වර්ෂ 2016 ක්වූ  ඔක්තෝම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




කර්මාන්තයක් නැති තැනක ස්වරූපට තැනක් නෑ...

කර්මාන්තයක් නැති තැනක ස්වරූපට තැනක් නෑ...

“ස්වරූප” ස්වරූපය ගැන ආචාර්ය ධර්මසේන පතිරාජගේ කථනය

සිනමාවේ මගේ සමාජ විඥානය කවදාවත් වෙනස් වුණේ නැහැ

ග්‍රෙගරි සැම්සන්ගේ මව නිතර විස්සෝපයෙන් සිටින්නේ සිය පුත්‍රයා රැකියාව සමඟ කර ගසනා විඩාව නිසාය. ඒ විඩාව පවුලට වැදගත් වන්නේ පවුලේ ආර්ථික බර සෑහෙන දුරකට සැහැල්ලු කරන නිසාවෙනි. ජ්‍යෙෂ්ඨ සැම්සන්ට සහ බිරියට ග්‍රෙගරිට අමතරව තවත් එක් ගැහැනු දරුවෙකි. ඇය ග්‍රේටා ය. ඇයගේ බරද නිතර දෝලනය වුනේ ජ්‍යෙෂ්ඨ සැම්සන් සහ ග්‍රෙගරි අතරය. සන් ඊස් අ සන්. ජ්‍යෙෂ්ඨ සැම්සන් ග්‍රෙගරිගේ එම විඩාව සාධාරනීකරණය කළේ එසේ කියාය. නමුත් ග්‍රෙගරිට සිදු වන්නේ රැයක් නිදාගෙන අවසන දැවැන්ත කෘමියෙක් වීමටයි. ඉන් මත්තට මේ කෘමියා අන් ඇයගේ ජීවිත වලට බලපාන්නේ කෙසේද? මේ ප්‍රශ්නය විශාලනය වූයේ පසුගිය සතියේ පේ‍්‍රක්ෂකාගාරයට ආ ‘ස්වරූප’ චිත්‍රපටයෙනි.

ඉහත ග්‍රෙගරිගේ කෘමියෙක් වීමේ කතාව ලෝක සාහිත්‍යයේ ප්‍රකට කෙටි කතාවකින් අනුවර්තනය වුවකි. එනම් ෆ්‍රාන්ස් කෆ්කා නම් ලෝකයේ ප්‍රසිද්ධ සාහිත්‍යකරුවාගේ ‘THE METAMORPHOSIS’ නම් කෙටි කතාව ‘ස්වරූප’ සඳහා පාදක විය. ඉංගී‍්‍රසි භාෂාවේ සරල භාවිතයේ නොමැති මෙටමොර්ෆොසිස් යන්නෙහි අර්ථය වන්නේ රූප විපර්යාසයකි. මෙය අනෙක් අතට ජීව විද්‍යවේ පාරිභාෂිත වචනයක් බවට සැලකුවත් වරදක් නැත. එකල චෙකොස්ලෝවැකියාවේ 1883 උපන් ෆ්‍රාන්ස් කෆ්කා සිය සාහිත්‍ය නිර්මාණ කළේ ජර්මන් බසිනි. සිය ස්වල්ප ආයුෂ ලැබූ ජිවිත කාලයේ ඔහු කළේ නිර්මාණ අතලොස්සක් පමණි. නමුත් ඒවායින් ඉස්මතු කළ කලඹවන සුලු, යථාර්ථයෙන් ඔබ්බෙහි වූ ශෛලිය අදටත් සාහිත්‍යයේ මග නොහැරිය හැකි තැන්ය. එමෙන්ම කෆ්කා එකල බොහෝ පතල වූයේද ඔහුගේ මෙටමොර්ෆොසිස් නිර්මාණය නිසාය.

