වර්ෂ 2016 ක්වූ  ඔක්තෝම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දා




“සුදු සඳ රැස් එයි නැඟ දැන්” ගීතය මතක නම් ශීලා පීරිස් අමතක විය නොහැකිය
අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්

“සුදු සඳ රැස් එයි නැඟ දැන්” ගීතය මතක නම් ශීලා පීරිස් අමතක විය නොහැකිය

ලංකාවේ මුල්වරට මිලි මීටර් 16 ප්‍රමාණයෙන් කැමරා ගත කළ ‘ගම්බද සුන්දරී’ ප්‍රථම වර්ණ කථානාද චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපැවේ විසි හැවිරිදි තරුණියකි. ඒ 1949 වසරේදීය. ඇගේ නම ශීලා පීරිස්ය. චිත්‍රපටයකට සම්බන්ධවීමට ප්‍රථම ඇය ගායිකාවක් ලෙස ‘කොලොම්බියා’ ග්‍රැමෆෝන් තැටිවලට ගී ගයා ප්‍රකටව සිටියාය. 1946 වසරේ එන්. කේ. කාරියවසම් සමඟ ඇය යුග ගීත දෙකක් ගැයු අතර ඉන් ‘සාර කෙතේ ගොයම් පැසීලා මහිමේ’ ගීතය ඉතාමත් ජනප්‍රිය විය. මේ කාලයේ ජෝර්ජ් ඇස්. විජේවර්ධන මහතා වර්ණයෙන් සිංහල චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට සැලසුම් කරමින් සිටියේය. ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට අලුත් නිළියක් හඳුන්වාදීමට ඔහු සිතුවේය. ‘ගම්බද සුන්දරී’ නම් මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා පමණක් නොව දෙබස් රචනයත් භාරව සිටි එන්. කේ. කාරියවසම්ට එකවිටම තමා සමඟ යුග ගීත ගැයූ සුරූපී ගායිකාව මතකයට ආවේය.

‘ශීලා පිරිස් ප්‍රධාන චරිතයට හොඳයි, අපි ගිහින් අහල බලමු’ යයි කාරියවසම්, විජේවර්ධනට යෝජනා කළේය.

ශීලා චිත්‍රපටයක රඟපෑමට ආරාධනය ලැබුණු මුල් අවස්ථාව මෙය නොවේ. මීට වසර 10 කට එපිට දෙහිවල ඇන්ඩර්සන් පාරේ අළුබෝගහවත්ත පාරේ අංක 09 නිවසේදී මට ඇය මුල්වරට හමු වූ අවස්ථාවේ ඒ කතාව මෙසේ විස්තර කළාය.

‘මාව මුලින්ම චිත්‍රපටයක රඟපෑමට තෝරා ගත්තේ එස්. එම්. නායගම් මහත්මයා. ඔහු 1947 වසරේ ලංකාවේ මුල් කථානාද සිංහල චිත්‍රපටය වූ ‘කඩවුණු පොරොන්දුව‘ නිෂ්පාදනය කරලා ප්‍රදර්ශනය කළාට පස්සේ ‘මගේ දුව‘ කියලා චිත්‍රපටයක් නිපදවීමට සැලසුම් කළා. එහි උප ප්‍රධාන චරිතයට මාවත්, නළු චරිත සඳහා ලැඩී රණසිංහ, ස්ටැන්ලි මල්ලවාරච්චි, ජෝසප් සෙනෙවිරත්නව තෝරගෙන ඉන්දියාවටත් එක්ක ගියා. එහි ප්‍රධාන චරිතයට තෝර ගෙන සිටියේ යාපනයේ ඉපදුණු එදා දකුණු ඉන්දියානු සිනමාවේ ජනප්‍රිය නිළියක් වූ තවමනිදේවි. ‘වන මෝහිනි’ ද්‍රවිඩ චිත්‍රපටයෙත් රඟපැවේ ඇය. ඉන්දියාවේදී නායගම් මහත්තයාගේ මේ චිත්‍රපටය නවතා දැමීමට එහි සිටි කාර්මික පිරිස කුමන්ත්‍රණය කළා. කඩාකප්පල් කළා. මේ නිසා චිත්‍රපටය කරන එක පසෙක තබා අපි ලංකාවට ආවා. ඊට පස්සෙයි ‘ගම්බද සුන්දරී’ට මාව තෝරා ගත්තේ. මට ඒ කාලේ ඒ චිත්‍රපටයට රුපියල් 1000 ක් ලැබුණා. ඒක එදා ලොකු මුදලක්’ ශීලා එදා අතීත කතාව හෙළි කළාය.

