වර්ෂ 2016 ක්වූ  ඔක්තෝම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




කොළඹ දුරයි-යාපනය ළඟයි

කොළඹ දුරයි-යාපනය ළඟයි

පසුගිය දවසක අප යාපනයේ සංචාරයක යෙදුණේ එහි පැවැත්වුන අන්තර්ජාතික සිනමා උලෙළ දැක බලා ගන්නටය.යාපන සිනමා උලෙළ මෙවර පවත්වන ලද්දේ තුන් වැනි වතාවටය.අන්තර්ජාතික සිනමා උලෙළක් මෙරට පැවැත්වීමේ අවශ්‍යතාව සරසවිය මගින් පෙන්වා දෙන ලද්දේ අද ඊයේ නොවේ. අන්තර් ජාතික සිනමා උලෙළක් සංවිධානය කිරීම පහසු කටයුත්තක්ද නොවේ.ඒ සඳහා අවංක කැපවීමක් අත්‍යවශ්‍ය වේ. අපට මෙවර යාපනය උලෙළට සහභාගි වන්නට ලැබුණේ එහි අවසන් දින දෙකෙහිදී පමණය. එබැවින් එහි තිරගත කරන ලද සිනමා කෘතින් පිළිබඳ පූර්ණ විස්තරයක් ගෙන එන්නට නොහැකිය.සිනමා උලෙලේ දී ආචාර්ය ධර්මසේන පතිරාජයන්ට යාවජීව සම්මානය හිමි වීම මහත් හැඟුම්බර අවස්ථාවක් විය.

උලෙළ අතරතුර මට නරඹන්නට ලැබුනේ චිත්‍රපට හතරක් පමණී. ඒ සංජීව පුෂ්පකුමාර ගේ දැවෙන විහඟුන් සුරංග උඩුගම්පල ගේ පුතෙකුට උලළේ ප්‍රධාන ආරාධිතයා වන ඉන්දියානු සිනමාකරු රාම් විසින් නිර්මාණය කරන ලද තාරාමනී සහ තරගකාරි අංශය නියෝජනය කළ මලයාලම් චිත්‍රපටයක් වන මෑන් හෝල් නම් චිත්‍රපටයයි. එය තරුණ සිනමාකාරියක වන විදූ වින්සන්ට් ගේ චිත්‍රපටයකි.උලළේ හොඳම චිත්‍රපටය ලෙස සම්මාන දිනූ අනන්‍යා කසරවල්ලිගේ හරිකතා ප්‍රසංග නරඹන්නට ලැබුණේ පසුව කොළඹදීය. අනන්‍යා විශිෂ්ට කන්නඩ සිනමාකරු ගිරිෂ් කසරවල්ලිගේ දියනියයි. මෙවර යාපනය උලෙළේ තරගකාරි අංශය වෙන්ව තිබුණේ සිනමාකරුවන්ගේ මුල්ම චිත්‍රපටය සඳහාය.කෙසේ වෙතත් සිනමා උලෙළකට චිත්‍රපට ඇතුළත් වනුයේ වාරණයකින් තොරවය. එසේ තිබියදී සංජීව පුෂ්පකුමාර සිය චිත්‍රපටයේ දර්ශණ ස්වයං වාරණයට ලක් කර ඉදිරිපත් කිරීම අපගේ විමතියට හේතු වෙයි. දේශිය වශයෙන් ස්වයං වාරණයක් යම් සිනමාකරුවකුට තම කෘතිය අරභයා කළ හැකි නම් එයම ජාත්‍යන්තර වශයෙන් ඉදිරිපත් කළ නොහැක්කේ මන්දැයි යන සාධාරණ පැණය අපට නැගෙන්නකි.

සිනමා උලෙළ සඳහා කොළඹින් සහභාගි වූ සිනමා මාධ්‍ය පිරිසට ඇතුළත් වූයේ මා සමග ප්‍රවීණ සිනමා විචාරකයන් වන ගුණසිරි සිල්වා සහ ප්‍රියාන් ආර්.විජයබණ්ඩාර ය. මෙවර අපේ යාපන සවාරිය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කර තිබූ ආකාරය අතිශය ප්‍රශංසනීය බව ද කිව යුතුය. හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කළන්සූරිය ගේ උපදෙස් පරිදි මේ සංචාරය සංවිධානය කර තිබුණේ රජයේ චිත්‍රපට අංශයේ අධ්‍යක්ෂ ප්‍රවීණ කැමරා ශිල්පී අශෝක ලාල් සිගේරා විසිනි. වාර්තා චිත්‍රපට මෙන්ම ටෙලිනට්‍ය රාශියක ද ගාමණී චිත්‍රපටයේ ද කැමරාව මෙහෙය වූ සිගේරා කෘතහස්ත සිනමා කැමරා ශිල්පියෙකි. එමෙන්ම මේ කටයුත්ත ඔහු වෙනුවෙන් සම්බන්ධීකරණය කරන ලද්දේ රජයේ චිත්‍රපට අංශයේ නිෂ්පාදකවරයකු වන සුගත් බණ්ඩාරය. සිනමාව පිළිබද ඉතා උනන්දුවෙන් අධ්‍යයනයෙහි නිරත සුගත් කැළණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථියෙකි. ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ ස්වරූප චිත්‍රපටයේ ද සහාය අධ්‍යක්ෂවරයකු වන ඔහු රජයේ චිත්‍රපට අංශය මගින් නිර්මාණය කරන ලද චිත්‍රපට රාශියක නිෂ්පාදන අංශයේ බර කරට ගත් අයුරු මා සිහිපත් කරන්නේ ආශ්වාදයෙනි. කෙසේ හෝ වේවා යාපනය උලෙළ පිළිබඳ ලියද්දී එම සටහන ලියන ලද්දේ කෘතවේදී සටහනක් හැටියටය.

