වර්ෂ 2016 ක්වූ  ඔක්තෝම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




ඉතිහාසයේ එක දවසක් සොයායන වර්තමානයේ චාරිකාව

ඉතිහාසයේ එක දවසක් සොයායන වර්තමානයේ චාරිකාව

සීතල කඳු වැටි පුරා මීදුම ගලා යමින් පැවතිණ. ඒ අතරින් අරුණලු පතිත වූයේ හෙමිහිටය. මේ කඳු වැටි අතර කුඩා නිවහනකින් එළියට බට මහලු මනිසෙකි. ඔහු නමින් විල්සන් ගොඩමාන්න. අපේ සිනමාව ආරම්භ සමයේ සිංහල චිත්‍රපටවල සහාය චරිත රඟපෑමේ යෙදුණු නළුවෙකි. ඔහු දැන් අසූපස් වියැතිය. මහලු වුවත් ඔහු තවමත් ජීවත් වන්නේ තරුණ වියේදී සිනමාවට සම්බන්ධව ගත කළ ජිවිතය පිළිබඳ සොඳුරු මතකයන් සමඟය. සිනමාව පිළිබඳ පොත්පත් ලිපි ලේඛන නැවත නැවත කියවමින් ඔහු ලබන්නේ අප්‍රමාණ වින්දනයකි. අල ගොවියකු වන ඔහුගේ පුතා, ලේළිය,කුඩා මුනුපුරා හා මිනිබිරිය සමඟ ඔහු දිවි ගෙවන්නේ දුර බැහැරකය.

සිංහල සිනමාවේ සංවත්සරය වෙනුවෙන් රාජ්‍ය උත්සවය පවත්වන්නේ කොළඹ බෞද්ධාලෝක මාවතේ තරංගනී ශාලාවේය. ඒ සඳහා පැරණි චිත්‍රපට පෙන්වනු ලබයි. උත්සවය පැවැත්වෙන බැව් විල්සන් ගොඩමාන්නට දැනගන්නට ලැබෙන්නේ සරසවිය කියවන නිසාය. මෙවර උලෙළේ සමාරම්භක චිත්‍රපටය විල්සන් රඟපෑ චිත්‍රපටයකි. ඒ සඳහා ඔහුට ආරාධනා පතක් නැති වුවත් උත්සවය නැරඹීමට යෑමට ඔහුට ආශාවක් උපදී. නමුත් වයසත් සමඟ දුර ගමනක් යෑම ද දැන් තරමක් දුෂ්කර කටයුත්තකි. එම චිත්‍රපට උත්සවයට යාමට තමා තුළ ඇති කැමැත්ත ඔහු තම ලේළියට පවසන්නේය. මාමණ්ඩියගේ ආශාව ඇය තම සැමියාට ප්‍රකාශ කර සිටියි. එහෙත් එදිනට ඔහුට ගොවිපලේ අල ගැලවීමේ කාර්යය යොදාගෙන ඇත. එබැවින් එම ගමනට සහභාගි වන්නට ඔහුට නොහැකිය. විල්සන්ගේ අරමුණ කෙසේ හෝ කොළඹ යාමය. ඔහුගේ මුනුපුරා ද සීයාගේ ආරක්ෂාව සඳහා ඔහු සමඟ යාමට දෙමව්පියන්ගෙන් අවසර ඉල්ලා සිටියි. අවසානයේදී ඔවුහු සිය පුතා විල්සන් සමඟ යැවීමට එකඟ වෙති.

උත්සවය දින උදයේ ජයනාත් තම පියා හා පුතා බස් නැවතුම්පළට ඇරලවන්නේ එදිනම රාත්‍රියේ ඇති බසයෙන් යළිත් එන ලෙස පවසමිනි. කොළඹ නගරයට එන ගමනේදීත් විල්සන් සුන්දර මතක සැමරුම් ගෙන එන්නට ඉඩ දෙයි. අතීත සිංහල සිනමාවේ තිබූ අහිංසක සුන්දර විචිත්‍රත්වය මෙන්ම දැඩි වාණිජකරණයට හා නවීන තාක්ෂණයට ගොදුරු වූ අද සිංහල සිනමාවේ වෙනස දකින්නට ද ඔහු උත්සාහයක යෙදෙයි. කුඩා මුනුබුරාට නම් මේ ගමන එක්තරා විනෝද චාරිකාවක් පමණි.

එහෙත් අවසානයේදී නොසිතූ සිද්ධීන් රැසකට මුහුණදීමට ඔවුන්ට සිදුවේ.

මධුර චාරිකවේ නියැළුණු පිරිස:

නළු නිළියන් - හේමසිරි ලියනගේ, නලින් ප්‍රදීප් උඩවෙල, මාදනී මල්වත්තගේ, සුදම් කටුකිතුලේ, සරත් චන්ද්‍රසිරි, කුමාර තිරිමාදුර, ධර්මප්‍රිය ඩයස්, රමණී අලකොලංග, විල්මන් සිරිමාන්න, සුරංගා රණවක, අජිත් ලොකුගේ, චතුර පෙරේරා, උදේනි චන්ද්‍රසිරි, අනර ශ්‍රීනාත්, සහන් රනුක වර්ණකුලසූරිය, තිස්ස බණ්ඩාරනායක, අසෝක හේවාවිතාරණ, රාජා ගනේෂන්, යෙසදි හපුතන්ත්‍රි, ෂෙල්ටන් සිල්වා, ප්‍රේමලාල් චන්ද්‍රසිරි, කීර්ති රංජිත්

කතාව, දෙබස්, තිර රචනය, නිෂ්පාදානය හා අධ්‍යක්ෂණය - උදයාකාන්ත වර්ණසූරිය

කැමරා අධ්‍යක්ෂණය - අයේෂ්මන්ත හෙට්ටිආරච්චි

සංස්කරණය - ප්‍රවීන් ජයරත්න

සංගීතය - නවරත්න ගමගේ

වේශ නිරූපණය - නලින් ප්‍රේමතිලක

කලා අධ්‍යක්ෂණය - අරුණ ඩයස්

සහාය අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් ජයන්ත

නිෂ්පාදන කළමනාකරණය - අසෝක ආරියරත්න

ඇඳුම් නිර්මාණය - ශාන්ති වර්ණසූරිය

නිශ්චල ඡායාරූප - මහේෂ් නිශාන්ත

නිෂ්පාදන සහාය - දයාවංශ ජයකොඩි, කුමාර වඳුරැස්ස