‘ගම්බද සුන්දරී’ චිත්‍රපටයේ ඇය සමඟ කිංස්ලි ජයසේකර, වින්සන්ට් පෝල් ද පිරිස්, ඊ. සී. බුලත්සිංහල, ඇලන් පෙරේරා, සුජාතා බුලත්සිංහල, පී. ඕ. ෆොන්සේකා, එච්. ගුණසේකර, හර්බට් පෙරේරා, තිලකා සිරිවර්ධන ආදීන් රඟපෑ අතර ඇයත්, කිංස්ලිත්, වින්සන්ට් ප්‍රධාන චරිත රඟපාමින් ගීත ද ගයා ඇත.

ශීලා චිත්‍රපටයේ කතාව විස්තර කළේ ද එහි අවස්ථාවක් රඟපාමිනි.

‘මම රඟපෑවේ රූපාගේ චරිතය. දිනක් රූපාගේ පියා වූ ධනවත් සේකර මුදලාලි (පී. සී. බුලත්සිංහල) කොළඹ එනවා. කොළඹ දී ශාස්ත්‍රකරුවෙක් මුදලාලිට දුව ගැන අනාවැකියක් කියනවා. ඒ අනාවැකිය ඔහු විශ්වාස නොකොට මහියංගනයේ වන්දනා ගමනක් යනවා. දහවල් කෑම කන අතර රූපත්, තම සොහොයුරිය ස්වර්ණාත් (සුජාතා බුලත්සිංහල) ලස්සන මල් දැක ඒවා නෙළා ගැනීමේ ආසාවෙන් කැලය තුළට පිවිසෙනවා. ස්වර්ණා කෑගසන හඬ ඇසී දෙමාපියන් එතැනට එනවා. රූපා අතුරුදන් වෙලා. දෙමාපියනුත්, ඔවුන් සමඟ ගිය විමල් (කිංස්ලි ජයසේකර) හා සිරිල් (වින්සන්ට් ද පෝල් පීරිස්) තරුණයෝ දෙදෙනා ද මහලු යුවළ කොළඹ පිටත් කර රූපාව සොයනවා. මේ තරුණයෝ රූපා කැලයට ඇදගෙන ගිය වැද්දා (පී. ඕ. ෆොන්සේකා) හා සටන් කොට ඇයව මුදා ගන්නවා. කළගුණ සැලකීමක් වශයෙන් මුදලාලි කලාවට ලැදි තරුණයන් දෙදෙනා සංගීතය ඉගෙනීම සඳහා තමාගේ වියදමින් ඉන්දියාවට යවනවා. ඉගෙනීමෙන් පසු ලංකාවට එන විමල් රූපාට විවාහ යෝජනාවක් ගෙනෙනවා. මුදලාලි එයට අකමැතියි. විමල්ගේ මිතුරා වූ සිරිල් කූට උපක්‍රමයකින් පෙම්වතුන් විවාහ කර දෙනවා. මේ චිත්‍රපටයේ විමල් ලෙස රඟපෑ කිංස්ලි ජයසේකර කොළඹ ආනන්දයේත්, ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ සිටම ගායනයට දක්ෂයි. පසු කලෙක ඔහු ගැයූ ‘මොනවද අම්මේ අකුරු ජාතියක්’ ගීතය ඉතා ජනප්‍රිය වුණා. ඒ වගේම සිරිල් ලෙස රඟපෑ වින්සන්ට් පෝල් ද පීරිස් පසු කාලෙක ‘බයිසිකලේ බයිසිකලේ දුප්පත් අපගේ බයිසිකලේ’, ‘සිරිපාදේ සමනල කන්ද පෙනේ’ යන ගීතවලින් ජනප්‍රිය වුණා.’

