වර්ෂ 2016 ක්වූ  ඔක්තෝම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




ජීවත්ව හිටියා නම් 72 යි

ජීවත්ව හිටියා නම් 72 යි

ඔහු ජීවත්ව සිටියා නම් මෙම වසරේ මෙම මස 9 වැනිදා තම හැත්තෑ දෙවැනි ජන්ම දිනය සමරනු ඇත. කිසිවෙකුත් නොසිතූ වෙලාවක අකාලයේ මරු වැලඳ ගත් හෙතෙම එදා මෙදාතුර අප සිනමා ඉතිහාසයේ යුගයක් එකලු කළ ජනප්‍රියම නළුවාය. 1945 උපන් විජය හන්තාන කතාව සිනමාපටය ඔස්සේ තම සිනමා ගමන ඇරැඹීය. එය තිරගත වීමටද මත්තෙන් තවත් චිත්‍රපට රැසකට ඔහුට ඇරැියුම් ලැබිණ. වසර ගණනාවක් සිනමාවේ ජනප්‍රියම අසහාය නළුවා වූ විජය කුමාරතුංගයන්ව මෙලෙස අපි සිහිපත් කරමු.

පතිරාජගේ ‘ස්වරූප’ දැන් තිරයේ

විශිෂ්ට සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ නවතම සිනමාපටය ස්වරූප පසුගිය සිකුරාදා සිට රිත්මා මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වීම ඇරැඹිණ. ෆ්‍රාන්ස් කෆ්කාගේ මෙට මොෆොසිස් කෙටි කතාව ඇසුරෙන් එරික් ඉලයප්ආරච්චි අනුවර්තනය කළ මෙහි ඩබ්ලිව්. ජයසිරි, නීටා ප්‍රනාන්දු, ලක්ෂ්මන් ිමෙන්ඩිස්, චමිලා පීරිස්, ප්‍රියා රණසිංහ, විමල් කුමාර ද කොස්තා, දයා තෙන්නකෝන්, තුසිත ලක්නාත්, රිනි ද සිල්වා, ඩී. බී. ගංගොඩතැන්න, සංගීතා පල්ලියගුරුගේ, ඩී. රම්‍යා, විමල් හලංගොඩ, මිල්ටන් පෙරේරා, සැනෙට් දික්කුඹුර චරිත මවති. සුගත් අමරජීව බණ්ඩාර සහාය අධ්‍යක්ෂණයකි. අනුර බණ්ඩාර සහාය සංස්කරණ ශිල්පියාය. නන්ද මුණසිංහ නිෂ්පාදන කළමනාකරණයෙන් දායක වේ. රංජිත් මතඟවීරගේ අංග රචනයකි. කොණ්ඩා සැකසුම තුෂාර විදානගමගේ ගෙනි. ආචාර්ය ධර්මසේන පතිරාජ සමඟ එරික් ඉලයප්ආරච්චි ස්වරූප තිර රචනා කොට ඇත. කලා නිර්මාණ සැලැසුමකරණය ලාල් හරින්ද්‍රනාත්ගෙනි. අසංග නීලවතුර සහාය කලා අධ්‍යක්ෂවරයාය. නදීක ගුරුගේ ගේ සංගීත අධ්‍යක්ෂණයකි. එල්මෝ හැලිඩේ සංස්කරණයෙන් ද, ඩොනල්ඩ් කරුණාරත්න කැමරා අධ්‍යක්ෂණයෙන් ද, ධර්මසේන පතිරාජ සහාය නිෂ්පාදනයෙන් ද, විමල් හලංගොඩ රේඛීය නිෂ්පාදනයෙන් ද මෙයට දායක විය. ස්වරූප මොහාන් මාබොටුවනගේ නිෂ්පාදනයකි.

රයිගමයයි ගම්පොළයයි පූර්ව ප්‍රචාරක පටය එළිදකී

ලලිත් ප්‍රේමතිලක තිර රචනා කොට අධ්‍යක්ෂණය කළ රයිගමයයි ගම්පළයයි සිනමාපටයේ පූර්ව ප්‍රචාරකපටය පසුගියදා එළිදැක්විණි. පැරැණි ජනකතා ඇසුරෙන් නිර්මාණය කළ එම සිනමාපටය හරේන් නාගොඩවිතාන සහ දිලිනි සිල්වාගේ නිෂ්පාදනයකි. විජේරත්න වරකාගොඩ , ගිරිරාජ් කෞශල්‍ය, කුමාර තිරිමාදු, රෝහිත් මන්නගේ, ලක්ෂ්මන් අමරසේකර ඇතුළු නළු නිළියන් රැසක් මෙහි චරිත මවති. රයිගමයයි ගම්පළයයි හර්ෂමාන පණ්ඩිතරත්න සහ කුෂාන් විජේසිංහගේ සම නිෂ්පාදනයකි.

සිග්නිස් සම්මාන 40 වැනි වරටත් 13 වැනිදා

සිග්නීස් ටෙලි සිනමා උත්තමාචාර සම්මාන උලෙළ 2017 මෙම මස 13 වැනිදා සවස නෙළුම් පොකුණ රංග ශාලාවේදී පැවැත්වීමට නියමිතය. මෙය එම උලෙළේ හතලිස් වැනි අදියරයි. මෙවර උලෙළෙහි ප්‍රධාන ආරාධිතයන් වශයෙන් වතිකානු අපොස්තලික තානාපති, අති උත්තම පියෙරේ ග්වේන් වැන්ටොට් හිමිපාණන් සහ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සහභාගි වනු ඇත.

