසුවෙන් ඇය එහි ගියාය. ඔවුන් අසුන් ගෙන නොසිටියහ.විනෝද් සිටියේ නොඉවසිල්ලකිනි.දසයා පැත්තකට වී බලා සිටියේ බලාපොරොත්තු තඩ වූ අන්දමිනි.මොකක්හෝ විනාසයක් සිදුව ඇතැයි බිනරි තේරුම් ගත්තාය.

‘මාව ඔක්කොම කෑවා.’

විනෝද් කෑගැවේය. ඔහු ගේ හඩ අඬන්නට ආසන්නය. ඇය දසයා ළඟට ගියාය.ඔහු සිටියේ ඉවත බලා ගෙනය.

‘මොකද වුණේ ? කියපල්ලකෝ’

‘අරූ සල්ලි දෙන්න බෑ කිව්වා’

‘දසයා පැවසුවේය. විනෝද’ සිය අතින් කෙස් අදිමින් සිටියේ නොඉවසිලිමත් හැඟිමකිනි.

‘පෝස්ටරේ දාන්න ඕනැලු. උගේ නම දේශභක්ති ලක්ෂ්මන් කියලා.’

විනෝද් පැවසුව්ය.

‘මං කිව්වා ලක්ෂ්මන් ට.පෝස්ටරේ තාම ප්‍රින්ට් කරලා නෑ. හදන්න පුළුවන් කියලා.ඌ අනං මනං කියවනවා’

‘මොකක්ද ඔය දේශභක්ති කියන්නේ

‘කොහෙන්ද හම්බ වෙච්ච නම්බු නාමයක් ලු. දැන් ඌ පාවිච්චි කරන්නේ එහෙමලු. ඒක නමට කලින් දාන්න ඕන ලු

බිනරි කිසිත් පැවසුවේ නැත.

‘මං කියන්නේ මිනිහා කර අරින්නයි ඔය වැඩේ කළේ’

නිහඩව සිටි දසයා පැවසුවේය.

කර අරින්න නම් මෙච්චර වියදම් කළේ’

බිනරි ඇසුවාය.

‘කවුද වියදම් කළේ ? මිනිහා වියදම් කරනවා කියන පොරොන්දුවට මේ යකා හැමතැනින්ම ණය ගත්තා’

දසයා අත දිගු කළේ විනෝද් දෙසටය.

ලබන සතියේ

මං ඒකව මරනවා