වර්ෂ 2016 ක්වූ  ඔක්තෝම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්

අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්

‘රේඛාවේ’ සේනගේ අක්කා පේමවතී වූ මල්ලිකා පිලපිටිය

'සීගිරි ළඳකගෙ

මල වට්ටියෙ ලා

පොඩි පුත නළවන්නා

දොයි දොයි නැළැවෙන්නේ

බයි බයි නැළැවෙන්නේ

මේ ගීතය 'රේඛාව' චිත්‍රපටයේ පසුබිමින් ගයා රඟන්නේ මල්ලිකා පිලපිටිය නම් නවක නිළියයි.

ලෙස්ටර් ජේම්ස් පීරිස් 1956 වසරේ නිපද වූ 'රේඛාව' චිත්‍රපටයට රඟපෑම සඳහා නවක මුහුණු රැසක් එක් වූහ. අයිරාංගනී සේරසිංහ, සෝමපාල ධර්මප්‍රිය, වින්ස්ටන් සේරසිංහ, සුනිලා ජයන්ති, මල්ලිකා පිලපිටිය, ජේ. බී. එල්. ගුණසේකර, මාපා ගුණරත්න, ඇලරික් පෙරේරා මේ අතර කැපී පෙනුණි. මේ අතරින් අද ජීවතුන් අතර සිටින අතළොස්සක් පිරිසෙන් මල්ලිකා පිලපිටියට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. ඇය චිත්‍රපටයේ පේමවතීය. ඇගේ මව කතරිනාහාමි ලෙස අයිරාංගණී සේරසිංහ ද, පියා වූ සූටියා ලෙස ඩී. ආර්. නානායක්කාර ද, මල්ලි වූ සේන ලෙස සෝමපාල ධර්මප්‍රිය ද පෙම්වතා වූ නිමල් ලෙස ආනන්ද වීරකෝන් ද රඟපෑහ. චිත්‍රපටයේ ඇය රඟපෑ මුලින් කී දරු නැළවිල්ල සහිත දර්ශනය කිසිදා ප්‍රේක්ෂක මනසින් බැහැර නොවේ. එදා ඒ චරිතය රඟපෑ නවක නිළි 'රේඛවෙන්' පසු සිනමාවෙන් සමුගත්තාය.

හඟුරන්කෙත පදිංචි මල්ලිකා මටත් කැමරා ශිල්පී ලාල් සෙනරත්ටත් හමු වූයේ පානදුරේ ඇයගේ දියණිය විවාහ වී සිටින සැමියා වූ ලලන්ත ඩයස් මහතාගේ බණ්ඩාරනායක මාවතේ පිහිටි නිවසේදීය. ඩයස් මහතා කීර්තිමත් සිවිල් නිලධාරියකු, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ධූරය ඉසිලූ ඇන්. කියු. ඩයස් මහතාගේ පුත්‍රයකු මෙන්ම කීර්තිමත් නීති විශාරදයකු වූ ගෝමින් දයා ශ්‍රී ගේ කිට්ටුම ඥාතිවරයෙකි. මල්ලිකා පිලපිටිය තම සැමියා වූ ආරිය බණ්ඩාර අභයසිංහ මහතා ද අප හා සංවාදයට එක් වූයේ හෘදයාංගමවය. එස්. බී. දිසානායක මහතා ආරිය බණ්ඩාර මහතාගේ සමීප ඥාතිවරයෙකි.

ඩේසි අයිරින් මල්ලිකා පිලපිටිය 1936 ඔක්තෝබර් 04 වෙනිදා හඟුරන්කෙතදී උපත ලබා ඇත. ඇය අධ්‍යාපනය ලබා ඇත්තේ මහනුවර යහපත් එඬේරාගේ කන්‍යාරාමයේය. ඇගේ පියා විලියම් තියඩෝර් පිලපිටිය තැපැල් ස්ථානාධිපතිවරයෙක් මෙන්ම සිංහ රෙජිමේන්තුවේ (CLI) මේජර්වරයෙකි. මව ෆ්ලොරන්ස් ඊඩිත්ය. මවගේ පියා කෝපි වතු පාලකවරයෙකි. හඟුරන්කෙත මුලින් කෝපි වගා කිරීමට පුරෝගාමී වැවිලිකරු මල්ලිකාගේ සීයාය.

