වර්ෂ 2016 ක්වූ  ඔක්තෝම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




කිසිම කලාවකට දැන් සුබ නැහැ

කිසිම කලාවකට දැන් සුබ නැහැ

සිරිනාථ වික්‍රමසිංහ

මොන දේ කලත් මම වඩාත් ප්‍රිය කළේ පෝස්ටර් කලාවට. ස්ක්‍රින් පෝස්ටර් නිර්මාණ ආයතන කීපයකම වැඩ කර අවසානයේදී මගේම කියලා ටී. ඒ. සී. නමින් 82' දී මම ආයතනයක් පටන් ගත්තා. මට වැඩ අධිකම කාල වකවානුවක් වූයේ මේ අවධිය. පෝස්ටර් නිර්මාණයේ මෙන්ම චිත්‍රපට නාමාවලී සැකසීමේ කාර්යබහුල අවධියක් වුණේත් මේ වකවානුව. මට තිබූ අකුරු නිර්මාණය කිරීමේ හැකියාව නිසාම චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගෙන්, කැමරා ශිල්පීන්ගෙන් මට හොඳ ඉල්ලුමක් තිබුණා. චිත්‍රපට විසි පහක විතර මම නාමාවලී නිර්මාණය කළා.

ප්‍රවීණ කලා අධ්‍යක්ෂවරයකු ලෙස කීර්තියක් දිනා සිටින සිරිනාථ වික්‍රමසිංහ සිය කලා දිවියේ හතලිස් පස්වන විය සපුරාලනුයේ කලා අධ්‍යක්ෂවරයකු ලෙසින් පමණක්ම නොවේ. රංග ශිල්පියෙකු, වේෂ නිරූපණ ශිල්පියෙකු, පෝස්ටර් කලා ශිල්පියෙකු, චිත්‍රපට නාමාවලි සැකසුම් ශිල්පියෙකු, වේදිකා නාට්‍ය හා ටෙලි නාට්‍ය නිෂ්පාදකයකු ලෙසින් ද සිය ප්‍රතිභාව තම කලා දිවිය තුළ සනිටුහන් කොට හමාරය. මේ ඔහු කලකට පසු සරසවිය හා කෙරෙන කතාබහකි.

මේ දවස්වල ඔබගේ නවතම ටෙලි නාට්‍ය නිෂ්පාදනයක් ප්‍රේක්ෂකයන් අතරට එක් කරලා?

ඔව්, මගේ දෙවැනි ටෙලි නාට්‍ය නිෂ්පාදනය වු සිරකාරි මේ දවස්වල ස්වාධීන රූපවාහිනියේ සෙනසුරාදා දිනවල රාත්‍රී 7.30 ට විකාශය වෙනවා. කොටස් 21 කින් සමන්විත රහස් පරීක්ෂක කතාවක් තමයි. මම දෙවැනි වරට නිෂ්පාදනය කළේ මේක නිෂ්පාදනය කරලා අවුරුදු හතකට පස්සේ තමයි මේ පෙන්වන්නේ. මීට කලින් මම මහෝඝය කියලා ටෙලි නාට්‍යයක් මුලින්ම නිෂ්පාදනය කළා.

ඔබේ කලා ජීවිතයේ ඇරඹුම වේදිකා නාට්‍ය රංග ශිල්පියෙක් ලෙසින් නේද?

ඔව්. ප්‍රේමදාස පෙත්තාවඩුගේ නිර්මාණය කළ 'අනේ අනිච්චං' වේදිකා නාට්‍යයේ තමයි මම මුලින්ම රඟපෑවේ. ඊට පස්සේ අශෝක නිශ්ශංකගේ 'සුරපුරට යන එවුන්' නාට්‍ය නිර්මාණයේ රංගනයට එක්වුණා.

පාසල් ජීවිතයට සමුදෙන ඔබ මුලින්ම කලාවට එක්වන්නේ රංග ශිල්පියෙක් ලෙස නෙවෙයි කියලයි මම හිතන්නේ?

ඒක ඇත්ත. නාම පුවරු අදින්නකු, චිත්‍ර ශිල්පියෙකු ලෙස තමයි මගේ ජීවිකාව මම මුලින්ම අරඹන්නේ. මගේ අසල්වැසි මිත්‍රයකු වූ චන්ද්‍රසේන කොඩිතුවක්කු තමයි මාව රංග ශිල්පියකු ලෙස කරලියට ගේන්න අත්වැල් සපයන්නේ. ඒ අනුව තමයි ඔහු මාව ප්‍රේමදාස පෙත්තාවඩුට හඳුන්වා දෙන්නේ. චන්ද්‍රසිරිම තමයි මට අශෝක නිශ්ශංකවත් හඳුන්වලා දෙන්නේ.