පතිරාජයන් මේ ගුණයන් සමඟ රූපය බද්ද කරගැනීම එතරම් අරුමයක් නොවෙයි. ප්‍රවීණ සාහිත්‍යකරු එරික් ඉලියප්ආරච්චි සමඟ තිර පිටපත ලියා අහවර කර අධ්‍යක්ෂණයට ලක් කළේ 2013 වසරේදීය. 70 දශකයේ සිට මතවාදී තලයේ යතාර්ථය ගැන වැඩි බරක් තැබූ පතිරාජයන් මෙවර විමසුමට ලක් කරන්නේ කුමක්ද යන්න වග ඔබ සිනමාහලට ගොස්ම දැනගත යුතු වේ. තදාසන්න ප්‍රදේශයක අද වන විට බොහෝ තැන්පත්ව විවේකීව දිවි ගෙවන පතිරාජයන් අප මුණගැසුණේ ස්වරූප මඟහැර අපට යා නොහැකි නිසාය. මේ, මේ මොහොතේ ආචාර්ය පතිරාජයන් ස්වරූප ගැන දක්වන ආස්තානයයි.

මම හිතනා විදිහට චිත්‍රපටය ප්‍රේක්ෂකාගාරයට පැමිණීමේ යම් ප්‍රමාදයක් තිබුණා?

මම මේ චිත්‍රපටය නිම කළේ 2013 දෙසැම්බර් මාසයේ. දැනට අවුරුදු 4ක් චිත්‍රපටය පෝලිමේ හිරවුනා. මම ඊට පස්සේ අධ්‍යක්ෂණය කරපු ‘සක්කාරං’ චිත්‍රපටයත් පෙන්වලා බොහෝ කාලයක්. ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් මණ්ඩල වල. මේ වගේ චිත්‍රපටවලට දෙන තැන ගැන තියෙන්නේ ප්‍රශ්නයක්.

METAMORPHOSIS කියන නමට දෙන්න පුළුවන් හොඳම තේරුම ‘ස්වරූප’ ද?

නැහැ. ඕකට සිංහලෙන් දෙන්න පුළුවන් හොඳම තේරුම තමා ‘රූපාන්තරණය’ කියන එක. මොකද යම් රූපයක විපර්යාසයක් ගැනනේ කියවෙන්නේ. අනික අපේ පරම්පරාවේ අය ගොඩක් දෙනා කියවපු පොතක් තමා METAMORPHOSIS පොත. ඕකේ සිංහල පරිවර්තනය තමා ‘රූප විපර්යාසය’ කියන්නේ. ඒක පරිවර්තනය කළේ කේ. ජි කරුණාතිලක.

මම හිතන විදිහට කෆ්කාගේ ජීවිතයත් සාහිත්‍යයත් එතරම් දුර නෑ.

කෆ්කාගේ වටපිටාව ගැන කියනවනන් ඒක ටිකක් පීඩාකාරියි. ඒ පීඩනය ගැන ඔහු ලිව්වා. ඒ වගේම ඔහු නිදහස ගැන දරපු ආකල්පයත්. ඒවත් ඔහුගේ නිර්මාණ ඇතුලේ තිබෙනවා. ඔහු පසු කාලෙක ජීවිතය ඇරඹුවේත් ලිපිකරුවෙක් විදිහට. ඇත්තටම ඒ දේ කළේ ඔහුගේ ලේඛන ජිවිතයට පහසුවක් වෙන ආකාරයට. ඔහු ජිවත් වුන වකවානුවත් වැඩවසම් බවෙන් මිදුණු යම් සංක්‍රාන්ති සමයක්.

කෆ්කා ගේ සාහිත්‍ය සිනමාවේදී මොන වගේ තැනකද ස්ථානගත වුණේ?

ඔය ප්‍රශ්නෙට මට උත්තරයක් දෙන්න අමාරුයි. හැබැයි කෆ්කා නිතරම මතු කරපු ගුණයක් තිබෙනවා. ඒ තමයි යතාර්ථවාදය ඉක්මවා යන සාහිත්‍ය ගුණය. ඒ ගුණය හැම තැනකම කැපී පෙනුණා.

කෆ්කගෙන් මම පොඩ්ඩක් එළියට එන්නම්. ලංකාවේ සිනමාවේ ඇතුලේ තවමත් සාහිත්‍යයි සිනමාවයි සමාන්තරව යනවා නේද?

මම නම් හිතන්නේ නැහැ ඒක එහෙමයි කියලා. සාහිත්‍ය නිසා සිනමාව තියෙන්නේ නැහැ. අනික සිනමාව සාහිත්‍යයෙන්ම කරන්න ඕනෑ යැයි කියලා නීතියක් නෑනේ. ඒක එක එක්කෙනාගේ කැමැත්ත.

