වර්ෂ 2016 ක්වූ  ඔක්තෝම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




කලාවේ නියැළෙන්න තාත්තයි, ආච්චියි මට මඟ පෙන්වනවා

කලාවේ නියැළෙන්න තාත්තයි, ආච්චියි මට මඟ පෙන්වනවා

කුණ්ඩලකේශී වන්නිආරච්චි

වර්තමානයේදී වේදිකාව හරහා පුංචි තිරයට පැමිණෙන නවක නිළියන්ගේ ප්‍රමාණය අඩු වී තිබෙනවා. ඒකට ප්‍රධානම හේතුව වන්නේ රංගනය වෙනුවෙන් වේදිකාව තුළ කරන්නට සිදුවන කැපවීමට ඇති අකැමැත්ත සමඟ කැමරාව ඉදිරියේ රඟපාලා ඉක්මනින් ජනප්‍රිය වෙන්නයි නවක නිළියන් බහුතරයකගේ කැමැත්ත. රංගන ලෝකය තුළ සැරිසරද්දී අපට හමුවුණා ඊට හාත්පසින්ම වෙනස් නවක නිළියක්ව. ඇය නමින් කුණ්ඩලකේශී වන්නිආරච්චි. ඇගේ රංගන ගමන ඇරැඹෙන්නේ වේදිකාවෙනි. ඒ තුළ ඇය හොඳම නිළිය වශයෙන් ද අභිසෙස් ලැබුවා. මෙම මස පොහොය දා එනම් අද දින ජාතික නාලිකාවේ විකාශය වන ආනන්ද අබේනායකගේ සංසාරේ පිය සටහන් නාට්‍යයේ ප්‍රධාන භූමිකාව රඟන්නේ ඇයයි. ඒ වගේම ඇගේ ලේවල රංගනය තිබෙන්නම ඕනෑ. ඒ ඇගේ පියාගේ පුංචි අම්මා ඉතිහාසගත රංගන ශිල්පිනියක් වන නිසා. එය ගැන අප පසුව දැනගනිමු. කුණ්ඩලකේශී සමඟ පළමුව අප කතා කරමු ක්ෂේත්‍රයට පිවිසි අන්දම ගැන.

පාසලේදී මං නාට්‍ය හා රංග කලාව විෂයයක් ලෙස හැදෑරුවා. එහිදී මාව දැකලා එරන්දි නදීකා මිස් සහ චාමික හත්ලහවත්ත සර් තමයි පළමුව මට අවස්ථාව දුන්නේ. චාමික සර්ගේ හත්පෙති මල නාට්‍යයේ මට ආරාධනා ලැබුණට එහි ප්‍රධාන චරිතය ලැබේවි කියලා මං හීනෙකින්වත් හිතුවේ නැහැ. නමුත් මං නාට්‍ය අභ්‍යාස කරනවා දැකලා ඔවුන් මට හත් පෙති මල නාට්‍යයේ ප්‍රධාන චරිතය වූ හංසිව ලබා දුන්නා. මේ වෙලාවේ වසන්ත අරුණ පද්මසිරි මහතාවත් මතක් කළ යුතුමයි.

* තවදුරටත් හත් පෙති මල ගැන කතා කළොත්?

දෙදහස් දහහතර රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ ඉලක්ක කර ගනිමින් තමයි මේ නාට්‍ය කළේ. රුසියානු නාට්‍යයක පරිවර්තනයක් ලෙසට එම නාට්‍ය හඳුන්වා දෙන්න පුළුවන්. නව රඟහල් ශාලාවේදී තමයි හා හා පුරා කියලා ඒ නාට්‍ය වේදිකා ගත කළේ.

* ජීවිතයේ ප්‍රථම වතාවට ප්‍රසිද්ධ වේදිකාවට නැංග මොහොත තවමත් මතකයේ ඇති?

ඒ අවස්ථාව නම් කවදාවත්ම අමතක වෙන්නෙ නැහැ. පළමු විනාඩි පහ තුළ නම් පොඩි චකිතයකින් හිටියේ. පසුව හරි ගියා. අද වගේ මතකයි ඒ සියල්ලම. මට එම නාට්‍ය උළෙළේ කුසලතා සම්මානයක් ලැබුණා.