යාපනය සිනමා උලෙළේ බර කරට ගෙන තිබුණේ ප්‍රවීණ සිනමා විචාරිකාවක වාර්තා සිනමාකාරියක වන අනෝමා රාජකරුණාය. ඇයගේ කැපවීම නොවන්නට එතරම් සිනමා කෘති රැසක් ජාත්‍යන්තර වශයෙන් එක්තැන් කර ගන්නට නොහැකිව තිබිණ. එබැවින් ඇයට අපගේ ප්‍රණාමය හිමි විය යුතය.

වර්තමාන සිනමා තාක්ෂණය අනුව අන්තර් ජාතික සිනමා උලෙළ රාශියක් අද ලොව පුරා බොහෝ නගර කේන්ද්‍ර කොට ගෙන වවිධ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන මගින් පවත්වනු ලබති. ඇතැම් තානාපති කාර්යාල මගින් ඒ ඒ රටවල සිනමා කලාවන් හා රාජ්‍යයන්ගේ ප්‍රචාරය සඳහා සිනමා ප්‍රදර්ශනයන් වාර්ෂිකව පවත්වනු ලැබුව ද ජාත්‍යන්තර සිනමා උත්සවයක් එයට වඩා වෙනස් ය .එ ය අපේ කලාපයේ තවමත් විධිමත් ව නොකරන්නේත් එහි ඇති වටිනාකම හරියට නොවටහා ගෙන ඇත්තේත් ලංකාව පමණී . බංග්ලා දේශය පවා ඩකා නගරය කේන්ද්‍ර කොට ගෙන අන්තර් ජාතික සිනමා උළෙලක් පවත්වද්දී ලාංකික සිනමා උලෙළක් පිළිබද බළධාරින්ගේ ඇත්තේ ඉවසිය නොහැකි නිහැඬියාවකි.

සිනමා උලෙළක මූලික අරමුණ විශිෂ්ට සිනමා කලා කෘති සාමාන්‍ය රසිකයන්ට ගෙන හැර පෑමය.ලොව පුරා සිනමාවේ රුව ගුණ තේජස හඳුනා ගැන්මට ඉඩ සැලැස්වීමෙන් මනුෂ්‍ය වර්ගයා කෙරෙහි උනුනුන් ගේ සිතුම් පැතුම් හඳුනා ගැන්මට ඉඩ සැලැස්වීමය. එයින් ලෝකයම එක හා සමාන සිතුවිලිවලින් වෙලුණ එමෙන්ම මුළු ලෝකයේම පොදු සමාජ කරුණු දෙස මානව දයාවෙන් බලන්නට පුරුදු කිරීමක් සිදු වනු ඇත.එම මතුපිට කරුණු අභිමුවෙහිලා රටකට සෘජු සහ වක්‍ර ලෙස ආයෝජනයන් රාශියක් ගෙන ඒමට වර්තමාන ලෝකයේ සිනමා උත්සව සංවිධායකයන් සමත් වෙති. විධිමත්ව වාර්ෂිකව නිශ්චිත කාල පරිච්ඡේදයක දී පවත්වන ලබන සිනමා උත්සවයන් හරහා රටකට ගලා එන ආදායම සැළකිය හැකි එකකි . ලොව බොහෝ රටවල සිනමා උත්සව පසුපස ඇත්තේ එමගින් විදේශ ආයෝජනය ද සිදු වන නිසාය. සිනමා උලෙළක් පිළිබද පැවසූ සැනින් වඩාත්ම ආර්ථික ලාභ උපයන්නේ සංචාරක ව්‍යාපාරයයි. එයට හේතුව හොඳ සිනමා උලෙළක නැරඹීම සඳහා සිනමා රසිකයන් පමණක් නොව විදෙස් සිනමා කරුවන් ද නිෂ්පාදකයන් ද පැමිණීමය. එමෙන්ම රටක් පිළිබඳ ප්‍රතිරූපය නැංවීමේ දී එය විශේෂ බලපෑමක් සිදු කරනු ලබයි.බොහෝ රටවල පාලකයන් සිනමා උත්සව කෙරෙහි සිය ඇස යොමු කරන්නේ එම කරුණු සිතට ගෙනය. ප්‍රංශයේ මහා සිනමා උලෙළ පැරීසියේ නොපවත්වා සුන්දර මුහුදු වෙරළක් සහිත කාන් නගරයේ පවත්වන්නේත් ඉතාලියේ මහ සිනමා උලෙළ වතුරෙන් වටවුණ වැනීසියේ පවත්වන්නේත් ඉන්දියානු සිනමා උලෙළ නවදිල්ලිය හෝ මුම්බායි වැනි නවීන නගරයක නොපවත්වා ගෝවේ වැනි සංචාරක පුරවරයක පවත්වනු යේ ද එබැවිනි. වැනිස් උළෙල මෙන්ම බර්ලින් උලෙළ ද ලොවට පහළ වූයේ මුසොලිනි සහ හිට්ලර් වැන්නන් ගේ ප්‍රතිරූප ගොඩනැංවීමට වුවත් ඒවායේ තිර ගත වන සිනමා කෘතින් කෙරෙහි ඔවුන් බලපෑමක් කළ බවක් නොපෙනෙයි.