උලෙළේ ගෞරවාචාර්ය සම්මානයන් මෙවර පිරිනමනු ලබන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, ආචාර්ය ධර්මසේන පතිරාජ, අයිරාංගනී සේරසිංහ සහ තිස්ස විජේසුරේන්ද්‍ර සහ සෑම් පෙරේරා යන අයටය. ජීවිතයට එක් වරක් පිරිනැමෙන සම්මානයන් සඳහා එඩ්වඩ් ජයකොඩි සහ දේවිකා මිහිරාණි තේරී පත්ව තිබේ.

චීනයට නිෂ්ක්‍රමණ

චීනයේ පැවැත්නෙ අබු 2017 රූපවාහිනී අන්තර් ජාතික සම්මාන උලෙළේ විශේෂ ජූරි සම්මානය සඳහා අතුල පීරිස් විසින් රූපවාහිනී රචනය කොට අධ්‍යක්ෂණය කරන ලද නිෂ්ක්‍රමණ ටෙලි නාට්‍ය නිර්දේශ වී ඇත. උලෙළ එළඹෙන නොවැම්බර් මස 03 වැනිදා චීනයේ සිචුවාන් නගරයේදී ආරම්භ වේ. නිෂ්ක්‍රමණ නාට්‍ය සඳහා දයාදේව එදිරිසිංහ සමඟ ග්‍රේස් තෙන්නකෝන් රංනයෙන් දායකවේ. කැමරා අධ්‍යක්ෂණය රෝහණ සමරවීරගෙනි. ආලෝකකරණය සෝමරත්න පෙරේරාගෙනි, ශබ්ද සංකලනය විකුම් හෙට්ටිආරච්චිගෙනි. දිමුත් කුරුප්පු සංස්කරණයෙන් ද, චන්ද්‍රසිරි කොඩිතුවක්කු කලා අධ්‍යක්ෂණයෙන් ද, කැලුම් සම්පත් අංග රචනයෙන් ද, නවරත්න ගමගේ සංගීත අධ්‍යක්ෂණයෙන්ද නිෂ්ක්‍රමණ සඳහා දායකවේ. තිරංජය දිල්හාන්ගේ විශේෂ ප්‍රයෝගකරණයකි.

ලව් ෆෝ ලයිෆ් ප්‍රසංගය 20 වැනිදා

පුනර්ජීව හදවත් සැත්කම් අරමුදලට සහ ආචාර්ය සෝමා එදිරිසිංහ ශිෂ්‍යත්ව අරමුදලට ආධාර පිණිස සංවිධානය කළ ලව් ෆෝ ලයිෆ් සංගීතමය ප්‍රසංගය මෙම මස 20 වැනිදා සවස විහාර මහ දේවි රංග පීඨයේදී පැවැත්වේ. ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායම සංගීතවත් කරන මෙම ප්‍රසංගය සඳහා ජගත් වික්‍රමසිංහ, භාතිය සන්තුෂ්, අතුල සමිතා, ලහිරු පෙර්රා, සුරේන්ද්‍ර පෙරේරා, මරියසෙල් ගුණතිලක, ආත්මා ලියනගේ, රුවන් හෙට්ටිආරච්චි, ප්‍රදීප් රංගන, ෆන්කි ඩර්ටි, සංඛ දිනෙත්, සඳුන් පෙරේරා, උරේෂා රවිහාරි, රොමේෂ් සුගතපාල, උමාරියා, නාමල් උඩුගම, ශෂිකා නිසංසලා, දූෂ්‍යන්ත් වීරරත්න, කාවින්ද්‍යා අධිකාරී, තීක්ෂණ අනුරාධ සහ නදිමාල් පෙරේරා සහභාගි වේ.

‘කොන් කළ දෝණි’ පරම්පරා දෙකක ගීයක්

මෙම මස 03 වැනිදා ස්වාධීන රූපවාහිනියේ විකාශය ආරම්භ වූ චන්දික විජේසේනගේ "කොන් කළ දෝණි" ටෙලි සිතුවමේ තේමා ගීතය නිර්මාණය කිරීමට පරම්පරා දෙකක් එක් වුණා. දිගු කලකට පසු ධර්මරත්න පෙරේරා ගීත රචනා කරමින් එහි පෙර පරම්පරාව නියෝජනය කරනු ලැබුවා. උරේෂා රවිහාරි සහ සෙන්ටිග්‍රේඩ් සංගීත කණ්ඩායමේ ඉෂාන් ලන්ත්‍රා "කොන් කළ දෝණි" ගීය ගයමින් දෙවැනි පරම්පරාව නියෝජනය කළා.

"පෙම්බර දෝණි පින්සර දෝණි"

එහෙමයි කොන් කළ දෝණි තේමා ගීතය ඇරැඹෙන්නේ. එම ගීය පටිගත කළදා ධර්මරත්න උරේෂා සහ ඉෂාන් මෙලෙස සේයාරුවකට පෙනී සිටියා. කොන් කළ දෝණි ගීතය සංගීතවත් කළේ සෙන්ටිග්‍රේඩ් තුසිත.

පැරැණි චිත්‍රපට ගී නර්තන ප්‍රසංගය 7 වැනිදා

හෙළ සිනමා වංශය පෝෂණය කළ ප්‍රවීණ රංගන ශිල්පීන්ට උපහාරයක් ලෙසින් පිදෙන පැරැණි සිංහල චිත්‍රපට ගී තේමා කොටගත් රංගන නර්තන ප්‍රසංගයක් මෙම මස 07 වැනිදා සවස බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පැවැත්වේ. මෙහි නිර්මාණ සංකල්පය අචිනි බණ්ඩාරනායකගෙනි. කුමාරි දිසානායක සංවිධානය කරන මෙම ප්‍රසංගය නිමිරංග ඇකඩමි ඔෆ් ආර්ට් ආයතනයේ ඉදිරිපත් කිරිමකි.