වර්ෂ 2016 ක්වූ  ඔක්තෝම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




ඉරාජ්ගේ ජාවාරමට රසිකයන් අහුවුණා ද?

ඉරාජ්ගේ ජාවාරමට රසිකයන් අහුවුණා ද?

පියුමි හංසමාලි ඉරාජ් වෙනුවෙන් නිරුවත් වෙයි.

ඉකුත් දිනවල මූණු පොතෙහි වැඩියෙන්ම සංසරණය වූ පුවත තමයි ඒ. ඉරාජ් නිර්මාණය කළ අලුත්ම මියුසික් වීඩියෝවේ පියුමි පෙනී සිටි අඩ නිරුවත් දර්ශනය ගැනයි එහෙම කතාබහක් ඇති වුණේ.

මේ මෑතකදී ඉඳලා ඉරාජ් කරන නිර්මාණ දෙස අවධානයෙන් බැලුවොත් යම් කිසි කරුණක් ඉස්මතු වෙනවා. ඒ ඔහු තමන් කළ වීඩියෝවේ නරඹන්නන් ප්‍රමාණය වැඩි කරගැනීමට ආන්දෝලනාත්මක කතාවක් මැවීම. මං සිල් බිඳ ගත්තා, ආශාවරී, ගිනියම් රෑ, ක්ලියෝ පැට්‍රා සහ පියුමි රඟපෑ දැනුණා මියුසික් විඩියෝව ද එලෙසයි. මේ ගීතවල ගායකයා කවුද කියලා බහුතරයකට මතකවත් නැහැ. ඒත් වීඩියෝවේ සිද්ධීන් නම් මතකයි. එහෙම බලනකොට ඉරාජ්ගේ ඉලක්කය ඔහු විසින් සපුරාගෙන තිබෙනවා. ඒ වගේම එයට බැන බැන එම වීඩියෝව නරඹලා ඉරාජ්ට යූ ටියුබ් හරහා මුදල් හොයලා දීලා ඉරාජ්ගේ උගුලේ අහුවෙලා තියෙන්නෙත් කවුද කියලා දෙවතාවක් හිතන්න ඕනෑ. ඉරාජ් කළ අලුත්ම මියුසික් වීඩියෝවේ නම දැනුණා. පියුමි හංසමාලි සහ සිනමා ක්ෂේත්‍රයේ දැවැන්ත චරිතයක් වූ විල්සන් කරු තමයි එහි ප්‍රධාන චරිත රඟපාන්නේ. පියුමි නිරුවත් වුණා කියලා කියන්නෙත් මෙම වීඩියෝවෙන්. හැබැයි කියන තරම් යකා කළු නැහැ කියන්නා වගේ මේ වීඩියෝවත් ඔය කියන තරම් සැර නැහැ. ලිංගිකත්වය ගැන හුවා දක්වන්න බාලම බාල සංකේත වගයක් යොදාගෙන තියෙනවා. ඒවා දකිද්දී හිනහත් යනවා. විල්සන් කරු සුපුරුදු දුෂ්ඨයාගෙන් මිදිලා ශාන්ත දාන්ත චරිතයක් මෙහි රඟපානවා. ඇතැම් චිත්‍රපටවලදී විල්සන් නිළියන්ව පැහැරගෙන ගිහින් අතවර කරන්න හැදුවට මේකේ වෙන්නේ ඒකේ අනිත් පැත්ත. දෙවන වර ළං වුණ කාන්තාව නිරුවතින් හිටියත් ඇයට ඇඳුම් අන්දවනවා. එහෙම බලනකොට විල්සන්ව දුෂ්ටයාගෙන් මිදෙව්වට ඉරාජ්ට ස්තූතිවන්ත වෙන්න ඕනෑ. මෙහිදී තව දෙයක් කිව යුතුයි. මෙම වීඩියෝව සඳහා මෙරට අග්‍රගණ්‍ය ගායකයකුගේ ජීවිත කතාව ඇතුළත් කර තිබෙනවා කියලා රාවයක් තියෙනවා. ඉරාජ් ඉතින් ඔය හැම තැනකම කරක් ගහන මිනිහනේ. මේ ඉන්නෙ අපට හිතෙන විදිහට නම් ඒ සංචාර අතරතුරදී හමුවෙච්ච සංගීතඥයකු ගැන කතාවක් කියලා. මොකද වීඩියෝවේ සංගීතඥයා පවත්වන ප්‍රසංගයේ නම අපට හුරුයි.

