|
විනෝද් නාට්‍යයක් කරනවාලු නේද?
අජිත් සහ ලලිත් දෙදෙනා හිස් බිම් කඩක ඉඳ දෙබස් කියන්නට පටන් ගත්තේය.විනෝද් දබරැඟිල්ලෙන් සිය හිස කෙස් අදිනු බිනරි බලා සිටියාය. අනතුරුව ඔහු උන් තැනින් නැගිට ඔවුන් දෙදෙනා සමීපයට ගියේය. ‘මචං.මේක හිතට අරගෙන කරපන්.ආවාට ගියාට කරන වැඩක් නෙවේ’ ඔහු ගේ හඬෙහි තිබුණේ කෝපය මුසු හැඩය.මේ දින වල ඔහුගේ ඔළුවේ වැඩ කරන්නේ නාට්‍යය නිර්මාණයයි. චිත්‍රපටයේ රඟපාන්නට ගිය දවසේ තම අතට පත් නාට්‍යය පිටපත බිනරි කියැවුයේ උදාසීන හැඟීමකිනි.වරින් වර කුරුටු ගාමින් ලියැවුණ විනෝද් ගේ අත් අකුරු සමහරක් කියවන්නට අසීරුය. එබැවින් ඇයට එය කියවන්නට සිත් දුන්නේ නැත.පසුවදා උදෑසනින්ම විනෝද් බිනරි ගේ නිවසට පැමිණියේය. ‘මගේ ඩ්‍රාමා එක කියැව්වද ?’ “ඊයේ ඉවර කරන්න බැරි වුණා ඇය පැවසුවේ විනොද් අසල පුටුවක වාඩිවෙමිනි. ‘ඇයි ?’ ‘කියවපු ටික හොඳද ?’ ‘හොඳයි’ ‘මොකද හොඳයි කියන්නේ ? ‘හොඳ හින්දා’ ‘මට යාළුවෙක් ඒක ටයිප් කරලා දෙන්නම් කිවවා.මට කොපිය දෙනව ද ? ඇය උන් තැනින් නැගිට ගෙට ගියාය. බිනරි ගේ මව සාලයේ වාඩිවුණාය.ගෙදර කෑමට මාළු උයන්නට ඇතැයි ඇය දුටු සැනින් විනොද්ට සිතිණ. ‘විනොද් නාට්‍යයක් කරනවලු නේද ?’ විනොද් මෝඩ පහේ සිනහවක් පෑවේය. ‘තාම රස්සාවක් කරන්න හිතුවේ නැද්ද ?’ මේ හැම එකාම අහන ප්‍රශ්නයකි.පාසල් ගිය පසු හැම එකාටම වුවමනා තමන් රස්සාවක් කරනු දකින්නටය.රස්සාව කර ගත් පසු පරස්තාව නැත්දැයි විමසති.අනුන්ගේ මළ දාන මිනිසුන්ට වුවමනා නැති හැටි. හැමෝම රස්සා කළ යුතුයැයි නීතියක් ලෝකයේ තිබෙන්නේ දැයි විනෝද් ට සිතිණ.මේ ගැටුම නිසාම විනොද් සහ තාත්තා අතර කතා බහක් නැත.තාත්තා හිතා සිටින්නේ තමා පින් බත් ගිලින්නෙකු හැටියටය.තාත්තා ගෙදර ඉන්නේ නම් විනොද් කල්පනා කරනුයේ ඔහු මග හැර සිටින්නටය. ගෙට ගිය බිනරි නාට්‍ය පිටපත් ඔහු අතට ගෙනැවිත් දුන්නාය. ඇය එය ෆයිල් කවරයක ලා ලස්සනට තබා තිබූ අයුරු දුටු විනොද් ගේ සිතට සියුම් සතුටක් ආවේය. “ඕක ගැට ගහලවත් නෑ.හුළඟේ යයි” ඇය පැවසුවාය . ඔහු උන් තැනින් නැගිට්ටේ පිටපත කිහිලි ගහ ගත් ගමන්ය. ‘ ඔය ළමය යන්ඩද ?’ “ඔව් ඇන්ටි. මේක ටයිප් සෙට් කරන්ඩ ඕනෑ. මේ කොපිය විතරයි . මා ගාව තියෙන්නේ ?” ඔහු නොපෙනී ගියේ ඊළග ඇසිල්ලේය . තේ කෝප්පයක් වත් දෙන්නට බැරි වුණායැයි මවට සිතිණ .හැමදාම ආවාම තේ එකක් බීල නේ යන්නේ ඇය විස්සෝප වූවාය. විනෝද් ගේ සමහර දවස්වල කුස ගින්න නිවෙන්නේ තේ කොප්පයෙන් යැයි වරෙක බිනරි පැවසුවාය. හැන්දෑ වරුවේ විනෝද් නිවසට එතැයි බිනරි බලා සිටිය ද ඔහු නො ආවේය. ඇයගේ සිත පාළුවකින් වෙලී යමින් තිබිණ. ඇය කුස්සියට ගියේ අම්මා සමග හවුල් වන්නටය. විනෝද් කොහි යන්නට ඇත්දැයි ඇයට සිතිණ. විනොද් ඇය සොයා ආවාට ඔහු සොයා යෑමේ පුරුදුදක් ඇයට නොවිණ. තවත් දවසක් දෙකක් ගත විය.