වර්ෂ 2016 ක්වූ  ඔක්තෝම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




තිරය පිටුපස අත්දැකීම් මගේ රංගනයේ ප්‍රමිතිය ඉහළට ඔසවනවා

තිරය පිටුපස අත්දැකීම් මගේ රංගනයේ ප්‍රමිතිය ඉහළට ඔසවනවා

රංගන ශිල්පී ප්‍රසන්න ප්‍රභාත්

ප්‍රසන්න ප්‍රභාත් ක්ෂේත්‍රයට පිවිසෙන්නේ සහාය කලා අධ්‍යක්ෂවරයකු වශයෙන්. පසුව කලා අධ්‍යක්ෂණයෙන් ද, ඊටත් පසුව සහාය අධ්‍යක්ෂවරයකු ලෙස ද ක්ෂේත්‍රය තුළ කටයුතු කිරීමෙන් ලද අත්දැකීම් හා පන්නරය ඔස්සේ මේ වනවිට ඔහු සිය රංගනයෙන් ද ක්ෂේත්‍රයට අවතිර්ණ වී සිටියි. මේ සරසවිය සමඟ ඔහු කරන ලද කතාබහයි.

* තිරය පිටුපස වගකීම් රැසක් දැරූ ඔබ රංගනයට පිවිසීමට සිතුවේ ඇයි?

ඇත්තටම මම අධ්‍යයනය කළේ රංගනය. එහි යම් පරිණතභාවයක් ළඟාකර ගැනීමට ඊට අදාළ අනෙකුත් ක්ෂේත්‍ර පිළිබඳ යම් අවබෝධයක් ලබාගැනීම අත්‍යාවශ්‍යයි. ඒ අනුව ක්ෂේත්‍රයේ සහාය කලා අධ්‍යක්ෂවරයකු වශයෙන්, කලා අධ්‍යක්ෂවරයකු වශයෙන් මෙන්ම සහාය අධ්‍යක්ෂවරයකු වශයෙන් ද සෑහෙන කාලයක් මුළුල්ලේ කටයුතු කළා. මේ අත්දැකීම් තුළ ආලෝකකරණය, ඇඳුම් හා පසුතල නිර්මාණය, අංග රචනය, කැමරාකෝණ සහ තිරය පසුපස සිදුවන සියළු මෙහෙයුම් පිළිබඳ යම් මට්ටමකට පරිණත අවබෝධයක් මා තුළ තිබෙනවා.

* ඔබ මෙතෙක් රංගනයෙන් දායක වූ නිර්මාණ පිළිබඳව සඳහන් කළොත්?

ජාතික රූපවාහිනියේ විකාශය වූ ජනක සුරංජිත් අධ්‍යක්ෂණය කළ 'සිල්ලර කාසි' ටෙලි වෘතාන්තයේ පාතාල සාමාජිකයකු වශයෙන් ද, සිරස නාළිකාවේ විකාශය වූ 'තූර්යා' හි චරිත ත්‍රිත්වයක් ද සාර්ථකව නිරූපණය කරන්නට මට හැකි වුණා. එමෙන්ම ඉදිරියේ විකාශය වීමට හා තිරගතවීමට නියමිත චාමර පෙරේරාගේ 'සුදු සඳ රැස්', 'අහිමි' යන ටෙලි නාට්‍ය සහ නිශ්ශංක විීරසිංහගේ 'ජය ශ්‍රී ඇමති' සහ ප්‍රසාද් සමරතුංගගේ 'ඉස්කෝලෙට මං ආවා' යන චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වී තිබෙනවා.

* ඊට ප්‍රථමයෙන් ඔබ පාසල් කාලය තුළ රංගනයේ නියැලී තිබෙනවාද?

ඔව්, මම අධ්‍යාපනය ලැබුවේ කුඩා උඩුව නාලන්දා පිරිවෙනේ. රංගනය පිළිබඳ වැඩි අවබෝධයක් ඒ කාලේ නොතිබුණත්, පාසල් වේදිකාවේ ලද අත්දැකීම් බොහොමයක් මම මේ ගමනට එකතුකර ගත්තා යැයි තරයේ විශ්වාස කරනවා.

