වර්ෂ 2016 ක්වූ  ඔක්තෝම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




10යි 10දා ITN FM වැඩ 10ක

10යි 10දා ITN FM වැඩ 10ක

වර්තමානයේ හතු පිපෙන්නා සේ බිහිවන ගුවන්විදුලි නාලිකා අතර අයි.ටී.එන්. එෆ්.එම්. ගුවන්විදුලියට ඇත්තේ දිගු ඉතිහාසයකි. අර්ථවත් රේඩියෝ කලාවක් ශ්‍රාවකයන්ට රැගෙන පැමිණීමේ ලා මහත් වෙහෙසක් දැරූ ITN FM මේ මාසයේ 10 වැනිදාට වැඩසටහන් දහයක් අලුත් කරමින් අලුත් වෙනසකට මුල පුරයි. ඒ අලුත් වෙනස පිළිබඳ ‘සරසවිය’ සමඟ කතාබහ කිරීමට සම්බන්ධ වන්නේ එහි ක්‍රියාකාරී අධ්‍යක්ෂ විමල් කැටිපෙආරච්චි ය.

* ITN F.M. නාලිකාව අලුත් වන්නේ කවදා පටන්ද?

නිතරම ITN FM ගුවන්විදුලිය සිතන්නේ අලුත් දේවල් ගැනයි. ඒ නාලිකාව අලුත් වන ලෝකය ගැන සිතන ගුවන්විදුලි නාලිකාවක්. ITN FM කියන්නේ ම ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ඉතිහාසයේ ම අලුත් දේවල් සොයාගෙන යන්න ගිය ගමනක එක් ප්‍රතිඵලදායක අත්දැකීමක්. ඒ ගමනේදි අප උත්සාහ කරන්නේ සභාපති සමන් අතාවුද හෙට්ටි මහතාගේ උපදේශකත්වය හා මඟ පෙන්වීමත්, ප්‍රධාන විධායක නිලධාරී චන්දන තිලකරත්න මහතාගේ අත්දැකීම් බහුල ජනමාධ්‍ය ජීවිතයේ පිටිවහලක් කරගෙන මේ වනවිට ITN FM ගුවන්විදුලිය තිබෙන ස්ථානයෙන් අඩියක් ඉදිරියට අරගෙන යන්නයි. අයි.ටී.එන්. වෙනස් වීමේ, අලුත් වීමේ ප්‍රථම පියවරක් ලෙසයි ITN FM නාලිකාව 93.5 හා 93.7න් ඔබට අසන්නට ලැබෙන්නේ. ඒ අනුව ITN FM නාලිකාවේ වැඩසටහන් විශේෂ වෙනස්කම් දහයක් දහවැනි මාසයේ දහවැනිදා පටන් ශ්‍රාවකයන්ට අසන්නට ලැබේවි. ඒ වගේ ම අප ස්වාධීන රූපවාහිනියේත් වෙනස්කම් ගණනාවක් කරගෙන යනවා. ඒ කටයුතුත් ඉදිරියේදි ඔබට දැක ගැනීමට ලැබේවි.

* මෙතෙක් පැමිණි ගමනට වඩා ITN FM නාලිකාවේ සිදුවන ගුණාත්මක වෙනස්කම් මොනවාද?

