වර්ෂ 2016 ක්වූ  ඔක්තෝම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




ගුරු සුසිල් ප්‍රේමරත්නයන්ට උපහාර පුදන සිසු

ගුරු සුසිල් ප්‍රේමරත්නයන්ට උපහාර පුදන සිසු

ඉරණම පිළිබඳ බොහෝ දේ අසා සිටියත්, දැන සිටියත් පුද්ගලයකු ඉපදෙන විටම ඔහුගේ ඉරණම එතරම් අපූර්ව ලියැවී ඇතැයි මා දැන ගත්තේ එදාය. ඒ සුසිල් ප්‍රේමරත්නයන් හමු වූ මොහොතේදීයි. ඔහු ඉපදෙන විට පවුලට වඩාත් සමීපතමයකු වූ කලා භූෂණ ගායන ශිල්පී සුසිල් ප්‍රේමරත්නගේ නාමය ඔහුටත් එලෙසින්ම යොදන්නේ මවගේ හා පියාගේ රුචිකත්වය මතයි. එහි වඩාත්ම පුදුමසහගතම කාරණය ඒ පුංචි කොලු පැටියා ද දැනුම්තේරුම් වියට පැමිණෙන විට සුසිල් ප්‍රේමරත්නයන්ගේ හඬින් ඔහුට ද ගායනා කිරීමට හැකිවීමයි. ඔහු එසේ ගායනා කරන්නේ කලා භූෂණ ගායන ශිල්පී සුසිල් පේ‍්‍රමරත්නයන්ගේ ගීත ජනතාව අතරට ගෙන ගොස් ඔහුට සිදුකරන උපහාරයක් විලසිනුයි.

කලාභූෂණ ගායන ශිල්පී සුසිල් ප්‍රේමරත්නයන්ගේ එකම ශිෂ්‍යයා වන්නේ ද සුසිල් ප්‍රේමරත්නයි. එම ගුරුගෝල සබැඳියාවට පදනම වැටෙන්නේ සුසිල් ප්‍රේමරත්නයන්ගේ පියා දක්ෂ චිත්‍ර ශිල්පියකු වන අතර එම්. චාර්ලිස් මාස්ටර්ගේ පුත් ප්‍රවීණ ගායන, කලා ශිල්පි සුසිල් ප්‍රේමරත්නයන් ද ඔහු සමඟ එක් වී චිත්‍ර කලාව ප්‍රගුණ කළ නිසාය. එසේ පියාගේ මිතුදමින් මුවහත් වී සංගීතය හැදෑරීමට යොමුවන ශිෂ්‍ය සුසිල් ප්‍රේමරත්නයන් පාසල් අධ්‍යාපනය ලබන්නේ රත්මලාන, කොතලාවල පුර මහා විදුහලෙනි. එසේ අධ්‍යාපනය ලබන අතර වාරයේ 1964 ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හඳමාමා ළමා වැඩ සටහනින් සංගීත ක්ෂේත්‍රයට ද අත් පොත් තබයි. ගුවන්විදුලි සංස්ථාවේ ළමා පිටියේ පැවැත් වූ නැවුම් මිහිර, නවක මඬල, මැලිබන් ගුවන් තොටිල්ල, මොරවක ගුවන් තොටිල්ල, තිස්ස රිදී සීනු, පිබිදෙන ගායක පරපුර, මාසික රැඟුම වැනි ගීතමය වැඩසටහන්වලට තම ගායන දායකත්වය ලබාදෙන්නේ සහජ කුසලතාවන්හි අපූර්වත්වය විදහා දක්වමිනි.

'එදා සඳකැන් දිදුලි අහසේ මෙදා සඳකැන් දිලුනි නිවසේ' තම එක පුතු වෙනුවෙන්ම ප්‍රවීණ ගීත නිබන්ධක හේමසිරි ගුණතුංගයන්ගේ ප්‍රබන්ධයකට කිත්සිරි ප්‍රේමලාල්ගේ සත්සර මුසුවෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ ප්‍රචරය වූ 'නවක මඬල' නව නිර්මාණ වැඩසටහන තුළින් ප්‍රවීණ ගීත නිබන්ධක හා වැඩසටහන් නිෂ්පාදක ඩෝල්ටන් අලවිස් මහතගේ හඬමුසුව නව නිර්මාණයක් ලෙස ගුවන්තල සිසාරා විහිදෙන්නට විය. ඒ ඔහුගේ නව නිර්මාණ පළමු ගුවන් විදුලි ගායනයයි.