අද ඉන්දියාව සෑම ප්‍රාන්තයකම රාජ්‍ය හා සිනමා සංවිධාන මගින් විවිධ ජාත්‍යන්තර සිනමා උත්සව පවත්වති. ලංකාවේ සිනමා උත්සවයක දී සංචාරක කලාපයන්ගේ පවත්වන්නට නම් එබදු නගරයන්ගේ උග්‍ර සිනමාහල් හිගයක් පවතී. යාපනය සිනමා උලෙළේ පවා මා දුටු කාරණය නම් එබඳු සිනමා උලෙළක් පැවැත්විය හැකි ශාලා ඇත්තේ මැජස්ටික් සංකීර්ණයේ පමණක් බවය. එහි සෙසු ශාලාවන් ප්‍රමිතියෙන් තොරය.වර්තමාන සිනමාවේ රූපයට සාපේක්ෂව ශබ්දයට ද ලැබෙන්නේ ඉහල තැනකි. එබැවින් ශාලාවන් ඉතා වැදගත්ය.

2014 වසරේ සැප්තැම්බරයේ කොළඹ අන්තර් ජාතික සිනමා උලෙළ මෙරට යහපත් සිනමාවක් අපේක්ෂිත බොහෝ දෙනෙක්ගේ සිහිනයක් මල් පල ගැන්වීමක් විය. එමෙන්ම එයට සිහින මැව්වෝ එයට පෙර පරම්පරාවන්ගේ ද සිටියෝය.එවර එම සිනමා උළෙල අත්‍යලංකාරයෙන් පැවැත්වූ අතර එය පිළිබඳ අපේ සිහින අහස උසට මැවිණ. එයින් පසු වසරේ ද එම සිනමා උලෙළ පැවැත්වීමට එහි සංවිධායකයන් සමත් විය. එහෙත් එයින් පසු එකී උලෙළට ද බාලගිරි දෝසය වැළඳීණ.

දැන් දෙවසරක් මුළුල්ලේම එම සිනමා උලෙළ පැවැත්වූයේ නැත. උලෙළේ ගෞරවය අත් කර ගත් චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංසදය එකිනෙකා මත ට වගකීම පවරා කාරණය මග හරිති. ඔවුන් විසින් කරන ලද්දේ අනාගත සිනමා පිලිබද කදිම ආයෝජනයක් වුව ද එයින් එහා නොපැවැත්වීම ඔවුන් වෙත විශ්වාසය තැබූ රසිකයන්ට කළ බලවත් වරදකි. තවත් අවස්ථාවක නවදිල්ලියේ පැවැත්වන සිනමා උලෙළක් සමග සහයෝගයෙන් තවත් සිනමා උලෙළක් පවත්වන කතාවක් ද පළ වූවත් එය ද ලත් තැනම ලොප් වූ වගක් හැඟෙයි.

ඒ සියලු බාධක මැද අඩු ලුහුඩුකම් මැද වුව යාපනයේ පැවැත්වෙන සිනමා උළෙට අපේ ආචාරය හිමි විය යුත්තේ එහෙයිනි. යාපනයේ තරුණ තරුණියන් මෙන්ම සිනමා ලෝලි අන් පෙදෙස් වල තරුණයන් ද උත්සව දින වල යාපනයට පිවිසි අයුරු අපි දුටුවෙමු. ඒ ඉතා අවම ප්‍රචාරයක් ඔස්සේය.ඔවුන් දින ගණනක් යාපනයේ රැඳී සිටියේ සිනමාව හා බැඳුණු සංස්කෘතියේ ආශ්වාදය විඳීමිනි. යාපනය එන වසරේ ද සිනමා උලෙළ පවත්වනු ඇත. චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ මහත්වරුනි මේ ඔබගේ වාරයයි.