එකවරම විනෝද් නිවස ඉදිරිපිට පෙනී සිටියේය. ඔහු ගේ උර මත පරණ ගමන් මල්ලම ය. එහෙත් වෙනදාට වඩා ප්‍රබෝධයක් ඔහු ගේ මුහුණේ ඇත. ‘කොහෙද අප්පේ ගිහිං හිටියේ’ ඔහු අනාරාධිතවම නිවසට ඇතුළු වූයේය. ‘මට අලුත් වැඩක් සෙට් වුණා.’ ඔහු පැවසුවේ ය.නාට්‍යය පිටපත යතුරු ලියන කර ගන්නට බාර ගත් මිතුරා විනොද් ට අලුත් රාජකාරියක් පවරා තිබිණ. ඒ ඔහුගේ මිතුරෙක්ගේ පොත් සමාගමක අතිරේක සෝදු පත් කියයවන්නෙකු හැටියටය. ‘මං ඒකට කැමැතියි’ “එතකොට නාට්‍ය ?” ඒකත් කරනවා.මෙහෙමයි.මට මේ ජොබ් එක හැමදාම තියෙන එකක් නෙවේ. පර්මනන්ට් නෑ. වැඩ වලට ගෙවනවා. මට නාට්‍යයේ වැඩ ටිකත් දැන් කර ගන්න පුළුවන්. ඔහු බෑගයෙන් ෆයිල් කවරයක් ගනත් දුන්නේය. බිනරි එය දිග හැරියාය. ඒ නාට්‍යය පිටපතයි. එය ලස්සනට යතුරු ලියන කර තිබිණ. ‘බොරැල්ල හන්දිය ? ඒක ද නම’ ‘ඇයි නරකද ?’ ‘නියමයි. එතකොට ගොගොල් ගේ නාට්‍යක් තිබුණාද බොරැල්ල හන්දිය කියලා’ ‘පිස්සුද ? මේක මං ලිවිව එකක්. ගොගොල් බොරැල්ල හන්දිය දන්නව ද’ ඇය එතැනින් එහා ඒ ගැන අසන්නට ගියේ නැත. ‘අපි මේකේ හෙට රිහසල් පටන් ගන්නවා. නාරාහේන්පිට ඉස්කෝලේ.හැන්දෑවේ හතරට’ ඔහු කතා කළේ ඇය මවිතයට පත් කරමිනි.මේ දවස් දෙක තුනට ඔහු මහා වැඩ ගොඩක් කරන්නට සූදානම්ය. “ඔයා එනව නේද ?” ඇය හිස වැනුවාය. නාට්‍යෙය් පුහුණු වීම් කරනවා යැයි පැවසූ පාසල වටේ රවුමක් ගැසූ බිනරි එහි මුරකරුගෙන් විමසුවේය.ඔහු අත දිග හැර ශාලාවක් පෙන්වූයේය බිනරි ශලාවට ගොඩ වැදිණ. තම වයසේම තරුණයන් පස් දෙනෙක් එහි උන්හ. බිනරි. හතර කියන්නේ හතර විනෝද් ගේ හඩ දරුණු යැයි ඇයට සිතිණ. එක්වරම සියල්ලෝම සබා ගැබට පිවිසි බිනරි දෙස බැලූහ.ඇය මහත් අපහසුතාවකට පත් වූවාය. ‘වෙලාවට වැඩ කරන්ඩ බැරි නම් නාට්‍ය කරන එක හරියන්නේ නෑ’ ඔහු යළිත් පැවසුවේය.නිකම්ම නිකම් සිටි විනෝද් එකවරම පොරක් වී ඇත. සිතේ උපන් කෝපය සඟවා ගන්නට බිනරි වෑයම් කළාය.ඇගේ ඊළඟ පියවර ගැන තැකීමක් නොකළ විනෝද් සෙස්සන්ට සිය නාට්‍යය ගැන කියා දුන්නේය . කලකට ඉහත නාට්‍යය පුහුණුවකට ගිය විනෝද් ට එය ආරම්භ කළ අයුරු තවමත් මතකය . ඔහු පෙරළා කියා දෙන්නේ ඒ පාඩම මය. බිනරි පුටුවක වාඩි ගත්තාය. කිසිවකු හෝ ඇය ගැන තැකීමක් නොකරති. තමා ආ මෝඩ කම යැයි බිනරිට සිතිණ. නළුවන් අලුත්ය . ඔවුන් කිසිවකු කිසිවිටෙකත් ඇය දැක නැත . විනෝද් ඇය ළඟට පැමිණියේය. ‘ඇයි පරක්කු වුනේ’ ඔහු ඇසුවේ හෙමිහිටය. ‘ඔයාට කෑ ගැහැව්වේ නැත්නම් මට මුන් හදා ගන්න බැරි වෙනවා’ ඔහු පැවසුවේ ඇයගේ සිතේ හැඟිම් තේරුම් ගත් විලාසයෙනි.ඇය ඉවත බලා ගත්තාය. ‘මේ අපි තේ ටිකක් බොමු.’ ඔහු ආයාචනා කළේය. ඇය කිසිත් පැවසුවේ නැත. ‘ඔයා ගාව සල්ලි ඇති නේ.’ ඔහු විතාළේය. ‘මං ගාව නෑ.’ මොනවද හලෝ.අපි පස් දෙනාට ප්ලේන්ටිය ගෙන්න.අර කඩෙන් ගේන්න පුළුවන්.බලනවකෝ පර්ස් එක බිනරි කෝපයෙන් ඇගේ ගමන් මල්ල දිග හැරියාය.
එන සතියේ වේදිකාවේ ඉදිරි පියවර |