අශෝක නිශ්ශංක ඔබගේ කලා ජීවිතයේ ලොකු පරිවර්තනයක් සිදු කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා?

මුලින්ම ඔහු මාව රංග ශිල්පියෙක් කරනවා. ඊට පස්සේ ඔහු මාව කලා අධ්‍යක්ෂවරයෙක් බවට පත් කරනවා. අවසානයේ ටෙලි නාට්‍ය නිෂ්පාදකයෙක් බවට මාව පත් කරනවා.

හුලවාලි චිත්‍රපටයත් සමඟ ඔබ කලා අධ්‍යක්ෂවරයකු බවට පත් වෙනවා?

මේ චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂවරයා වුණේ අශෝක නිශ්ශංක. ඔහු මාව චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂවරයා බවට පත් කර ගත්තා. ඒ වෙන කොට මම නාට්‍ය වේෂ නිරූපණ ශිල්පියෙකු , වේදිකා නාට්‍ය පසුතල නිර්මාණකරුවකු ලෙසින් ද කටයුතු කරමින් හිටියා.

චිත්‍රපට කොපමණ ප්‍රමාණයක ඔබ කලා අධ්‍යක්ෂ ලෙසින් කටයුතු කළාද?

හුලවාලි මගේ පළමු චිත්‍රපටය. මේ කාලය තුළ චිත්‍රපට දහයක විතර මම කලා අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළා. අවසන් වරට සුහද කොකා චිත්‍රපටයට කලා අධ්‍යක්ෂණයෙන් දායක වුණා. කලා අධ්‍යක්ෂණයෙන් දායක වූ හෙක්ටර් කුමාරසිරිගේ අනෝරා ඉදිරියේදී තිරගත වෙන්නත් තියෙනවා.

ඔබ කලා දිවියේ වඩාත් පෙම් බඳින්නේ පෝස්ටර් කලාවට?

මොන දේ කලත් මම වඩාත් ප්‍රිය කළේ පෝස්ටර් කලාවට. ස්ක්‍රින් පෝස්ටර් නිර්මාණ ආයතන කීපයකම වැඩ කර අවසානයේදී මගේම කියලා ටී. ඒ. සී. නමින් 82' දී මම ආයතනයක් පටන් ගත්තා. මට වැඩ අධිකම කාල වකවානුවක් වූයේ මේ අවධිය. පෝස්ටර් නිර්මාණයේ මෙන්ම චිත්‍රපට නාමාවලී සැකසීමේ කාර්යබහුල අවධියක් වුණේත් මේ වකවානුව. මට තිබූ අකුරු නිර්මාණය කිරීමේ හැකියාව නිසාම චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගෙන්, කැමරා ශිල්පීන්ගෙන් මට හොඳ ඉල්ලුමක් තිබුණා. චිත්‍රපට විසි පහක විතර මම නාමාවලී නිර්මාණය කළා.

චිත්‍රපට නිෂ්පාදනයට වගේම වේදිකා නාට්‍ය නිෂ්පාදනයටත් ඔබ පිවිසෙනවා?

ආර්. ආර්. සමරකෝන්ගේ ජේලර් උන්නැහේ, නිහාල් සිල්වා වෙනුවෙන් අල්ලපු ගෙදර, අශෝක නිශ්ශංකගේ හීරෝගේ රඟමඬල නාට්‍ය මම නිෂ්පාදනය කළා. කේ. ඒ. විජයරත්නට අවශ්‍ය වුණා චිත්‍රපටයක් කරන්න. ඒ අදහස මා වෙත යොමු කළේ මහින්ද ඒ. තෝමස් කුරේ. ඒ අනුව අපි පස් දෙනෙක් ටීම් වර්ක් එකක් ලෙස මධුසමය චිත්‍රපටය නිෂ්පාදනය කළා.

ලංකාවේ ප්‍රථම ටෙලි නාට්‍යයේ කලා අධ්‍යක්ෂ වීමේ භාග්‍යයත් ඔබට උරුමයි?