'මට අයියලා තුන් ්දෙනෙක් හිටියා. ලොකු අයියා හැරල්ඩ් රජයේ චිත්‍රපට අංශයේ සේවය කළේ. දෙවෙනි අයියා වර්නන් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවය කළා. අනිත් අයියා හර්බට් ව්‍යාපාරිකයෙක්. මේ අයියලා තුන් දෙනාම මිය ගියා. පාසලේදී මම ඉංග්‍රීසි නාට්‍ය දෙකක රඟපෑවා. ඒ අතර GYPSY GIRL නාට්‍යය බැලූ ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර මට එදා ලැබුණා. ඒ වගේම මම පෙරදිග නර්තනය ඉගෙන ගත්තේ නේංජලා දේවි ගුරු මහත්මියගෙන්. චිත්‍රපට නිළියක වූ ප්‍රෙමිලා කුරුප්පු ඇගේ දියණියක්. ඒ වගේම මට ලංකාවේ සිටිය නර්තන විශාරදයකු වූ හීන්බබා ධර්මසිරිගෙන් ද නැටුම් ඉගෙනීමට අවස්ථාව ලැබුණා.'

ඇයගේ එකම සිහිනය වී ඇත්තේ චිත්‍රපට නිළියක් වීමටය. 1956 මාර්තු 18 වෙනිදා ඉරිදා 'සිළුමිණ' පත්‍රයට 'පායා එන තරු' මැයෙන් රාජා තිලකරත්න (ග්ලෝබ් පබ්ලිෂිං අධිපති කෝසල තිලකරත්නගේ පියා) ලියූ විශේෂාංගයක මල්ලිකා පිලපිටිය හඳුන්වා තිබුණේ මෙසේය.

'1955 අගෝස්තු 06 වෙනිදා කොළඹ මහාරෝග්‍ය ශාලාවේ ශල්‍යාගාරයේ සයනයක් මත වැතිරී සිටි තරුණියක් වැළපෙන්නට වූවාය. 'අනේ චිත්‍රපට නිළියක් වන්නට මම කොච්චර ආසාවෙන් සිටියද? අයියෝ මට කවදාවත් ඉතින් චිත්‍රපට තාරකාවක් වෙන්ට බැහැ. තව විනාඩි ස්වල්පයකින් මාව අවසාන වෙයි ද?' ඩේසි හෙවත් මල්ලිකා පිලපිටිය මේ අඳෙීනාව කළේ දරුණු උදරාබාධයක් නිසා බරපතළ ශල්‍යකර්මයක් කිරීමට වෛද්‍යවරුන් පිරිසක් ලෑස්තිව සිටි අවස්ථාවේදීය. එහෙත් එයින් පසුව ඇය ජීවත් වූවාය. තෙසතියකට පසු සුව වී කඳුකරයේ ශාන්ත පරිසරයක පිහිටි සිය පියාගේ නිවසට ගියාය. නිවසෙහි හුදකලාව විවේක සුවය විඳින මල්ලිකාගේ කයට මිස සිතට නම් කිසිම සැනසිල්ලක් නැත.

'අයියෝ කවදා මට චිත්‍රපට නිළියක් වන්නට පුළුවන් වෙයි ද? රුක්මණී දේවි පෙනී සිටන දර්ශනයක කොනක් ඇල්ලීමටවත් මට කවදා අවස්ථාවක් ලැබේ ද යනුවෙන් ඈ සුසුම් හෙළුවාය.' 'සිළුමිණ' ලිපියෙන් අනාවරණය විය.