ශීලා, කිංස්ලි හා වින්සන්ට් ප්‍රධාන චරිත රඟපෑ ‘ගම්බද සුන්දරී’ 1950 පෙබරවාරි 17 වෙනිදා තිරගත වූයේ එවකට වෙළඳ ඇමතිව සිටි හෙන්රි අමරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි.

ශීලා ශාන්ති පිරිස් 1929 සැප්තැම්බර් 25 වෙනිදා බොරැල්ලේ උපත ලැබුවාය. සියලු සාන්තුවරයන්ගේ බාලිකා විද්‍යාලයේ ඉගෙනීම ලබා ඉංග්‍රිසි හා සිංහල මාධ්‍යයෙන් ජ්‍යෙෂ්ඨය සමත් වූ ඇය සහෝදර සහෝදරියන් සය දෙනකුගෙන් යුත් බෞද්ධ පවුලක දෙවැන්නිය විය. ශීලා ගුවන් විදුලියේ ‘ළමා තීරයෙන්’ කලා ලොවට පිවිසි ගායිකාවකි. බාහිර ගුවන් විදුලි නාට්‍යයක රඟපානු ශ්‍රවණය කළ පී. වැලිකල විසින් ඇය ගුවන් විදුලි රඟමඬලට තෝරා ගත්තේය. ජේ. එච්. ජයවර්ධන ලියූ ‘ඉන්ස්පැක්ටර් පෙරේරා’ නම් රහස් පරීක්ෂක නාට්‍ය මාලාවේ රඟපෑ ශීලා රඟපෑ චරිත නිරූපණය 50 දශකයේ ජනප්‍රිය වී ඇත.

1952 නිෂ්පාදනයට සූදානම් වූ ‘සුජාතා’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට තෝරා ගෙන සිටියේ අසෝක මාලා ද සිල්වා. ඇයව තමයි ශාන්තිකුමාර් සෙනෙවිරත්නගේ ‘අසෝක මාලා’ චිත්‍රපටයටත් තෝරා ගෙන හිටියේ. මාව තෝර ගත්තේ ‘සුජාතා’ චිත්‍රපටයේ සුජාතාගේ නැගණිය ප්‍රේමාගේ චරිතයට. මට ඒ සඳහා රු: 1250 ක් දෙන්නම් කියලා ටී. සෝමසේකරන් නිෂ්පාදක විධායකවරයා කිව්වා. මම රු: 1500 ක් ඉල්ලුවා. මේ අවස්ථාවේ මගේ අම්මාව තනිකර ඉන්දියාවට යාමට බැරිකමක් තිබූ නිසා නොයන්නට හිතලයි රු: 250 ක් වැඩිපුර ඉල්ලුවේ. ඔය අතරේ විකට නළුවෙකු වූ බර්ට්‍රම් ප්‍රනාන්දු සේමසේකරන්ට කියලා තියෙනවා ‘එයාට බැරි නං මොකද කරන්නේ, අපි යමු මාරවිලට. එහෙ ඉන්නවා ෆ්ලොරිඩා ජයලත් කියලා ලස්සන කෙල්ලක්. අපි එයාවවත් බලමු.’ කියලා. මේ චිත්‍රපටයේ නිෂ්පාදක කේ. ගුණරත්නම්. අධ්‍යක්ෂණය කරන්න හිටියේ සිරිල් පී.අබේරත්න. ඔහු ගුණරත්නම් හා සෝමසේකරන් එක්ක රණ්ඩු කරලා ඉවත් වුණේ නිළියන්ගේ ප්‍රශ්නෙ නිසා. පස්සෙ අසෝකමාලා වෙනුවට ෆ්ලොරිඩාත්, මා වෙනුවට ශාන්ති ලේඛාත් තෝරාගෙන සෝමසේකරන්ම චිත්‍රපටයේ කටයුතු ඉදිරියට ගෙන ගියා. මාව ‘සුජාතාට’ යෝජනා කළෙත් අබේරත්න. ශීලා එදා සිනමාවේ සැඟ වී ඇති තැනක් අපට විස්තර කළාය.