ඩී. බී. නිහාල්සිංහයන්ගේ අධ්‍යක්ෂණයක් වූ දිමුතු මුතු ටෙලි නාට්‍යයේ කලා අධ්‍යක්ෂ වුණේ මම. ටෙලි සිනේ ආයතනය නිෂ්පාදනය කළ රේඛා, නදීගේ ගීතය වගේම වෙළඳ දැන්වීම් රැසක් ද මම කලා අධ්‍යක්ෂණය කළා. රේඛා ටෙලි නාට්‍යයේ කලා අධ්‍යක්ෂණය වෙනුවෙන් ලංකාවේ ප්‍රථම ටෙලි නාට්‍ය සම්මාන උලෙළ වූ විජය සම්මාන උලෙළේදී මට සම්මානයක් ලැබුණා. එතැන් පටන් ටෙලි නාට්‍ය විසි පහක විතර මම කලා අධ්‍යක්ෂ ලෙස කටයුතු කළා.

කලා අධ්‍යක්ෂණයෙන් ඔබ තෘප්තිමත් නිර්මාණ මොනවාද?

සරත් ධර්මසිරිගේ ඇත්කඳ ලිහිණියා රයිගම් සම්මාන උළෙලේ නිර්දේශිත නාමාවලියට තරඟ වැදුණා. සරත්ගේම සුජාත පුත්‍ර නිර්මාණය ගැන මගේ හිතේ තියෙන්නේ මගේ හැකියාවන් ගැන ලොකු සංතෝසයක්.

වේෂ නිරූපණයේදී ඔබ ඉසව්වක් සොයා ගමනක් යනවා?

කලා අධ්‍යක්ෂණයට අමතරව වේෂ නිරූපණය ගැන හදාරන්නත් මට අවශ්‍ය වුණා. ඒ සඳහා මට තරංග රුක්මල්වල හා එස්. පී. කොස්තා ගොඩක් උදවු කළා. තරංගගෙන් නාට්‍ය වේෂ නිරූපණය ඉගෙන ගන්න කොට කොස්තාගෙන් මම චිත්‍රපට වේෂ නිරූපණය ගැන ඉගෙන ගත්තා. ඒ ලැබූ ගුරු පන්නරය නිසා මට 1979 දී ප්‍රථම රාජ්‍ය නාට්‍ය සම්මාන උලෙළේ දී සිරිතුංග පෙරේරාගේ සිටුතුමා නාට්‍යයේ වේෂ නිරූපණය වෙනුවෙන් සම්මාන ලබන්න හැකි වුණා.

වේදිකාව, ටෙලි නාට්‍යය, චිත්‍රපට හැම ක්ෂේත්‍රයක් පුරා ඔබ විවිධ පැතිකඩයන් පරිශීලනය කරනවා?

වේදිකා, ටෙලි නාට්‍ය, චිත්‍රපට පසුතල සැකසීම, වේෂ නිරූපණය, ඇඳුම් පැලඳුම් මේ හැම ඉසව්වක් ඔස්සේම මම නිරත වෙනවා. අද වෙන විට මම ටෙලි නාට්‍ය නිෂ්පාදනයටත් ඇවිත්. තිර රචනය පැත්තෙනුත් මම දෙයක් කරලා තියෙනවා. පෝය ටෙලි නාට්‍ය තිර රචනා පහක්, නත්තල් ඒකාංගික ටෙලි නාට්‍ය පිටපත් දෙකක්, චිත්‍රපට තිර නාටකයක් හා ප්‍රසාංගික ටෙලි නාට්‍ය පිටපතකුත් මේ වන විට ලියා අවසන් කරලයි තියෙන්නේ.

වේෂ නිරූපණයේදී ඔබට අභියෝගයක් වූ අවස්ථා තියෙනවාද?

විල්සන් ගුණරත්නගේ චරිත හතක් නාට්‍යයේ පුද්ගලයන් හත් දෙනෙක් වෙනුවෙන් ක්ෂණිකව වේෂ නිරූපණය කිරීම, සිටුතුමා නාට්‍යයේ ජයසේකර අපොන්සුව චරිත නමයක් වෙනුවෙන් ක්ෂණිකව ප්‍රේක්ෂකයාට වෙනසක් නොවන්නට වේෂ නිරූපණය කිරීම ඇත්තෙන්ම අභියෝගාත්මකයි.

ඔබේ පවුලේ තොරතුරු කොහොමද?

1976 දී මම විවාහ වුණේ මැලේ ජාතික කාන්තාවක් වූ හරුන් මිතින් සමඟ. අපිට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. ඔවුන් සියලු දෙනා අද විවාහකයි. මගේ එකම පුතු මමෝජ් වික්‍රමසිංහ ද කලා අධ්‍යක්ෂවරයෙක්. ඔහුත් මමත් එකම අවස්ථාවකදී හොඳම කලා අධ්‍යක්ෂණය සඳහා එකම සම්මාන උලෙළකදී නිර්දේශ වුණා.