වර්ෂ 2016 ක්වූ  ඔක්තෝම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




විජය ගී අසන්නට 9 වැනිදා සවස “ගඟ අද්දර”ට එන්න ගායන ශිල්පී ලලින්ද බණ්ඩාර

විජය ගී අසන්නට 9 වැනිදා සවස “ගඟ අද්දර”ට එන්න ගායන ශිල්පී ලලින්ද බණ්ඩාර

විජය කුමාරතුංගයන්ගේ 29 වැනි ගුණානුස්මරණය නිමිත්තෙන් උතුරු මැද පළාත් සභාව විසින් ඉදිරිපත් කරනු ලබන විජය කුමාරතුංග අනුස්්මරණ ගීතාවලිය "ගඟ අද්දර" නමින් එළඹෙන 9 වැනි දින සවස 7.00 ට උතුරුමැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය. මේ එහි ගායන ශිල්පී ලලින්ද බණ්ඩාර සරසවිය සමඟ කළ කතාබහයි.

"ඇත්තෙන්ම මෙය වසර දහයක් පුරාවට ගායනයේ සහ ඒ පිළිබඳ අධ්‍යයනයේ මා ලද අත්දැකීම් මුසු කරමින් විජය කුමාරතුංග නම් ඒ ශ්‍රෙෂ්ඨ රංගන ශිල්පියාට නැත්නම් ගායන ශිල්පියාට උපහාර පිදීම අරමුණු කර ගත්තක් මෙන්ම ප්‍රේක්ෂකයාට වඩාත් උසස් වින්දනීය ආස්වාදයක් ගෙන දිය හැකි මට්ටමෙන් සංවිධානය කෙරෙන ගුණ සමරු ප්‍රසංගයක්" ලලින්ද ආරම්භයක් ලබා ගත්තේ එලෙසිනි.

ඔහු රජරට අනුරාධපුර ප්‍රදේ්ශයෙන් බිහි වූ කලා ශිල්පියෙකි. විටෙක ගායන ශිල්පියෙකු ලෙස ද, විටෙක සන්නිවේදකයෙකු ලෙස ද, තවත් විටෙක රංගන ශිල්පියෙකු මෙන්ම නිරූපණ ශිල්පියෙකු ලෙස ද ඔහු තම හැකියාවන් ප්‍රකට කළ අවස්ථා බොහෝය.

අනුරාධපුර ශාන්ත ජොසප් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ලලින්ද විෂයක් ලෙස සංගීතය ප්‍රගුණ කළ ද ඒ කාලය වන විට ක්‍රිකට් ක්‍රිඩාවට ඔහු බොහෝ ඇලුම් කළේය. උසස් පෙළ සමත් වූ පසු ජාතික තරුණ සේවා සභාවේ බෙල්වුඩ් නිකේතනය හා සම්බන්ධ වෙමින් සහ විෂයක් ලෙස බටහිර සංගීතය ප්‍රගුණ කරමින් ඒ පිළිබඳ දැනුම හා අවබෝධයක් ඇතිව ක්ෂේත්‍රයට පිවිසි කලා ශිල්පියෙකි.

ලලින්ද අපට මුණගැසුණු අවස්ථාව අතිශය සුන්දරය. "තව ටික දොහයි මාසේ අන්තිම වෙන්න - මගෙ රත්තරං අම්මේ" ඔහුගේ ගායන හැකියාව සැබවින්ම ආකර්ෂණීය වූවක් බව සරසවිය කර්තෘ මණ්ඩලයේදී ඔහු කළ ගායනය අපට සනාථ කර දුණි.

කිසිදු අනුකරණයකින් සහ ආයාසයකින් තොරව ඔහු ගායනා කරන විජය ගීතාවලියේ විජය කුමාරතුංගයන්ගේ හඬට බොහෝ සෙයින් සමාන ලලින්දගේ හඬ ඔහු විසින් ආරූඪ කරගත්තක් නොව උපතින්ම උරුම කර ගත්තක් බව ඉතාමත්ම පැහැදිලිය. එය වඩාත් හැඩ කරන ශිල්පීය හැඩතල ඔහු සතු සංගීත දැනුම සහ අත්දැකීම් මත මනාව පදනම් වූවකි. අමරසිරි පීරිස් වැනි ප්‍රවීණ ශිල්පීන් සමඟ 'මගේ පුංචි රෝස මලේ' ගී ප්‍රසංගයේ ආරාධිත ශිල්පියකු ලෙස ලලින්ද ගායනයෙන් එක්වන්නේ ද ඔහු සතු මෙම සුවිශේෂී ගායන හැකියාව නිසාවෙනි.