සතියකට පමණ පසු මල්ලිකා සිය වැඩිමහල් සොහොයුරු හැරල්ඩ්ගේ නිවසට පැමිණියාය. නිළියක වීමට නොහැකි නිසා ඇගේ ඊළඟ අරමුණ වූයේ විශ්වවිද්‍යාල ප්‍රවේශයට පෙනී සිටීමය. තවත් සතියක් ගත විය. ඇය නොසිතූ දෙයකට මුහුණ දෙන්නට සිදු වූයේ ගහෙන් ගෙඩි එන්නාක් මෙනි. ඒ අවස්ථාව ඇය විස්තර කළේ මෙසේය.

'දිනක් අයියා සොයා ගෙන අමුත්තන් දෙදෙනෙක් දෙහිවල ගෙදර ආවා. එසේ පැමිණියේ අයියා රජයේ චිත්‍රපට අංශයට (GFU) එක්ක යන්න. අයියා සූදානම් වන විට මම සිසිල් බීම වීදුරු සහිත බන්දේසිය රැගෙන අමුත්තන් හමුවට ගියා. එහි පැමිණි කඩවසම් මහතෙක් මා දෙස බලා මොහොතක් ගල් ගැසී බලා සිට අනික් මහතාට මොනවාදෝ කීවා. අයියා සමඟ අමුත්තෝ පිටව ගියා. හවස අයියා ගෙදර පැමිණියේ ජයග්‍රාහි ලීලාවෙන්.

'ඔන්න නංගීගේ ආශාව ඉටුවෙන්න යන්නේ, අද උදේ ආපු මහත්තයා ලෙස්ටර් ජේම්ස් පීරිස්. ඒගොල්ලෝ සිංහල චිත්‍රපටයක් හදනවා 'රේඛාව' කියලා. ඔයා ප්‍රධාන චරිතයකට තෝර ගන්න කැමතිලු. අර අනික් මහත්තයා නිෂ්පාදන කළමනාකාර ප්‍රේමනාත් මොරායස්.

මට කිව නොහැකි සතුටක් ඇති වුණේය. අයියා අම්මා තාත්තගෙන් බොහොම අකමැත්තෙන් අවසරය ලබා ගත්තා' ඇය කීවාය.

කුඩා කල සිටම ඉංග්‍රිසි මාධ්‍යයෙන් ඉගෙනීම නිසා ඇයට සිංහල උච්චාරණය කළ නොහැකිව තිබූ බව සිළුමිණ මාධ්‍යවේදී රාජා තිලකරත්න ලියා තිබුණි.

මල්ලිකාට තිබුණේ වැඩිමහල් සොහොයුරියක් මෙන්ම පෙම්වතියක් ලෙස රඟපාන පේමවතීගේ චරිතය. එතෙක් (1947 - 1956) සිංහල සිනමාවේ ආ විනීත හා ශෝභමානවත් ප්‍රේම ජවනිකාව මල්ලිකා හා ආනන්ද වීරකෝන් රඟපෑ බව එදා විචාරකයෝ ලියූහ.

'සේනගේ අක්කා (මල්ලිකා) සහ ඇගේ පෙම් බැඳීම් හා විවාහය පිළිබඳ පුවත ද ඉතා චමක්කාර අන්දමින් දක්වා තිබේ යයි චාල්ස් අබේසේකර දිනමිණ (1956 දෙසැම්බර් 25) ලියූ විචාරයක සඳහන් කර තිබුණි.

පේමවතී (මල්ලිකා) හා නිමල් (ආනන්ද) යන චරිත දෙකේ සුන්දරත්වයට ඔවුන්ගේ ආලයට අකුල් හෙළන පේ්දුරු (ඇලරික් පෙරේරා) කතාවට අවශ්‍ය නොවන බව 'ජනතා' චිත්‍රපට විචාරක රාජා තිලකරත්න (1956 දෙසැම්බර් 21) ලියා තිබුණි.