කලා ශූර ගීත කෝකිල සුසිල් ප්‍රේමරත්න ශූරීන් දැයෙන් සමුගත්තේ 2010. 08. 10 දිනදීයි. එතුමාගේ පළමු ගුණ සමරා නව පරපුර වෙත අතීත ලෝකනය කරවන්න ස්වාධීන රූපවාහිනි සේවයේ විකාශය වූ ජනප්‍රිය සංගීතමය වැඩ සටහනක් වන සංහිඳ වැඩසටහනට කලාශූරී ලතා වල්පොල, මල්ලිකා කහවිට, මධුශානි ප්‍රේමරත්න ශිල්පිනියන් සමඟ එතුමාගේ ශිෂ්‍යයකු ලෙස සුසිල් ප්‍රේමරත්න ද ගායනයෙන් සහය විය.

අරුත්බර, සොඳුරු ගීත එක්කර ශ්‍රී ලංකා ජාතික රූපවාහිනී සංස්ථාවේ සංගීතමය හරවත් වැඩසටහනක් වන 'සඳ දිය දෝතක්' හි ද කලාශූරී ලතා වල්පොල, මධුශානි ප්‍රේමරත්න වැනි ශිල්පිනියන් සමඟ සුසිල් ප්‍රේමරත්න ද යුග ගායනයට එක් විය.

එසේ කලාභූෂණ ගායන ශිල්පි සුසිල් ප්‍රෙමරත්නයන්ගේ කටහඬ ඒ අයුරින් නවමු පරපුරට දායාද කළ ගායන ශිල්පි සුසිල් ප්‍රේමරත්නයන්ට 'සරසවිය' අපගේ උණුසුම් සුබපැතුම්.


මාර හොරු 7 වැනිදා

ආදි නාලන්දීය '82 සොයුරු කැල'ට අධාර පිණිස සුරේෂ් අබේසේකර නිෂ්පාදනය කළ අනුර විතානාච්චි අධ්‍යක්ෂණය කළ ඉතාලි ජාතික දාරියෝ ෆෝ ගේ පරිවර්තන හාස්‍ය නාට්‍යය 'මාර හොරු' ලබන ඔක්තෝබර් 07 වැනිදා සවස මරදාන ටවර් රඟහලේදී වේදිකා ගත කෙරේ.

සාරංග දිසාසේකර, නයනා කුමාරි, හසනිකා කරලියද්ද, සුමිත් ශාන්තප්‍රිය, ජෙහාන් ශ්‍රීකාන්ත සහ ගයා ක්‍රිෂානි මෙහි රංගනයෙන් දායක වෙති.


යමුනා මාලිනිගෙන් පොත් ත්‍රිත්වයක්

ප්‍රවීණ කිවිඳීයක මෙන්ම ගේයපද රචිකාවක වන යමුනා මාලිනි පෙරේරාගේ නවතම පොත් ත්‍රිත්වයක් ‘සිත් ගංදෑල‘, ‘සමනල යාය‘, ‘සුළං දෝලා‘ පසුගියදා එළිදැක්විණි.

‘සමනල යාය‘ කෘතිය ළමයින් වෙනුවෙන් රචිත ළමා කව් සරණියකි. ‘සිත් ගංදෑල‘ යමුනා මාලිනි ලියන ලද ලිපි එකතුවකි. ඇගේ නවතම නවකතාව ‘සුළං දෝලා‘යි. ඒ සඳහා පාදක වී ඇත්තේ මිනිස් සිත්වල පවත්නා විඳවන ස්වභාවයයි. ‘සිත් ගංදෑල‘ගොඩගේ ප්‍රකාශනයකි. ‘සමනල යාය‘, ‘සුළං දෝලා‘ කෘති සරසවි ප්‍රකාශනයකි.