2014 වසරේදී ගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ අනුශාසකත්වයෙන් කොළඹ ටවර් හෝල් රඟහල පදනම මඟින් ප්‍රදානය කළ 'විජය ගී තරුව' සම්මානය ලලින්ද වෙත පිරිනැමීම තුළින් ඔහුගේ මෙම ගායන හැකියාව ඇගයීමට ලක්කර තිබේ.

ලලින්ද ගායන ශිල්පියෙකු පමණක්ම නොවේ. සිය මාමණ්ඩිය වන ප්‍රවීණ චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ දයාරත්න රටගෙදරගේ ඇවෑමෙන් ඔහු රංගනයට ද අවතීර්ණ වී ඇත. "සිත නිවන කතා", "මහ රජ අජාසත්ත", "මහ රජ ගැමුණු", "ඇහැලේ්පොළ කුමාරිහාමි", "කැලෑ හඳ", ලලින්ද රංගනයෙන් දායක වූ විකාශය හා තිරගත වූ මෙන්ම ඉදිරියේදී විකාශයවීමට සහ තිරගතවීමට නියමිත ටෙලි හා සිනමා නිර්මාණයන් වේ.

මෙතෙක් ඔහු පැමිණි ගමන්මඟට පිටිවහලක් වෙමින් ඔහුට ශක්තියක් වූ තම අම්මා, අප්පච්චි ඇතුළු පවුලේ සෙසු සාමාජික සාමාජිකාවන් මෙන්ම දයාරත්න රටගෙදර, ධම්මික බණ්ඩාර යන ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් කෘතවේදීව සිහිපත් කිරීමට ලලින්ද අමතක නොකළේය.

විශාරද ලහිරු ගෝමස්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩ ගැන්වෙන මෙම ප්‍රසංගයේ වාදනයෙන් ප්‍රවීන් පාලින්ද ප්‍රමුඛ රාජ්‍ය පළාත් සංගීත කණ්ඩායම දායක වෙයි. එහි කථනය ධම්මික බණ්ඩාර විසිනි.

ප්‍රවේශ පත්‍ර අලෙවියකින් තොරව පැවැත්වෙන මෙම විජය කුමාරතුංග 29 වැනි අනුස්මරණ ගීතාවලිය උසස් වින්දනීය රසාස්වාදයක් සැබැවින්ම ඔබ වෙතට ගෙන ඒමට සමත් වූවක් බව නොඅනුමානය.

කරඹ යායේ මිණි කිංකිණි හඬ නැඟෙනා මොහොතක ලලින්ද බණ්ඩාර සමඟ සොඳුරු සුයාමයක "ගඟ අද්දර"ට එක්වීමට සරසවිය පාඨක ඔබ සැමට ද අපි ඇරයුම් කරමු.


විජයගේ හැත්තෑ දෙවැනි උපන්දින සංවත්සරය කිරිබත්ගොඩ

ජනප්‍රිය නළු විජය කුමාරතුංගගේ හැත්තෑදෙවැනි උපන්දින සංවත්සරය නිමිති කර ගනිමින් විජය කුමාරතුංග අනුස්මරණ සහෘද කලා සංසදය ඉදිරිපත් කරන ‘සත්සරයි - පින්සලයි‘ ගීත ප්‍රසංගය මේ මස 07 වැනිදා කිරිබත්ගොඩ වයි.එම්.බී.ඒ. රංග ශාලාවේදී පැවැත්වෙයි. 2014 වසරේදී විජය ගී තරුව ලෙස අනුශූරතාව දිනාගත් ප්‍රවීණ චිත්‍ර ශිල්පී ජානක ඉලුක්කුඹුර සමඟ සුසංයෝගීව පවත්වනු ලබන ගීත ප්‍රසංගය සඳහා ආරාධිත ගායන ශිල්පිනිය වශයෙන් විශාරද කෝශිලා වනසිංහ සමඟ දිස්නි නාකන්දල ගායනයෙන් සහභාගි වෙයි. විජය කුමාරතුංගගේ සොහොයුරිය රූපා කුමාරතුංග සමඟ ක්ලීටස් මෙන්ඩිස්, ශ්‍රියාණි අමරසේන යන ප්‍රවීණ සිනමා ශිල්පීන් සමඟ ජනප්‍රිය නළු විශ්ව කොඩිකාරද මේ ප්‍රසංගය හැඩගන්වනු ලබයි. සම්පත් හෙට්ටිආරච්චිගේ සංගීත අධ්‍යක්ෂයෙන් සහ අනුර ශ්‍රීනාත්ගේ කථනයෙන් මෙදින ප්‍රසංගය හැඩගැන්වෙයි. නොමිලේ පැවැත්වෙන මේ ප්‍රසංගය නැරැඹීමට විජය කුමාරතුංග අනුස්මරණ සහෘද කලා සංසදයේ ප්‍රධාන ලේකම් අනුර රාජපක්ෂ විවෘත ආරාධනාවක් කර සිටියි.