ශීලා මේ වන විට සිරිල් පී. අබේරත්නගේ ‘සංසාර’, ලැඩී රණසිංහගේ ‘සුන්දර බිරිඳ’, ජේ. ඩී. ඒ. පෙරේරාගේ ‘වෙස්සන්තර’, ‘ශ්‍රී වික්‍රම’ ඇතුළු ‘මුදලාලිගෙ පෙරළිය’, ‘විහාර මහා දේවි’, ‘අන්ධ ගායකයා’ යන නාට්‍යවල රඟපෑවාය.

ගායිකාවක් ලෙස ශීලා පීරිස් බැබළෙන්නට වූයේ මේ ගීතයෙනි.

‘සුදු සඳ රැස්

ඒය නැඟ දැන්

පායා මේ අහසේ

රෑයෙ සොබාවන්

මාලවේ ජලේ හී - පාවී රාශි රාශි

දිලිසි ප්‍රභාදී - පානා මේ සොභා ගී

කුකමුදු කුසුම් ඒ - පිබිදි සිනාසී

මනහරි සෝභා සිරි දේය සඳකැන්

පේනා කඳු වැටි සවිමි

ධාරා සඳ රේඛා දි

පාලා විනෝදෙ - හැර දාලා සෝකේ

එන්නේ මේ නැඟි නැඟි අහසේ වළාවෝ

ප්‍රීති පාලා - ඒවි නැඟී සුදු රැස්

දිලි දිලි තරු වැල් තරු වැල්

ඒවි නැඟි පායා දැන් පායා දැන්

ආලෝකේ දසතේ විහිදා පළා සේ

අහස් වළාවෝ සැම මඳ පවනේ

ආවා දැන් සුනිමල් සුද සුදු සඳකැන් - පාය මේ අහසේ

මේ ගීතය ගැන ශීලා පීරිස්ට ඇති මතකයයි මේ.

‘මම 1952 වසරේ සිරිල් පී. අබේරත්නගේ ‘සංසාර’ නාට්‍යයේ රඟපාමින් සිටියා. ඩොමී ජයවර්ධන, ජෙමිනි කාන්තා, නෝනා සුබෙයිදා, ක්‍රිස්ටි ද මැල් හා මම නාට්‍යයේ පුහුණු වෙමින් හිටියේ. කිසිවෙක් අබේරත්නට හින්දි ගී තැටි වගයක් ගෙනත් දුන්නා. පුහුණුවීම ඉවර වෙලා අපි හින්දි ගීත තැටියක් ඇහැව්වා. අපි මේ ගීත ආසාවෙන් අසා සිටියා. ඒ රැකෝඩස් කිහිපයක් මට ගෙදර ගිහින් අහන්න ලැබුණා. ගෙදර ගිහින් අහපු එක ගීතයකට මගේ හිත ගියා. ‘ඩක ඩක ඩක් ජීය කරේ ඩක්’ කියන ගීතය ඒ. මට එවලේම හිතුණා මේ ගීතයට සිංහල වචන දාලා කියන්න. ගීත රචක විල්ප්‍රඩ් සිල්වා මගේ මිත්‍රයෙක්. මම මේ ගැන ඔහුට කිව්වා. ඔහු එකපාරයි ඇහැව්වේ. ‘සුදු සඳ රැස්’ කියලා එකපාරට වචන දැම්මා. බී. එස්. පෙරේරා සංගීතය මුසු කළා.’