ගුණාත්මක වෙනස කියන දේ සාපේක්ෂයි. මීට පෙර පැවැති වැඩසටහන් ගුණාත්මක නොවෙයි කියනවා නොවෙයි. එහෙත් නව තත්ත්වයන්ට ගැළපෙන්න වෙනස් විය යුත්තේ කොහොමද? සමහර දේවල් හොඳම දේවල් වුණත් එක දිගට විකාශය වනවිට ඒකාකාරියි. ඒ වගේ දේවල් අපට වෙනස් කිරීමට සිදුවෙනවා. ඒ නිසා ගුණාත්මක නැති දෙයක් අලුතෙන් ගුණාත්මක කරනවාට වඩා දැනට ගුණාත්මකව තිබෙන දේවල් වඩාත් ගුණාත්මක කිරීමයි අපේ අභිප්‍රාය වන්නේ. විශේෂයෙන් ම අලුයම වැඩසටහනේ පටන් රාත්‍රි වැඩසටහන දක්වා දෛනික වැඩසටහන් පෙළ ගැස්ම සැහැල්ලු, සුන්දර සහ ආර්ථාන්විතව වෙනසකට ගෙන යා හැක්කේ කොහොමද කියලයි අප මේ කල්පනා කරන්නේ. මිනිස්සු සිතන, පතන විදිය හැමදාම එකම ස්ථානයක, එකම විදියට නොවෙයි තිබෙන්නේ. එය වෙනස් වෙනවා. ඒ ඔබේ හදගැස්මයි අපේ පෙළගැස්ම වන්නේ. ඔබේ හදගැස්මට සමාන්තරව අපේ පෙළගැස්ම වෙනස් කර ගැනීමට අප සූදානම්. ඒ හදගැස්ම වෙනස්වන පරිමාණයට සාපේක්ෂව අපේ පෙළගැස්ම වෙනස් කර ගැනීමටයි ITN FM නාලිකාව වන අප මේ සූදානම් වන්නේ.

* ඔබ මේ සූදානම් වන්නේ අනෙක් ගුවන්විදුලි නාලිකාවලට තරගයක් දෙන්නද?

ජනමාධ්‍ය අතර තරගය යවන හා පිටිය තරගවලට සමාන කිරීමට අපට බැහැ. ඒ අර ඉලක්කයට දුවන්න කියලා දෙන තරගයක් නොවන නිසයි අප එලෙස පවසන්නේ. සියලුම නාලිකා තම තමන්ගේ ධාවන පථවල දුවනවා. ඒ ඒ ධාවන පථවල වෙනස්කම් තිබෙනවා. ඒ නිසා අප ඔක්කොම එකම ධාවන පථයක, එකම ඉලක්කයකට දුවනවා නම් තමයි තරගයක් තිබෙන්නේ. අප දුවන්නේ අපේ මාවතකයි. වෙනත් නාලිකාවක් ඔවුන්ගේ මාවතක දුවනවා. එක ළඟ දුවන, එකම මාවතේ දුවන අය අතර තරගය නිරායාසයෙන් ම ඇති වනවාත් විය හැකියි. එය නරක නැහැ. තරගය කියන දෙයට අප සංකල්පීය වශයෙන් විරුද්ධ නැහැ. එහෙම තරගයක් ඇති වෙනවා නම් තමන්ගේ ධාවනයට උත්පේ‍්‍රරකයක් වේවි. තරගකරුවකු අප ළඟින් දුවනවා නම් එය අපේ ධාවනයට උත්ප්‍රේරකයක් වේවි. එහෙම නැතිව අනෙක් ඒවා අභිභවා යන්න හෝ ඔවුන් සමඟ පසමිතුරු තරගයක් පැවැත්වීම නොවෙයි අපේ අභිලාසය වන්නේ. එනම් අපේ මාවතේ ශ්‍රාවකයන් සමඟ නිවැරැදිව ගමන් කිරීමයි. ඔවුන්ගේ රස වින්දන මට්ටමත් අරගෙන ඉදිරියට දුවන්නේ කොහොමද කියන අභියෝගයයි අපට තිබෙන්නේ. අප ළඟ තිබෙන දේවල් අතහැර දමා රෙදි උනාගෙන ඉදිරියට දුවනවද? එහෙම නැතිනම් අප සතුව තිබෙන හොඳ දේ අරගෙන ඉදිරියට දුවනවාද යන අභියෝගයයි අපට තිබෙන්නේ. ඒ නිසා තරගය තිබෙන්නේ අපට අප සමඟමයි. අභියෝගය තිබෙන්නේ අපට අප සමඟමයි. ITN FM නාලිකාව ශ්‍රවණය කරන ශ්‍රාවකයන්වත් අරගෙන ඉදිරියට දුවන අභියෝගය සහ තරගය හැරෙන්නට අපට වෙනත් තරගයක් ඇත්තේ නැහැ.