කෙසේ වුව ද රේඛාවේ පේමවතීට සිනමාවේ රැඳී සිටීමට ඉන් පසු ඉඩ නොලැබුණාය. එවකට 19 හැවිරිදි වියේ පසු වූ ඇගේ පෙම්වතා ඇය 1957 අපේ‍්‍රල් 07 වෙනිදා විවාහ කරගත්තේ කලක සිට පැවති ප්‍රේමයක ජයග්‍රහණය සනිටුහන් කරමිනි. තරුණයා හඟුරන්කෙතම පදිංචි හරිශ්චන්ද්‍ර ආරිය බණ්ඩාර අභයසිංහය. ඔහු වෘත්තියෙන් වතු පාලකවරයෙකි.

'මට 'රේඛාවේ' රඟපෑමට තෝරා ගන්නා විටත් පසුවත් සෑම සිංහල ඉංග්‍රීසි පුවත්පත්වලින්ම ප්‍රචාරය ලැබුණා. එල්මෝ ගුණරත්න, රාජා තිලකරත්න, ජී. ටී. වික්‍රමසිංහ, ජයවිලාල්, කරුණාසේන ජයලත්, සෝමපාල රණවීර වගේම (Tori de souza (Times Of Ceylon), D. C. Ranatunga, Jayantha Padmanba (Editor Ceylon Daily News) Fr. Noel Cryz (Sunday Times of Ceylon) Reggie Siriwardena (CDN) Mervin de Silva (CDN) D. B. Dhanapala (Janus) - Times of Ceylon)  ආදීන් මට ප්‍රශංසා කළා' මල්ලිකා කීවාය.

මල්ලිකා විවාහ වූ ආරිය බණ්ඩාර කන්ද උඩරට විසූ ප්‍රකට වියත් පඬිවරයාණ කෙනෙක් වූ හඟුරන්කෙත කවි චින්තාමණී පී. එම්. පී. අභයසිංහ මහතාගේ පුතෙකි. ආයුර්වේද වෛද්‍ය විශාරදයකු මෙන්ම පෙර අපරදිග භාෂා ශාස්ත්‍රඥයකු වූ කවි චින්තාමනි අභයසිංහ මහතා ලියූ 'උඩරට විත්ති' මහනුවර රාජ්‍ය සමය ගැන ලියූ උසස් ශාස්ත්‍රීය කෘතියක් ලෙස සම්භාවනාවට පත් වෙයි. කපාලකුණ්ඩලා, ධර්මාශෝක චරිතය, සංස්කෘත වාක්‍යමාලා, ඓතිහාසික ජනකථා, දුර්ගේශනන්දනී, ආනන්දමථ, මහා භාරණාඛ්‍යානය, රාජසිංහ ඇතුළු ග්‍රන්ථ රැසක් මේ මහා පඬිවරයා ලියා තිබේ.

'මගේ සැමියාගේ පියා මහා පඬිවරයෙක්. එවැනි මාමණ්ඩියක් ලැබීම මගේ පූර්ව වාසනාවක්. ඉතාම කාරුණික පුද්ගලයෙක්. කුමන ශාස්ත්‍රීය වැඩක් කළත් මුනුබුරෙකු, මිනිබිරියක ළඟට ගියාම ඒ සියලු වැඩ නවතා ඒ අය හුරතල් කරනවා. අප්පච්චි කෝරළේ මහත්තයෙක්. අපේ ගෙදර අප්පච්චි සමඟ මිත්‍රත්වයෙන් සිටි කිහිප දෙනෙක් හිටියා. මහාචාර්ය හෙට්ටිආරච්චි, ගම්පොල ඉලංගසිංහ නොතාරිස් රාළහාමි, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, බුද්ධදාස වෙද මහත්තයා මට මතක නම් කිහිපයක්. අපේ පළාතේ සිටි උමතු රෝගියෙක් අප්පච්චි සුව කළා මට මතකයි. අප්පච්චි සල්ලි නොගෙන ප්‍රතිකාර කළේ. තමාට අයිති ඉඩකඩම් පොදු මහජන ප්‍රයෝජනය සඳහා නොපැකිළව පවරා දුන්නා වන්දි නොගෙන. අත් දෙකෙන්ම (දකුණ හා වම) අප්පච්චි ලිව්වා. තැන්පත් පුද්ගලයකු වූ එතුමා ගැටලු නිරාකරණය කළේ බොහෝ දුර සිතා බලායි. අප්පච්චි රාත්‍රියට හාන්සි පුටුවකට වෙලා ශාස්ත්‍රිය සංග්‍රහ රේඩියෝවෙන් ප්‍රචරය වන වංග ගීත, රවීන්ද්‍ර සංගීතය අහන්න ආසයි. එතුමාගේ ප්‍රියතම ගායකයන් සයිගාල් හා මන්නාඩේ. එතුමා නිතර බෙංගාල ගීත ගයමින් ලියන්නේය. 'රේඛාව' බලලා කාලකෙට පස්සේ හොඳ චිත්‍රපටයක් බැලුවා' කිව්වා. මල්ලිකා තම මාමණ්ඩිය ගැන කළ විස්තර අසා සිටි සැමියා සිනාසෙමින් ප්‍රතිචාර දැක් විය.