ශීලා පීරිස් ඉන් පසු චිත්‍රපට කීපයක රඟපෑවාය. බණ්ඩා නගරයට පැමිණීම, රම්‍යලතා, සොහොයුරෝ, සංසාරේ, පිරිමියෙක් නිසා, වනමල චිත්‍රපට. සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ ‘බක තපස්’, හෙන්රි ජයසේනගේ ‘වැදත්කම’, මුදලිනායක සෝමරත්නගේ ‘සංවත්සරය’, ‘දරු දුක’, ආරියදාස පීරිස්ගේ ‘අන්ධ ගායකයා’, පී. ද ඇස්. කුලරත්නගේ 1950 ‘පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා’, ප්‍රේමකුමාර්ගේ ‘සැළලිහිණි සන්දේශය’ යන නාට්‍යවල ද ඇය රඟපා ඇත. ලක්ස් සබන් ප්‍රචාරක දැන්වීම සඳහා පෙනී සිටි ප්‍රථම නිළිය ශීලාය. එය ජාත්‍යන්තර ලීවර්ස් සමාගමෙන් විදේශීය ඡායාරූප ශිල්පීන් මෙරටට පැමිණ රූගත කරනලද දැන්විමකි. එයට පෙනී සිටි අනෙක් ලාංකික නිළියන් වූයේ රීටා රත්නායක හා ක්ලැරිස් ද සිල්වාය.

ඇය කියූ පරිදි එදා ‘වෙස්සන්තර’ නාට්‍යය සඳහා රුක්මණී දේවි හා එඩී ජයමාන්නට රුපියල් 300 බැගින් ද, තමාට රුපියල් 200 ක් බව ද සඳහන් කළේ ඒ මුදලේ වටිනාකම ගැන උදම් අනිමිනි.

ශීලාගේ සැමියා ඩග්ලස් පෙරේරා ද කලාකරුවෙකි. කොළඹ ආනන්දයේ ක්‍රිකට් කණ්ඩායමේ විකට් රකින්නා ලෙස ද එකල ප්‍රකටව සිටි ඔහු අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සේවය කළ ඔහු ගායකයකු ද විය. සුසිල් ප්‍රේමරත්නයන්ගේ සමීප මිතුරෙකු වූ ඔහු 1950 වසරේ ගුවන් විදුලි වෙළඳ අංශයට ගිය විට ගායකුවීමට වරම් ලැබුණේ ආරියදාස පීරිස්ගේ මාර්ගයෙනි. එදා ඔහුට ලතා සමඟ යුග ගීත දෙකක්ම ගැයීමට අවස්ථාව ලැබිණ. ඩග්ලස්ට ශීලා හමු වන්නේ සුදාස් මාස්කෝරලගේ වේදිකා නාට්‍යයක රඟපෑමට ගිය අවස්ථාවකය. මේ හමුව ආදරයකින් අරඹා 1954 දෙසැම්බර් 25 වෙනිදා විවාහයකින් කෙළවර විය . ඩග්ලස් හා ශීලා යුවළගේ පුතුන් දෙදෙනා වූ සුමේධ පෙරේරා හා දුමින්ද පෙරේරා පියා මෙන්ම ආනන්දේ ක්‍රිකට් කණ්ඩායමට ද පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද ක්‍රීඩා කළහ. සුමේධ හේලීස් ආයතනයේ සේවය කරන අතර දුමින්ද ව්‍යාපාරික කටයුතුවල නියැළෙති. ශීලා පිරිස් 2014 ඔක්තෝබර් 19 වෙනිදා (අදට) මියගොස් වසර තුනකි.