* දෛනිකව විකාශය වන වැඩසටහන්වලදී සිදුවන වෙනස්කම්වලදී මොනවගේ වෙනස්කම්වලට ITN FM නාලිකාව ලක්වන්නේද ?

සතියේ දිනවල වැඩසටහන් ගත්තොත් සියලුම නාලිකා අලුයම මූලිකත්වය දෙන්නේ ආගමික වැඩසටහන්වලටයි. එහිදි අප විමසා බලන්නේ හුදු ආගමික භක්තිවන්තයකු නිර්මාණය කරනවාට වඩා සියලුම ආගම්, දර්ශන තුලනාත්මකව දකින විවෘත මනුෂ්‍යයකු නිර්මාණය කිරීමයි. එය කළ යුතු වැඩක් ලෙසයි අප දකින්නේ. මේ යුගයේ අවශ්‍යම කාරණයක් වූ එය මඟින් තමන්ගේ ජන වර්ගයට ගෞරව කරමින් අනෙක් ජන වර්ගවලට, ආගම්වලට කොහොමද ගරු කරන්නේ, ඒ නිහතමානී විවෘත බව නිර්මාණය කරන්නේ කියන කාරණය මතයි අප අලුයම වැඩසටහන් පෙළ ගස්වන්නේ. ඒ උදෑසන විකාශය වන ‘අලුත් උදෑසන’ වැඩසටහන මෙහෙයවීමට අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ ජනප්‍රිය නිවේදක නාරද බක්මීවැව අප සමඟ සිටිනවා. නාරද, සාරා කියන නිවේදක දෙපළ ඒ වැඩසටහන මෙහෙයවනවා. ‘අලුත් උදෑසන’ වැඩසටහනේ තිබෙන විශේෂත්වය වන්නේ මෙහිදි හඳුන්වා ‍දෙන අලුත් සංකල්පයයි. එය ලෝකයට අලුත් දෙයක් නොවෙයි. ලෝකයේ සන්නිවේදන ක්ෂේත්‍රයේ ඉදිරියට පැමිණි මේ සංකල්පය ඉන්ෆොටේට්මන්ට් කියන කාරණයයි. තොරතුරු හා ආස්වාදය එකට ගළපා ශ්‍රාවකයන්ට ලබාදෙන්නේ කොහොමද කියන කාරණයයි එහිදි සිදුවන්නේ. ඉන් අදහස් කරන්නේ කුණු මොනවා හරි අවුස්සා ශ්‍රාවකයන්ට ත්‍රිල් දෙනවා කියන කාරණය නොවෙයි. ඊට එහා ගිය තොරතුරුත් එක්ක ආස්වාදය කොහොමද මුහු කරන්නේ කියන කාරණයයි සලකා බැලෙන්නේ. ඒ සඳහා අප ‘තතු මිහිර’ නමින් අලුත් වචනයක් හඳුන්වා දෙනවා.

* එලෙස අලුයම වැඩසටහන් වෙනස්කම්වලට ලක්වෙද්දී සම්ප්‍රදායික අරමුණුවලින් වෙනස් වුණු වැඩසටහන් නිර්මාණය වී තිබේද?