මල්ලිකා - ආරිය බණ්ඩාර යුවළට චතුර, කපිල, ක්‍රිෂාරිකා, රොෂාන් යන දරුවන් සිව් දෙනෙක් සිටී. කලාවට සම්බන්ධ බාලම පුතා රොෂාන් චේතිය බණ්ඩාර අබේසිංහ පිලපිටිය. ඔහු අද ජනප්‍රිය මෙන්ම සම්මානනීය රංගන ශිල්පී රොෂාන් පිලපිටිය.

'මගේ රොෂාන් පුතා පවුලේ එකම කලාකාරයා. එයා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ සිටම සංගීතයට දක්ෂයි. දක්ෂ ගිටාර් වාදකයෙක්. 'රෙඩ් හාට්' කියලා සංගීත කණ්ඩායමක් හදාගෙන හිටියා. පුතා බුදු දහමට ළැදි ළමයෙක්. පුංචි කාලේ නිතරම ගේ ගාව තියෙන හඟුරන්කෙත පොත්ගුල් විහාරයට ගිහින් සීයා (අභයසිංහ මහතා) ලියලා තියෙන කවි කියවනවා. පුංචි කාලේ අක්කත් එක්ක එකතු වෙලා අමිතාබ් භච්චන්ගේ චිත්‍රපටවල වීඩියෝ පට බලලා ඒ අනුව රඟපානවා. එතකොට රොෂාන් කෑම මේසය තරම්වත් උස නෑ. රඟපෑමට රොෂාන් පුංචි කාලේ ඉඳලම කැමැත්තෙන් හිටියා. කලකට ඉහත ලෙස්ටර් මහත්තයා මට ආරාධනය කළා 'ගොළු හදවත' ටෙලි නාට්‍යයේ දමයන්තිගේ (අමෝමා හේරත්) අම්මගේ චරිතය රඟපාන්න. රේඛාවෙන් පස්සේ මම රඟපෑවේ 'ගොළු හදවත' ටෙලි නාට්‍යයේ. එදා මම ලෙස්ටර් මහත්තයලගේ ගෙදර ගියේ රොෂාන් පුතා එක්ක. පුතා දැකපු ගමන් සුමිත්‍රා 'ගොළු හදවත'ට සුගත්ගේ (සුදාර ජයසේන) යාළුවෙකු හැටියට රඟපාන්න තෝරා ගත්තා. රොෂාන්ගේ රඟපෑම උපන්නේ එතැනින්.

හඟුරක්කෙත අභය නිවසේ පදිංචිව සිටින මල්ලිකා හා ආරිය බණ්ඩාර යුවල දහම් පොත්පත් කියවමින් කාලය ගත කරති. අප යන විට ද මල්ලිකගේ අතෙහි වූයේ ට්ධඤඹඪද ඉචථචපචපචබදච ලියූ ඒ A Beautiful Way of Living  පොත. Ajahn Brahm ලියු Good? Bad? Who Knows පොත ඇය කැමතිම පොත බව අපට කීවාය.

ඡායාරූප - ලාල් සෙනරත්