මේ ප්‍රශ්නය මම ඔබෙන් ඇසිය යුතුමයි කියලා හිතෙනවා. අහස් ගව්වෙන් පටන් ගත්ත වකවානුවේ ඔබට තිබුණු ජවය අදටත් තිබෙනවාද?

සිනමාව අරබයා මගේ විෂයන්, මාතෘකා, තේමා වගේ දේවල් කලින් කලට වෙනස් වුණා. නමුත් සිනමාවේ මගේ සමාජ විඥානය කවදාවත් වෙනස් වුනේ නැහැ.

ඔබට ඔබේ ජීවිතයත් එක්ක යාපනය හුඟක් සමීපයි. අද ඔබ යාපනය ගැන යම් අදහසක් දරනවාද?

මම එහෙ කාලය ගත කරපු බව ඇත්ත. නමුත් කිසිම වෙලාවක මට යාපනය කියන්නේ නොස්ටල්ජික් තැනක් නෙවෙයි.

ඔබ සිනමාවත් එක්ක ඇකඩමියානු ගනුදෙනුවක් තබා ගත් කෙනෙක්. ඔබේ එදා හිටි සිනමාවේ පරමාදර්ශ අද බිඳ වැටිලාද? නැත්නම් ඒ අය එසේමද?

ඒවා ඉතින් ප්‍රශ්න නෙවෙයිනේ. පරමාදර්ශ කියන ඒවා සම්ප්‍රදායට අයිති දේවල්. ඉතින් සාමාන්‍යයෙන් වෙන්නේ සම්ප්‍රදායන් අතික්‍රමණය වෙන එක.

ස්වරූප පේ‍්‍රක්ෂකාගාරයට එන්න ප්‍රමාද වුනේ කර්මාන්තයේ ප්‍රශ්නයක් නිසාද?

අද ඉතින් හරි හමන් කර්මාන්තයක් නෑනේ මේ රටේ. මේක සල්ලි පස්සේ දුවන තැනක් වෙලා තියෙන්නේ. උසස් රසයක් දෙන්න මේ ක්‍රමයට හැකි වෙලා නෑ.

චිත්‍රපටය ඔබ ගොඩනගන්නේ රටේ ප්‍රවීණ සාහිත්‍ය කරුවෙක් වන එරික් ඉලියප්ආරච්චි සමඟ. මොකක්ද මේ බැඳීයාව?

එරික් ප්‍රවීණ සාහිත්‍යකරුවෙක්. ඒ වගේම මගේ දීර්ග කාලීන මිත්‍රයෙක්. ඔහුගේ සාහිත්‍ය දක්ෂකම් ගැන මට ලොකු කියවීමක් තිබෙනවා. අනික මමත් දීර්ඝ කාලයක් විශ්වවිද්‍යාවල තුල සාහිත්‍යය ඉගැන්වූවා. ඒ නිසා අපේ අත්දැකීම් වලින් මේ අනුවර්තනය සිදු කළා. අනෙක් කාරණය, කෆ්කා ගැන කියවීමක් තිබීමත් හරි වැදගත් කාරණයක්. ඒ කියවීම ඔහුට තිබුණා. අපි කෆ්කාගේ ජීවිතයේ තිබුණු යම් යම් කාරණාත් චිත්‍රපටයට ගෙනාවා.

ඔබේ කලාවේ ඉදිරිය ගැන යමක් දැනුම්වත් කරන්න පුළුවන්ද?

ඕව ප්‍රශ්න නෙවෙයිනේ. ඇත්තෙන්ම එහෙම ප්‍රශ්න කරන එක මිත්‍යාවක්.

ස්වරූප චිත්‍රපටය බලන්න තරම් ප්‍රේක්ෂකයා ගත යුතු උත්පේ‍්‍රරකය මොකක්ද?

මට විශේෂයෙන් මුකුත් කියන්න නැහැ. චිත්‍රපටය බලන්න මම හැමෝටම ආරාධනා කරනවා. බලල ඒ ගැන ප්‍රතිචාර දේවි කියලා මම හිතනවා. ආශ්වාදයත් එක්ක දැනුමක් අරන් යන්න තරම් පිරිසක් සුළුතරයක් විදිහට ඉන්නවා නිතරම.