‘වර්ණ’ වැඩසටහන රික් වෙස්ට් ෂෝ එකක්. එහිදි ඕනෑ ම කෙනෙකුට ගීත ඉල්ලීමට හැකියි. මෙවැනි වැඩසටහනක් විකාශය කිරීමේදී බොහෝ නාලිකාවල ඇසෙන්නේ ඔයා ඉල්ලන ඕනෑ ම සින්දුවක් අපි දෙනවා කියන වචන පෙළයි. ඒත් අප එතැනින් ඉදිරියට ගොස් ශ්‍රාවකයන්ට යෝජනා කරන්නේ රහ සින්දු ඉල්ලන්න යනුයි. පළමුවරට ශ්‍රාවකයන්ගේ රස වින්දන මට්ටම ඉහළට අරගෙන ගමනක් යමිනුයි ඒ කටයුත්ත සිදුවන්නේ. ඊළඟ වැඩසටහන වූ ‘සිහින සාගරය’ මඟින් අපේ රටේ පළමු වරට රැකියා වෙළෙඳ පොළට යම් අදහසක් ගෙන එනවා. රැකියා වියුක්තිකයන් ගැන හා රැකියා වියුක්තිය සමාජයට ප්‍රශ්නයක් වී ඇති කාලයක රැකියා වියුක්තිකයන් තමන්ගේ රැකියාවක අවශ්‍යතාව කියනවා. අනෙක් පැත්තෙන් රැකියාවක් දිය හැකි ආයතනයක් තිබෙනවා නම් ඔවුන් ඒ ගැන කියනවා. මේ නිසා ඒ ඔස්සේ ගුවන්විදුලි වැඩසටහන්වලින් නිතරම ගීත ඇසෙනවාට වඩා එතැනින් එහාට ගිහින් යම් ජාතික මෙහෙවරකටත් දායක වීමට ITN FM නාලිකාවට ඉඩ ලැබෙනවා.

* නූතනයේ බොහෝ නිවේදක - නිවේදිකාවන්ගේ නිවේදන කටයුතුවලට චෝදනා එල්ල වීම බහුල කාරණයක්. ඒ කාරණයට පිළිතුරක් ලබාදීමටත් යම් අදහසක් ඔබගේ නාලිකාව සතුද?

සවස 2.00 සිට 4.00 දක්වා විකාශය වන්නේ ‘හෙවණට එන්න’ වැඩසටහනයි. එහිදී කාන්තා වැඩසටහන්වල තිබෙන සීමාවලින්, සොඳුරු බවේ සීමාවලින් ටිකක් එහාට යන්නටයි අප බලාපොරොත්තු වන්නේ. එහිදි අපේ රටේ ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක් හා නූතන නිවේදිකාවකගේ එකතුවකින් යුතුව වැඩසටහනක් ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියන සෞන්දර්ය පර්යේෂණය ඇති කිරීමට අප සූදානම්. සමහරු නූතන නිවේදිකාවන්ට බණින්නේ ඔවුන් කිචිබිචි ගානවා යැයි පවසමින්. සමහරු පවසන්නේ එය අද ට්‍රෙන්ඩ් එක යනුවෙන්. ඒත් සමහරු පවසන්නේ ඒවා අද වුවමනා නැහැ, බොහොම පෙර නිවේදිකාවන් සංයමයෙන් කළ කතාබහයි ‍වටින්නේ යනුවෙන්. මෙහිදි අප උත්සාහ කරන්නේ කිචිබිචි සංස්කෘතියට එහා ගිය දැනුවත්, අයි.ටී.එන් නිවේදක - නිවේදිකාවන්ට තිබෙන හෘද්‍යාංගම භාෂා විලාසය සමඟින් ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක හා නූතනයේ නිවේදිකාවකගේ එකමුතුවෙන් වැඩසටහනක් කිරීමටයි.

* ‘අයි.ටී.එන් හැන්දෑව’ වැඩසටහනේ තේමා පාඨය වන්නේ හෑල්ලු නොවී සැහැල්ලු වෙන්නයි. හෑල්ලු නොවී සැහැල්ලු විය හැකිද?

අපේ රටේ බොහෝ සැහැල්ලු වැඩසටහන් කරන්න ගිහින් හෑල්ලු වීමයි සිදුවන්නේ. විහිළු කරන්න ගිහින් විහිළුව මොකක්ද? මඩ මොකක්ද? අපහාසය මොකක්ද? සොයා ගැනීමට නොහැකි කෙළවරකටයි තල්ලු වන්නේ. එහෙම නොවන වැඩසටහනකුයි ‘අයි.ටී.එන් හැන්දෑව’ වන්නේ. හෑල්ලු නොවී එහෙම නොවන ගුවන්විදුලි පර්යේෂණයක් කරන්නයි අප මේ සියලු ම වැඩසටහන්වලින් සූදානම් වන්නේ.

* ‘සික්ස් එයිට්’ වැඩසටහන වේග රිද්ම ගීත ඇතුළත් වැඩසටහනක්?