* ඔබ ඉන් ඔබ්බට රංගනය පිළිබඳ හැදෑරීමක් හෝ පුහුණුවක් ලබා තිබෙනවාද?

ඔව්. මම මහරගම පිහිටි තරුණ සේවා ආයතනය යටතේ එය හදාරා තිබෙනවා.

* එදා මෙදාතුර ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් බොහෝ දෙනෙකුගේ මඟ පෙන්වීම් ඔබ අත්විඳින්න ඇති?

අනිවාර්යයෙන්ම පිටපත් රචනය පිළිබඳව සනත් සමරනායක මහත්මයාගෙන් ලද අත්දැකීම්, කලා අධ්‍යක්ෂණය පිළිබඳව චාමින්ද වාස් මහත්මාගෙන් ලද අත්දැකීම් මෙන්ම අධ්‍යක්ෂණය පිළිබඳව සුනෙත් රසාංග මහත්මයාගෙන් මා ලද අත්දැකීම් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුමයි.

* ප්‍රවීණ රංගන ශිල්පි / ශිල්පිනියන් සමඟ ඔබගේ සබඳතාව කොයි වාගේද?

බොහෝ ප්‍රවීණයින් සමඟ මා ඉතා සුහදව කටයුතු කර තිබෙනවා වගේම ගුරුහරුකම් ද ලබා තිබෙනවා. ඒ අය අතරින් ශ්‍රියන්ත මෙන්ඩිස්, කුසුම් රේණු යන දෙපළ, විකට රංගන ශිල්පීන් වන ටෙනිසන් කුරේ, ලක්ෂ්මන් සහ රජිත හිරාන් යන ශිල්පීන් ශිල්පිනියන් ඉතාම සෙනෙහසින් යුතුව සිහිපත් කරනවා.

* ක්ෂේත්‍රයට පිවිසීමට අත දුන් අය පිළිබඳ සඳහන් කළොත්?

මගේ දයාබර මව සහ සොහොයුරන් දෙදෙනා මෙහිදී විශේෂයි. එලෙසම වරුණ නිරෝෂන් සහ තුසිත ශ්‍රි නුවන් යන සොහොයුරන් කිසිසේත් මට අමතක කළ නොහැකියි.

* වෙළඳ දැන්වීම් හා ගීත විඩියෝකරණය යන ක්ෂේත්‍රවල ඔබ රංගනයෙන් දායකත්වය ලබා දී තිබෙනවාද?

ගායක අසංක ප්‍රදීප්ගේ 'ආදරේට කඳුළු ගෙනත්' වීඩියෝව සඳහා මම රංගනයෙන් එකතු වුණා.

* මෙතෙක් ඔබ රංගනයෙන් දායක වූ චරිත පිළිබඳ සඳහන් කළොත්?

පාතාලා මැරයින්ගේ චරිත මෙන්ම, පෙම්වතාගේ චරිත සඳහාත් මම රංගන දායකත්තවය ලබා දී තිබෙනවා. ඒත් පෙම්වතාගේ චරිතයට මගේ ළබැඳියාවක් තවමත් තියෙනවා.

* ක්ෂේත්‍රය තුළ ඔබගේ අනාගත බලාපොරොත්තු මොනවාද?

මා මෙතෙක් ලද අත්දැකිම් ඇසුරුකර ගනිමින් හැකියාවේ උපරිමයෙන් සාධාරණයක් ඉටු කළ හැකි චරිතයක් සඳහා ප්‍රවීණ අධ්‍යක්ෂවරයකු යටතේ රංගනයෙන් දායකවීම මගේ එක් බලාපොරොත්තුවක්.

රංගන ක්ෂේත්‍රයේ නොමැකෙන සංධිස්ථාන සනිටුහන් කරමින් යන දිගු ගමනකට අපි ඔබට සුබ පතමු.