ඉරාජ්,

එක දෙයක් සිහිපත් කළ යුතුය. තමන්ට ජනප්‍රිය වන්නට බොහෝ දේ කළ හැකිය. ආදායම් උපයන්නට ඕනෑ තරම් ජාවාරම් කළ හැකිය. එහෙත් රටේ ගෞරව බහුමානයට පාත්‍ර වූ චරිත ඒ සඳහා භාවිත නොකළ යුතුය. මුදල් උපයනවා නම් විකුණන්නට හොඳම දේ කුමක්දැයි පුවත්පතකට කියන්න අවැසි නැත.

කොහොම වුණත් ඉරාජ් දැනුණා වීඩියෝව ගැන දැක්වූයේ මෙන්න මේ වගේ අදහසක්. එය ඔහුගේ මුහුණු පොතේ සඳහන්.

මං මේ ගීතයෙන් කතා කරන්නේ කාලෝචිත මාතෘකාවක්. අප රටේ බොහෝ දෙනා දරුමල්ලො හදලා දීග දුන් පසු එක්තරා ප්‍රශ්නයකට මුහුණ දෙනවා. ඒ වැඩිහිටි අවධියේදී දරුවන් ඔවුන්ට නොසලකා හැරීම. අප රටේ මහලු මඩම් වැඩි වෙන්නෙත් ඒකයි. මං මෙමඟින් කතා කරන්නේ ඒ ප්‍රශ්නය ගැනයි. ඒත් මං කතා කරන විදිහ වෙනස්. ඒ සිස්ටම් එක ඇතැම් අයට දරාගන්න බැහැ. අපේ සංස්කෘතිය විනාශ වෙලා යනවා කියනවා මම කරන වීඩියෝ මඟින්. අපේ රටේ ඉතිහාසයට සංස්කෘතියට වසර දහස් ගණනක ඉතිහාසයක් තියෙනවා. මගේ වීඩියෝවකින් කොහොමද ඒතරම් කාලයක් පැවතිච්ච දෙයක් විනාශ වෙන්නේ. අප දෙයක් දිහා බලන කෝණයයි වෙනස් වෙන්න ඕනෑ. මෙම වීඩියෝව පැය විසි හතරක් ඇතුළත මිලියනයක් නරඹලා තිබුණා. ඊට ප්‍රධාන හේතුව මම හිට්කැරැක්ටර් අරගෙන ආන්දෝලනාත්මක දෙයක් කිරීම. ඒක ප්‍රේක්ෂකයන් බාර අරගෙන තිබෙනවා. සතුටුයි කියලා තමයි කියන්න තියෙන්නේ.

දැනුණා ගීතයේ පදමාලාව:

පේනා හීන ගානේ
මාගේ දෑසෙ ආලෙ වෑහුණා
නොනිදා රෑ දිවා පවා
ආලේලීලේ පෑවෙ
දෑසෙ වෑහේ ආලේ ඈ නිසා
ආශා පෑවා මා හිතේ
රැඳුණා බැඳුණා වෙලුණා දෑස මානෙ
බැන්ද සිත මාගේ සැමදාම ආශා වෙලා
දැනුණා දැනුණා දැනුණාම ඈගේ
කෝල දෑ සඳ ආදරේ ආශා වෑහෙනා
නොනිදා විඳිනා බැඳුණාම රෑක
හීන ගාණෙ ළංවෙලා යාවි පෙම් කළා
මුමුණා කීව තාලේ යායේ පාවි යාවි රෑ පුරා
කොඳුරා ඈ කියූ කතා
කිසිදා නොරිදා හීනේ සිහිනේ සහනේ වෑහේ
මා සොයා ආශා පෑවා මා සිතේ
රැඳුණා . . .
ගොඩක් අය පැරදුණා නුඹේ හිතේ ඡන්දෙන්
ඒත් දැන් නුඹ මගේ වෙලා ලොකුම මතයෙන්
අඳුරු වලාකුලේ රිදි ඉර
මගේ ඉරි තැලුණු හිතට නුඹයි දිය බිඳ
හෙව්ව කාලයක් සතුට මොකද පරක්කු
නුඹ ළං වුණ නිසා හිත නෑ කුලප්පු
ගහ කොළ හැම දේම මැව්වා
දෙවියන් මවපු හොඳම දේ ඔයයි මට නම්
නොලැබෙයි කියලා සසැලි කියා
රිදුණා සිත මා සිත ආදරේ පවා
ආයෙ කිසිදා නෑ රිදිලා
හදවත සැනසූ නුඹ ළං වූ නිසා

 

ගායනය සහන් සහ කයිසර් කයිෆ්