* දිගින් දිගට හත් පෙති මල වේදිකා ගත කළාද?

නැහැ. ළමා නාට්‍ය උළෙළින් පසු දෙදහස් පහළොවේ සමස්ථ ලංකා පාසල් නාට්‍ය තරගාවලියට පමණයි ඊළඟට පෙන්නුවේ.

* ඔබට එම අවස්ථාව අමතක වන්නේ නැහැ?

මං එහිදී තමයි හොඳම නිළිය වුුණේ. මං ඒ චරිතයට උපරිම සාධාරණය කළ නිසා මට එහි ප්‍රතිලාභ ලැබුණා කියලා කියන්න පුළුවන්.

* ඔබ ඊට පසු දිගින් දිගටම වේදිකාවෙම රැඳුණාද?

නාමල් බණ්ඩාර මහත්මයාගේ ගැහැනිය කෙටි නාට්‍ය සහ තරගාවලියක් වෙනුවෙන් නිර්මාණය කළ කිංක්වීන් නට්‍යයෙත් රඟපෑවා. මේ දිනවලදී කිත්සිරි මෙවන් මහතා නිර්මාණය කරන ලස්සන මෘගයා වේදිකා නාට්‍යයේ රිහසල්

* වේදිකාවෙන් පුංචි තිරයට ඔබ පැමිණෙනවා. ඔබේ දස්කම් අද රාත්‍රියේ විකාශය වන සංසාරේ පිය සටහන් නාට්‍ය ඔස්සේ දැකගන්නට පුළුවන්?

ඔව්. මට ඊට අවස්ථාව දුන්නේ චාන්දනී සෙනෙවිරත්න මහත්මිය. ඇය මං දායකත්වය ලබා දුන් නාට්‍ය උලෙළක් විනිශ්චය කරන්නට පැමිණ සිටියා. ඇගේ මාර්ගයෙනුයි ආනන්ද අබේනායක මහත්මයව හමුවන්නේ.

* සංසාරේ පිය සටහන් නාට්‍යයේ ඔබේ චරිතය ගැන කතා කළොත්?

ඒ චරිතයේ නම ෂෙනායා. ඇයට මව නැහැ. පොඩි කාලේ සිටන් ෂෙනායාට විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්න වෙනවා. නමුත් ඇය ජීවිතය ජය ගන්නවා.

* ඔබේ පියා ද මේ ක්ෂේත්‍රය තුළ නමගිය චරිතයක්. ඔහුව මතක් කරන ගමන් ඔහුගේ පුංචි අම්මා ගැන ද අදහස් දක්වමු?

ඇය තමයි ප්‍රථම සරසවිය සම්මාන උලෙළේ හොඳම නිළිය.

මගේ පියා පුෂ්කර වන්නිආරච්චි. ඔහු වේදිකා නිර්මාණකරුවෙක්, වීඩියෝ නිෂ්පාදකවරයෙක්, සහාය අධ්‍යක්ෂවරයෙක්, ප්‍රසංග සංවිධායකවරයෙක්, ලේඛකයෙක් ආදි අංශ කිහිපයක් යටතේ කලාවේ නියැලෙනවා. තාත්තා තමයි මට ඉදිරියට යන්න මඟ කියලා දෙන්නේ. ඒ වගේම ආච්චි. ඇය පුණ්‍යා හීන්දෙනිය. මං ඉඩ ලද විගස ඔවුන් දෙපොළගෙන් රංගනය ගැන උපදෙස් ගන්නවා.

* දිගින් දිගටම රඟපාන්නද බලාපොරොත්තු වන්නේ?

මාව මේ වන විට සෞන්දර්ය විශ්ව විද්‍යාලයට තේරී පත්වෙලා තිබෙනවා. කැම්පස් පටන් ගත්තම අධ්‍යාපන වැඩ කටයුතු කරන ගමන් රඟපානවා. හොඳ චරිතයක් ලැබුණොත් පිටපත කියවලා බාර ගන්නවා. සිනමාවේ ද ටෙලි නාට්‍ය ද කියලා නැහැ. චරිතය හොඳ නම් කරනවා.