‘සික්ස් එයිට්’ වැඩසටහන කෙරෙන්නේ සික්ස් එයිට් රිද්මයටයි. සික්ස් එයිට් කිව්වාට පසුව බොහෝ අය සිතන්නේ වේග රිද්ම ගීත වාදනය කරන බවයි. උදාහරණයක් විදියට වික්ටර් රත්නායක ගයන ‘මල් පොකුරු පොකුරු’, සනත් නන්දසිරි ගයන ‘එකයායක මල් පීදුන බිම්තීරේ’ ආදී ගීත ගත්තොත් ඒවා සික් එයිට් රිද්මයට ගැයෙන ගීතයි. අප වේග රිද්ම ගීත කියා ශ්‍රවණය කරන්නේ ආවේග රිද්ම ගීතයි. ඒත් අප විකාශය කරන්නේ ආවේග රිද්ම ගීත නොව වේග රිද්ම ගීතයි. දවස තිස්සේ වෙහෙස වුණු සිත් සුවපත් කරන ගීත අපේ රටේ අනන්ත අප්‍රමාණ තිබෙනවා. අන්න එතැනයි අප ස්පර්ශ කරන්නේ. අහන් ඉන්න පුළුවන් සිතට දැනෙන සික්ස් එයිට් සම්බන්ධයෙන් තිබෙන අව භාවිත කළ අර්ථය ඇත්ත අර්ථයකට ගෙනෙන්න අප මේ දෛනික වැඩසටහනින් උත්සාහ කරනවා.

* ඔබගේ නාළිකාව නොනිමි චාරිකා හා ආදර සුළඟ වැඩසටහන් ඔස්සේ ලබාදෙන්නේ වෙනස්ම විදියේ හැඩයක්?

‘නොනිමි චාරිකා’ විකාශය වන්නේ 8 – 10 දක්වා කාලපරාසයයි. එහිදි නවකතාවක්, චිත්‍රපටයක්, පරිවර්තනයක් ආදී නිර්මාණයක් අරගෙන කරන සාකච්ඡාවයි. එහිදි අප පැරැණි හෝ නව නිර්මාණයක් සාරාංශ ගතකර ශ්‍රාවකයන් සමඟ බෙදාහදා ගැනීමයි සිදුවන්නේ. ‘ආදර සුළඟ’ කියන්නේ කලිනුත් තිබුණු වැඩසටහනක්. එහිදි ආදරය කියද්දි යෞවුන් ප්‍රේමය මූලික වශයෙන් කතා කරන, ලෝකයේම මිනිස්සු ආදරය කරන්න කැමැති මිනිස්සුන්ගේ ආදරයේ නවමානයක් රැගෙන එන්නටයි අප මෙහිදි උත්සාහ කරන්නේ. මිනිසුන්ගේ ආදරය කියන්නේ පුළුල් කාරණයක්. දරුවන් මව්පියන් අතර තිබෙන ආදරය, සැමියා හා බිරිය අතර, දරුවන් හා පියා අතර තිබෙන ආදරය ආදී ලෙස එහි අපට අනන්ත අප්‍රමාණ මානවලට යා හැකියි. ඒවා මේ වැඩසටහනේ ස්පර්ශ කරන්නේ කොහොමද කියලයි අප කල්පනා කරන්නේ. ඒ ආකාරයට මේ වැඩසටහන් ඇතුලුව තවත් වෙනස්කම් කිහිපයකින් යුතුව නිර්මාණය වුණු වැඩසටහන් කිහිපයක් සමඟ සති අන්තවල වැඩසටහන්වලත් යම් වෙනස්කම් සහිතවයි වඩසටහන් ඉදිරිපත් වෙන්නේ. දහය කියන සංඛ්‍යාව රටට ප්‍රක්ෂේපණය කිරීමට යොදා ගත්තත් දහයක් නොවෙයි අවශ්‍ය නම් වෙනස් වීම් දහසක් වුණත් කිරීමට අප ඉන්නේ සූදානම්වයි.